කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ගව කුර හා මුඛ රෝග වසංගතය රටපුරා යන ලකුණු

ගව කුර හා මුඛ රෝග වසංගතය රටපුරා යන ලකුණු

මේ දිනවල ගවයන් ප්‍රමුඛ කුර සහිත සත්ත්වයින් අතර පැතිර යන මුඛ හා කුර රෝගය ලංකාවේ පළාත් පහක දිස්ත්‍රික්ක එකොළහක වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවට මේ දිනවල මාධ්‍ය වාර්තා පළ වෙනවා. ග්‍රාමීය ආර්ථිකයේ ශක්තිමත් නිෂ්පාදන මාර්ගයක් වන මෙම ගව සත්ත්ව පාලනය හා නිෂ්පාදන කර්මාන්තය මේ දිනවල පැතිර යන මෙම වසංගත තත්ත්වය හමුවේ දැඩි බලපෑමකට ලක්ව ඇති බව ද පැවැසෙනවා.

මේ දිස්ත්‍රික්කයන්හි ගවයින් මස් සඳහා මැරීම, ප්‍රවාහනය මාස තුනක කාලයක් දක්වා සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇති අතර පොලීසිය, උසාවිය හරහා පමණක් නොව එය ගැසට් නිවේදනයක් ලෙස නිකුත් කිරීමට පවා රජය මේ වන විට කටයුතු කර තිබෙනවා.

ගවයින් ඇතුළු කුර සහිත සතුන් ආශ්‍රිතව මේ දිනවල පැතිරී යන මෙම වසංගත තත්ත්වයේ නවතම මුහුණුවර පිළිබඳව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. ශිවසෝධි මහතාගෙන් අප කරුණු විමසා සිටියා. මේ ඒ පිළිබඳ ඔහු දැක්වූ අදහස් සමහරකි.

“මේ වසංගත තත්ත්වය ඇති වන්නේ වෛරසයකින්. ‘පි‍ෙකා්නා’ පවුලට අයත් ‘ඇප්තො’ වෛරසය ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මේ රෝගයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ, එළ ගවයන්, මී ගවයන්, එළුවන්, බැටළුවන්, ඌරන් ආදි කුර සහිත සතුනුයි. මෙම රෝග තත්ත්වය සුළඟින් පවා ව්‍යාප්ත විය හැකියි.

මේ තුළ මෙම රෝගය එක් පළාතකින් තවත් පළාතකට පමණක් නෙවෙයි රටකින් රටකට වුවත් පැතිරී යන්න ඇති ඉඩකඩ වැඩියි. මේ වන විට රටපුරා අප කළ පරීක්ෂණ මත මෙම රෝගයට ගොදුරු වුණු ගවයින් ඇතුළු කුර සහිත සතුන් 3700 ක් පමණ හඳුනාගෙන තිබෙනවා. එයින් ගවයින් 80 ක් පමණ (මී ගවයින් ද ඇතුළුව) මේ වන විටත් මරණයට පත්වෙලා.

ඌරන් 75 ක් පමණ රෝගයට ගොදුරු වී 5 ක් පමණ මරණයට පත්ව තිබෙනවා. ‘ඇප්තො’ වෛරසය ශරීරයට ඇතුළු වූ පසු මෙම රෝගයට ගොදුරු වන සතුන් ගෙන් රෝග ලක්ෂණ කීපයක්ම හඳුනාගන්න පුළුවන්. ෆැරන්හයිඩ් අංශක 104 ට පමණ උණ තත්ත්වයක් මුලදී ඇති වෙනවා. ඒ වගේම එම සතුන්ගේ ඇති අක්‍රීය භාවය, ආහාර නොගැනීම, නූලක් මෙන් දිගට මුඛයෙන් කෙළ වැගිරීම වැනි රෝග ලක්ෂණ ඉස්මතු වෙනවා.

එම සතුන්ගේ මුඛයේ, දිවේ, තොල්වල හා විදුරු මස් මත හා කුර ආශ්‍රිතව කුඩා බිබිලි හට ගන්නවා. පසුව එම බිබිලි පුපුරා ගොස් තුවාල ඇතිවීම හේතුවෙන් ආහාර ගැනීමේ අපහසුතාව ඇති වෙනවා. ඒ වගේ ම කොර ගැසීමකුත් මේ සතුන් කෙරෙන් දිස්වෙන්න පුළුවන්. මෙහි දී කිරි නිෂ්පාදනය පහළ වැටීමත් රෝගයට ගොදුරු වූ සතා දුර්වල වීමත් ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙනවා.

මේ රෝග ලක්ෂණ මතු වූ විගස ගව පාලනයේ මෙන්ම කුර සහිත සත්ත්ව කර්මාන්තයේ යෙදෙන පිරිස් මෙම සතුනට ප්‍රතිකාර ලබාදීම කඩිනමින් කළ යුතු වෙනවා. ඒ සඳහා ළඟම ඇති රජයේ පශු වෛද්‍ය නිලධාරී මහතා හමුවීමෙන් උපදෙස් ලබා ගත හැකියි.

රෝගය වැලඳුණු පසු ඇතිවන තුවාල සඳහා මුඛයේ ‘සීනක්කාරම්’ ආලේප කිරීම සහ ‘කරවල ස්ටොක් හෝම් තාර’ ආලේප කිරීම මේ සඳහා කළ යුතු සුදුසුම ප්‍රතිකාර වෙනවා. මෙම රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම වළක්වාලීමට නම් ඒ සඳහා කළ යුතු එකම ප්‍රතිකර්මය වන්නේ සතුන්ව නිසි කලට එන්නත් කරවා ගැනීමයි.

ඒ සඳහා අදාළ ප්‍රදේශයේ පශු වෛද්‍ය නිලධාරී හමුවිය යුතුයි. මේ රෝගය දැනට පළාත් හයක දිස්ත්‍රික්ක එකොළහක පැතිර පවතිනවා. උතුරු පළාතේ යාපනය, වව්නියාව, සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලත්, නැ‍ඟෙනහිර පළාතේ අම්පාර, මඩකළපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේත් උතුරුමැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලත් බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලත් මෙම රෝගය ශීඝ්‍රයෙන් පැතිර යනවා.”

මෙම රෝගයට අනුව දිනකට ලීටර් 90 ක් පමණ කිරි ප්‍රමාණයක් ලබා දෙන එළදෙනෙක් මේ රෝගයට ගොදුරු වූ විට ඇගෙන් දිනකට ලබාගත හැකි කිරි ප්‍රමාණය ලීටර් 10 දක්වා පහළ බැසීමකට ලක් වෙනවා.

මේ රෝගය යම් හෙයකින් ලංකාව පුරාම පැතිර ගියහොත් ලංකාවේ කිරි නිෂ්පාදනය කඩාගෙන වැටීමත් සත්ත්ව සම්පත විනාශයට ලක්වීමත් සිදුවෙන්න පුළුවන්.

මෙම රෝගය පැතිරෙන ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට මෙම සතුන් ප්‍රවාහනය කළහොත් මෙම රෝගය ව්‍යාප්තව නැති ප්‍රදේශ පුරාත් රෝගය පැතිරී යාමේ අවදානමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා එය වළක්වා ගැනීමේ පියවරක් ලෙස දැනට මාස 03 ක කාලයකට රෝගය පැතිර පවත්නා ප්‍රදේශවල ගවයින් ප්‍රවාහනය, මස් පිණිස සතුන් මැරීම තහනම් කර තිබෙනවා.

යම් හෙයකින් මේ වසංගත තත්ත්වය දිවයින පුරා පැතිරී ගියහොත් මෙම තහනම තවදුරටත් දීර්ඝ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එලෙසම මෙම වසංගත තත්ත්වය පිළිබඳව අපි දිනපතාම පරීක්ෂණ පවත්වා වාර්තා හදනවා. එය පැතිරීමේ අවදානම, අවම කිරීමට කටයුතු යොදා තිබෙනවා.

එහි ප්‍රගතිය හැම විටම අපි සොයා බලනවා. මේ වන විට මෙම රෝගය පැතිරී යාම වැළැක්වීමට, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වශයෙන් අපි පියවර රැසක් ගෙන තිබෙනවා.

1992 අංක 59 දරන සත්ත්ව රෝග පනතට අනුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝගය ව්‍යාප්තව ඇති පළාත්වලට අයත් දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එම පනතේ කාර්ය සඳහා කුර හා මුඛ රෝගය ආසාදිත ප්‍රදේශ ලෙස ද ගවයන් මී ගවයන්, එළුවන්, බැටළුවන්, ඌරන් යන සත්ත්ව වර්ගයේ සතුන් ආසාදිත සතුන් ලෙස ද මෙම නියමයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එලෙසම මෙම නියමය වලංගුව පවතින කාලය තුළ ඇති වී තිබෙන කුර හා මුඛ රෝගය ආසාදිත ප්‍රදේශයට සීමා කිරීම සඳහාත් පැතිරීමට ඇති ඉඩකඩ වැළැක්වීම සඳහාත් අවශ්‍ය වන නිසා ආසාදිත ප්‍රදේශවල පහත සඳහන් කරුණු සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් වාරණයට ලක් කර තිබෙනවා.

. රෝග අවදානමට ලක්ව සිටින සත්ත්ව විශේෂ සම්බන්ධ කෘතිම අභිජනන ක්‍රමවේද

. අවදානමට ලක්ව ඇති එවැනි සතුන් ඝාතනය කිරීම.

. එවැනි සතුන් භාවිත කොටගෙන සජීව සත්ත්ව වෙළෙඳපොළ පැවැත්වීම, දර්ශන හා තරග පැවැත්වීම.

. අවදානමට ලක්ව ඇති සතුන්, සත්ත්ව නිෂ්පාදන හා රෝග කාරක ද්‍රව්‍ය විකිණීමට පාත්‍ර කිරීම, ගබඩා කිරීම හෝ බෙදා හැරීම.

. සත්ත්ව රෝග පනතේ 5(4) වගන්තියට අනුව අදාළ ආසාදිත ප්‍රදේශ භාර රජයේ පශු වෛද්‍ය නිලධාරී මහතා නිකුත් කරන ලද අවසරයකින් තොරව අවදානමට ලක්ව ඇති සතුන් සත්ත්ව නිෂ්පාදන හා රෝග කාරක ද්‍රව්‍ය ආසාදිත ප්‍රදේශයේ සිට ඉවත් කිරීම, රැගෙන යාම, පළවා හැරීම හෝ ප්‍රවාහනය කිරීම.

. කුර හා මුඛ රෝගයෙන් මරණයට පත්වූ හෝ ආපාචනයට ලක්වූවා යැයි සැකයට හේතු වූ යම් සතකුගේ මළකුණක් හෝ එහි කොටසක් වෙන සතුන් විසින් යම් තැනකට ගෙන යා හැකි පරිදි යම් තැනක දැමීම හෝ ස්ථානගත කිරිම එම කරුණු වෙනවා.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]