කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
“මේ මම කිරිබත් කන අන්තිම සිංහල අවුරුද්ද” තාත්තා මැරෙන්න මාසයකට කලින් අපිට කිව්වා

“මේ මම කිරිබත් කන අන්තිම සිංහල අවුරුද්ද” තාත්තා මැරෙන්න මාසයකට කලින් අපිට කිව්වා

යුගයක් එකලු කළ සෞන්දර්යාත්මක පහන් ටැඹ, සාගර පලන්සූරිය ගේ 50 වැනි මතක සැමැරුම ‘කේයස් පද්‍යාවලිය’ පසුගියදා මරදාන ටවර් රඟහලේදී පැවැත්විණි. සාගර පලන්සූරිය ගේ දෙටු පුත් ලක්විජය සාගර පලන්සූරිය සමඟ යෙදුණු පිළිසඳරක් ඇසුරින් සැකසුණු මේ ලිපිය ඒ නිමිත්තෙනි.

තාත්තා කොළඹ යුගයේ ප්‍රසිද්ධ කවියෙක්. තාත්ත ගේ හොඳ හිත මිත්‍රයන් දෙදෙනෙක් හිටියා. ඒ තමයි එකල රටම දැන හඳුනාගත් කවීන් දෙදෙනකු වූ පී.බී. අල්විස් පෙරේරා සහ විමලරත්න කුමාරගම.

තාත්තා පනස් හයේදී බණ්ඩාරනායක මහත්තයාගේ මැතිවරණ කටයුතුවලට සම්බන්ධ වෙලා හොරණ පාර්ලිමේන්තු මන්ත්‍රී විදිහට පත් වුණා.

අපේ තාත්තා ඉතාම සරල, සැහැල්ලු විදිහටයි ජීවිතය ගත කළේ. තාත්තා දේශපාලනය කළේත් බොහොම සරල විදිහට. එයාගේ දේශපාලන කටයුතු ගත්තහම අද වගේ සංකීර්ණ වෙලා තිබුණෙ නැහැ. මැතිවරණ ව්‍යාපාර කටයුතු ඒ ගොල්ලන්ගේ ජීවිතෙත් එක්කම සම්බන්ධ වෙලා තිබුණු දේවල්. එහෙම නැතිව දැන් කාලෙ වගේ වෘත්තිය මට්ටමේ දේශපාලන ව්‍යාපාර කරපු කට්ටිය නොවෙයි. බණ්ඩාරනායක මහත්මය 56 මැතිවරණයට පංච මහා බලවේගයක් එකතු කරගත්තා. තාත්තා එයට සම්බන්ධ වුණේ කලාකරුවෙක් විදිහට. කවීන් කීපදෙනෙක් ම ඒ යුගයේ දේශපාලනයට එක්කාසු වී හිටියා. මේ සියලු කටයුතු වල විශේෂත්වයක් වුණේ තාත්තා තම දේශපාලන ව්‍යාපාරය සම්පූර්ණයෙන් ම කවියෙන් ගෙන යාම.

ඒ වගේ ම තාත්තා හුඟාක් භික්ෂුන් වහන්සේලා ළඟින් ම ඇසුරු කරපු කෙනෙක්. මට යන්තම් වගේ මතකයි එස්. මහින්ද හාමුදුරුවො අපේ නිවෙසට වඩිනවා. උන්වහන්සේ බොහොම උස් හඬින් කතා කරන හාමුදුරු නමක්. ඒ වගේ ම බොහොම දැඩිව බිමට අඩිය තියල ඇවිදින කෙනෙක්. තාත්තා පසුකාලෙක අසනීප වෙලා උගුරේ ආබාධයක් ඇති වුණා. ගලනාලයේ ඇති වුණු අසනීප තත්ත්වයක් නිසා. බෙහෙත් කරන්න එංගලන්තයට පවා ගියහ. මට මතකයි තාත්තා සංචාරයට කොතරම් ඇලුම් කළ ද කිව්වොත් දේශීය සහ විදේශීය සංචාරවලට හුඟාක් සහභාගි වුණා.

විශේෂයෙන් ම දේශීය වශයෙන් යන සංචාරවලදී අපිත් එක්කම එතුමාගේ මිතුරන් දෙදෙනකු වන පී.බී. අල්විස් පෙරේරා, විමලරත්න කුමාරගම කියන කවීන් ද සම්බන්ධ වෙනවා. මේ සංචාර මේ හින්දම එකම විනෝද ගුලාවක් බවට පත් වුණා. තාත්තාත් එක්ක අවසන් වතාවට අපි ගිය විනෝද ගමන තමයි නුවරඑළියේ සංගිලි පාලම බලන්න ගිය එක. ඒ 1960 දී වගේ. හරියට අපි විනෝද වුණා. තාත්තා දේශපාලනයෙන් සමුගත්තට පස්සේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් (එකල විශ්ව විද්‍යාලය) පරීක්ෂණ අධ්‍යක්ෂක ලෙස සේවය කළා.

තාත්තා ලියූ කවි පොත් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ‘සුදෝ සුදු’, ‘කාලකණ්ණියා’, ‘මල්හාමි’, ‘විසිවුණු තරු’ වගේ. මේ පොත් අතර ‘කාලකණ්ණියා’ කියන කවි පොත ගත්තම තාත්තාගේ කුඩා කල ජීවන චරිතය සහ ගමේ තිබුණු දරිද්‍රතාව පෙන්නුම් කරනවා. එය එතුමාගේ සැබෑ අත්දැකීමක්. ඒකම තමයි පසුකලෙක එතුමාගේ සරල ජීවිතයට හේතු වන්නේත්. තාත්තා 1961 ජූනි 21 දා මිය ගියා. ඇත්තටම තාත්තා තමා මිය යන බව කල් තියා දැනගෙන හිටියා ද කියන එක තවමත් හිතා ගන්න බැහැ. 1961 අලුත් අවුරුදු දවසේ කිරිබත් කන ගමන් “මේ අවුරුද්දෙ විතරයි මම ඔයාලත් එක්ක එකට කිරිබත් කන්නේ, ලබන අවුරුද්දෙ මම නැහැ. අම්මත් එක්ක පුතාලා අවුරුදු කන්න කියලා කිව්වා.

ඒත් අපි කවුරුත් ඒ කියමන විශ්වාස කළේ නැහැ. තාත්තා මිය යන මොහොතෙ අම්මට කියලා තියෙනවා. මම ඔයාට අකුරු තුනක් ඉතුරු කරලා යනවා. ඒ අකුරු තුන ඇති ඔයාලට මැරෙන තුරාවටම ජීවත්වෙන්න කියලා. ඇත්තටම ‘සාගර’ කියන නාමයට අදටත් බොහෝ දෙනෙක් ගරු කරනවා. ‘සාගර’ පලන්සූරිය කියන නාමය අදටත් අපේ පවුලට ඉතාම වටිනා ආභරණයක් ලෙසයි මම දකින්නේ. තාත්තාගේ මරණය පිළිබඳව ජනතාව බොහෝ සේ දුක් වුණා. කවීන් තාත්තා වෙනුවෙන් කවි නිර්මාණය කළා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]