![]() ![]() |
||
රාජකීය පැණි වරකා හොරෙන් කෑ විකටයා ගණ දෙවි නුවණින් බේරෙයි
මහාවංශය අනුව මහවැලි ගඟ බඩ කුණ්ඩසාලේ රමණීය භූමි භාගයක කුණ්ඩසාලේ අගනුවර පිහිටුවා ගත්තේය. එහි රජ කළ එකම රජු ඔහු පමණය. රමණීය පල්ලේකැලේ මොර උයන තිබුණේ කුණ්ඩසාලේය. ජනකතා අනුව බ්‍රහස්පති හා සිකුරු අතර ග්‍රහ යුද්ධයකින් සිකුරු පැරදී සිකුරුගේ කුණ්ඩලාභරණය බිම වැටුණු ස්ථානය ‘කුණ්ඩසාලේ’ නම් විය. එහෙත් කුණ්ඩසාලේ යන්නෙහි සැබෑ අර්ථය විනෝදාගාරය යනුයි. කුඩා කල සිට තරුණ විය දක්වා පොද්දල්ගොඩ නුදුරු කඩතුරා ගල්ලෙනේ සතුරන්ගෙන් ආරක්ෂා වීම පිණිස රහසින් වැඩුණු නරේන්ද්‍රසිංහ කුමරු ඉඳහිට මහනුවරට යද්දී විවේක ගත් සුන්දර පරිසරයක පසු කල ඔහු තම අගනුවර පිහිටුවීය. පවුර - දිය අගල - රජ මාලිගාව ආදී සියලු අංග එහි විය. කුණ්ඩසාලේ රජ මහා විහාරය නරේන්ද්‍රසිංහ රජුට පසුව රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු (1747 - 1782) ඉදි කළ විහාරයකි. ලන්දේසින් නරේන්ද්‍රසිංහ රජුට පිරිනැමූ සේද රෙද්දෙන් මැසූ කබායක් කුණ්ඩසාලේ රජමහා විහාරයේ අදත් ඇත. වැලිවිට සරණංකර සඟ රජු පරිහරණය කළ භාණ්ඩ රැසක් කුණ්ඩසාලේ රජ මහා විහාරයේ අදත් ඇත. වැලිවිට සරණංකර හිමි කාලයක් මෙම රජමහා විහාරයේ වාසය කළ අතර ඒ හිමිගේ ශිෂ්‍ය වැරසැර රඹුක්වැල්ලේ හිමිට කීර්ති ශ්‍රී රජු මෙම විහාරය පූජා කර ඇත. රජ මාලිගාව තිබූ බිම නුදුරුවම රජ මහා විහාරය ඇත. කුණ්ඩසාලේ රජමහා විහාර බිමේ එදා නරේන්ද්‍රසිංහ රජුට පමණක් සීමා වූ පැණි බේරෙන පැණි වරකා ගසක් විය. මේ ගස අදත් ඇත. මුල් ගස වැනසී ඉන් ලියලා ගිය ගසක් අද අඩි පනහක් පමණ උසට වට අඩි පහක් පමණ මහතට ඇත. එදා මෙන් අද ලොකුවට ගෙඩි නොපළගයි. ගෙඩි කුඩා අතර ඒවා රෝගවලට ගොදුරු වී ඇත. මේ කුණ්ඩසාලේ රජමහා විහාර බිමේ දක්නට ඇති පැණි වරකා ගස ගැන රසවත් කතාවක් ඇත. (හඟුරන්කෙත විෂ්ණු දේවාල බිමේද මෙවැනි රාජකීය පැණි වරකා ගසක් ඇති අතර ඒ ගස වටා ද මෙබඳුම රස කතාවක් එයි.) පැණි වරකා ගසේ ගෙඩි රජ වාසල පරිහරණයට පමණක් සීමා වූ අතර පහත පලගත් පැණි බේරෙන ගෙඩි ආරක්ෂාවේ හා තහංචි සලකුණක් ලෙස සුදුරෙදි කඩකින් වසා තැබීම සිරිත විය. කුණ්ඩසාලේ රජ වාසෙල් රජු සිනහ ගැන්වීමට විකටයකු ජීවත්වී ඇත. ගහ පාමුල ඉදී පැණි බේරෙන පැණි වරකාවල සුවඳ විකටයාගේ රස නහර කුල්මත් කිරීමට විය. වටපිට බලා ඉතා ප්‍රවේශමන් සුදු රෙදිකඩ ඉවත් කොට පැණි වරකා ගෙඩියෙන් බාගයක් කපාගත් ඔහු තනිවම එය ගිල දැම්මේය. කිසිවක් සිදු නොවුණා සේ ඉවතට ගිය ඔහු තම නිවස බලා පිටත් විය. ඉදුණු පැණි වරකා ගෙඩිය රජවාසලට ගෙන යෑමට සැරසෙන විට ඉන් අඩක් කා ඇති බව ආරක්ෂකයින්ට පෙනිණ. රජුට ඒ බව දන්වා බිය සැක නැතිව පැණි වරකාවලට අත ගැසූ සොරා ඇල්ලීමට නියම විය. උදෑසන පැමිණි විකටයා රජවාසල මිදුලේ ගැවසුණු බව ආරක්ෂකයින්ට දැන ගැනීමට ලැබුණි. වහාම විකටයාගේ නිවස වටලූ ආරක්ෂකයෝ දහවල් කෑමෙන් පසු පැදුරක දිගාවී නින්දේ සිටි විකටයා අල්ලාගෙන දෑත් පිටුසට බැඳ රජු ඉදිරියට රැගෙන ආහ. “තොපට විරුද්ධව බරපතළ චෝදනාවක් ඇත. කිසි බියක් සැකක් නැති ව මහා වාසලට සීමා වූ තහංචි පැණි වරකා ගසෙන් ගෙඩියකින් අඩක් හොරෙන් කපා කා රජවාසලට කළ අපහාසය හා හොරකමට නිදහසට කීමට යමක් ඇද්ද?” රජු කෝපයෙන් ගුගුරන්නට විය. “දේවයන් වහන්ස, හීලට කිසිම දෙයක් නොගෙනයි රජවාසලට ආවේ. කුසගින්න තදින් තිබුණා. ඉදී පැණි බේරෙන පැණි වරකාවල සුවඳ නාස්තුඩුවලට දැනුණා. මොනවා වුණාද අමතකයි. සමාවුව මැනවි දේවයන් වහන්ස” රජු තම නෙත් ලොකු කොට පා බිම හප්පා විකටයාට තදින් දොස් නඟන්නට විය. “මූ ගරුසරුවක් නැතිව රජ වාසලට කළ නින්දාව බරපතළයි. සුදු රෙදි කඩකින් වසා තිබූ තහංචි පැණි වරකාවෙන් අඩක් කා තිබූ පරිදිම එය වසා තැබීම මොනතරම් කපටිකමක්ද? මහ වාසලට කළ අපහාසයට දඬුවම මරණයයි. වහාම මූ ගෙන ගොස් හිස ගසා දමව.” විකටයා රජු ඉදිරිෙය් බිම වැටී දොහොත් මුදුන් දී වැඳ බඩගින්න නිසා තමන් අතින් කළ වරදට සමාව ඉල්ලා යදින්නට විය. විනාඩි ගණනක් හඬමින් කඳුළු පෙරමින් රජු ඉදිරියේ වැඳ වැටී සිටි ඔහු එක්වරම නැඟී සිට මහත් හඬින් සිනහසෙන්නට විය. “මුලින් හඬමින් දොඩමින් සමාව ඉල්ලූ තා දැන් මහත් හඬින් සිනාසෙන්නේ ඇයි? දෑතින් හිස බදාගත් ඔහුට ගණදෙවි නුවණ පහළ විය. “දේවයන් වහන්ස රජවාසලට කළ අපහාසය ගැන ලැබෙන මරණ දඬුවමට ගැත්තා බයක් නෑ. ඒත් හෙරළි ගෙඩියකට රජ වාසලෙන් මිනිහෙක් මැරුවා කියලා රජවාසලට ඇති වන නින්දාව ගැන දුක හිතිලා ඉකි ගසමින් හැඬුවා. ඒ නින්දාව පරම්පරා ගණනක් මිනිස්සු කතා කරයි.” රජු මොහොතක් කල්පනා කරන්නට විය. “තොප තමා දවසකටවත් මිනිහා. තොපට තියෙන්නේ ගණ දෙවියන්ගේ නුවණ. වහාම මූ නිදහස් කරව.” රජු ආරක්ෂකයාට නියෝග කළේය. රජු ඉදිරියේ මුනින් දිගා වී දණ්ඩ නමස්කාරය කළ විකටයා රාජ සභාවෙන් පිටතට ආවේය. ඔහු නොපෙනී යන තුරුම රජු නිහඬව බලා සිටිනු දක්නට ලැබුණි.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |