![]() ![]() |
||
ජෝන් ගෙන් ඈත්වී හාමන්ට ළංවෙයි
ජෝන් ඒබ්‍රහම් තරම් හාමන් බවේජා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් අතර තවම ජනප්‍රිය වී නැහැ. තිස්තුන් වැනි වියෙහි පසුවන ඔහු තවමත් රඟපා ඇත්තේ බොලිවුඩ් චිත්‍රපට පහක පමණයි. 2008 දී තිරගත වූ 'ලව් ස්ටෝරි 2050' චිත්‍රපටයේ රඟපෑමෙන් සිනමාවට එක්වූ හාමන්ට බොලිවුඩය ආගන්තුක තැනක් නොවෙයි. ඔහුගේ පියා චිත්‍රපට කලා අධ්යක්ෂවරයකු වන හැරී බවේජායි. මව, පම්මි බවේජා. හාමන්, ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා තිබෙනවා. ඔහුට, බිපාෂාව මුලින් ම මුණ ගැසී ඇත්තේ බොලිවුඩ්පුරයේ මහා නළු, අමිතාබ් භච්චන්ගේ හැත්තෑ වැනි උපන් දිනය දායි. ඒ, 2012 දීයි. එදා ඇතිවූ කතාබහ තමයි ආදරයකට මුල පුරා තිබෙන්නේ. ඒ වුණත් මාස කිහිපයක් යනතුරු මේ බවක් නොහඟවන්නට බිපාෂාත් හාමනුත් වග බලා ගත්තා. මේ ගැන හෝඩුවාවක් ඉව වැටුණු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු දෙදෙනාගෙන් ම එහෙන් මෙහෙන් ප්‍රශ්න ඇසුවා. ඒත් දෙදෙනාම ඒ කිසිම ප්‍රශ්නයකට උත්තරයක් දුන්නේ නැහැ. පසුගිය සතියේ දී තමයි හාමන් - බිපාෂා ප්‍රේම කතාව 'නිල වශයෙන්ම' ප්‍රකාශයට පත්වුණේ. ඒ, හාමන් සහ බිපාෂා විසින් මාධ්‍ය වෙත කරන ලද කෙටි ප්‍රකාශ දෙකත් සමඟයි. හාමන් එය ප්‍රකාශ කළේ මෙහෙමයි... "අපි දෙන්නා බැඳුණේ ඉබේම වගෙයි. අපි දෙන්නගෙ සිතුවිලි එක වගෙයි. බිපාෂා හරිම සරල ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ වගේම එයා හරිම අවංකයි. මෙන්න මේ ගතිගුණ තමයි මගේ හිත ගත්තෙ." හාමන් මේ ප්‍රකාශය කළේ මීට සති කිහිපයකට පෙර. ඒත්, බිපාෂා නම් ඒ වන විට කිසිවක් කියා තිබුණේ නැහැ. කොහොම වෙතත්, තමන්ගේ ආදරය සැඟවිය නොහැකි තත්ත්වයට පත්වී ඇති බව වටහා ගත් බිපාෂා මෙලෙස කියා සිටියා..." "ඔව්. මම හාමන්ට ආදරේ කරනවා" මේ බව ඇය තම ට්විටර් වෙබ් පිටුවෙහි ද සටහන් කළා. මේ අතර තවත් ආරංචියක සඳහන් වුණේ හාමන් සහ බිපාෂා 2014 වසර තුළ දී කවදා හෝ අතිනත ගන්නට ලක ලැහැස්ති වෙමින් සිටින බවයි. ඓශ්වර්යා වෙන්ව ඉන්න තීරණයක?
ජයා භච්චන් ඒ තරමටම තමන්ගේ පවුලේ අයගේ පෞද්ගලිකත්වය රැක ගන්නට නිතරම උත්සාහ ගන්නවා. මේ ගති ස්වභාවය ඇතැම් තැන්වලදී සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ නිසා ඇගේ මේ හැසිරීම් ඓශ්වර්යාට වධයක් වෙලා. භච්චන් පවුලේ සමීපතමයන් කියන්නේ ජයා අනවශ්‍ය අන්දමින් අභිෂේක් සහ ඓශ්වර්යාගේ පෞද්ගලික සහ වෘත්තීය කටයුතුවලට ඇඟිලි ගසන බවයි. මේ ගති ඓශ්වර්යාට නම් 'අල්ලන්නේ' නැතිලු. ඒ නිසා ඇය මේ දිනවල නැන්දම්මාත් එක්ක අමනාපෙන් සිටින බවයි පැවසෙන්නේ. දෙදෙනාගේ අමනාපය පසුගියදා පැවැත්වුණු සුපිරි උපන්දින සාදයකදී දකින්නට ලැබුණා. ඉන්දියාවේ ධනවතෙකුගේ බිරියගේ උපන් දිනය සමරන්නට පැවැත්වුණු මේ සාදයට අමිතාබ් - ජයා යුවළත් අභිෂේක් - ඓශ්වර්යා යුවළත් එක්වුණා. සාදයට පැමිණි මොහොතේ සිට එයින් පිටව යනතුරු ජයා සහ ඓශ්වර්යා අතර කිසිඳු කතාබහක් තබා එකිනෙකාගේ මුහුණුවත් නොබැලු බවයි අවට සිටි බොහෝ දෙනා ප්‍රකාශ කර තිබුණේ. ඓශ්වර්යා අභිෂේක් ළඟින්ම රැඳී සිටිද්දී ජයා, අමිතාබ් සමඟ මඳක් ඈතින් තිබූ මේසයක් අසල වාඩිවී සිටි බවත් පැවසෙනවා. මේ නුරුස්නා ගතිය මීට පෙර අවස්ථාවකදීත් හොඳින්ම දකින්න ලැබුණා. ඒ, ප්‍රවීණ නිළි හේමා මාලිනීගේ බාල දියණිය වන ආහනා ඩියොල්ගේ මංගල උත්සවයේදීයි. ඒ අවස්ථාවේදීත් ඓශ්වර්යා - අභිෂේක් යුවළ අසුන් ගත්තේ 'මහ භච්චන් යුවළට' මඳක් ඈතින්. "ජයා භච්චන්ට ඕනෑ තමන්ගෙ පවුලේ අයගෙ ගෞරවය රකිමින් ඒ අයව ආරක්ෂා කරන්න. ඒත්, ඒක සීමාව ඉක්මවා ගිහින්. එයා ඓශ්වර්යාගෙ සිනමා ජීවිතයට අදාළ කාරණාත් මෙහෙයවන්න හදනවා. ඓශ්වර්යා ඒකට කැමැති නැහැ. මේ හින්දා දැන් ඓශ්වර්යාට ඕනැ වෙලා තියෙන්නෙ පුංචි දුවයි අභිෂේක්වයි එක්ක වෙනමම ජීවත් වෙන්නයි." භච්චන් පවුලේ හිතවතෙකු එලෙස පැවසුවා. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |