![]() ![]() |
||
අහිංසක ලියමන
මපියා මාස කිහිපයක් තිස්සේ ස්නායු රෝගයකින් පෙළෙයි. ඖෂධවල ක්‍රියාකාරිත්වය නිසා ඔහුගේ ගත දුබලය. වෛද්‍ය මතය අනුව ඔහුට කාලයක් ඉකුත් වන තුරු රැකියාවක් කළ නොහැකිය. කොන්ත්‍රාත්කරුවකු වූ ඔහුට මීට වසර නවයකට පෙර සිය ව්‍යාපාරවලින් විශාල ලෙස පාඩු සිදු විය. මේ නිසා අප සතුව පැවැති නිවාස දෙකම විකුණා දැමීමට අපට සිදු විය. ඔහු මානසික වේදනාවකට පත් වූයේ මේ ඇද වැටීමත් සමඟ ය. නිවාස විකුණා ණය ගෙවූ පසු අපට ඉතිරි වූයේ සුළු මුදලකි. ඉන් පසු අප දිගින් දිගටම ජීවත් වූයේ කුලී නිවාසවලය. මේ කාලය තුළ පියාට සුළු කොන්ත්‍රාත්තු ලැබිණි. අමාරුවෙන් හෝ අප ජීවත් වූයේ එයිනි. දැනට වසර හතරක පමණ කාලයක සිට පියාට කිසිඳු කොන්ත්‍රාත් වැඩක් නොලැබිණ. එතැන් සිට ලැබුවේ ඉඩෝර කාලයකි. අප පවුල ජීවත් කරවීමට කර කියා ගත හැකි කිසිත් නොවූ ඔහු මුර රස්සාවකට ගියේ ය. ඉන් ලද පඩියෙන් ගෙවල් කුලිය ගෙවූ විට ඉතිරි වූයේ රුපියල් පන්දහසක් වැනි මුදලකි. නෑසියන්ගේ ද සුළු උපකාර අපට ලැබිණි. මා සාමාන්‍ය පෙළට ලියුවේ මේ සියලු බාධක මධ්‍යයේ ය. ඉන් මට ඒ හතක ද බී දෙකක ද ප්‍රතිඵලයක් ලද හැකි විය. නමුත් මා උසස් පෙළ පන්තියට ගිය පසු, වියදම් අධික වූ නිසාත්, බාල සොහොයුරිය පාසල් ගමන ඇරඹු නිසාත් ගෙවල් කුලිය නිසියාකාරව ගෙවා ගත නොහැකි වූ බැවින් අපට කුලී නිවෙසින් පිට වීමට සිදු විය. ඉන් පසු අප නැවතී සිටියේ ඥාති නිවෙසක ය. ගසින් වැටුණු මිනිසාට ගොනා ඇන්නාක් මෙන් මෙකල සිය රැකියා ස්ථානය වසා දැමු නිසා මපියාට ද රැකියාව අහිමි වී ගියේ ය. මගේ වැඩිමහලු සහෝදරයා මන්ද මානසික අයෙකි. ඔහුට හිටි හැටියේ කේන්ති යයි. එවිට ඔහු ගෙදර බඩු මුට්ටු පොළොවේ ගසා කෑගසන්නට පටන් ගනියි. මේ නිසා ගෙදරින් පිටව යන ලෙස අප ඥාතියාගේ බිරිය අපට කීවා ය. මින් පසු අප ඒ නිවෙස අසල ම තිබු කුඩා මුර මඩුවක ජීවත් වුණෙමු. අප මුර මඩුවක වෙසෙන බව අවට මිනිසුන් දැකීමෙන් ලජ්ජාවට පත් තවත් ඥාතියෙක් අප ඔහුගේ නිවෙසට කැඳවාගෙන ගියේය. එහිදී ද අපට මුහුණ දෙන්නට සිදු වූයේ දුක්බර තත්ත්වයකට ය. මේ කරදර සිදු වන විට මම උසස් පෙළට සූදානම් වෙමින් සිටියෙමි. මේ ඥාති නිවෙසෙහි දී ද අපට පල නොකියා පලා බෙදති. නමුත් වාසනාවකට මෙන් මපියා මා වෙනුවෙන් අරඹා තිබුණු රක්ෂණයක මුදලක් ලැබුණ නිසා කුලී නිවෙසක් ගැනීමට අපට හැකි විය. ඉන් පසු පියාට අලුත් රැකියාවක් ද ලැබිණ. ඉන් ඔහුට ලැබුණේ සුළු වැටුපක් වුවත් නෑ මිතුරන්ගේ උදව්වෙන් අපි ජීවත් වීමු. උසස් පෙළ විභාගයට මාසයක් පමණ තිබියදී පියා දරුණු ලෙස වෙනස් වීමට පටන් ගත්තේ ය. ඔහු අපට කුරිරු ලෙස බැණීමටත්, පහර දීමටත් වූයේය. මහ මඟ දී මිනිසුන් සමඟ රණ්ඩු සරුවල් වූයේ ය. මෙය මිනිසුන් ගේ උසළු-විසුළුවට ද ලක්විය. වැදගත් ලෙස ජීවත් වූ අප පියාගේ මේ වෙනස් වීම අපට අදහානොගත හැකි විය. මේ හැසිරීම නිසාම ඔහුට රැකියාව ද අහිමි විය. අවසානයේ දී ඔහු මානසික රෝහලට ඇතුළු කිරීමට සිදු විය. ඉන් පසු තත්ත්වය පාලනය වුණ ඔහු නිවෙසට කැඳවා ගෙන එන ලදි. දැන් මගේ ඉගෙනීමේ කටයුතු බොහෝ දුරට හමාර ය. එහෙයින් රැකියාවක් වෙනුවෙන් වෙහෙසෙමි. එහෙත් සුබ දසුනක් නම් දැකිය නොහැකි ය. මෙතෙක් කල් අප ජීවත් වූයේත්, මා ඉගෙන ගත්තේත් ‘හිඟා නොකා හිඟා කාලා’ ය. මේ ගෙදර ද අපට විසීමට හැකි වන්නේ අප්‍රේල් මාසය දක්වා පමණි. ඉන් පසු තත්ත්වය අවිනිශ්චිතය. මා රැකියාවක් සොයා ගත්තත් ගෙදර වියදම පියවා ගැනීම හැර අපේ මූලික ප්‍රශ්නය වන නිවාස ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීම ගැටලු සහිතය. දැනට ද අප එදා වේල සොයා ගන්නේ අමාරුවෙනි. මම කුඩා දරුවන්ට අමතර පන්තියක් පවත්වා සුළු මුදලක් උපයා ගනිමි. සහෝදරයාගේ තත්ත්වය නිසා මගේ මවට ද රැකියාවකට යා නොහැකිය. ඔහු මව නොමැතිව අහරක් ගන්නේ හෝ නැත. ඔහුට කවන්නේ පොවන්නේ මෙන්ම සනීපාරක්ෂක වැඩ ටික කරන්නේ ද අම්මා ය. මව නැත්නම් ඔහුට තදින් කේන්ති යයි. ඒ තියා මගේ සහෝදරිය ද තව ම කුඩා ය. ඇයට ද මව වුවමනා ය. තාත්තා රැකියාවකට යොමු කිරීම කෙරෙහි තවදුරටත් බලාපොරොත්තු තැබිය නොහැකි ය. පෙර කී පරිදි ඖෂධ හේතුකොට ගෙන ඔහු දුර්වල වී සිටියි. ඉතින් මගේ එකම ඉල්ලීම වන්නේ අප පස් දෙනාට ජීවත්වීමට මේ මහ පොළොවෙන් පුංචි බිම් කඩක් ලබා දෙන ලෙස ය. අත්තිකාරම් මුදලක් සොයා ගෙන තවත් කුලී නිවෙසකට ගියත් ප්‍රශ්නය නොවිසඳෙයි. ඒ තබා අප සහෝදරයා අලුත් ගෙදරකට ගෙන යෑම මහත් වධයකි. ඔහු ත්‍රිරෝද රියකට නැග ගත් විට ඉන් බසින්නේ නැත. වෙනත් නිවෙසකට ඇතුළු වන්නේ ද නැත. මෙසේ දුක් උහුලමින් අප තව කුලී නිවෙස් කීයකට යන්න ද? මම මෙපමණ කලක් ලෝකයාට දුක නොකියා, සියල්ල ඉවසා දරා සිටියෙමි. අවසානයේ නෙළුම්විලට මේ ලිපිය ලියන්නට සිතුවේ අන්ත අසරණ තත්ත්වයට අප වැටී සිටින නිසා ය.
සත් ජනයනි, අපට පිහිට වන්න. එය සසර දුක කෙටි කර ගැනීමට මගකි. මොරටුවේ කොරළවැල්ල ප්‍රදේශයේ සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි. උදවු කළ හැකි අයගේ පහසුව තකා 0774982520 දරන දුරකථන අංකය සඳහන් කර තිබේ.
උලෙළක අසිරියනිර්මාණශීලී ලේඛක පරපුරක් බිහිකිරීෙම් අරමුණ ඇතිව බස්නාහිර පළාත් පාසල්වල සිසු දරුවන්ගේ නිර්මාණ ඇතුළත් ‘පැහැසර’ නිර්මාණ සංග්‍රහය දොරට වැඩීමේ උලෙළ පසුගිය දිනෙක උත්සවාකාරයෙන් පැවැත්විණ. ගුරුවරුන් කිහිප දෙනෙකුගේ ද, සිසුන් වැඩි පිරිසකගේ ද තෝරාගත් නිර්මාණ සෝදුපත් බලමින් සිටියදී අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වික්‍රමනායක මහතා ප්‍රශ්නයක් ඇසුවේය. “නයනා, වැඩියෙන්ම නිර්මාණ යොමු කරලා තිබුණේ මොන පාසලෙන් ද?” “යක්කල ශ්‍රී චන්ද්‍රජෝති විද්‍යාලයෙන්” මම පැවසිමි. “එහෙනම් ඔයා ඒ පාසලට කතා කරලා උත්සවය එහේ ගන්න සූදානම් කරගන්න.” ඔහුගේ උපදෙස් පරිදි පසු දිනෙක මම ඉහත සඳහන් විදුහලේ විදුහල්පති ස්වාමීන් වහන්සේ සමඟ දුරකථනයෙන් සාකච්ඡා කළෙමි. උන්වහන්සේ ඉතා කැමැත්තෙන් අවශ්‍ය සහයෝගය ලබාදීමට පොරොන්දු වූහ. ඒ අනුව උත්සවය පැවැත්වීමට දිනයක් නියම කරගත් පසු විද්‍යාලයට ගොස් විදුහල්පති ස්වාමීන් වහන්සේ හා ගුරුවරුන් මුණගැසී තවදුරටත් අවශ්‍ය කටයුතු සාකච්ඡා කළෙමි. විදුහලේ ගුරුවරුන් සිය කැමැත්තෙන්ම උත්සවයේ කටයුතු සඳහා සහයෝගය ලබාදීමට කැමැත්ත පළකළහ. “ඔබතුමිය කිසිම දෙයක් ගැන සැකයක්, බයක් ඇතිකර ගන්න එපා. අපේ පාසලේ ගුරුවරු අවශ්‍ය සියල්ලම කරාවි. උත්සවයට එන ආරාධිත අමුත්තන් සියලු දෙනාටම සංග්‍රහයත් අපි කරන්නම්. උත්සවය දවසට ශාලාව සකස් විය යුතු ආකාරය කියන්න. ඒ විදියට හරිගස්සලා දෙන්නම්.” ස්වාමීන් වහන්සේගේ වදන් හමුවේ මසිත විශාල බරකින් නිදහස් විය. මේ උත්සවය සඳහා වෙන්කර තිබූ සුළු මුදලින් කළ යුතු කාර්යයන් රැසක් නිසි අයුරින් සිදුකර ගන්නේ කෙසේද යන චකිතය එතැන් සිට දුරු විය. ගම්පහ අධ්‍යාපන කලාපයේ සිංහල විෂයය බාරව කටයුතු කළ අනෝමා මහත්මියත් ගුරු උපදේශක මහත්මීහු තිදෙනාත් එතැන් පටන් වරින් වර විද්‍යාලයට ගොස් අවශ්‍ය මඟපෙන්වීම් කරමින් විදුහලේ ගුරුවරුන්ගෙන් සහයෝගය ලබා ගත්හ. උත්සවය පැවැත්වීමට නියමිත දිනට පෙර දින මගේ කැඳවීම් මත පළාතේ සියලුම කලාපවල විෂය අධ්‍යක්ෂකවරුන්ටත්, ගුරු උපදේශකවරුන්ටත් විද්‍යාලයට පැමිණ පෙර පුහුණුවීම් කටයුතුවල යෙදීමටත්, තම තමන්ට බාරදී ඇති වගකීම් පිළිබඳව සොයා බැලීමටත් අවස්ථාව සලසා දෙන ලදී. එදින විදුහලේ ගුරුවරුන්ගෙන් සහ විදුහලේ සිසු දරු දැරියන්ගෙන් ලද සහාය නොවන්නට එතරම් අසිරිමත් උලෙළක් පැවැත්වීමට නොලැබෙන බව වටහා ගතිමි. දිවා ආහාරය ගැනීම පවා පසෙකලා ගුරුවරු සහ සිසුහු ප්‍රධාන ශාලාව අලංකාර කිරීමේ කාර්යයන්හි නිරත වූහ. මම සියල්ල අධීක්ෂණය කරමින් අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම් කළෙමි. ඔවුන්ට සහයෝගය දැක්වීමි. වේදිකාවේ ඉහළින් තිබූ තිර හා දෙපස වූ තිර කිලුටු වී, දුහුවිලි බැඳී ඇති බව මම පෙන්වා දුනිමි. නමුත් කිසිවිටෙකත් අපේක්ෂා නොකළ දෙයක් සිදුවිය. සංගීත විෂය භාර ගුරුතුමිය සිසුන් කිහිපදෙනකු සමඟ එක්වී සියලුම වේදිකා තිර ගලවා සෝදා, මිරිකා වේළෙන්නට වනන ආකාරය දැකගතිමි. බොහෝ හවස් වන තුරුම සියලු දෙනාම දැඩි කැපවීමෙන් හා විෂය භේදයකින් තොරව අලංකාර, ප්‍රියමනාප වටපිටාවක් හා ශාලාවක් සැකසීමට වෙහෙස මහන්සි වූහ.
කෙටි කලක් පමා වුවද ඔවුන්ට කෘතගුණ දැක්වීම කළ යුතුමය. යක්කල, ශ්‍රී චන්ද්‍රජෝති
විද්‍යාලයේ විදුහල්පති ස්වාමීන් වහන්සේටත්, ගුරුවරුන් සහ සිසු දරු
දැරියන්ටත් දෙන ලද සහයෝගයටත්, ළෙන්ගතු බවටත්, කැපවීමටත් වෙසෙසින්
හෘදයාංගම ස්තුතිය පුද කරමි. මේ සඳහා කැපවූ දායකත්වය දැක්වූ සියලුදෙනාටත්
ස්තුති කරමි. කැලණිය, ධර්මාලෝක මාවතේ, නයනා දීප්ති ගුණරත්න මෙනෙවිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.
නෙළුම්විල සිළුමිණ ලේක්හවුස් කොළඹ |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |