කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

ප්‍රගති වාර්තාව ගෙදරට පෙන්වන්න බයේ ගැහුණු හැටි තාම මතකයි

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයත් අලවි මවුලානා යන නාමයත් ගසට පොත්ත සේ තදින් බැඳී ගිය කාරණාවක්. ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති බල මණ්ඩලයේ හා ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලයේ අණ දෙන නිලධාරි පදවිය උසුලන බස්නාහිර පළාත් ආණ්ඩුකාර අල්හාජ් අලවි මවුලානා මහතා. පනහේ දශකයේ අවසාන බාගයේ දී වෘත්තීය සමිති ව්‍යාපාරයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ විය.

පනහේ දශකයෙහි පැවැති වෘත්තිය සමිති අරගලවලදී සේව්‍ය පක්ෂයට එරෙහිව සේවක පක්ෂය වෙනුවෙන් පෙනී සිටිමින් ඇති නැති පරතරය අවම කිරීමට උත්සහ කළ සැබෑ වමේ නායකයකු වන අලෙවි මවුලානා මහතා ලංකාවේ ආණ්ඩුකාර ධූරයකට පත් එකම කම්කරු නායකයා ද වෙයි.

නබිනායකතුමා උපන් පරම්පරාවට නෑකම් කියන මවුලානා පරම්පරාවෙන් පැවැත එන ධනවත් වංශවත් පවුලක තුන් වැනි පුතා ලෙස ඔහු මෙලොව එළිය දුටුවෙ නවසිය තිස් දෙකේ ජනවාරි පළවැනිදා. එවකට කොළඹ ධනවතුන් ගේ පදිංචිය සඳහා වෙන්වූ හල්ස්ඩොෆ් ප්‍රදේශය හෙවත් වර්තමාන බණ්ඩාරනායක පුරය නමින් හැඳින්වෙන ප්‍රදේශයේ පිහිටි සුවිසල් මන්දිරයකදී.

මහනුවර ප්‍රදේශයේ ඉඩම් හිමි වැවිලිකරුවකු මෙන් ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ සෙයියද් අහමද් සහ මාතර වැලිගම ප්‍රභූ පවුලකින් පැවත ආ සිත්ති රහුමාන් යුවළට දාව පවුලට එක්වූ තුන් වැනි පුතාට ඔවුන් ‘සෙයයද් අලවි මවුලානා’ යන නම තිබ්බා. අලවිට වැඩිමල් සහෝදරියන් දෙන්නයි. බල සහෝදරයන් දෙදෙනයි.

පුංචි කාලෙ ඔවුන් ගත කෙළේ කිසිම අඩු පාඩුවකින් තොර සැපවත් දිවියක්. පියාටත් මවටත් වුවමනා කළේ ඔවුන්ට උසස්ම අධ්‍යාපනයක් ලබා දෙන්නටයි. ඒ වගේ ම ඉතාම හොඳ විනයානුකූල ආගමික පරිසරයක ඔවුන් හදා වඩාගන්න අම්මා තාත්තා උත්සාහ කළා.

ඉතාම කුඩා වයසේ දී වුණත් අම්මා තාත්තා පාන්දර හතර හමාර වෙනවිට දරුවන් අවදි කළා. අවදි වූ ගමන් ම ආගම සිහි කරනවා. ඉන් පසුව මූණ හෝදලා කෑම කාලා බීලා පාසල් යනවා. අලවි මුලින් ම ඇතුළත් කළේ නිවෙස අසල පිහිටි හම්සදී අලි හුසේන් පාසලට. අලවිගේ මූණ කට හෝදවලා අන්දලා කරලා යැව්වෙ අක්කා. ඔවුන් පරණ යොන් වීදියේ ඉඳලා අලුත් යොන් වීදියේ පිහිටි පාසලට ගියෙ පයින්. තුනේ පන්තියේ දී හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට හිතලා පියා ඔහු ඇතුළු කළා වැල්ලවත්තේ ශාන්ත පීතර විද්‍යාලෙට.

අලවිලා අධ්‍යාපනය ලැබුවේ දෙමළ මාධ්‍යයෙන්. ආගමට හැම විටම මුල් තැනක් හිමි වුණා. වයස අවුරුදු හත පමණ වනතුරු පුංචි ළමයින්ට නෝම්බි අල්ලන්න වෙන්නේ නෑ. ඉන් පස්සේ ඔවුන් නෝම්බි අල්ලා නිරාහාරව උපවාස කළ යුතුයි. පාන්දර හතර වෙනවිට පවුලේ පුංචිම දරුවොත් අවදි වෙලා. මූණකට හෝදලා උදේට කෑම කනවා. ඉන් පසුව ආගම සිහි කරලා උපවාසය අරඹනවා. එයින් ඔවුන් බලාපොරොත්තු වුණේ දිළිඳුන් ගේ දුක හඳුනාගැනීමයි.

මූස්ලිම් ආගමික අධ්‍යාපනයට මෙන් ම සංස්කෘතියටත් ඔවුන් ගේ පාසල් අධ්‍යාපනයේදී මුල් තැනක් හිමි වුණා. නිවසේ දී බොහොම විනයානුකූලව හැදුණා. අම්මා දරුවන්ට ආදරෙයි ඒත් ඈ දරුවන්ට තරමක් තදින් හිටියා. පාසල ඇරිලා ඇවිත් කාලා බීලා අවට දරුවන් සමඟ සෙල්ලම් කරන්න ගියත් හවස හයට කලින් ළමයි ගෙදර එන්න ඕනෑ. ඇඟපත හෝදාගෙන පොත පතේ වැඩකරන්න ඕනෑ. කලට වේලාවට ආගම සිහි කරන්න ඕනෑ. සණ්ඩු සරුවල් කෑ කෝ ගැහිලි අම්මාට හොරෙන් තමයි.

පොත පතේ වැඩ ගැන අම්මා වගේ ම තාත්තාත් නිතර හොයා බැලුවා. වාර විභාගෙට ලකුණු අඩු වුණොත් වේවැල් පාර ලැබෙනවා. රාත්‍රි අට වෙනවිට පොත පතේ වැඩ නිම කරලා රෑට කෑම කනවා. නවය වනවිට ළමයි නිඳාගන්න ඕනෑ. ඒ කාලෙ අද වගේ රූපවාහිනී, පරිගණක, වීඩියෝ ක්‍රීඩා තිබුණේ නෑ. පොත්පත් කියවීමත්, තෝරා ගත් ගුවන් විදුලි වැඩසටහන්වලට සවන් දීමත් හැරුණාම සම වයසේ ළමුන් සමඟ සෙල්ලම් කිරීමයි විනෝදාංශ.

අලවි හැමදාම පන්තියේ පළමුවැනියා. මුළු පාසල් කාලය තුළම ඔහු දෙවැනියා වුණේ එකම එක වරයි. එදා ඔහු ප්‍රගති වාර්තා පොත ගෙදර ගෙනිහින් පෙන්වන්න බයේ ගැහුණු හැටි අදත් ඔහුට මතකයි. දෙමළ භාෂාවෙන් ඉගෙන ගත්තත් අලවි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නත් ලොකු උනන්දුවක් දැක්වූවා. සිංහල භාෂාව ඉගෙන ගන්නත් ඒ වගේ ම උනන්දු වුණා. ඔහුගේ වැඩිමල් අක්කා පොත පතේ වැඩ කරගන්න අලවිට සහය වුණා. පොත් පත් පාඩම් කරන්න කවුරුත් බල කළේ නෑ. ඒත් අම්මා වේවැල අතට ගත්තොත් ළමයි මීයට පිම්බා වගෙයි.

පුංචි පුංචි කතා පොත් අමතර පොත් කියවලා අලවිට භාෂා තුනම ඉතාම හොඳට හසුරුවන්නට හැකියාව ලැබුණා.

භාෂා තුනම චතුර ලෙස ලියන්නට කියන්නට වගේ ම පද පෙරැළි කරමින් ඉතා රසවත්ව කතා කරන්නටත් ඔහු සතුවන හැකියාව උපතින් ම ලත් කුසලතාවක් වගෙයි. පද පෙරළි සහිතව ඉතා චතුරව භාෂා තුනෙන් ම කතා කරන්නට අලවි තරම් සමතෙක් තවත් නැති තරම්. ඒ දක්ෂතාව නිසාම ඔහු ගේ කතා අසා සිටින්නට බොහෝ දෙනා කැමතියි.

නෝම්බි ඇල්ලුවා ම රෑට බඩ පිරෙන්න කන්න පුළුවන් කියලයි හැමෝම හිතාගෙන ඉන්නේ. ඒත් උදේ ඉදන් කුසගින්නේ ඉඳලා බඩ ඒකට හුරු වුණා ම හැන්දෑවට ඒ හිතපු තරම් කන්න බෑ. බොහොම ටිකක් කෑවත් බඩ පිරෙනවා. පුංචි කාලෙදීම අපි ඉගෙන ගත්තු පාඩම ඒකයි. කුසගින්නට ලොකු පොඩි භේදයක් නෑ. කුස ගින්න තරම් ලොකු ගින්නක් තවත් නෑ. ඒත් කොයිතරම් කුසගිනි තිබුණත් කොයි තරම් කෑම තිබුණත් මිනිසාට කන්නට පුළුවන් බඩට අල්ලන තරම විතරයි. තණ්හාවෙ තරමට කන්න හොඳ නෑ” ආණ්ඩුකාර තුමා හඬ නගා හිනැහෙනවා.

පාසලේදී ඉංග්‍රීසි වගේ ම ලතින් භාෂාව ඉගෙන ගත් අලවි දෙවන බස ලෙස තෝරා ගත්තේ සිංහල. සිංහල සාහිත්‍ය පොත්, ඉතිහාස පොත් කියවන්නට ඔහු කැමතියි. පාසලේ සිංහල ද්‍රවිඩ ඉංග්‍රීසි යන මාධ්‍ය තුනේ ම විවාද කණ්ඩායමේ නායකත්වය දැරූ අලවි ඉදිරිපත් වූ තරගයක් ලේසියෙන් පරාද වුණේ නෑ. පාසල තුළ මෙන් ම අන්තර් පාසල් දැනුම මිනුම තරග අකුරු දැනුම තරග සියල්ලෙන් අලවි හැමවිටම ජය ලැබුවා. පත පොතේ වැඩට දස්කම් පෑවට ක්‍රීඩා අංශයට ඔහු ඒ තරම් ඇල්මක් දැක්වූයේ නෑ. පාසලේත් අසල් වැසි මිතුරන් සමඟත් ඉඳහිට ක්‍රිකට් ක්‍රීඩා කළා.

පාසලේ නිවාඩු කාලෙට අලවිලා මාතර වැලිගම පිහිටි අම්මාගේ මහ ගෙදරට ගියා. ඒ ගිය ගමනේදී ඔවුන්ට කොළඹ ජීවිතේට වැඩි නිදහසක් ලැබුණා. අහල පහල ගෙවල්වල දරුවන් සමඟ සෙල්ලම් කරන්න, වතු පිටිවලට වැදිලා අඹ, ජම්බු, පේර වගේ පලතුරු කඩාගෙන කන්නට ඔවුන්ට අවස්ථාව ලැබුණා.

වැලිගම දී ඔවුන් අසනීප වුණාම අම්මා ඔවන් බේත් ගන්න එක්ක ගියේ එස්.ඒ. වික්‍රමසිංහ දොස්තර මහත්තයා ළඟට, මෙරට වාමාංශික ව්‍යාපාරයේ නියමුවකු වූ එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ මානව හිතවාදියෙක්. ඔහුගෙන් ප්‍රතිකාර පතා ආ අසරණ දිළිඳු ගම්මුන්ට ඔහු නොමිලේ ප්‍රතිකාර කළා විතරක් නොවෙයි. දිළිඳුකමින් මන්දපෝෂිත ලක්ෂණ පහළ කළ දරුවන්ට බීලා සුවපත් වෙන්න කියලා මෝල්ටඩ් මිල්ක් ටින් එකකුත් දීලයි පිටත් කළේ.

වැලිගම නිවසට යාබදව පිහිටි දොස්තර මහත්තයාගේ බෙහෙත් සාප්පුවේ ඔහු දුප්පතුන්ට වෙදකම්කළ හැටිත් කරුණාවෙන් සලකාපු හැටිත් නිතර ඇසගැසුණු පුංචි අලවිගේ හිතේ ඇති වුණේ ලොකු පැහැදීමක්. ඒ පැහැදීම නිසා වික්‍රමසිංහ මහත්තයාගේ කතා අහන්න, ඇන්.ඇම්.පෙරේරා මහත්තයාගේ කතා අහන්න ඔවුන්ගේ වාමාංශික ව්‍යාපාරය ගැන උන්දුවක් ඔහු තුළ ඇති වුණා.

වත්පොහොසත්කම් ඇති ව්‍යාපාරික පවුලක තරුණයකුගේ සිතිවිලිවලින් සපුරා වෙනස් වූ මානව හිතවාදී සිතිවිලි සමුදායකින් ඔහුගේ යොවුන් සිත අවදි වෙමින් තිබුණා. දුප්පතුන් තළා පෙළා වැඩ ගෙන තම මඩිය තර කරගන්නා හාම්පුතකු වීමට වඩා හාම්පුතුන්ගේ අසාධාරණයට ලක්ව දිළිඳු කමින් පීඩා විඳින සේවකයන්ගේ දුක තරුණ අලවිගේ හදවතට වඩාත් හොඳින් දැනුණා. අධ්‍යාපනයෙන් ඉහළටම ගොස් ස්වකීය ව්‍යාපාර දියුණුකර ගන්නවාට වඩා රැකියාවක යෙදෙමින් වැඩ කරන ජනතාව සමඟ එක්වී ඔවුන්ගේ දුක දිනා ජයගන්නට සහය වන්නට අලවිගේ සිත වඩාත් යොමු වුණා.

අලවි පාසලේ දඟකාරයෙක් නොවෙයි. ඒත් අයුක්තියට, අසාධාරණයට එරෙහිව ඔහු හැමවිටම නැඟී සිටියා. පාසලේ කැඩේට් කණ්ඩායමේ සාමාජිකයකු වූ අලවි බොහෝ විට පන්ති නායකයා ලෙසත් කටයුතු කළා. මරදානේ සහිරා විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික විභාගය සම්මාන සහිතව සමත් වූ අලවි වරායේ ගබඩා භාරකරුවකු ලෙස මුලින්ම රැකියාවකට යොමු වුණා. රුපියල් 90 පඩියට වරායේ රැකියාවට ගිය අලවිට වරායේ කම්කරු සංගම් වෘත්තීය සමිති ව්‍යාපාරයට සම්බන්ධ වන්නට ඒ හැටි කලක් ගත වුණේ නෑ.

1946- සහ 47 වසර මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයෙහි විශාල පිබිදීමක් ඇතිවුණා. එවකට තිබූ එකම කම්කරු සම්මේලනය ආණ්ඩුවේ කම්කරු සම්මේලනයයි. ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය එතරම් දියුණුවක් ලබා නොතිබූ ඒ කාලයේ එහි විශේෂ පිබිදීමක් ඇති වෙන්නට හේතු වුණේ 1947 මහා කම්කරු වැඩ වර්ජනයයි. පාසල් යන කාලයේ පටන්ම මම වාමාංශික ව්‍යාපාරය ගැන පැහැදිලා ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධ වෙලා හිටියා. රජයේ සේවකයන්ට පඩි වැඩි කිරීම, නිවාස තනා දීම, විශ්‍රාම වැටුපක් ලබාදීම, දේශපාලන අයිතිවාසිකම් ලබාගැනීම වැනි ඉල්ලීම් කිහිපයක් 47 වර්ජනයෙන් ඉල්ලා සිටියා.

මේ ඉල්ලීම් සම්බන්ධව සොයා බැලීමට රජය ඔලිවර් ගුණතිලක මහත්තයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. ඒ කමිටු වාර්තාවෙන් රජයේ සේවකයින්ට යම් සහනයක් දුන්නා. නමුත් රජයේ සේවකයා සහ කම්කරුවා කියා වෙන්කොට සැලකීමට මේ කමිටුව කටයුතු කළා. මේකට විරුද්ධව කම්කරුවන් විශාල උද්ඝෝෂණයක් ඇතිකළා. කම්කරුවන්ට එවිට ඒ.ඊ.ගුණසිංහ මහත්තයාගේ සභාපතිත්වයෙන් යුතුව තවත් කමිටුවක් රජය විසින් පත්කළා. ඒකෙනුත් වැඩක් වුණේ නෑ.

1947 ඔක්තෝබර් 16 වැනිදා රත්මලාන දුම්රිය වැඩ පොළෙන් විශාල වැඩවර්ජනයක් ඇරැඹුණා. වරායේ කම්කරුවනුත් වැඩ වර්ජනයට එකතු වුණා. ආහාර ද්‍රව්‍ය ගොඩබෑමේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වුණා. කොළඹ වරායට ආපු නැව් රාශියක් බඩු නොබාම ආපසු ගියා. පළාත් පාලන ආයතනවල කම්කරුවන් ඇතුළු විසි දහසකට වැඩි කම්කරු පිරිසක් වර්ජනයට එක්වුණා. එවකට මාර්ග හා කර්මාන්ත ඇමැතිවරයාව සිටි සර් ජෝන් කොතලාවල ගුවන් විදුලියෙන් කම්කරුවන් අමතා වර්ජනය නවතා සේවයට වාර්තා කොට දුක් ගැනවිලි ඉදිරිපත් කරන්නට කීවා.

පොලිසිය හා යුද හමුදාවට අමතරව නාවික හා ගුවන් හමුදා භටයන් කොළඹත් අවට නගරවලත් සැරිසරමින් කම්කරුවන් බිය ගැන්වීමට උත්සාහ කළා. ඒ වන විට මගේ වයස අවුරුදු පහළොවයි. ගෙදරින් දැක්වූ විරෝධ නොතකා මමත් මේ උද්ඝෝෂණවලට සහය දැක්වූවා. මේ සටනේදී කම්කරු නියෝජිතයන්ගේ එකම උපදේශකයා ලෙස කටයුතු කළේ ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා. කම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වීමට ඉදිරිපත් වූ ඇන්.ඇම්. පොලිසිය විසින් සාකච්ඡාවටත් පෙර සිරභාරයට ගත්තා.

මෙයින් කෝපයට පත් වූ කම්කරුවන් විරෝධය පළ කරමින් පෙළපාළි ගියා. කම්කරු උද්ඝෝෂණය නිසාම පැය කිහිපයක් ඇතුළත ඇන්.ඇම්. නිදහස් කළා. පස්වරුවේ කම්කරු නියෝජිතයන් සමඟ ඇන්.ඇම්. ආණ්ඩුකාරයා සමඟ කරන ලද සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස කම්කරුවන්ගේ වැටුප් කිසියම් ප්‍රමාණයකින් වැඩිකරගන්නටත්, ගෙවල් කුලිය ලබා ගන්නටත්, අනියම් සහ විවේක නිවාඩු ක්‍රමයක් ලබාගන්නටත් පැය 48ක වැඩ කළ යුතුª සතිය පැය 45 දක්වා අඩු කරගන්නටත් හැකියාව ලැබුණා” ආණ්ඩුකාරතුමා පවසනවා. ලංකාවේ කම්කරු පන්ති ඉතිහාසයේ සඳහන් ජයග්‍රාහී වැඩවර්ජනයක් වූ මෙයින් පසුව කම්කරු පන්තියේ ශක්තිය වර්ධනය වුණා. මේ වර්ජනයට සෘජුවම සම්බන්ධ නොවුණත් අලවි දේශපාලන වේදිකාවට අවතීර්ණ වූයේ මේ සටන් ඇසින් දැකීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

කම්කරු ව්‍යාපාරයට වගේම දේශපාලන ක්‍ෂේත්‍රයටත් තමා අවතීර්ණ වූ හැටි ආණ්ඩුකාරතුමා සිහිකරන්නේ මෙහෙමයි.

”නවසිය පනස් දෙකේ බණ්ඩාරනායක මහත්තයා ශ්‍රීී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගන්නා තුරු මා සිටියේ කොමියුනිස්ට් පක්ෂය සමඟ. ඒ අය සමඟ එකට වැඩ කළා. පක්ෂ සාමාජිකත්වය ගත්තේ නෑ. ඒත් ෂන්මුගදාසන්, ඇල්.ඩබ්ලිව්.පණ්ඩිත, පීටර් කේනමන් වගේම ඇන්.ඇම්., කොල්වින් යන සමසමාජ නායකයන් එක්කත් සමීපව කටයුතු කළා. ඒ වගේම කොළඹ නගර සභා දේශපාලනයේදී දොස්තර කුමාරන් රත්නම් මහත්තයා එක්ක කටයුතු කළා. එතුමා කොළඹ පළමුවැනි වාමාංශික නගරාධිපතිවරයා බවට පත්වුණා.

ඔහුට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා. මෙයට විරුද්ධව අපි උද්ඝෝෂණය කළා. ඒ අවස්ථාවේ මාව පොලිස් අත්අඩංගුවට ගත්තා. ඒ වන විට මගේ වයස අවුරුදු දාසයයි. 1951 එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවන විට මමත් ඊට එකතුවුණා.” 1958 දි පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවට පත්වූ ඔහු අදටත් එහි සාමාජිකයෙක්.

එතැන් පටන් අද දක්වාම ඔහු කම්කරුවන්ගේ අයිතිවාසිකම් උදෙසා කම්කරුවන් හා එක්ව සිටිමින් පෙරමුණෙහි සිටියි. 1956 හර්තාලය, 1980 ජූලි වර්ජනය, 1994 වැඩකරන ජනතාවගේ වැටුප් අරගලය, ඇතුළු අරගල රාශියක නියමුවකු ලෙස අලවි මවුලානා මහතා මෙරට වැඩකරන ජනතාව වෙනුවෙන් සිය දිවි පරදුවට තබා කටයුතු කළා. දේශපාලන මැරයින්ගේ ප්‍රහාරවලට ලක්ව කිහිප වාරයක්ම දරුණු තුවාල සහිතව රෝහල් ගත වුණා. කම්කරු අරගල නිසාම හිරගෙවල්වල තපින්නට සිදුවූ වාර අනන්තයි.

අලවි මව්ලානා මහත්තයා යුග දිවි ඇරැඹුවේ 1952 දී. ඒ යෝජිත විවාහයක්. ඔහුගේ දුර ඥාතිවරියක වන ෂරීපා මෙනෙවිය. ජීවන ගමනේ සාර්ථකත්වයට සැබෑ සහයෝගයක් දැක්වූ ඈ ඔහු ගේ ජීවිතයේම කොටසක් බවට පත්ව සිටි බව අද ඔහු මෙනෙහි කරන්නේ සෙනෙහසින්. මව්ලානා යුවළට දරුවන් හයදෙයි. දූවරුන් තිදෙනයි පුතුන් තිදෙනයි. අද ඔවුන් හැමදෙනාම විවාපත් වෙලා. සිය බිරියගේ වියෝවින් පසුව ආණ්ඩුකාරතුමා ගේ දුක සැප බලාගන්නේ ඔහුගේ දියණියක්.

1994 දී පත්කළ මන්ත්‍රීවරයකු හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස චන්ද්‍රිකා රජයේ වැඩ බාරගත්තා.

ඔහු 1997 දී එම රජයේම පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයා ලෙස පත්වුණා. 2000 දී කම්කරු ඇමැතිවරයා ලෙස පත්වුණා. 2001 දී පරිවාස රජයේ ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස පත්වූ ඒ මහතා 2002 ජනවාරි පළමුවැනිදා සිට අද දක්වාම බස්නාහිර පළාතේ ආණ්ඩුකාර පදවිය උහුලනවා.

”අද ඇමැති, හෙට නොමැති” යන්න සිය ජීවිතයේ ආදර්ශ පාඨයක් බවට පත්කරගත් ආණ්ඩුකාරතුමා අද අපේ දේශපාලන ක්‍ෂේත්‍රයෙහි ආදර්ශවත් චරිතයක් වසර හැත්තෑතුනක් වූ ස්වකීය ජීවන ගමනෙහි මැකී ගිය පිය මං ඔහු අද සිහිපත් කරන්නේ මහත් වූ තෘප්තියෙන්. සිය දේශපාලන ගමන් මඟෙහි අත්පත් කරගත් ලාභයන්ට වඩා ඔහුට අහිමි වූ දේ බොහෝයි.

ඒ අතර මිල කළ නොහැකි තරම් වටින්නා වූ ඔහුගේ සොහොයුරාගේ ජීවිතය, ස්වකීය දරුවන්ගේ ව්‍යාපාර, අධ්‍යාපන අවස්ථා, තමාට උරුමයෙන් හිමි වූ වස්තු දේපළ, වරින් වර හිමිවූ ශාරීරික මෙන්ම මානසික වද හිංසා මෙන්ම සිරගතවීම් ද වේ.

මේ කිසිවකින් ඔහුගේ කම්කරු ව්‍යාපාරය හෝ කම්කරුවන් වෙත දක්වන දයාව අඩපණ කළ නොහැකිය. ඒ අදත් ඔහු ජීවිතයටත් තවත් බොහෝ දේටත් වඩා වෘත්තීය සමිති ව්‍යාපාරයට ආදරය කරන්නා වූ බැවිනි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]