කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ටිකිරි හමුව

අපි දළදා මාලිගාවට ගියෙමු

ගෙදර වත්තේ පිපී තිබූ ලස්සන මල් කූඩයක් පුරවාගෙන මහනුවර දළදා මාලිගාවට ගෙන ගියෙමු. මාලිගාවට ඇතුළු වීමට ගේට්ටු ගණනාවක් පසුකරගෙන යාමට තිබුණි. ඒ යන අතරතුර ඩී.එස්. සේනානායක මැතිතුමාගේ පිළිරුව පෙන්නුවේය. එතුමා ලංකාවේ පළමු අගමැති තුමා බව කියා දුන්නේය. මද්දුම බණ්ඩාර ළමා වීරයාගේ පිළිරුවද, හේමමාලා කුමරියගේ හා දන්ත කුමරුගේ ප්‍රතිමාවන් දැක්කෙමි.

එදා සුදු ජාතිකයෝ විශාල පිරිසක් මාලිගාවේ සිටියහ. ඒ අය සුදු රෙදි හා සාරි කැබලි ඇඳ සිටියහ. මම ලොකු තාත්තාගෙන් ඒ අය‍ෙග් අඳින ඇඳුම් දැයි ඇසුවෙමි. සුදු ඇඳුමෙන් සැරසී සංවරව සිටීමට මාලිගාවෙන් ඒ ඇඳුම් ලබා දෙන බව කීවේය. අපි පොල්තෙල් පහන් වීදුරු ගෙයක තබා පත්තු කළෙමු. හඳුන්කූරු ඒ අසල තිබූ භාජනයක දැල්වූවෙමු. පසුව මාලිගාව ඇතුළට ගියෙමු.

මාලිගාව ඇතුලේ තිබූ කුඩා චෛත්‍යයට මල් තබා වැන්දෙමු. දන්ත ධාතුන් වහන්සේ වැඩිසිටි කුටිය ඉදිරියට ගොස් වැඳ පුදා ගත්තෙමු. එහි තිබූ රූපවාහිනියේ දළදා මාලිගාවේ සියලුම කටයුතු ගැන ප්‍රචාරය වුණි. මම එදෙස බොහෝ වේලාවක් බලා සිටියෙමි. එතැනදි නැවත වතාවක් දළදා මාලිගාවට යෑමට සිතුවෙමි.

ඒ.එච්. චම්පිකා ජයමිණි

4 ශ්‍රේණිය,

මල්දෙණිය මහා විදුහල,

කොත්මලේ.
 

පසළොස්වක දා....

පුරා සඳක් පුරා ආලෝකය විහිදුවණා
කහ පැහැති සළුවක් මෙන් එතී තියෙන්නා
ඒ පසළොස්වක දා ව‍ූ සඳ පේනා
වටකුරු මේ විශාල සඳ මා හට දැන් පේනා

තෙල් මල් සුවඳ දුම් අරගෙන
සුදු ඇඳුමින් සැරසීගෙන
බුදුන් දෙසූ දම් අහන්න
යන්නේ සිත පහන් වන්න

සිතේ බරයි ගතේ බරයි නැති වී යන දවස මෙයයි
පන්සල වෙත පියමනින්නේ ශාන්ත වූ අයුරකිනියි
පුන්සඳ මඬල පුර‍ා අහස දිදුලවන්නේ මේ දවසයි
පසළොස්වක පොහොය දිනේ බැති ගී මේ සමුදායයි

ඩබ්.ඒ.එම්.එස්. පූර්ණිමා දිල්හානි අබේසිංහ

11 ශ්‍රේණිය,

මොරගොල්ල,

මහව‍.
 

කියවීමේ වටිනාකම

කියවීම සම්පූර්ණ මිනිසකු බිහි කරයි යනුවෙන් පඬිවඳනක් ඇත. කියවීම ඉතා හොඳ පුරුද්දකි‍. කියවීම සඳහා අප හුරු පුරුදු විය යුතු ය. කියවීම සඳහා පොත්පත් සඟරා ආදිය පුස්තකාලවලින් ලබාගත හැකි ය.

දිනපතා පුවත්පත් කියවීම අප පුරුද්දක් කරගත යුතු ය. කියවීම සඳහා දරුවන්ට සුදුසු පොත්පත් මවුපියන් විසින් තෝරා දිය යුතු ය.

අපගේ අනාගතය සාර්ථක කර ගැනීමටත්, දැනීම වර්ධනය කරගැනීමටත්, ලෝකය ගැන දැන ගැනීමටත්, කියවීම මහෝපකාරී වන බව සිතේ තබා ගතයුතුයි.

ගයනක මධුෂාන්,

5 ශ්‍රේණිය,

කෑගලු වි., කෑගල්ල.

පැටියාගේ කවිය

තුම්පත් රෑනෙ මම හුරතල් පොඩි පැටියා
අම්මත් සමඟ හරි සතුටින් අපි හිටියා
දවසක් ඇවිදිමින් අපි කැලයේ සිටියා
වැවේ මඩ වළක මගෙ පය එරිල ගියා

මං ගොඩ ගන්න මගෙ අම්මා වෙහෙස වුණා
අයියත් අම්මාට සෑහෙන උදව් වුණා‍
අම්මගෙ කෑ ගැසිල්ලට නෑදෑයොත් පිරුණා
මා ගොඩ ගන්න ඒ කාටත් නොහැකි වුණා

සඳ බැස ගොසින් අරුනලු පිබිදී ආවා
වැවට ආ කෙනෙකු මං ඉන්නව දුටුවා
සුළු මොහොතකින් මහ සෙනඟක් එක් වූවා
දහවල් වෙද්දි ඒ අය මා ගොඩ දැමුවා

එතන උන් අයෙක් මා අතගා බැලුවා
මූ හරි දුර්වලයිනේ කියලත් කීවා
ඇත්තුරු සෙවණ වෙත මූ ගෙනයමු කීවා
මට බැහැ කියා මං හයියෙන් කෑ ගැහුවා

කරනට කිසි දෙයක් මා හට නැති කලට
කැලේ උපන් මං එනවිට නගරයට
කැලෑ ඉමේ සිට අම්මා හැඬුව හඬ
අදටත් ඇසෙනවා මගෙ මේ දෙසවනට

බෝතල් කිරි ලැබුණි බඩගිනි නම් නිවුණි
අම්මගෙ කිරි තරම් ඒවා රස නොවුණි
අලුත් යාළුවෝ ගොඩකුත් මට ලැබුණි
අම්මා නැති අඬුව මට හොඳටම දැනුණි

දවසින් දවස කාලය ‍ගතවී යන්නේ
එතැනින් මාව පන්සලකට දන් දෙන්නේ
සතුටක් හෝ දුකක් මට නම් නොදැනෙන්නේ
සසරේ ගෙනා පින් පව් මම ගෙවන්නේ

පොඩි හාමුදුරුවෝ රස පලතුරු මට දෙනවා
ඇත්ගොවුවා මවු පිය සෙනෙහස දෙනවා
මහ පෙරහැරේ කරඬුව ගෙන මම යනවා
සිහිනෙන් කැලේ මං දුව පැන ඇවිදිනවා

වැව් ඉවුරේ මඩ නාගෙන සිටින්නට
පැන හේනකට පීදෙන පැළ ටික කන්ට
අම්මගෙ තුරුල්ලේ මොහොතක් රැදෙන්නට
ආසයි ආයිමත් මට කැලයට යන්ට

කේ.ජී. ප්‍රදීපා මහේෂිකා,

12 ශ්‍රේණිය (2015 කලා)

ඩෙන්සිල් කොබ්බෑකඩුව මහ විද්‍යාලය, හාලිඇල,

බදුල්ල.

අපේ පන්සල

සැතපුම් තිහක් පමණ දුර ඇති ගමන
සල් මල් වලින් වටවූ මනරම් තැනක
අරමක් තිබුණි නිසසල ඒ ගම කොනක
සල් මල් වෙහෙර යැයි කියනවා සැම එයට

ගමටම සෙත සලන අපෙ රම
ගුණ දම් සොදින් රැක්මට අත දෙන අරම
කහ සිවුරේ ඇසුර ලබනා හැම විටම
පින්වත් බිමකි අද අප සල් මල් අරම

පුන්සඳ ඈත අහසේ පායා එද්දි
වෙහෙර මලුව සුදු පාටින් බබලද්දි
අරමේ කොනක ගාථා හඬ මතුවෙද්දි
සාධු! සාධු හඬ අරමින් මතුවන්නි

එස්.එම්. දිල්ශානි

12 ශ්‍රේණිය ‘බී’,

රිපන් බාලිකා විද්‍යාලය,

ගාල්ල.

වැස්ස වහිනවා

බිංදු බිංදු වතුර වැටෙයි මහ වැස්සේ
හරිම සීතලයි වැසි වසිනා දවසේ
තෙමි තෙමි නටන්නට ආසයි මට සිත්සේ
වැහැපන් තව වැහැපන් වැහැපන් වැස්සේ

ගලයි බොර වතුර මිදුලේ දෝරෙ ගලා
ඇළ දොළ ගංගා ද බැසයයි මුහුද බලා
වැසි ලැබුණාට සතුටින් ගස් උදම් වෙලා
පිබිදී නටයි මඳ සුළඟට සුබ පතලා

වැස්සට දොස්කියයි වැඩියෙන් වසින විට
එලෙසම දොස් නඟයි නියඟය ආ කලට
වැස්සෙන් ලැබෙන ජල කඳ නිති රැක ගන්ට
පෙර හෙළ රජුන් සිතුවෝ වැව් බඳවන්ට

ගොවිතැන් සරුවෙන්න වැස්සෙන් ලැබෙන නිති
ජලය පිරිමැසුම අපෙ යුතුකමක් වෙති
වැස්ස නැති වුණොත් ලෝකෙම නැසෙනු ඇති
වැස්ස උපදවන ගහකොළ රකිමු නිති

අතීක් අබිමාන්,

3 ශ්‍රේණිය ‘බී’,

සුජාතා විද්‍යාලය,

රඹුක්කන.
 

ජල සම්පත

වර්තමානයේ සොයාගෙන ඇති දත්ත අනුව ජලය තිබෙන එකම ග්‍රහලෝකය අපේ පෘතුවියයි. එම නිසා මිනිස්සුන්ට සහ සතුන්ට ගස් වැල්වලට ජීවත් විය හැක්කේ ජලය තිබෙන නිසයි. පෘතුවියෙන් 2/3 ජලයෙන් වැසී තිබුණට ලෝකය පුරාම ජලය බෙදී පවතින්නේ එකම ප්‍රමාණයකට නොවේ. 70% පෘථිවිය මතු පිටද 97.24% සාගර ජලය ලෙස පවතී. ගොඩබිම 30% ද පවතී.

අතීතයේ ජනාවාස බිහි වූයේ ගංගාශ්‍රීතවය. මිනිසුන්ගේ එදිනෙදා කටයුතු සඳහා ජලය අවශ්‍ය වේ. ජලය දූෂණය වූ විට ලෝකයේ පැවැත්ම සිතා ගැනීමට බැරි තරම්ය. ජලය නොමැතිව මිනිස්සුන්ට සහ අනෙක් සතුන්ට ගස් වැල්වලට ජීවත් විය නොහැක.

එම නිසා පුංචි අපි දැන්ම සිට සැලකිලිමත්ව ජලය පරිහරණය කළ යුතු වෙමු. නැතහොත් අප සියලු දෙනාම අනතුරේය. එසේම ජල සම්පත රැක ගැනීමට වන පෙත රකිමු.

එනිදු සූපසන් ප්‍රේමසුන්දර

2 ශ්‍රේණිය ‘බී’,

කේරි විදුහල,

කොළඹ 08.
 

මගේ පුංචි පූසා

සුදුම සුදුයි
රැවුල දිගයි
මගේ පුංචි පූසා
පුරු පුරුගා
වලිගෙ වනයි
මගේ පුංචි පූසා

දුමිඳු පුන්සර,

1 ශ්‍රේණිය ‘ඒ’,

සුදර්ශී ප්‍ර.වි.,

නාලන්ද.
 

සොබාදහම

පලදරා මල් පිපී ගස පුරා අතු සැදී
අපට සුවඳක් දෙන්න අතුපුරා මල් රැඳී
ලොවට සෙවණක් දෙන්න අපට නිතරම බැඳී
ඉන්න මේ සොබාදමට අපේ සැලකුම මදී

රැකගනීවි මිනිසුනේ සොබාදම පණ ලෙසට
දැනගනීවි එය ඉතා වටිනාම දෙය බවට
පලගනිව් එයට හොඳ සාත්තුවකින් පසුව
හෙට වරෙව් සොබාදම රකින මිනිහෙක් ලෙසට

ඩබ්.එම්. ගීෂානි නදීමාලි වීරතුංග,

13 ශ්‍රේණිය, (කලා)

කයිකාවල ම.ම.වි., මාතලේ.



ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]