කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ගැහැනියකට මේ සමාජයේ තනිව ජීවත්වෙන්න අමාරුයි

ගැහැනියකට මේ සමාජයේ තනිව ජීවත්වෙන්න අමාරුයි

සුරංගි කොඩිතුවක්කු

සුරංගි කොඩිතුවක්කු දක්ෂ රූපවාහිනී නිවේදිකාවකි.

ස්වර්ණවාහිනියෙන් තම මාධ්‍ය ජීවිතය ඇරැඹූ ඇය මේ වනවිට ජාතික රූපවාහිනියට සම්බන්ධ වී සිටින්නීය. ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන වැඩසටහන් කිහිපයක් ම ඉදිරිපත් කිරීමට ඇය දායක වී සිටින්නී ය. සුරංගි පසුගිය සතියේ තම ජීවිත ගමනේ නව පිටුවක් පෙරළමින් නැවත විවාහ දිවියට පා තැබුවා ය. අද ‘සතුටු සාමීචියේ’ සටහන් වන්නේ තම මාධ්‍ය ජීවිතය පිළිබඳවත් පසුගියදා ඇරැඹූ නව දිවිය පිළිබඳවත් ‘රසඳුන’ වෙත ඇය දැක්වූ අදහස් ය.

සුරංගි ඔබ අලුත් ජීවිතයක් පටන් ගන්න හිතුවේ ඇයි?

ඔව්. පසුගිය සතියේ මම නැවත විවාහ වුණා. මම කලින් විවාහ වී සිටි කෙනෙක්. යම් යම් හේතු නිසා ඒ විවාහයෙන් වෙන් වෙන්න මම තීරණය කළා. ඒ සිදුවීමට දැන් ටික කලක් ගත වෙනවා. ඒ කාලයේ දී තමයි මට සම්පත් හමුවුණේ. ඔහු කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සූපවේදියෙක් හැටියට සේවය කරනවා. ඒ වගේ ම ඔහු පෞද්ගලිකව ආපන ශාලාවක් පවත්වාගෙන යනවා.

ඔබට ඔහු මුණ ගැසුණේ කොහොමද?

ඔහු මට මුණ ගැසුණේ එක්තරා උත්සවයකදී. කලින් විවාහයෙන් වෙන් වුණාට පසුව නැවත විවාහ වෙන්න ඕනෙ කියලා කිසිම බලාපොරොත්තුවක් තිබුණෙ නෑ. සම්පත් මුණ ගැසුනට පසුව මගෙ ඒ අදහස වෙනස් වුණා. ටික දවසක් ආශ්‍රය කරන විට මට හිතුණ ඔහු හොඳ කෙනෙක් කියල. ඒ වගේ ම මේ සමාජයේ ගැහැනියකට තනිවම ජීවත් වෙන්න අමාරුයි. මේ හේතු නිසයි මම නැවත විවාහ වෙන්න තීරණය කළේ.

ඇයි ඔබ ඔහුට කැමැති වුණේ.

සම්පත් කලක් හිටියෙ කැනඩාවෙ. එයාට ලෝකය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනව. ඔහු ඉතා අවංක අනුන්ගේ දේවල් නොසොයනා කෙනෙක්. ඒ නිසයි මම ඔහුට කැමැති වුණේ.

‘ආදරය’ ගැන ඔබට තියෙන්නෙ මොනවගේ හැඟීමක් ද?

ආදරය සුන්දරයි කියල කිව්වට ගොඩක් වෙලාවට ආදරය දුකක් කියලයි මට හිතෙන්නෙ. සමහරු කියනව ආදරය ලබන්න නම් ආදරය දෙන්න ඕන කියල. ඒත් ආදරය දීල ආදරය නොලබන අය කොයි තරම් මේ සමාජයේ ඉන්නවද? විශේෂයෙන් ම ගැහැනු. ඒ නිසා ආදරය ගැන ඒ තරම් ප්‍රසන්න හැඟීමක් මගේ නැහැ.

මේ දිනවල ඔබ ජාතික රූපවාහිනියෙන් ඉදිරිපත් කරන වැඩසටහන් පිළිබඳ සිහිපත් කළොත්....?

දැන් අවුරුදු දෙක හමාරක පමණ කාලයක පටන් මම සේවය කරන්නෙ ජාතික රූපවාහිනි සේවයේ. ජාතික රූපවාහිනිය මගෙ ජීවිතයේ විශාල වෙනසක් කළා කියල මට හිතෙනව. බ්‍රහස්පතින්දා ‘නුගසෙවණ’, සෙනසුරාදා උදේ’Chart Show’ලොතරැයි දිනුම් ඇදීම් වගේ ම තවත් වැඩසටහන් කීපයක් ම ඉදිරිපත් කිරීමට මම මේ දවස්වල දායක වෙනවා. ඉතාම ආශාවෙන් තමයි මම ජාතික රූපවාහිනියෙ වැඩ කරන්නෙ.

ස්වර්ණවාහිනියෙන් ජාතික රූපවාහිනියට ආවේ ඇයි?

මගේ මාධ්‍ය ජීවිතයේ මහ ගෙදර ස්වර්ණවාහිනිය. මම නිවේදිකාවක් වුණේ ස්වර්ණවාහිනිය නිසා. ඒ ගෞරවය මගේ හිතේ හැමදාම තියෙනව. ස්වර්ණවාහිනියෙ අවුරුදු අටක් මම සේවය කළා. අලුත් කළමනාකාරිත්වය ස්වර්ණවාහිනිය බාරගත්තට පසුව යම් යම් හේතු මත මම තීරණය කළා ඉන් ඉවත් වෙන්න. හැබැයි මම ස්වර්ණවාහිනියට අදත් ගොඩක් ආදරෙයි.

රණවිරු රියල් ස්ටාර් වැඩසටහනේ මුල් වැඩසටහන්වල ඔබ නිවේදිකාවක් ලෙස කටයුතු කළා. ඒත් ඇයි ඔබ පසුව එයින් ඉවත් වුණේ?

එය සංවිධායක කමිටුවේ තීරණය මත සිදුවූ දෙයක්. ඒ වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණාම මම ඒක භාර ගත්තෙ ඉතාම ආශාවෙන්. ඒ ගැන මම සංවිධායක කමිටුවට ස්තුතිවන්ත වෙනව. ඒ දවස්වල රණවිරුවන් සමඟ සමීපව කටයුතු කරන්න හමුදා කඳවුරු වලට යන්න මට අවස්ථාව ලැබුණා. ඒක භාග්‍යයක්. ඒත් අවසන් වට කීපයේ නිවේදන කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණේ නෑ. ඒ වගේ ම මෙහිදී තව විශේෂ දෙයක් කියන්න ඕන.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න ශාලාවක නිවේදන කටයුතු කිරීම මට තිබුණු ලොකුම හීනයක්. රණවිරු රියල් ස්ටාර් වැඩසටහන ලැබුණාම මට හිතුණා මගෙ හීනය හැබෑවෙයි කියල. ඒත් ඒ හීනය මගෙන් ගිලිහුණාම මට විශාල දුකක් ඇති වුණා.

ඔබ ටෙලිනාට්‍යයකත් රඟපෑවානේද?

ඒක මම ආශාවට කළ දෙයක්. විමලරත්න අධිකාරි මහතාගේ ‘සක්විත්තෝ’ ටෙලිනාට්‍යයේ පුංචි චරිතයක් රඟපෑමට මම සහභාගි වුණා. නමුත් රඟපෑමෙන් ඉදිරියට යන්න මගෙ බලාපොරොත්තුවක් නෑ. මම හිතන්නෙ නිවේදන කටයුතු කිරීමේ හැකියාව මට දෙවියන්ගෙන් ලැබුණු දෙයක් කියල. මම විශාල ආත්මතෘප්තියක් ලබනව මේ වෘත්තියෙන්. ඒ වගේ ම සමාජයේ විශාල පිරිසක් හඳුනාගන්න ලැබුණා මේ වෘත්තිය නිසා. ඒ නිසා ඉදිරියටත් නිවේදිකාවක ලෙස කටයුතු කරන්නයි මගෙ ආශාව.

ඔබේ ඉදිරි ජීවිතේ මොනවගේ බලාපොරොත්තු ද තියෙන්නෙ?

මම දැන් මාධ්‍ය ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහයකට වැඩියි. එදා වගේ ම අදත් මම හොඳින් වැඩසටහන් ඉදිරිපත් කරනව කියල හිතනව. ඒත් මට ඉදිරිපත් කරන්න තවමත් නොහැකි වුණු වැඩසටහන් කීපයක් ම තියෙනව. මාධ්‍ය ජීවිතයේ ඒ ආශාවන් ඉටු කරගෙන මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියට යාම එක් බලාපොරොත්තුවක්.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]