![]() ![]() |
||
අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයිෙකාළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය රංජිත් බණ්ඩාර දියුණු වන රටවලට විරුද්ධව ජිනීවා මානව හිමිකම් සමුළුවේදී යටත් විජිතවාදයේ නව මුහුණුවර ක්‍රියාත්මක කරන්න දියුණු යැයි කියන රටවල් දරන උත්සාහයට කිසිසේත් ඉඩ නොදිය යුතු යැයි මහාචාර්ය රංජිත් බණ්ඩාර කියයි. සිළුමිණ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ ප්‍රකාශය කළේය. අධිරාජ්‍යවාදී රටවල් තම යටත්විජිත නිදහස් කළාට පස්සෙත් ආර්ථික වශයෙන් මේ රටවල් දියුණු යැයි කියන රටවල් වෙළෙඳපොළ වශයෙන් තබා ගැනීම සඳහා මේ රටවල් අමුද්‍රව්‍ය ගොදුරු බිම් වශයෙන්ම තබා ගැනීමට උත්සාහ කළා. දැන් මේ දියුණු යයි කියන රටවල් අපේ වගේ ආර්ථික සමාජයීය දේශපාලන වශයෙන් ස්වාධීනව කටයුතු කරන රටවලට මානව හිමිකම් දේශපාලන අවියක් ලෙස යොදාගෙන පහරදීමට උත්සාහයක යෙදී සිටිනවා. මේ රටවල් තව තවත් ස්වාධීනව ආර්ථික වශයෙන් නැඟී සිටීමත් සමඟ දියුණු යැයි කියන රටවලට මේ රටවලට කරන්න පුළුවන් බලපෑමත් ක්‍රමානුකූලව අඩුවෙමින් තිබෙන බව හොඳින් පේනවා. නව ලෝක සංවිධාන ව්‍යුහය තුළ මේ දියුණු යැයි කියන රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ ආයතනවලත් ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය ආයතනය වගේ තැන්වලත් බලවත් වෙමින් ගිවිසුම් හරහා නැතිනම් එවැනි කිසිවක් නැතිව ‘පරිධියේ රටවල'ට බලපෑම් කරන්න උත්සාහ කරමින් සිටිනවා. චීනයට ඉරානයට, ඉරාකයට ලිබියාවට දිගු කළේත් පාකිස්ථානය නැතිනම් ඇෆ්ගනිස්ථානයට දිගු වන්නේත් මේ හස්තයමයි. චීනයේ ටියන්මෙන් චතුරස්‍රයේ ශිෂ්‍ය උද්ඝෝෂණය මර්දනය කළ අවස්ථාවේ චීනයේ මානව හිමිකම් ගැටලු විවිධ මානවලින් එළියට ගන්න මේ බලවේග උත්සාහ කළා. මේක මුළුමනින්ම දේශපාලනික බලපෑමක්. ස්වෛරී රටකට ස්වීය නීති පද්ධතිය යටතේ ක්‍රියාත්මක වන්න මුළුමනින්ම අයිතිය තියනවා. දැන් ඇමෙරිකාව බ්‍රිතාන්‍ය වැනි රටවල් ඉරාකයට නැතිනම් ඇෆ්ගනිස්ථානයට වැදී කළ මහ ජන සංහාරය නැතිනම් ඒ මහා දේපොළ විනාශය ගැන ඒ රටවලට විරුද්ධව පරීක්ෂණ පැවැත්වෙනවා ද නැතිනම් යුද අධිකරණ ක්‍රියාත්මක වෙනවා ද? නැහැ. මේක මුළුමනින්ම ශ්‍රී ලංකා පාලනයෙන් තොරයි වගේම ශ්‍රී ලංකාවට විරුද්ධව කෙරෙන අසාධාරණ අතපෙවීමක් විදියටයි සැලකිය යුත්තේ. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය හා යුරෝපා රටවල් තමන්ගේ ආර්ථික, සමාජ හා දේශපාලන බලය අප වෙත පටවන්න ගන්නා උත්සාහයට අපි කැමැති ද නැද්ද කියන එකයි අද තියන ප්‍රශ්නය. අවුරුදු දෙකක් තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව ප්‍රධාන බටහිර රටවල් මානව හිමිකම් කවුන්සිලයේදී දෙවරක් යෝජනා ගෙනැවිත් සම්මත කරගෙන තිබෙනවා. ත්‍රස්තවාදය නිමා කිරීමේ යුද්ධයේ අවසාන සති දෙකේ සිදුවූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් ගැන අන්තර්ජාතික පරීක්ෂණයකට ඔවුන් බලපෑම් කරමින් සිටින්නේ. ශ්‍රී ලංකාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට නතු වූ රටක් ත්‍රස්තවාදය වපුරා මිනීමරා අවුල් කර දැමීමට උත්සාහ කළ ත්‍රස්තවාදී කල්ලියකට මොන මානව හිමිකම් ද ප්‍රභාකරන් ජීවත්වීමේ අයිතිය නැති කළ දස දහස් ගණන් සිවිල් ජනතාව ගැන මේ බටහිර රටවල් කතා නොකරන්නේ ඇයි, කියන එකයි ප්‍රශ්න කළ යුත්තේ. දෙමළ ඩයස්පෝරාව බටහිර රටවලට බලපෑම් කරමින් අවසානය දක්වා ත්‍රස්තවාදය ගැන විශ්වාසය තබා සටන් කළ කොටි ත්‍රස්තවාදීන්ගේ අයිතිය ගැන කතා කළත් පරීක්ෂණ ඉල්ලුවත් කොටි පළිහක් විදියට යොදාගෙන සිටි යුද්ධයට මැදිවී සිටි අහිංසක දෙමළ ජනතාවගේ ජීවිත බේරා ගැනීමට ශ්‍රී ලංකා හමුදාව එදා හැම පියවරක්ම ගත්තා. ඒ නිසාම ඒ මෙහෙයුම එදා හැඳින්වුෙණත් මානුෂික මෙහෙයුමක් ලෙසයි.
එදා කොටි ත්‍රස්තවාදීන් යාපනේ නගරාධිපති දොරේඅප්පා මරා දමමින් ආරම්භ කළ
කුරිරු ඝාතන අමිර්තලිංගම්, නීලන් තිරුචෙල්වම් වැනි දෙමළ ජනතාවගේම
දේශපාලකයන් බුද්ධිමතුන් මරා දමමින් නැවතීමක් නැතිව අවුරුදු තිහක්ම එක
දිගට ඉදිරියට ඇදුණා. බිම්බෝම්බ, ජොනී බෝම්බ හා නවීන යුද්ධායුද යොදා ගනිමින්
කෙරුණු මේ යුද්ධයෙන් ත්‍රිවිධ හමුදා සෙබළුන් දහස් ගණනක් මරුමුවට පත්වුණා වගේම
ආබාධිත තත්ත්වයටත් පත්වුණා. ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු හමුදාවටත් මේ කොටි ත්‍රස්තවාදයට මුහුණ දෙන්න වුණා. ඔවුන්ගේ සෙබළු දහසකට වැඩි පිරිසකටත් දිවි පුදන්න සිදුවුණා. ඒ සියල්ල අමතක කර බටහිර ජාතීන් මේ ඉල්ලන යුද අපරාධ පරීක්ෂණය කුමක් ද කියා අප පොදු මතයක පිහිටා ජගත් මානව හිමිකම් සමුළුවේදී ප්‍රශ්න කළ යුතුයි. මේ උත්සාහය තනිකරම කුමන්ත්‍රණයක්. මොකද අද මේ රටේ ඇතිවෙමින් තිබෙන ජාතීන් අතර සමඟිය සංහිඳියාව නැවත අවුලකට පත් කරන්නයි මේ උත්සාහ කරන්නේ. දෙමළ ඩයස්පෝරාවේ බෙදුම්වාදී වුවමනාව මත බටහිර බළල් අත් යොදවාගෙන රටේ ඇතිවන සමඟිය නැති කරන්නයි මේ සියල්ල කරනු ලබන්නේ. එදා තිබුණ අසමඟිය නැවත රටේ ඇති කරන්න දෙමළ ඩයස්පෝරාවට වගේම ඇමෙරිකාවටත් වුවමනා කර තිබෙන්නේ. අවසන් මොහොතේ ත්‍රස්ත නායකයන් බේරාගන්න ඔවුන් කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය නොපිළිගැනීම නිසයි ඔවුන් මේ සියල්ල කරන්නෙ. අද තමන්ගේ අණට කීකරු නොවීමට දඬුවම් කරන්න ඇමෙරිකාවට බ්‍රිතාන්‍යයට වුවමනා කර තිබෙනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ හුදකලා කිරීමේ මේ යටිකූට්ටු වැඩ පිළිවෙළට අපේ මිතුරු මෙන්ම සතුරු රටවල් හා අපට එක්කර ගත හැකි සියලු රටවල් එක්කරගෙන රට වෙනුවෙන් මුහුණ දිය යුතුයි. අද කොළඹ දෙමළ කතා කරන ජනතාව බහුතරයක් ඉන්නවා වගේම මේ රටේ ජාතිබේද ආගම් බේද කුලබේද මේ කිසිම බේදයක් නැතිව සියල්ලන්ගේ අයිතීන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට පීඩා වන බවත් සෙසු ආගම්වලට ඉඩක් නැති බවටත් අන්තර්ජාතිකව ගෙනයන ප්‍රචාර තනිකරම මුසාවක්. මේ මානව හිමිකම් චෝදනා ජිනීවාවල එල්ල වෙද්දී තමිල්නාඩුවේ ජයලලිතා මේ රටේ ඊළමක් පිහිටුවිය යුතු බවට යෝජනාවක් ගෙන එනවා. මේ සියල්ල එකම කුමන්ත්‍රණයක කොටස් බව පේනවා. මේක හුදු ආණ්ඩුවට විරුද්ධ යෝජනාවක් නොව මේ රටට රටේ පැවැත්මට එරෙහි යෝජනාවක්. අපි මේ ඇත්ත දකින්න ඕන. මෙහෙම තියෙද්දි මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියා වන නවාවිපිල්ලේ උතුරෙන් හමුදා ඉවත් කළ යුතු බවටත් ත්‍රස්තවාදී පනත ඉවත් කළ යුතු බවටත් නිර්දේශ ඉදිරිපත් කරනවා. මේ රට බෙදා වෙන් කිරීමේ වුවමනාවට මේ රටට ආදරය කරන කිසිවකු ඊට ඉඩ නොදිය යුතුයි. මේක රටට ආදරය කරන අය රටට ආදරය නොකරන අය වෙන් කර හඳුනාගත යුතු අවස්ථාවක්. යුද්ධයෙන් අවතැන් වූවන් නැවත පදිංචි කරමින් හමුදාවට බාර වූ කොටි ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කර 12000 ක ප්‍රමාණයක් නැවත සමාජයට එක්කරමින් ඔවුන්ගේ පාරම්පරික භූමි නැවත ඔවුන්ට පවරා දෙමින් මේ යන සාමකාමී සහජීවන ගමන කිසිවකුට නැවත හරවන්නට ඉඩ නොදිය යුත්තේ මේ රටේ ජනතාව ඇති තරම් කැපවීම් කර ඇති නිසාවෙනුයි. එදා තිබුණ ආණ්ඩුවේ බටහිර ගැති ප්‍රතිපත්තිය මත කොටි ත්‍රස්තවාදීන් පුහුණු කළේත් ඔවුන්ට අවි පුහුණුව ලබා දුන්නේ ත් ඉන්දියාවයි. අදත් හවුල් ආණ්ඩු නිසා ඉන්දියාවට ලංකාවට විරුද්ධව යන්නට සිදුව තිබෙතත් එය ශ්‍රී ලංකා අනාගතයට මෙන්ම ඉන්දියාවේ අනාගතයටත් භයානක අත්හදා බැලීමක් බව අප ඉන්දියාවට මතක් කර දිය යුතුයි. ඉන්දියාවේ කාශ්මීරයේ ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙනවා මෙන් ශ්‍රී ලංකාවට මෙන් චෝදනා ද වරින්වර නැඟෙනවා. අද ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් දමිළ ජනතාව වෙනුවෙන් ගෙන එන්නට යෝජනා කරන ජයලලිතාම හෙට තමිල්නාඩුව වෙනම රාජ්‍යයක් විය යුතු යයි යෝජනාවක් ගෙන නොඒවි යැයි කාට කිව හැකි ද? මොන වුවමනාවන් ඉස්සරහට දාගෙන මේ මානව හිමිකම්, යුද අපරාධ චෝදනා අපට ගෙනාවත් රට ගැන හිතන සියලු දෙනා මේ වේලාවේ එක රෑනක් ලෙස මේ ආණ්ඩුවත් ජනාධිපතිතුමාත් සමඟ සිටගත යුතුයි.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |