කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

හෙද පුරප්පාඩු පිරවීම ප්‍රශ්නයක්

දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

රෝහල් සේවා සඳහා හෙද හෙදි පුරප්පාඩු 10,000 ක් පිරවීමට තෝරාගත් පිරිස සම්මුඛ පරීක්ෂණයට කැඳවූ අවස්ථාවේ පැමිණ ඇත්තේ සියයට 60 ක පිරිසක් වන අතර සියයට 40 ක් හෙවත් 4000 පමණ පිරිසක් ඊට සහභාගි වී නැතැයි වාර්තා වෙයි.

මේ අනුව අදාළ රැකියා සඳහා සුදුසුකම් ලැබු පිරිස බඳවා ගැනීම ප්‍රශ්නයක් වී ඇත.

මෙපමණ විශාල පිරිසක් ඉදිරිපත් නොවීමට හේතුව රැකියාව කෙරෙහි උනන්දුව නැතිකම ද නැතිනම් සුදුසුකම් නොමැතිකම ද යන්න ප්‍රහේළිකාවක් වී තිබේ.

දැන් සිදුව ඇත්තේ රැකියා නොමැති වීම නොව පවතින රැකියා සඳහා සුදුසුකම් ලැබු පිරිස සොයා ගැනීමට නොහැකි වීම යයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් පැවැසීය. මෙලෙස කැඳවූ 10,000 පිරිස සම්මුඛ පරීක්ෂණයට පැමිණියේ නම් අදාළ සුදුසුකම් සැපිරූ සියලු දෙනාට රැකියා ලැබෙන අතර මෙතෙක් බඳවා ගැනීමට හැකි වී ඇත්තේ 6000 පිරිසක් පමණි.

හෙද වෘත්තියට බඳවා ගැනීමේදී අපොස සාමාන්‍ය පෙළ ගණිතය, සිංහල, ඉංග්‍රීසි සම්මාන සාමාර්ථ සහිතව උසස් පෙළ විද්‍යා විෂය ධාරාව සමත්වීම සුදුසුකම ලෙස සැලැකේ.

උතුරු නැ‍ඟෙනහිර යුද්ධය පැවැති සමයේ එම ප්‍රදේශවල දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වීම නිසා එම ප්‍රදේශවලින් මේ සඳහා ඉදිරිපත් වූ සංඛ්‍යාව ඉතාමත් සුළු සංඛ්‍යාවක් වී ඇත.

පවුල් සෞඛ්‍ය සේවිකාවන් 550 ක් බඳවා ගැනීමට කැඳවා තිබුණ පරීක්ෂණයකට 160 දෙනකුම පැමිණ නැත. දෙමළ මාධ්‍යයෙන් පවුල් සෞඛ්‍ය සේවිකාවන් දෙදෙනකුගේ පුරප්පාඩුවකට පැමිණ ඇත්තේ එක් අයකු පමණි.

බඳවා ගැනීමේ ප්‍රමාණය වැඩි කිරීම සඳහා සමහර පරීක්ෂණවලදී පරීක්ෂණයෙන් සමත්වීමට යොදාගන්නා සියයට 70 බැවින් එය සියයට 40 දක්වා අඩු කර අදාළ බඳවා ගැනීම් සිදු කිරීමටත් පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]