කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඉතිරි කිරීමේ ලාංඡනය ඇඳලා දිනපු රුපියල් දෙසිය පනහ ඒ බැංකුවේම පොතක දැම්මා

ඉතිරි කිරීමේ ලාංඡනය ඇඳලා දිනපු රුපියල් දෙසිය පනහ ඒ බැංකුවේම පොතක දැම්මා

වෙළෙඳ ලකුණු ආරම්භයේ සිටම එකී ලාංඡන නිර්මාණ ශිල්පීන්ගේ වගතුග සොයන්න අප පසුගිය කාලය පුරා මහත් උත්සාහයක නිරත වීමු. ඇතැම් විට ඒ පිළිබඳව උනන්දුව දක්වන අය අපට තොරතුරු දෙති. අද වෙළෙඳ ලකුණේ කතා නායකයා වන රත්නපාල ද සිල්වා පිළිබඳව හෝඩුවාව ලබාදුන්නේ ඔහුම ය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ලාංඡන නිර්මාණ ශිල්පියා ඔහු බව ඔහුගේ ළඟම මිතුරන් පවා තවමත් දන්නේ නැත.

කරන දෙය හරියට කර නිහඬව හිඳින ඔහු තමන් කළ නිර්මාණ පිළිබඳව තනිවම සතුටු වෙයි. තිස් හය වසරක ගුරු වෘත්තියෙන් විශ්‍රාම ලැබුව ද රත්නපාල ද සිල්වා අදට ද ගුරුවරයකු, චිත්‍රකලා උපදේශකයකු ලෙස කටයුතු කරයි‍. මේ සියල්ලේම අවසාන අරමුණ මුදල නොව මානසික සුවය සෙවීම වීම ඔහුගේ විශේෂත්වයයි.

ඒ කාලේ අපේ ගමට විදුලිය තිබුණෙත් නැහැ. අපි පාඩම් කළේ කුප්පි ලාම්පුවෙන්. අද වගේ විවිධ වර්ගයේ පාට තිබුණේ නැහැ. මට මතකයි මං පුංචි කාලේ RECVS කියලා බල්ලා මාර්ක් පාට වර්ග තිබුණා. ඒ පෙට්ටියේ වාටියේ කළු සුදු පුල්ලි තියෙන බල්ලෙකුගෙ ලකුණක්. ‍ඒ පාට වර්ග ගෙන්නුවේ පිටරටින්.

ඔය කාලේ ‍දිය සායම් පෙට්ටියක් රුපියල් හතරයි හැත්තෑපහක් විතර ඇති. මං පොඩි කාලේ ඉඳල චිත්‍රවලට කැමතියි වගේ ම චිත්‍ර අදින්න හැකියාවකුත් තිබුණා. මගෙ මල්ලි හුඟක්ම උදව් කළා. නමුත් අද ඔහු ජීවතුන් අතර නැහැ. ඒත් මගෙ අයියා නම් මං චිත්‍ර අදිනවට විරුද්ධයි. ඔහු එහෙම කළේ මගේ ඉගෙනීම කඩාකප්පල් වේවි කියන බයට.”

කවුරුන් කොහොම කීවද කෙසේ සිතුවද රත්නපාල ද සිල්වා නම් ඔහු තරුණ වයසට එනවිට දක්ෂ චිත්‍ර ශිල්පියකු බවට පත් වූයේ ය.

බලපිටියේ උපන් ඔහු හතර දෙනෙකුගෙන් යුතු පවුලේ දෙවැන්නා ය. බලපිටිය රේවත මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ රත්නපාල පාසල් වියේ සිට ම චිත්‍ර ඇන්දේ ය. තරගවලට ඉදිරිපත් වූයේ ය. එකල පාසල් අධ්‍යාපනයේදී විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා චිත්‍ර විෂයක් ලෙස ඉගැන්වූයේ නැත. එහෙත් රත්නපාල තම පාසලේ විදුහල්පතිවරයාගේ මඟ පෙන්වීම යටතේ චිත්‍ර විෂය සහිතව විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයට ඉදිරිපත් වූයේය.

“ඒකාලේ ඉස්කෝලවල උසස් පෙළට චිත්‍ර විෂය ඉගැන්නුවේ නැහැ. නමුත් මා තුළ චිත්‍ර විෂයට උනන්දුවත්, ආශාවත් හැකියාවත් තිබූ නිසා මම තනිවම පොත පත බලලා තොරතුරු හොයාගෙන පාඩම් කරල විභාගයට පිළිතුරු ලිව්වා. ඒ අනුව තමයි මම පසුව රජයේ කලා හා කලා ශිල්ප විද්‍යාලයට ඇතුළත් වුණේ. එහිදී මම ග්‍රැෆික් හා වෙළෙඳ චිත්‍ර පිළිබඳව තමයි වැඩිදුරටත් හැදෑරුවේ.

ඒ කාලේ මම බලපිටියේ ඉඳලා සමුද්‍රදේවි කෝච්චියේ තමයි කොළඹ ආවේ ගියේ. මාසෙටම කෝච්චියට වියදම් වුණේ රුපියල් තිහයි‍. විද්‍යාලයෙන් පළමු පෙළ සමර්ථයක් ලබලා සමත් වුණාට පසුව මට රජයේ පාසලකට ගුරුපත්වීමක් ලැබුණා. මුල් ම පත්වීම ලැබුණේ මාතර දික්වැල්ල විජිත මධ්‍යම මහා විද්‍යාලයට. මුල් ම ගුරු වැටුප රුපියල් 310 යි. අවුරුදු දෙකක් මම ඒ විද්‍යාලයේ ඉගැන්නුවා. එතකොට මගෙ වයස අවුරුදු විස්සක් විතර ඇති. මම පාසල් චිත්‍ර ප්‍රදර්ශන ආදිය තිබ්බා. ඒ වගේ ම දරුවෝ බොහොම උනන්දුවෙන් චිත්‍ර ඉගෙන ගත්තා.”

රත්නපාල සිය අතීතය සිහිපත් කරයි. ගුරු වෘත්තියේ නියැළෙන අතරතු‍රේම ඔහුට අවශ්‍ය වූයේ චිත්‍ර කලාව පිළිබඳව වැඩිදුරටත් හැදෑරීමය. දික්වැල්ල විජිත විද්‍යාලයේ උගන්වන කාලයේ ම ඔහුට ගිරාගම චිත්‍ර නැටුම් හා සංගීත විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණි. එහිදී ඔහු ඇතුළත් වුණේ එක් අවුරුදු පාඨමාලාවක් හැදෑරීම සඳහා ය. නමුත් එවකට විද්‍යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මකුලොලුව මහතා රත්නපාලට වසර දෙකේ පාඨමාලාව හැදෑරීම සඳහා අවසර ලබා දුන්නේ ය.

“ඔය පාඨමාලාව අවසන් වන කාල සීමාවේදී තමයි මට දැනගන්න ලැබුණේ රජයේ කලා ශිල්ප විද්‍යාලයට උපදේශකවරුන් බඳවා ගන්නවා කියලා. ඒ කාලේ ග්‍රැෆික් චිත්‍ර අංශයට ගුරුවරුන් හිටියේ නැහැ. මම ර‍ජයේ කලා ශිල්ප විද්‍යාලයේ ගුරු උපදේශකයකු ලෙස පත්වීම ලැබුවා. මුල්ම කාලේ කලා ශිල්ප විද්‍යාලය තිබුණේ කැලණිය විශ්ව විද්‍යාලය යටතේ. ඉන්පසුව එය කොළඹ විශ්වවිද්‍යාලය යටතේ තිබුණා. නමුත් අද වනවිට මෙය රජයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ලෙසින් ස්වාධීන ආයතනයක් බවට පත්ව තිබෙනවා.”

ඔහු ඒ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස මෙන් ම උපදේශකවරයකු ලෙසින් ද දෙදහස් පහ වසරේදී දෘෂ්‍ය සන්නිවේදන අංශයේ අංශාධිපති ලෙසින් ද කටයුතු කෙළේ ය.

ශිෂ්‍යයන්ට චිත්‍ර උගන්වන අතරේම රත්නපාල තම හැකියාවන් ඔප් නංවා ගැනීමට ද අවස්ථාව උදාකර ගත්තේ ය. ඔහු එක් වරක් එනම් එක්දහස් නවසිය හැට දෙක වසරේදී ලංකා කලා මණ්ඩලය විසින් සංවිධානය කරන ලද තරගයකට ඉදිරිපත්වූයේ ය. ඒ ‘මානව අයිතිවාසිකම් සුරකිමු’ යන්න පිළිබඳව පෝස්ටර් චිත්‍ර තරගයකි. මෙහිදී රත්නපාලට තරගයෙන් පළමු ස්ථානය ලැබිණි.

ඔහු ලැබූ ත්‍යාග මුදල වුණේ රුපියල් දෙසිය පනහකි. එක්දස් නවසිය හැත්තෑ එක වසරේදී පුවත්පතක පළවූ දැන්වීමකට අනුව ඔහු තවත් ලාංඡනයක් නිර්මාණය කළේය. ඒ ජාතික ඉතිරි කිරීමේ බැංකු ලාංඡන තරගයයි.

“මම ලෝගෝ එකක් නිර්මාණය කළා. එහි කැටයකට මුදලක් දාන ආකාරයෙන් ඉතිරි කිරීමත්, වී කරලින් කෘෂිකර්මාන්තයත්, දැති රෝදයෙන් කර්මාන්තයත් ලොකු පොඩි රවුම් වලින් සංවර්ධනයත් යන කරුණු සංකේතවත් කළා. තරගය සඳහා ආපු නිර්මාණ තෝරලා තිබුණේ හය දෙනකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක්. මම තරගයෙන් පළමුවැනියා ලෙස තේරුණා. පළමු තෑග්ගට ලැබුණේ රුපියල් දෙසිය පනහක්.

මට මතකයි මම ඒ මුදල ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමක තැන්පත් කළා. උත්සවය පැවැත්වුණු දා රාත්‍රි ප්‍රවෘත්ති වලදී ඒ බවත් කියවුණා. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ලාංඡන තරගයෙන් පළමු තැන ගත් කෙනා ඔහුට ලැබුණ තෑගි මුදල බැංකුවේ තැන්පත් කළා කියලා. මේ ලාංඡනය ඇඳලා අවුරුදු ගාණක් ගෙවුණා. බොහෝ අය දන්නේ නැහැ එය ඇන්දේ මම කියලා.

බැංකුවට අවුරුදු හතළිහක් සම්පූර්ණ වෙද්දී මම ගිහිල්ලා බැංකුවේ පාලනාධිකාරියට කිව්වා මේ ලාංඡනය ඇන්දේ මම කියලා. ඔවුන් ඒ බව දැන සිටියෙත් නැහැ. මගේ පැමිණීම ගැනත් ඒ අය සතුටු වුණා.”

රත්නපාලගේ ලාංඡන ඇඳිල්ල එතැනින් නතර වූයේ නැත. ඔහු ලුණු සංස්ථාවට ද ලාංඡනයක් නිර්මාණය කළේය.

“වලාකුළු, ඉර එළිය, පරිසරය, ආදිය එකතු කරලා ලුණු කැට හැදෙන හැටි තමයි ලාංඡනයේ නිර්මාණය කළේ. මම ඒ තරගය ගැන දැනගත්තේ පත්තරයෙන්. මගේ නිර්මාණය පළමු තැනට තේරුණා. ඊට පස්සේ එවකට ලුණු සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරපු මහත්මයා මට කතාකරල කිව්වා මේකට සිංහයෙකුත් අඳින්න කියලා. ඔහුගේ ඉල්ලීමට මම සිංහයෙකුත් ඇන්දා. නමුත් ලුණු සංස්ථාවේ ලාංඡනය බොහොම ටික කාලයයි භාවිතා වුණේ.

ඔය වගේම මට ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ ලාංඡනයත් ඇඳීමේ අවස්ථාව ලැබුණා. ඒ සඳහාත් ලැබුණේ රුපියල් 200ක් වගේ මුදලක්. ඒ ලාංඡනයත් ටික කලකින් වෙනස් වුණා. දැන් ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ ලාංඡනය හැටියට භාවිතා කැරෙන්නේ ලේක්හවුස් ආයතනයේ බුදුසරණ පුවත්පතේ වැඩ කළ අපේ මිත්‍ර ජස්ටින් ඇඳපු එකක්.

ඔහු අපිත් එක්කමයි ඉගෙනගත්තේ. දැන් ඔහු ජීවතුන් අතර නැහැ. ඉන්පස්සේ මම පාරම්පරික චිත්‍ර ශිල්පී ව්‍යාපෘතියේ ලාංඡනයත් නිර්මාණ කළා”.

ඔහු අදටත් බොහෝ ප්‍රිය කරන්නේ චිත්‍ර ඇඳීමටය. එපමණක් නොව ඔහු ඉගැන්වීමට ද දක්ෂයෙකි. විශ්වවිද්‍යාල ජීවිතයෙන් විශ්‍රාම ලබා සිටින රත්නපාල අද ජාතික කෞතුකාගාරයේ පාරම්පරික චිත්‍ර ශිල්පි ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි. නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස චාල්ස් රණතුංගයන් කටයුතු කරයි.

දෙදහස් අට වසරේදී අපේ රටේ නිදහස වෙනුවෙන් පැරිසියේ දී චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වනු ලැබීය. එය සංවිධානය කරන ලද්දේ Mona Bismarlk Foundation විසිනි. ඒ සඳහා ලාංකික චිත්‍ර ශිල්පීහු බොහෝ දෙනෙක් නිර්මාණ ඉදිරිපත් කළහ. එහිදී ප්‍රචාරක පත්‍රිකාව සඳහා යොදාගෙන තිබුණේ රත්නපාල ද සිල්වා විසින් අඳින ලද චිත්‍රයකි.

මීට අමතරව ඔහු සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් මුද්දර හතරක් ද නිර්මාණ කළේය. එක් මුද්දරයක ඇත්තේ මහියංගන චෛත්‍යයයි. අනෙක් එකේ ඇත්තේ යක්ෂ දමනයයි. තවත් එකක ඇත්තේ මත්පැනින් තොර වෙමු යන තේමාවයි. මම පාරම්පරික චිත්‍ර කලා ව්‍යාපෘතියට සම්බන්ධ වුණේ ඇස්.පී.චාල්ස් මහත්මයා නිසයි. වි.ජ.මු.ලොකු බණ්ඩාර මහත්තයා සංස්කෘතික ඇමැති ලෙස කටයුතු කළ කාලයේ තමයි මෙය ආරම්භ වුණේ. එහිදී මෙම ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ චාල්ස් මහත්මයා.

එක් අවස්ථාවක මම කොටුව සමුද්‍ර ගැලරියේ මාර යුද්ධය නම් චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූවා. විශ්‍රාමි‍කයෙක් වුණාට මම තාමත් නිකං ඉන්න මොහොතක් නැහැ. තවමත් මගෙ අතට පින්සල වලංගුයි. ඒ වගේම මම පන්සල් චිත්‍ර අඳිනවා. රත්මලාන තිලකරත්නාරාමයේ චිත්‍ර ඇන්දේ මං. අනෙක් පන්සල තමයි පන්නිපිටිය ගල උඩ පන්සල.

මං මේ පන්සල් දෙකේ චිත්‍ර ඇන්දේ සෙනසුරාදා ඉරිදා දවස්වල චිත්‍ර අඳිනවා කියන්නේ මට පුදුමාකාර මානසික සුවයක්. ඉදිරියේ දී අපේ රටේ පන්සල් චිත්‍ර අඳින ශිල්පීන් නැතිවී යාවී කියලා අපට බයක් තිබෙනවා. ඒ නිසාම අපි පාරම්පරික චිත්‍ර කලා ව්‍යාපෘතියේ දී ඉගෙනගැනීමට එන අයට පන්සල් චිත්‍ර ඇඳීම සඳහා ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුව ලබා දෙනවා.”

ඔහු තම දක්ෂතාව පසුපස හඹා යමින් මුදල් උපයන්නේ නැත. ගුරුකමෙන් සහ චිත්‍ර ඇඳීමෙන් ඔහු අප්‍රමාණ වූ සතුටක් විඳියි. පළමු ගුරුපත්වීමේදී හඳුනා ගන්නට ලැබුණ එම පාසලේ විද්‍යා විෂය ඉගැන්වූ මල්ලිකා ගුණතිලක ප්‍රිය බිරිය ඔහුගේ මේ කැපකිරීම් කැපවීම් හමුවේ ඇයට හැකි සහාය ලබා දෙයි.

“අද වෙනකොට මට සතුටක් තිබෙනවා මං මෙච්චර දුර ආවේ මගේ හැකියාව නිසා කියලා. ඒ වගේම වසර ගණනාවක් පුරා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ලබලා තියෙන දියුණුවත් සමඟ මම නිර්මාණය කළ ලාංඡනයත් සමඟ මේ යන ගමන දුටුවම මට ආඩම්බරයි.”


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]