![]() ![]() |
||
සූපවේදියකුගේ කෑම මේසයසුද්දන්ට කොළ කැඳ පුරුදු කළ ටාජ් සමුද්‍රා හෝටලයේ ප්‍රධාන විධායක සූපවේදී චෙෆ් ක්‍රාවගේ
ක්‍රාවගේ ධෛත්‍ය හෙවත් 'චෙෆ් ක්‍රාවගේ' අයත් වන්නේ ද එවැනි විරල මිනිසුන් අතරටය. සූපවේදියකු ලෙස ගෙවී ගිය පහු ගිය තිස් හය වසර පමණක් නොව පහුගිය 53 වසර ම තමන් ගෙවා ඇත්තේ මේ මහපොළවට ඵලදායි මිනිසකු ලෙස යැයි ඔහුට හැඟෙයි. එවිට දැනෙන ඒ ආත්මීය සතුටෙන් මොහොතකට සිත පිරී යයි. කොළඹ ටාජ් සමුද්‍රයේ ප්‍රධාන විධායක සූපවේදී තනතුරට පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා ද ඔහුය. මේ වන විට ජාත්‍යන්තර තලයේ සහ ශ්‍රී ලාංකේය සූපවේදී සංවිධාන, සම්මේලන රැසක තනතුරු හොබවන ඔහු, ගෝල බාලයන් රැසක් බිහි කළ ජ්‍යෙෂ්ඨ සූපවේදියකු ද වන්නේය. එමතු නොව, හේ දූරු දෙදෙනකුගේ ආදරණීය තාත්තෙකි. දුක, කඳුළ මෙන් ම සිනහවද අඩුවැඩිව ආ මඟේ, අද මල් පිපී ඇති බව හැබෑය. එහෙත් සූපවේදී ක්ෂේත්‍රයේ රන් පදක්කමක් හෝ ජයග්‍රහණයක් ලද හැම විටෙක ඒ අතීතය ඔහු හමුවේ නැඟී හිඳින්නේ කැඩපතක මෙනි. එනිසා කිසිසේත් ඔහුට අතීතය අමතක නැත. ළමා කල ගෙවී ගිය බළංගොඩ, උඩගම මහා විද්‍යාලයේ උගන්නා සමයේ තාත්තා හේන් වැඩවලට එක්ක ගිය හැටි, හේන් කිරීමේ දුෂ්කර බව අත්විඳි හැටි අදත් ඔහුට මතකය. 'මගේ තාත්තා පරණ විදුහල්පතිවරයෙක්. පවුලේ දරුවෝ අට දෙනයි. මං හත්වැනියා. අම්මා තාත්තා දෙන්නම අපි අටදෙනාට ම හොඳින් ඉගැන්නුවා. ඒ අතරම මේ මහ පොළොවෙ පය ගහලා ජීවත්වෙන හැටි කියා දුන්නා. ඉස්කෝල මහත්තයෙක් වුණා කියලා තාත්තා ගොවිතැන් නොකර හිටියෙ නැහැ. එයා කැලේ ඇවිදලා මැල්ලුමට ගුණ පළා කොළ කඩාගෙන ආවා. ඒ ගේන මියන්දලු මැල්ලුමේ රහ මට තවම මතකයි. අම්මා හදපු පොළොස් ගැට මාලුව තමයි ඒ කාලේ අපි කාපු ඉස්තරම් ම රසම කෑම. අම්මලගෙ පැත්තෙ අයට තිබුණා සුද්දන්ගේ කාලේ ඉඳලා කරගෙන ආව තේ කඩයක්. අම්මට පුළුවන් එක එක ජාතියේ සිංහල කෑම හදන්න. අම්මා එක්ක තල ගුලි කොටන්න, වැලි තලප හදන්න, හැලප තම්බන්න විතරක් නෙවෙයි, දොදොල් හදද්දි පදම එනකල් හැඳි ගාන්නත් පැණි පදම ගන්නත් අපි ඉගෙන ගත්තා. මේ හැම කෑමක් ම අම්මා හදලා දුන්නෙ දරුවො අට දෙනාට. හැබැයි වැඩිපුර උදව් කළේ මං. ඒත් අපි හොඳින් ඉගෙන ගත්තා. මං උසස් පෙළට කළේ විද්‍යා විෂයන්. ඒ වෙනකොට මං කොළඹ ස්ටැෆර්ඩ් විදුහලට ඇවිත්. නැවක කැප්ටන් කෙනෙක් වෙලා ලෝකෙ වටේ යන හීනෙ මට පිස්සුවක් වෙන්නෙ ඔය කාලෙ. අන්තිමේ මං ඒ ආසාව අතැරලා 1978 වසරේ හෝටල් සංස්ථාවේ, පුහුණු කළමනාකරණ පාඨමාලාවට බැඳෙනවා. නුවර, හොටේල් දෙහිගම, ස්විස් සහ කුවින්ස් කියන හෝටල්වලයි මගේ ප්‍රායෝගික පුහුණුව. ඊළඟ පුහුණුවට මං ආයේ කොළඹ එනවා. ඒ 'සිලෝන් හොටේල් ස්කූල්' පාඨමාලාවට. කෑම් බීම් පිළිබඳ සියලු දැනුම ලබා ගන්නේ එතැන් පටන්. ඒ පුහුණුව තිබුණේ ට්‍රයිට්න් හෝටලයේ.
මේ වෙනකොට කොළඹ සහ දකුණේ තරු හෝටල් බොහොමයක විධායක සූපවේදී තනතුරේ හිටියේ සුද්දෝ. බොහෝවිට මං පුහුණුව ලැබුවේ ඒ සුදු ජාතිකයන්ගෙන්. මගේ ජීවිතේ ලබපු සුවිශේෂී ම අත්දැකීම තමයි, ජේම්ස් පැකර්ගේ තාත්තා, කෙරී පැකර් ගේ පාවෙන යාත්‍රාවේ ඔහුගේ පෞද්ගලික සූපවේදියා විදියට වැඩ කරන්න ලැබීම. ඔහු මනුෂ්‍යයෙක් හැටියට ඉතාම නිහතමානි කෙනෙක්. මං අන්තිමට එහෙන් ආවේ ඔහුට ලංකාවේ කොත්තු රොටිත් කවලා, පස්සෙ පස්සෙ ඔහු බොහොම ආසා කළා කොත්තු රොටිවලට. මං විතරයි ඔහුගෙන් ගුටි නොකා හිතවත්ව ඉවත් වුණු එකම සූපවේදියා. ඔහු ධන කුවේරයෙක්. ලෝකයේ වෙනස්කමක් ඇති කළ පුද්ගලයෙක්. මට හොඳට ගෙව්වා. ඒත් මගේ දරුවන්ට මං ළඟ නැති පාළුව හුඟක් දැනුණා. දරුවන් සහ බිරිය ගැන හිතලයි මං එතැනින් ඉවත් වුණේ..." අධ්‍යාපනය කඩා කප්පල් කර ගත්, දුප්පත් තරුණ ළමයි බොහෝමයක් මං සූපවේදී ක්ෂේත්‍රයට යොමු කර තිබෙනවා. මේ වන විට එහෙම තරුණයන් 320 කට ආසන්න ප්‍රමාණයකට ජීවිතේ හරි පාරක් කියා දීලා තිබෙනවා. NITA එක හරහා මේ වැඩේ මං කරන්නේ සම්පූර්ණයෙන් නොමිලයේ. එහෙම කරන්නෙ හේතුවක් ඇතිව. මගේ තාත්තා පුළුවන් ධෛර්ය දාලා අපිට ඉගැන්නුවට ඒ කාලෙ අද තරම් පහසුකම් තිබුණෙ නැහැ. අනික අපි පෝසත්තු නෙවෙයි. මට මතකයි, එක හදිසි කරදරයක් වෙලා මට අලුත් බෝඩිමක් හොයා ගන්න අතේ සල්ලි නැතිව කොටුව ස්ටේෂමේ නිදාගත්තා. පාන්දර පහට ස්ටේෂමේ මුරකාරයෝ වතුර ගැහුවා. ඇඳුම් බෑග් එකයි මාවයි නෑවිලා ගියා. දවස් දෙකක් මට සිද්ධ වුණා ස්ටේෂමේ රෑ ගත කරන්න. ඒත් මං වැටුණෙ නැහැ. හැම දේටම මුහුණ දෙමින් කාට හරි පුළුවන් උදව්වක් කරමින් මේ ගමන ආවා. කට්ට කාපු ඒ අතීතය මට අමතක වෙන්නෑ. කාට හරි අත දෙන එක මට සතුටක් ලෙස දැනෙන්නේ ඒ හින්දා”. කෑම් බීම් සහ විනෝද වීම් අඩු නැති හෝටල් ක්ෂේත්‍රයේ 36 වසරක් ගෙවා දැමුවද ඔහු කිසි දිනෙක මත්පැන් බිඳකුඳු රහ බලා නැත. සිගරට්ටුවක හෝ රහ බලා නැත. එහෙම ඉන්නට පුළුවන් දෝ' යි, කෙනකුට හිතුණත් ඒ ඇත්ත රකින්නට ඔහු බැඳී සිටින්නේ හදවතින්මය. "මං මේ රස්සාවට ආ පළමු දවසේ මගේ තාත්තා මට කිව්වා, 'පුතේ කවුරු හරි කොයි තරම් පෙරැත්ත කළත්, මොන තරම් ලැබුණත් කවදාවත් සිගරට් අරක්කු බොන්න එපා. රස්සාවට වංචාවක් කරන්න එපා. අයථා විදියට නැතිව දාඩිය මහන්සියෙන් විතරක් උපයන්න. මගේ පුතාට කවදාවත් වරදින් නෑ...' කියලා. තාත්තා කියපු ඒ වචන ටික හැමදාම මගේ කණේ දෝංකාර දුන්නා. කොළඹ තරු හෝටල්වල සුද්දන්ගේ උදේ කෑමට කොළ කැඳ එක්කළ පළමු සූපවේදියා චෙෆ් ක්‍රාවගේ, එදා අම්මාගේ අතින් රහට උයා කෑ ගමේ එළවළු පලා රැසක් මෙදා ටාජ් සමුද්‍රයේදී සුද්දන්ට හදා පිළිගන්වයි. ඔහුටම ආවේණික එවැනි රස මසවුළු වලට ඇත්තේ ද හොඳ ඉල්ලුමකි. චෙෆ් ක්‍රාවගේ හඳුන්වා දුන් අමු අඹ සහ කජු පුඩිම
බටර් ග්‍රෑම් 130 බිත්තර 03 අමු අඹ අයිස් ක්‍රීම් ග්‍රෑම් 200 කජු නට් ග්‍රෑම් 75 වයිට් චොක්ලට් කුඩු ග්‍රෑම් 35 මීකිරි ග්‍රෑම් 125 පිටි ග්‍රෑම් 200 බේකින් පවුඩර් ග්‍රෑම් 5 කිරි මි.ලී. 100 අඹ ගෙඩි 1 බිස්කට් ගාර්නිෂ් ග්‍රෑම් 25 සාදන ක්‍රමය සීනි සහ බටර් හොඳින් මිශ්‍ර කරන්න. ඊට ගසාගත් බිත්තර ටිකෙන් ටික එක් කරන්න. බේකින් පවුඩර්, කජු වයිට් ෙචාක්ලට් කුඩු, මිශ්‍රණයට එක් කර යළි හොඳින් මිශ්‍ර කරන්න. අවසානයේ මීකිරි ටික ද ඊට එකතු කර මිශ්‍ර කරන්න. අවන් එකක දමා සෙ. අ. 150 යටතේ බේක් කරගන්න. ශීතවීමට විනාඩි 15 ක් පමණ එළියේ තබන්න. ග්‍රීන් මැංගෝ සෝස් එක සාදාගන්නා ක්‍රමය අමු අඹ මද ගින්නේ සීනි සමඟ කුරුදු කෑල්ලක් දමා තම්බා ගන්න. අවශ්‍ය නම් වයිට් වයින් ටිකක් ද එකතු කරගන්න. තැම්බූ අඹ මද ටික හැන්දක ආධාරයෙන් සූරා ගෙන බ්ලෙන්ඩරයක ගසා ගන්න. ඇඹුල් රස වැඩිනම් ලුණු ස්වල්පයක් එකතු කරගන්න. ඊළඟට හොඳින් ගසා ගත් විප් ක්‍රීම් ටිකක් ද එකතු කරගන්න. ඡායාරූපයේ පෙනෙන පරිදි කැමැති බිස්කට් ගාර්නිෂ් එකක් යොදා සරසා ගන්න. අමු අඹ සෝස් සහ අමු අඹ අයිස් ක්‍රීම් සමඟ පුඩිම එක්වූ විට ප්‍රණීත රසයක් උපදිනු ඇත. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |