![]() ![]() |
||
කිලෝ මීටර් 4ක් උඩින් යන ලංකාවේ දිගම පාලම
කොළඹ නගරයට පැමිණෙන වාහන සංඛ්‍යාව මෙන්ම කොළඹ හරහා දිනකට ගමන් කරන වාහන සංඛ්‍යාව මේ වන විට මිලියන දෙක දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශයේ අලුත්ම වාර්තා උපුටා දක්වයි. මේ අයුරින් අති විශාල වාහන සංඛ්‍යාවක් කොළඹ නගරය හරහා ගමන් ගන්නේ විකල්ප මාර්ග නොමැති නිසාය. මේ සම්බන්ධව විසැඳුමක් ලබා දීමට කාලාන්තරයක් තිස්සේ කතා බහට ලක් විය. කොළඹ නගරය හරහා ගමන් ගන්නා වාහන අවම කිරීම මෙන්ම වාහන හිමියන්ට කඩිනමින් ගමන් කිරීම සඳහා කොළඹ පිටත වටරවුම් මාර්ගය තැනීමට යෝජනා වුණි. අදියර තුනකින් මේ මාර්ගයේ වැඩ කටයුතු නිම කිරීමට සැලසුම් කෙරුණි. එමෙන්ම අධිවේගී මාර්ග ජාලයේ වැඩිම වාහන සංඛ්‍යාවක් ගමන් කරනු ලබන මාර්ගයද මෙය වනු ඇත. මේ මාර්ගයේ පළමු අදියර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරම්භය සිදුවන කොට්ටාව මාකුඹුර පිවිසුමේ සිට කඩුවෙල දක්වාය. එහි දෙවැනි අදියර කඩුවෙල සිට කඩවත දක්වාය. මෙම මාර්ගයේ තුන්වන අදියර කඩවත සිට කෙරවලපිටිය දක්වා ඉදි කෙරේ. එය කෙරවලපිටියේදී කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ කෙරේ. කොළඹ - නුවර අධිවේගී මාර්ගය කොළඹ පිටත වටරවුම් මාර්ගයට සම්බන්ධ වන්නේ දෙවැනි අදියරේ අවසානය හා තුන්වන අදියරේ ආරම්භය සිදුවන කඩවත නගරයෙනි. කොළඹ පිටටත වටුරවුම් මාර්ගයේ පළමු අදියර ලබන සෙනසුරාදා (මාර්තු 8) ජනතා අයිතියට පැවරේ. තුන්වැනි අධිවේගී මාර්ගය ලෙසින් විවෘත වුවද එය මෙරට දෙවැනි අධිවේගී මාර්ගය ලෙසින් එනම් ඊ -2 මාර්ගය ලෙසින් නම් කර ඇත. කොළඹ පිටත වටරවුම් මාර්ගය ඉදිකිරීමෙන් පසුව අප මුලින් සඳහන් කළ කොළඹ නගරය හරහා යන වාහන වැඩි ප්‍රමාණයක් එම මාර්ගය හරහා යනු ඇතැයි අපේක්ෂා කෙරේ. අධිවේගී මාර්ගයක් ලෙසින් ඉදිවන කොළඹ පිටත වටරවුම් මාර්ගයේ දිග කිලෝමීටර් 29.2 කි. මෙහි පළමු අදියර වන කොට්ටාව කඩුවෙල අතර දුර ප්‍රමාණය කිලෝමීටර් 11 කි. කඩුවෙල සිට කඩවත දක්වා කිලෝමීටර් 8.9 කි. කඩවත සිට කෙරවලපිටිය දක්වා දුර ප්‍රමාණය කිලෝමීටර් 9.3 කි.
ලබන සෙනසුරාදා විවෘත වන 1 අදියරේ විශේෂිම ලක්ෂණය වන්නේ මෙරට දිගම පාලම මෙන්ම දිගම ගුවන් පාලම ද ජනතා අයිතියට පත් කරමිනි. ඒ කඩුවෙල හා කොට්ටාව අතර පිහිටි මහවැව පාලමයි. දිගින් කිලෝමීටර් 3.6 ක් වන මෙම පාලම සිංගප්පූරුවේ දියුණු තාක්ෂණික මාර්ගයන්හි ලක්ෂණ පෙන්නුම් කෙරේ. ජපන් ආධාර ඇතිව ඉදිවන අධිවේගී මාර්ගයයේ 1 වන අදියරට වැය කළ මුදල බිලියන 27 කි. සෙසු අධිවේගී මාර්ගයන්හි මෙන්ම මේ මාර්ගයේ ද පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් ගමන් කළ හැකිය. එක්තරා සීමාසහිත ප්‍රදේශයක පමණක් වේගය පැයට කිලෝමීටර් 80 ක් දක්වා සීමා කර ඇත. ආරම්භයේදී මංතීරු 4 කින් ඇරැඹෙන මේ මාර්ගය අවසානයේ මාර්ගයේ මංතීරු 6 ක් දක්වා වැඩි කරනු ඇත. පළමු අදියර යටතේ කොට්ටාව සිට කඩුවෙල දක්වා වන මාර්ග කොටසේ කොට්ටාව, ට අමතරව කඩුවෙල කොතලාවලපුර පිටවීමේ මාර්ගයක් ඉදි කෙරේ. කොතලාවලපුර මේ පිටවීමේ පිවිසුම ඉදිරියේදීත් ස්ථාපිත වන අතර එම ස්ථානයෙන් ඇතුළුවීමට නොහැකිය. කඩුවෙල ප්‍රධාන අන්තර් පිවිසුම ඉදිවන්නේ ලෝලෙවල් පාරට සම්බන්ධිතව කඩුවෙලදී ය. ඒ කොළඹ හංවැල්ල අවිස්සාවේල්ල මාර්ගයත්, කැලණිය මුදුන්ගොඩ මාර්ගයත් උදෙසා ය. මීට අමතරව අතුරුගිරියේ ද පිවිසුම් මාර්ගයක් ඉදි කෙරේ. එය අතුරුගිරියේදී කෝට්ටේ - බෝපෙ මාර්ගය හා සම්බන්ධිත මාර්ගයකි. මෙම අධිවේගී මාර්ගය සෙසු මාර්ගවලට වඩා විශේෂ වන්නේ මාර්ගයේ සැලකිය යුතු කොටසක් ගුවන් පාලම් මතින් ඉදි කිරීමයි. අප පෙර සඳහන් කළ මෙරට දැනට ඉදි කර ඇති දිගම පාලම වන මහවැව පාලමට අමතරව දෙවන අදියරේදී (කඩුවෙල - කොට්ටාව), කිලෝමීටර් 4.9 ක් දිග ගුවන් මාර්ගයක් ඉදි කෙරේ. තුන්වන අදියර වන කඩවත කෙරවලපිටිය මාර්ගයේදී මුතුරාජවෙල හරහා කිලෝමීටර් හයක පමණ (5.9) දීර්ඝ ගුවන් මාර්ගයක් ඉදි කෙරෙන අතර එය කාලයකට යළි ඉදි නොවන මෙරට දීර්ඝම ගුවන් මාර්ගය වනු ඇත. කොළඹ පිටත වටරවුම් මාර්ගයේ ප්‍රධාන අරමුණු අතර වන්නේ කොළඹ නගරය තුළ වාහන තදබදය අවම කිරීම හා බස්නාහිර පළාතේ අධික ජනගහනයෙන් යුත් නාගරික ප්‍රදේ්ශයන්ගෙන් බහුතර ප්‍රදේ්ශ සංවර්ධනය සඳහා දිරි ගැන්වීමයි. එසේම දිවයිනේ උතුරු සහ දකුණු අතර ගමන් ගන්නා වාහන වලට කොළඹ නගරය මග හැර යා හැකි මාර්ගයක් ලෙස මේ මාර්ගය භාවිත කළ හැකි වීම මෙන්ම කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ කරා ඉක්මනින් මගීන් හා භාණ්ඩ ප්‍රවාහන කිරීම සඳහා ප්‍රවේශ මාර්ගයක් සකස් කිරීමයි. කොළඹ නගරයට නොපැමිණ තම ගමනාන්ත කරා යාමට කොළඹ පිටත වටරවුම් මාර්ගය විශාල පිටිවහලක් වනු ඇත. කඩුවෙල කොට්ටාව මාර්ගය මෙන්ම 2015 වසරේ කඩුවෙල කඩවත මාර්ග කොටසද ජනතා අයිතියට පැවරෙනු ඇත. එසේම කඩවත සිට කෙරවලපිටිය දක්වා ඇති මාර්ග කොටස 2016 වසරේදී විවෘත කෙරෙනු ඇත. මේ මාර්ග පද්ධතිය නිසා කටුනායක සිට මාතර දක්වාම ගමන් කිරීමට අධිවේගී මාර්ග පද්ධතිය සම්බන්ධ වන අතර මහනුවර දක්වා වන අධිවේගී මාර්ගයත් උතුරු අධිවේගී මාර්ගයත් කොළම පිටත වටරවුම් මාර්ගයට සම්බන්ධ කෙරේ. මේ මාර්ග පද්ධතිය මඟින් උතුරත් දකුණත් පැය කිහිපයකින් සම්බන්ධ කිරීම නිසා සියලු ජාතීන් එකම ජන කොටසක් බවට පත් වනු ඇත. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |