කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ආලින්දය

කාර්ය බහුල වුණත් ගෙදර ගැන හොයලා බලන්න ඔහු නිතරම උනන්දු වෙනවා

අපේ ගෙදරට අවශ්‍ය එළවුළු වත්තෙන්ම ගන්න පුළුවන්
 

උපුල් - රසාංගනී කැදැල්ල

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පෙරළිකාර වෙනසක් ඇති කරමින් ඔහු වටා රොද බැඳුණු දැයේ දූ දරුවන්ගේ ගණන සංඛ්‍යාත්මකව කියන්නට කාටවත්ම හැකියාවක් නොවනු ඇත. ලංකාවේ හතර දිග් භාගයේම ඔහුගේ ගෝල බාලයන් රැසකි.

පුරා වසර ගණනාවක සිටම ඔහුගෙන් උගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද විවිධ ක්ෂේත්‍රයන්හි ඉහළ තැන්වල වැජඹෙයි. එහෙත් ඒ ගුරුතුමා නම් තවමත් දැයේ දූ දරුවන්ගේ නෙත් පාදන්නට ඇප කැප වී සිටියි. එදා අපේ සිංහල පංතියට ආදරේ කළ බොහෝ දෙනා සේම වර්තමානයේද එයට ආදරේ කරන්නෝ බොහෝ වෙති. මේ සැම වෙනුවෙන් එක ලෙස සිප් නැණ බෙදන ඔහු උපුල් ශාන්ත සන්නස්ගලය. මෙවර අපේ ආලින්දය සරසනුයේ ඔහු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජික සාමාජිකාවන්ය.

මත්තේගොඩ නිවාස යෝජනා ක්‍රමය පසු කරමින් මදක් දුර යන විට කුඩා කඳු ගැටයකට වන්නට පිහිටි බිමක පිහිටි ඔහුගේ සොඳුරු නිවහන සැබැවින්ම සෞන්දර්යයේ නවාතැනකි. නිවෙසට ළඟා වීමට මත්තෙන් ඉඩමට යාබදව අපට දකින්න ඇත්තේ සරුසාර එළවුළු වගාවකි. ගොවි බිම පුරා දක්නට ඇති විවිධ වර්ගයේ එළවුළු, පලතුරු හොඳ ගොවියකුගේ ශක්තිමත් දෑතක මහිමය කියාපායි.

සන්නස්ගල සිය පවුලේ උදවියත් සමඟ දිවි ගෙවන්නට තෝරාගෙන ඇත්තේ කොළඹින් මදක් බැහැරට වන්නට පිහිටි නිස්කලංක පරිසරයකි. මේ නිවෙසේ සාමාජිකයන් වන්නේ සන්නස්ගලත්, ඔහුගේ බිරිය රසාංගනී හා පුතුන් දෙදෙනාත් ය.

”අපේ ගෙදර දවස ආරම්භ වෙන්නේ එක් එක් දවසට එක් එක් අයුරින්. සමහරවිට දවස් හත හත් විදියක් වෙන්න පුළුවන්. උපුල්ට නුවර වගේ ක්ලාස් තිබෙනවා නම් එයා පාන්දර තුන හමාරට ගෙදරින් පිටත් වෙනවා. පුතාලා දෙන්නා ඉස්කෝලෙ යන දවසට නම් ඒ දෙන්නා 6.10 වෙත්දී ගෙදරින් පිටත් වෙනවා. මේ දවස්වල නම් දෙන්නම විභාගෙ ලියලා ගෙදර ඉන්න නිසා ටිකක් දවල් වෙනවා. නිවෙසේ ගෘහ පාලිකාව උපුල්ගේ දයාබර බිරිය රසාංගනී කිවුවා.

උපුල් - රසාංගනී යුවළට ඉන්නේ පුතාලම දෙන්නෙක්. වැඩිමල් පුතා සඳගෝමී සන්නස්ගල උසස් පෙළ කරලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවා. දෙවැනියා පන්සිළු සන්නස්ගල. ඔහු සාමාන්‍ය පෙළ කරලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නවා. දෙන්නම අධ්‍යාපනය ලබන්නේ විචර්ලි ජාත්‍යන්තර පාසලේ.

පන්සිළු ගැන වැඩියමක් සඳහන් කරන්න වෙන්නේ ඔහු ලේඛකයකු වශයෙන් පසුගියදා දොරට වැඩිය නිසා. සමරකෝන් පතිරාජ විසින් රචිත ළමා කතා පොත් 5 ක් පන්සිළු අතින් පසුගියදා ඉංගි‍්‍රසියට පරිවර්තනය වුණා. The sleepers river, The blunt pandit and six Mutts, The fussy farmer, Mister steeple and Mister Dumpy, The Two Cheaters එම ග්‍රන්ථ 5 යි.

පන්සිළු කුඩා කල පටන්ම කියවීමට දැඩිව ඇබ්බැහි වුණු අයෙකි. ඔහුගේ මේ කුළුඳුල් පරිවර්තන කෘතින් අනාගතේ අගනා පරිවර්තකයකු අපට ලැබීමේ මං සලකුණු පහල කරනු ඇත.

උපුල් - රසාංංගනී නිවෙසේ කෑම බීම සැකසීම බොහෝ විට සිදුවනුයේ චතුරංගනී අතිනි.

”අපි එළියෙන් කෑම කන එකනම් හරිම අඩුවෙන් කරන්නේ. අපේ ගෙදරට අවශ්‍ය එළවුළු වත්තෙන්ම ගන්න පුළුවන්. අපි තෙල් වැඩිපුර තිබෙන කෑම කොහොමත් හදන්නේ නෑ. උපුල් ගොඩාක් පාන්දරින් ගෙදරින් යන්නේ නැති දවසට හැමදාම දවල්ට කෑම එකත් ගෙදරින් අරගෙන යන්නේ. කොච්චර කාර්ය බහුල වුණත් ගෙදර ගැන හොයලා බලන්න ඔහු නිතරම උනන්දු වෙනවා.

උදේට නැගිටලා වත්තට ගිහින් එළවුළු කොටුවේ වැඩ කරන දෙන්නට කරන්න ඕන දේවල් කියලා උපුල් උපදෙස් දෙනවා. ඒ අනුව තමයි ඒ දෙන්නා වැඩ කරන්නේ. එයාගේ කාර්ය බහුලත්වයත් එක්ක අපි දෙන්නා ඉතාම හොඳ අවබෝධයකින් මේ දිගු ගමන ආවා.

උපුලුත් – චතුරංගනීත් විවාහ වී දැන් වසර 20 කි. මේ දෙදෙනා හඳුනාගෙන ඇත්තේද විශ්ව විද්‍යාලයේදීය. එදා පටන්ම ඉලක්කයක් ඇතුව ජීවිත ගමන සකසා ගැනීම නිසාවෙන් අද සැනසිලිදායක යුග දිවියක් ගෙවන බව චතුරංගනී පවසයි.

බෞද්ධ ආගමානුකූලව ජීවිතය හැඩගසා ගන්නට මේ පවුලේ උදවිය කටයුතු කරයි. උදේ හවා පන්සලට නොගියත් උදේ හවා බුදුන් වෙනුවෙන් නිවෙසේ පහනක් දැල්වෙයි.

උපුල් - චතුරංගනී යුවළගේ දරුවන් දෙදෙනාම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූවන්ය. දෙවැනි පුතා පන්සිළු අ.පො.ස සා.පෙළ හදාරා මේ දිනවල නිවෙසේ පසුවන බැවින් උපුල්ගේ සිංහල පංතියට සම්බන්ධ වේ.

පන්සිළු ගේ නිර්මාණ කාර්යයන් උදෙසාද සිය පියාගේ ආභාෂය බෙහෙවින් බලපාන්නට ඇත. කොයි තරම් කාර්ය බහුල දිවියක් ගත කළත් අප්පච්චි රාත්‍රියේ හෝ ලියන කියන කටයුතුවල නිරතව සිටින ආකාරය නිතර දකින්නට ඇත.

එහෙත් දරුවන්ට තමන් කැමැති මාවතේ නිදහසේ යන්නට මේ මව්පියන් ඉඩ හසර සලසා දී ඇත. පසු පසින් සිට හොඳ නරක පෙන්වා දීම පමණක් මව්පියන් අතින් සිදුවේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]