කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ගුරුවරුන්ට වඳිමුද ගහමුද?

ගුරුවරුන්ට වඳිමුද? ගහමුද?

විශ්‍රාම ගිය ගුරුවරුන් පිරිසකට උපහාර දැක්වීමේ උත්සවයක් පොලොන්නරුවේ පැවැත්විණි. පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ප්‍රධාන අමුත්තා විය. විශ්‍රාම ‍ෙගාස් උපහාර ලබන්නට සූදානම්ව සිටි ගුරු මහත්ම මහත්මීන් රැසක්ම ශාලාවේ අසුන්ගෙන සිටියහ.

උපහාර ප්‍රදානයෙන් පසු විශේෂ ආරාධිතයාගේ කතා වාරය එළඹුණේය. අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කතාව සඳහා නැඟී සිටියේය. එහෙත් ඔහු මයික්‍රෆෝනය වෙතට නොගොස් වේදිකාවෙන් බැස ශාලාවේ අසුන්ගෙන සිටි විශ්‍රාමික ගුරුවරුන් අතරට ගියේය.

එක් වියපත් ගුරු මහත්මයෙක් ළඟ නැවතුණේය. දණගසා වැන්දේය. ගුරු මහත්මයා නැඟිට පුදුමයට පත්ව බලා සිටියේය. ඒ ගුරු මහත්මයා පමණක් නොව ශාලාවේ සිටි සියලුදෙනාම පුදුමයට පත්වී සිටියහ. අධ්‍යක්ෂතුමා මයික්‍රෆෝනය ළඟට ගියේය.

“පහේ පන්තියෙදි රන්බණ්ඩා මහත්තය මට ගණන් ඉගැන්නුවෙ. මං ටොකු කාල ඇති ඇතිවෙන්ඩ. ඒ ටොකුවලට පින්සිද්ධ වෙන්ඩ තමයි මං ශිෂ්‍යත්වෙන් පාස් වුණේ. මං අද මෙතන ඉන්නෙත් රන්බණ්ඩා මහත්තයට පින්සිද්ධ වෙන්ඩ.”

අධ්‍යක්ෂතුමා කීවේය. ශාලාව එකම අත්පොළසන් හඬකින් පිරී ගියේය. වියපත් රන්බණ්ඩා මහත්තයා ඉකිගසමින් හඬන්නට පටන්ගත්තේය.

මේ එදාය. අදත් එසේමද?

අදත් එසේමය. ළමෝ ගුරුවරුන්ට ගරු නොකරන්නේ නැත. මහ මඟ දුටු තැන වඳින දරුවන් ද ඕනෑතරම් මම දැක ඇත්තෙමි. එහෙත් ඒ අතර නොසන්ඩාලයින් අතළොස්සක් සිටින බව ඇත්තය.

මාධ්‍ය ඔස්සේ හැඟීම්බරව කතාකරන්නේ ඒ නොසන්ඩාලයින්ගේ ක්‍රියාවන් ගැනය. මුග්ධ ලෙස හැසිරෙන තාත්තලා ගැනය.

වරක් දෙවරක් සටහන් කළ සිද්ධියක් යළි මෙසේ මට ලියන්නට සිත්වූයේ මෛත්‍රීපාල සිරිසේන ඇමැතිතුමාගේ අපූරු කතාවක් මා උත්තේජනයට ලක් කළ බැවිනි. මේ සිද්ධිය සටහන් කළ යුතු හොඳම අවදිය මෙය යැයි මසිත ද මට කියයි. “පාඨකයො තේරුම් ගනීවි. නැවත ලියන්න” මසිත මට නියෝග කරයි. මම ඒ නියෝගයට අවනත වෙමි. එය මෙසේ සටහන් කරමි.

එවකට මා සිටියේ ගම්පහ බණ්ඩාරවත්ත ප්‍රාථමික පාඨශාලාවේ හතරවැනි පන්තියේය. උඩතුත්තිරිපිටියේ ජයකොඩි මහත්මයා අපේ කැලෑසිය භාරව සිටියේය. ඔහු හිනාවක් නැති හරිම සැර මහත්තයෙකි. ජාතික ඇඳුම ඇඳ බයිසිකලයෙන් පාසලට එයි. කොච්චර සැර පරුෂ වුවද ගුරුතුමා මගේ රචනාව ගැන මහ ඉහළින් කතා කළ අයුරු මට අද වගේ මතකය.

මේ කියන දවසේ අපට ලියන්නට සිදුවුයේ ‘අම්මා’ ගැනය. මම ඇක්සැයිස් පිටුවක්ම ලියා අවසන් කොට අනික් ළමයින් සමඟම පොත දුනිමි. ජයකොඩි මහත්තයා පොත් බලන්නට පටන් ගත්තේය. අපි ඔහු දෙස බලා සිටියෙමු.

“මෙහෙ වරෙං”

ඔහු මා දෙස බලා කෑගැසුවේය. මම තිගැස්සී සිට ගතිමි. සිටගත්තා නොව සිට ගැනුණේය.

“මෙහාට වර”

දෙවැනි වතාවටත් ගුරුතුමා කෑගෑවේය. පන්තිය මීයට පිම්බාක් වැන්න. මම මහත්තයා ළඟට ගියෙමි. මගේ රචනාව සාමාන්‍යයෙන් හොඳය. එහෙත් මෙදා නම් මහත්තයාගේ මූණ හොඳම නැත. මම ඔහු ළඟට යනවාත් සමඟම ඉදිරියට පැන කන්කෙටියෙන් අල්ලා කරකැව්වේය.

“භාෂාවට ගරු කරන්ඩ බැරිනං අම්මට ගරු කරල ‘ම'යන්නට හරියට ගැටේ දාලා ලියාපිය.”

ඔහු කෑගසා කනෙන් අල්ලා කළු ලෑල්ල දෙසට තල්ලු කළේය. මා විසිවී ගොස් නළල කළුලෑල්ලේ වැදුණේය. රාමු කළුලෑල්ල ඇණවලින් පිටට පැන කකුල මත වැටුණේය. කකුලේ මාපටැඟිල්ල පුපුරු ගසන්නට විය. දෙපා දිග තෙතමනය ගලා ගියේය. නළලේ දොඹ ගෙඩියක් තරම ගෙඩියක් මතුවී ආයේය.

එදින ඉස්කෝලය අවසන් වී නරසීහ ගාථා කියා අනෙක් ළමෝ ගෙවල්වලට ගියහ. මට පන්තියේ නැවතී සිටින්නට සිදුවිය. ජයකොඩි මහත්තයා ද නැවතුණේය. ‘අම්මා’ කියා පිටුවක් ලියන්නට මට සිදුවිය. මා ලියා අවසන් වනතුරුම මහත්තයා ද සිටියේය.

“බලාපියකො කොච්චර අපූරුවට ලියල තියෙනවද කියල”

ජයකොඩි මහත්තයා කීවේය.

“යන ගමන් බනිසක් කකා පලයං”

එතුමා මට සත දහයක් දුන්නා මට මතකය. ඊට පසු අවුරුද්දේ මම ශිෂ්‍යත්වයෙන් සමත්වීමි.

පාසල් කාලයේදී ගුරුවරුන් සියයකට ආසන්න සංඛ්‍යාවකගෙන් විවිධ විෂයයන් යටතේ මා ඉගෙන ගෙන ඇත. එහෙත් ඒ ගෞරවනීය ගුරුතුමන්ලා අතරින් මට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ හතරෙ පන්තියේ ජයකොඩි මහත්තයාය.

අද දවසේ සිදුවෙන්නාක් මෙන් ගෙදර ගොස් මගේ නළලේ දොඹ ගෙඩිය ද රතුපාට වූ කන ද තාත්තා‍ට පෙන්වී නම් ඔහු කුණුහබ්බ කියමින් සරම උස්සාගෙන ඉස්කෝලෙට විත් ජයකොඩි මහත්තයාට චණ්ඩි පාට් දමන්නේ නැත. රතුපාට වී ඇති ඒ කන තවත් රතුපාට වෙන්නට කනේ පාරවල් දෙකක් දෙන්නේය. එකක් ‘මයන්න’ හරි හැටි නොලියූ එකටය. දෙවැන්න ඉස්කෝල මහත්තයෙක් දඬුවම් කළ බව ගෙදර ඇවිත් කීම ගැනය. මා කළේ නළලේ ගෙඩිය තාත්තාගෙන් වසං කරගැනීමට උත්සාහ කිරීමය.

හතරෙ මහත්තයාගේ නමට අදටත් මට නමස්කාර කළ හැකිය. මෙවැනිම තවත් කතාවක් ද මම මීට පෙර සටහන් කර ඇත්තෙමි.

ගුරුවරයකු වශයෙන් සේවය කරද්දී මම ද මෙවැනි අත්දැකීමකට මුහුණ දී ඇත්තෙමි. එවකට මම මීරිගම පළාතේ පාසලක සේවය කරමින් සිටියෙමි. එක් දිනක් පාසල අවසන් වී සිසුන් පිටව යද්දී කිසියම් ශිෂ්‍යයකුට බිම පෙරළාගෙන පහර දෙන ශිෂ්‍යයකු දුටුවෙමි. පහර දෙන ශිෂ්‍යයා දැවැන්තයෙකි. ගුටි කන එකා පොඩ්ඩෙකි. මම ද කෝච්චිය අල්ලා ගැනීමට අඩිය ඉක්මන් කොට ගමන් ගනිමින් සිටියෙමි. ලොකු එකා පොඩි එකාට බිම පෙරළාගෙන පහර දෙයි. ඒ දෙස නොබලා මට කෝච්චියට යා නොහැකිය. ප්‍රශ්න අසා නඩු බේරන්නට වේලාවක් ද නැත. මම ගහන එකාට කම්මුල හරහා පහර දෙකක් දී පොඩි එකා බේරා හැරියෙමි.

පසුදින ලොකු මහත්තයා මට කතා කළේය. ඔහුගේ කාර්යාලයේ මගෙන් පහර දෙකක් කෑ ශිෂ්‍යයා ද ඔහුගේ පියා ද සිටියහ. නඩුව මට විරුද්ධවය. ශිෂ්‍යයාට පහරදීම පිළිබඳවය.

සියල්ල අසා සිටි මම එක් දෙයක් පමණක් කීවෙමි.

“ඒක වැරැද්දක් නම් අදට මං ඒක පිළිගන්නවා. මීට පස්සෙ මේ ළමයා මොන වැරැද්දක් කළත් මං ඇහැක් ඇරලා බලන්නෙ නෑ..”

ඉන් දවස් කිහිපයකට පසු මීරිගම දුම්රියපොළට ඇතුළු වන විට ඒ පියා එතැන සිටියේය.

“මං මහත්තය එනකල් හිටියෙ. ගහල හරි කමක් නෑ කොල්ල හදල දෙන්ඩ මහත්තය”

ඔහු මට කීවේය. ගුරුවරුන් මාරාවේශව වෛරයකින් ළමයින්ට පහර දෙනවාදැයි මම නොදනිමි. එහෙම එකක් නැත. මුළු සමාජයේම මිනිසුන් මිනී මරන්නේ නැත. එහෙම එක්කෙනෙක් දෙන්නෙක් සිටිනවා විය හැකිය. අංශුමාත්‍ර යමක් පොදු ප්‍රවණතාවක් වශයෙන් උලුප්පා දැක්වීම කෙතරම් සාධාරණදැයි සිතා බැලීමට කාලය එළඹ ඇත.

වරදකට ශිෂ්‍යයකුට දඬුවම් කිරීම නිසා පොලිසි යන්නට සිදුවූ මිත්‍ර ගුරුවරයෙක් පසුගියදා මට මුණගැසුණි.

“පන්තියට යනව, උගන්නනව. බෙල් එක ගහපුවාම එනවා. එච්චරයි. උන් මොනව කරනවද කියල ඇහැක් ඇරල බලන්නෙ නෑ”

ඔහු කීවේය. මේ ආකල්පය ගුරුවරුන් තුළ ජනිත කළ යුතුද?

“වේවැල් කෝටු නාරං සියඹලා අතූ” යනුවෙන් කවියක් ලියාපු කාලයක් ද තිබිණි. ඉස්කෝලෙ මහත්තයාගේ මේසය මත හුනුකූරක්, මකන ‍ෙකාට්ටයක් මෙන්ම වේවැලක් ද අනිවාර්යයෙන් තිබූ යුගයක් විය. ඉස්කෝල මහත්තයාගෙන් ගුටියක් ටොක්කක් නොකාපු ළමයෙක් සිටියේ නැත.

ගුටි නොකාපු උන්ටත් වඩා ගුරුවරුන්ට දුටු තැන නමස්කාර කරන්නේ ගුටිකාපු එවුන්ය.

“මං ඉන්නෙ ගුරුවරුන්ගෙ පැත්තෙ. මං දන්නව තාත්ත කෙනෙක් හැටියට දරුවො හදන්ඩ කොච්චර අමාරු ද කියල. දරුවො පැය ගණනාවක් ඉන්නෙ මවුපියො ළඟ ගුරුවරු ළඟ ඉන්නෙ පැය කීයද? අනෙක මවුපියන්ට ඉන්නෙ දරුවො එක්කෙනයි දෙන්නයි. .. ගුරුවරයකුට විදුහල්පතිවරයකුට කී දාහක් ඉන්නවද?..”

මෛත්‍රීපාල සිරිසේන ඇමැතිතුමා කළ ප්‍රකාශය පුළුල් මට්ටමින් සලකා බැලිය යුත්තකි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]