කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
නව සමාගම් 3ක කොටස් මේ මස වෙළෙඳ පොළට

නව සමාගම් 3ක කොටස් මේ මස වෙළෙඳ පොළට

ප්‍රධාන පෙළේ සමාගම් 3 ක් එකම කාලයේදී ප්‍රාථමික කොටස් නිකුත් කිරීම නිසා වෙළෙඳ පොළ මිල පහළ යාම තව දුරටත් එසේම පැවතුණි. එහෙත් ඇතැම් අවස්ථාවල වෙළෙඳ පොළ මිල ඉහළ ගිය අවස්ථා ද දක්නට තිබුණි.

පසුගිය 27 වැනිදා සඳුදා වැඩිම කොටස් ප්‍රමාණයක් අලෙවි වූ සමාගම වූයේ අමානා ටකාෆුල් සමාගමයි. සමාගමේ කොටස් එක්කෝටි අසූනව ලක්ෂ හැත්තෑ අටදහසක් අලෙවි විය.

එසේ ම එයිට්කන් ස්පෙන්ස් (කොටස් 2237100 ක්) බ්ලු ඩයමන්ඩ් (කොටස් 3397700 ක්) බ්ලු ඩයමන්ඩ් ඡන්ද බලය රහිත (කොටස් 6395200 ක්) දන්කොටුව පෝසිලෙන් (1683400 ක්) ඊස්ට් වෙස්ට් (කොටස් 1117500 ක්) මුලර්ස් (2348100 ක්) නේෂන් ලංකා (1559600 ක්) පෑන් ඒෂියන් පවර් (කොටස් 7054200 ක්) පී සී හවුස් (කොටස් 2166500 ක්) සෙලාන් (1643100 ක්) ඊ චැනලින් (1771800 ක්) ෆී‍්‍ර ලංකා (2879900 ක්) රේණුකා ඇගි‍්‍ර (2308000 ක්) හා එස් එම් බී ලීසිං සමාගම් කොටස් මිලියනයකට වඩා අලෙවි වූ සමාගම්ය.

එදින මිල ඉහළ ගිය සමාගම් අතර මොරිසන්ස් මුල් තැනක් ගත්තේය. පෙර දින රුපියල් 4037.30 ක් වූ සමාගමේ කොටසක මිල එදින රුපියල් 4500 ක් දක්වා ඉහළ ගියේය. දිනය අවසනදී එහි අගය දැක්වුණේ රුපියල් 4295.60 ක් ලෙසිනි.

මොරිසන්ස් ඡන්ද බලය රහිත කොටස් මිල ද ඉහළ ගියේය. එසේම කළම්ඹු ෆාමසි කොටසක මිල ද රුපියල් 2301.00 සිට රුපියල් 2525 ක් දක්වා ඉහළ ගියේය. දිනය නිමා වන විට එහි අගය දැක්වුණේ රුපියල් 2457.40 ක් ලෙසිනි. ඒ පෙර දිනට සාපේක්ෂව රුපියල් 156.40 ක ඉහළ යාමකි.

මිල පහළ ගිය සමාගම් අතර ඊ. බී. ක්‍රෙසි (පෙර දිනට සාපේක්ෂව රුපියල් 92.70 කින්) එලායන්ස් (පෙර දිනට සාපේක්ෂව රුපියල් 98.60 කින්) කැපී පෙනුණි.

එදින සිදුවූ විශේෂම සිදුවීම වූයේ අබාන්ස් ෆයිනෑන්සල් සමාගමේ කොටස් මිල ඉහළ යාමයි. රුපියල් 9.50 ක් වූ සමාගමේ කොටසක මිල එදින රුපියල් 104.50 ක් දක්වා විශාල ලෙසින් ඉහළ ගියේය. දිනය අවසානයේදී එහි අගය දැක්වුණේ රුපියල් 79.80 ක් ලෙසිනි. ඒ පෙර දිනට සාපේක්ෂව රුපියල් 70.30 ක විශාල මිල ඉහළ යාමකි.

පසු දින එනම් 28 වැනිදා අඟහරුවාදා සමාගම් රැසක කොටස් මිලියනය ඉක්මවා අලෙවි විය. එසේ කොටස් අලෙවි වූ සමාගම් අතර බ්ලු ඩයමන්ඩ්, දන්කොටුව පෝසිලෙන්, ඊස්ට් වෙස්ට්, ලක්ෂපාන, මුලර්ස්, නේෂන් ලංකා, නවලෝක, පෑන් ඒෂියන් පවර්, පී. සී. හවුස්, එස්. එම්. බී. ලීසිං, වැලිබල්, අමානා, ඊ චැනලින්, ෆී‍්‍ර ලංකා, මල්ටි ෆිනැන්ස් යන සමාගම් විය.

මොරිසන්ස් සමාගමේ කොටසක් රුපියල් 4300 කට අලෙවි වීම මෙහිදී කැපි පෙනුණි.

මොරිසන්ස් ඡන්ද බලය රහිත කොටසක මිල එදින රුපියල් 3365 සිට රුපියල් 3100 ක් දක්වා රුපියල් 265 කින් අලෙවි විය. දිනයේ කැපී පෙනෙන මිල පහළ යාම දැක්වුණේ පැරගන් සමාගමේය. පෙර දින රුපියල් 2750 ක්වූ සමාගමේ කොටසක මිල එදින රුපියල් 1550 ක් දක්වා රුපියල් 1200 කින් අඩු විය. එදින මිල ඉහළ ගිය සමාගම් අතර ඔටෝඩ්‍රොම්, සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, ඊස්ට් වෙස්ට්, ඊ බී ක්‍රෙසි, සමාගම් විය.

පෙර සතිය අවසන් වන විට සමස්ත කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 6892.56 ක් ලෙසිනි. එය 27 වැනිදා සඳුදා ඒකක 6894.26 ක් දක්වා ඉහළ ගියේය. අඟහරුවාදා එම අගය දැක්වුණේ ඒකක 6862.83 ක් ලෙසිනි.

මිලංකා මිල දර්ශකය පෙර සතිය අවසානයේ දැක්වුණේ ඒකක 6439.30 ක් ලෙසය. එය ඉහත සඳුදා දින ඒකක 6429.91 ක් ලෙස සටහන් වූ අතර අඟහරුවාදා දින නිමා වන විට අගය දැක්වුණේ ඒකක 6395.78 ක් ලෙසිනි.

පෙර සතියේ අවසන් දින ගනුදෙනු 17715 ක් සිදුවූ නමුත් මේ සතිය ආරම්භයේදී එම අගය 21700 ක් දක්වා ඉහළ ගියේය. අඟහරුවාදා එම අගය 20553 ක් දක්වා ඉහළ ගියේය.

මේ මාසයේදී වෙළෙඳ පොළට සොෆ්ට්ලොජික්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් හා වැලිබල් වන් සමාගම් පිවිසෙනු ඇත. සොෆ්ට්ලොජික් සමාගම තම කොටස් ජුලි 6 වැනිදා වෙළෙඳ පොළට නිකුත් කරනු ලබන බවට නිවේදනය කර ඇති අතර ආයෝජකයන්ට ඒ බව දන්වා ඇත. සෙසු සමාගම් දෙක ද මේ මස අවසන් වීමට පෙර තම කොටස් වෙළෙඳ පොළට නිකුත් කරනු ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]