කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඔබේ ශක්තිය ලැබුනොත් නුෂාරා දුවට ජීවිතයක් තියෙයි

ඔබේ ශක්තිය ලැබුනොත් නුෂාරා දුවට ජීවිතයක් තියෙයි

දරුවෙක් ලෙඩ වුණාම ඒක තදින්ම හදවතට දැනෙන්නේ මව්පියන්ට. මෙහෙම දෙයක් වුණාම මොනතරම් දරුවන් පිළිබඳ බලාපොරොත්තු ගොඩනැඟුවත් ඒ සියල්ල මව්පියන්ගෙන් කඩා වැටෙන්න එතරම් කාලයක් යන්නේ නැහැ. රූමස්සල කන්දේ හැපිලා විසිරිලා යන මුහුදු රැල්ලක් වගේ සී සී කඩ විසිරෙන ඒ බලාපොරොත්තුවලට ජීවයක් එක්කරන්න පුළුවන් අසරණ හදවතක් තේරුම්ගත් ඔබ අප වගේ කෙනකුට පමණමයි. එහෙමනම් මේ කතාවටත් ඔබෙන් සාධාරණයක් ඉටුවේවි කියන බලාපොරොත්තුව අප තුළ තියෙනවා.

“අද සරත් ඉන්නේ ගොඩක් අසරණ වෙලා. පියෙක් විදිහට ඒ අසරණකම තදින්ම හදවතට තුරුළු කරන් තම ආදරණිය බිරිය එන්. සූරිය බණ්ඩාර සමඟ දරුවන් තිදෙනකු ජීවත් කරන්න ඔහු නොවිඳිනා දුකක් නැති තරම්. රෝද තුනක් උඩ තම ජීවිතය දෝලනය කරන සරත් මේ කතාව අපි ඉදිරියේ ලෙහා දමන්න තරම් අද අන්ත අසරණ වෙලා. ඒ තම ආදරණීය දෙවැනි දියණිය නුෂාරා මධුවන්ති පසුපස හදිසියේ කඩා වැටුණු අඳුරු සෙවණැල්ල නිසයි. පිළියන්දල දැල්තර පදිංචි නුෂාරාගේ කතාවයි අද ‘ජීවිතයෙන් බිංදු මාත්‍රයක්’ හෙළිදරව්වෙන් ඔබට ගෙනෙන්නේ.

“මට ඉන්නේ දරුවන් තුන්දෙනෙක්. දුවලා දෙන්නයි පුතයි තවමත් ස්කෝලේ යනවා. මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ විතර නුෂාර මගේ දෙවැනි දුවට හදිසියේ උණ හැදෙන්න ගත්තා. අපි හිතුවේ වෛරස් උණක් කියලා. අපේ ගෙවල් කිට්ටුව ඉන්න දොස්තර මහත්තයෙක් ළඟට අරගෙන ගියා. ඒ ගත්ත බෙහත්වලට උණ අඩුවෙලා ගියා. බෙහෙත් නැවැත්තුවාට පස්සේ ආයෙත් දුවට උණ ගැනෙන්න ගත්තා. ඒත් එක්කම වමනය යන්න ගත්තා.

මම ආයෙත් දුව එක්කරගෙන දොස්තර මහත්තයා ළඟට ගියාට පස්සේ ලේ පරීක්ෂාවක් කරන්න කියලා කිව්වා. ඒ වාර්තා බලලා කිව්වේ දුවට ලියුකේමියා තත්ත්වයක් ඇතිවෙලා තියෙන නිසා කොළඹ ජාතික රෝහලට රැගෙන යන්න කියලයි. ඊට පස්සේ මම දුව එක්කරගෙන කළුබෝවිල රෝහලට ගියේ. එතැනදි තමයි පැහැදිලිවම දැනගත්තේ මගේ දුව නුෂාරාට ලියුකේමියාAMLM2  කියන තත්ත්වය ඇතිවෙලා කියලා. එහිදී දුව පරීක්ෂා කළේ ප්‍රසාද් අබේසිංහ කියන වෛද්‍ය තුමා.

මෙතුවක් කාලයක් ඇස් දෙක මෙන් බලාගත්ත දරුවකු හිටි ගමන්ම මෙවැනි අභාග්‍ය තත්ත්වයකට ඇද වැටුණාම ඒ දුක මව්පියන්ට දරාගන්න බැරි තරම්. ඒත් මේ තාත්තා පුළුවන් තරම් වෙර වීරිය ගත්තේ තමන්ගේ ආදරණීය දෝණි සුව කරගැනීමේ අරමුණින්.

මේ වෙනකොටත් නුෂාරාගේ ආදරණීය අම්මා හිටියේ විදේශ ගතවෙලා. නැතිබැරිකම් අගහිඟකම් හිස ළඟටම ගොඩනැඟෙද්දි කෙසේ හෝ මේ අගාධයෙන් ගොඩ ඒමේ බලාපොරොත්තුවෙන් පොළියට ගත් මුදලකින් ඇය විදේශ ගත වුණා. ඉන් පසු මවකගේ උණුසුමත් පියකුගේ රැකවරණයත් මේ දරුවන් ඉදිරියේ ලබා දෙන්නට සිද්ධ වුණේ මේ ආදරණීය තාත්තා සරත්ටයි.

“දොස්තර මහත්තයා කිව්වේ දුව සනීප කරගන්න නම් අවුරුද්දක් විතර එක දිගට බෙහෙත් කරන්න වෙයි කියලා. එහෙම නැතිනම් කිව්වේ දුව ඉන්දියාවේ රෝහලකට රැගෙන යන්න පුළුවන්නම් ඉතාම ඉක්මනින් සුව කරන්න පුළුවන් කියලයි. ඔය අතරේ දුවට බෙහෙත් කරන්න ගත්තට පස්සේ අතුරු ආබාධ එන්න ගත්තා. මොළේ සෙම ගතිය, උණ, අක්මාව ඉදිමෙන්න ගත්තා. ඊට පස්සේ දැඩි සත්කාර ඒකකයේ දවස් 38 ක් තියාගෙන දුවට ප්‍රතිකාර කළා. ඔය අතරෙදි මම මගේ බිරිඳව ආපසු ලංකාවට ගෙන්නුවා. එයා රට ගිහින් මාස දහයක වගේ කාලයක් හිටියේ. ලංකාවට ඇවිත් පැය කිහිපයකින්ම දුවගේ තත්ත්වය හොඳ අතට පෙරළිලා සිහිය ආවා.

දරුවකුට මොන දේ නොලැබුණත් අම්මගෙයි තාත්තගෙයි ආදරයයි රැකවරණයයි කියන්නේ ජීවිතය වගෙයි. ඒක ඔබ හොඳින් දන්නවා. ඒත් දැන් මේ දෝණිව සනීප කරගන්න මේ අම්මයි තාත්තයි අව්වක් වැස්සක් නැතිව මහමඟ ඇවිද යනවා.

“දුව එක්කරගෙන සතියට දවස් තුනක් මහරගම පිළිකා රෝහලට යනවා. දැන් දුවගේ සම්පූර්ණයෙන්ම කොණ්ඩේ ගිහින් මේ බෙහෙත්වල සැරට. අපි පුළුවන්තරම් මහන්සි ගන්නේ දුව කොහොමහරි ඉන්දියාවේ එක්කරගෙන යන්න. මෙහිදී කළ බෙහෙත්වලට තරමක සුවයෙන් දැන් එයා ඉන්නේ. ඉන්දියාවේ තමිල්නාඩුවේ වෙල්ලොර් රෝහලේදී තමයි දුව සනීප කරන්න පුළුවන් කියලා තියෙන්නේ. ඒත් ඒකට රුපියල් ලක්ෂ හතළිස් පහක් පමණ මුදලක් හොයාගන්න කියලා අපිට දැනුම් දීලා තියෙනවා. ඒත් ඒ වගේ ලොකු මුදලක් අපිට හීනයක්.”

ත්‍රිවිල් රථ රියැදුරකු විදිහට කටයුතු කරන සරත් මේ මුදලත් එක්ක අද ඉන්නේ විශාල ආර්ථික අපහසුකම් රැසක් මැද. ඒ නිසාම ඔහු ටිකට් පොත් මුද්‍රණය කර එයින් මුදලක් හොයාගන්න අද උත්සාහ කරනවා.

“මම හිඟා කාලා හරි මගේ දුව සනීප කරගන්න උත්සාහ කරනවා. ටිකට් පොත් ගැහැව්වා. මේ වෙනකොට අපි ජනාධිපති අරමුදලට දන්වලා යැව්වා. දුව ස්කෝලේ ගියේ ගල්කිස්ස බෞද්ධ බාලිකාවට. මම පින් දෙනවා දුවගේ ස්කොලෙන් අපි ගැන හොයා බලනවාට. උදව් කරනවා. මම මගේ දරුවන් තුන්දෙනා බලාගත්තේ මගේ පණ වගේ. මට බැහැ මගේ දුව මේ විදිහට අසනීපයෙන් ඉන්නවා බලාන ඉන්න. ඒ හින්දා මොන දුකක් විඳලා හරි මම දුව සනීප කරගන්නවා. තාම දුව ජීවිතයෙන් දහයෙන් එකක් විතරයි ගෙවලා තියෙන්නේ. මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ අනේ මගේ දුව සනීප කරලා එයාගේ ලෙඩේ මට හැදුනත් කමක් නැහැ කියලයි. මේ දරුවෝ දුක් විඳිනවා මට බලන් ඉන්න බැහැ.”

තාත්තා කෙනකුගේ සෙනෙහස මොනතරම් ද කියලා සරත් කරන කියන දේවලින් ඔබට පැහැදිලි ඇති. අද නුෂාරා මධුවන්ති දුව ලෙඩ ඇඳේ ඔබේ දෑත්වල ශක්තිය ලැබෙනකම් නිසොල්මනේ බලා සිටිනවා. තවමත් අවුරුදු 13 ක් සපුරන මේ පුංචි දියණියගේ හෙට දවස ආලෝකවත් කරන්න පුළුවන්නම් ලක්ෂ හතළිස් පහක මුදලක් ඇයට පරිත්‍යාගය කරමු. එහෙම වුණොත් මේ අම්මයි තාත්තයි අක්කයි මල්ලියි වගේම නුෂාර දුව ආත්මයක් පාසා ඔබට පින් පමුණුවාවි. ඒ ඔබ ඇයට ජීවිතය දකින්න ජීවිතය ලබා දුන්නාට.

ලිපිනය - 216/8,

සමගි මාවත, දැල්තර, පිළියන්දල.

ගිණුම් අංකය - 70532433,

ලංකා බැංකුව පිළියන්දල ශාඛාව

දුරකතනය -

0112617534 - 0729062468


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]