කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
මිනිසුන්ගේ හුස්ම ගැන වැටහීමක් නැතුව කාචය, කෝණය ගැන දැනගත්තට වැඩක් නෑ

මිනිසුන්ගේ හුස්ම ගැන වැටහීමක් නැතුව කාචය, කෝණය ගැන දැනගත්තට වැඩක් නෑ

බර්ට්‍රම් නිහාල්

ලාංකේය ටෙලිනාට්‍ය කලාවේ සන්ධිස්ථාන සනිටුහන් කළ නිර්මාණකරුවන් අතර පෙරමුණේ සිටින ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවෙක් විදිහටයි. බර්ට්‍රම් නිහාල් අපට මුණ ගැහෙන්නේ. ‘කඩවර’, ‘දඩබිම’, ‘සුබ ප්‍රාර්ථනා’, ‘ගම්පෙරළිය’, රුපියල් සත’, භාවනා’, ‘ඉසුරු ගිර’ වැනි විශිෂ්ට ටෙලි නිර්මාණ ඔබ අතරට ගෙනා බර්ට්‍රම් මෙවර ඔබ හමුවන්නේ ‘අමරපුරය’ නම් වූ නවතම ටෙලිනාට්‍යයක් සමඟින්. අපි ඒ පිළිබඳ පසුගිය දවසක ඔහු හා සංලාපයක යෙදුණා.

ඔබේ නිර්මාණවල බොහෝ වෙලාවට අපි දකින්නේ බෞද්ධ තේමා. මෙය ඔබ සිතා මතාම කරන දෙයක් ද කියල මුලින් ම මට අහන්න හිතෙනවා.

නැහැ. මා හිතමතාම කරන දෙයක් නෙවෙයි. නමුත් මා නිර්මාණයක් කරද්දී ඒ පසුබිම ඉබේම නිර්මාණවලට එන්න පුළුවන්. මා කළ සියලු ටෙලිනාට්‍යවල තේමා විශ්ලේෂණය කරලා බැලුවොත් ඒ තුළ බෞද්ධ දර්ශනය දකින්න පුළුවන්. ඒක ඇත්ත. එය සිදුවන්නේ මා හැදුණු වැඩුණු පරිසරය, සමාජ වටාපිටාව සහ මා ලබන අත්දැකීම් එක්ක.

නමුත් ඔබ උපතින් කතෝලිකයෙක්. කොහොමද බෞද්ධ දර්ශනයේ සියුම් තැන් ඔබ හැඳින ගන්නේ.

දෙවියන් වහන්සේ ගැන විශ්වාසය මා තුළ තියෙනවා. ඒ විශ්වාසය වගේ ම බෞද්ධ දර්ශනය පිළිබඳ විශ්වාසයත් මා තුළ තියෙනවා. විශේෂයෙන් ම හේතුඵලවාදී න්‍යාය මේ දර්ශනයේ සුවිශේෂියි. බෞද්ධ දර්ශනය මා ගැඹුරින් හදාරලා තියෙනවා. එසේම තවදුරටත් හදාරමින් ඉන්නවා. එතරම්ම එය පුළුල්. අපිට ආගම් කියලා එකින් එක වෙන්කරන්න බැහැ. මේ සියලු ආගම්වල තියෙන්නේ මිනිසාගේ ආධ්‍යාත්මය සදාකාලික බැදුණු සුවය. නිවන වගේ ම මෝක්ෂය. අප උත්සාහ කරන්නේ මිනිසුන් විදිහට ඒ තත්ත්වයන්ට ළඟාවන්න.

මම මේ සඳහා පෙළඹෙනවා ඇත්තේ අපේ සමාජ, සංස්කෘතික, ඓතිහාසික කාරණා එක්ක. ඒ නිසා ඒ නිර්මාණ තුළ බෞද්ධ දර්ශනය විග්‍රහ වුණා. එය ඉතා සුවිශේෂියි.

හොඳයි ඔබේ නවතම නිර්මාණය ‘අමරපුරය’. මොකක්ද මේ ‘අමරපුරය’ කියන්නේ.

අන්‍යාලපයෙන් ‘අමරපුරය’ කියන්නේ නොමැරෙන සත්වයින් සිටින පුරවරයක් කියන එකට. මෙය මෙතැන දී අර්ථකතනය කරන්න පුළුවන් ද්විරූපීතාවයකින්. එකක් ‘අමරපුරය’ කියන ඍජු නාමය අමරණීය පුරවරය. වක්‍රෝත්තියෙන් කිව්වොත් ආධ්‍යාත්මික ලෝකය හා භෞතික ලෝකය. මේ ලෝක දෙක අතර තියෙන පැවැත්ම, ගැටුම ‘අමරපුරය’ හරහා හඳුනා ගන්න පුළුවන්.

අද පවතින ටෙලිනාට්‍ය රැල්ලට එරෙහිව යම් සාධනීය සලකුණක් ‘අමරපුරය’ තබයි කියලා ඔබ විශ්වාස කරනවද?

පැහැදිලිව ම දෙයක් මා කිව යුතුයි. මේ පවතින බොළඳ හරසුන් ටෙලිනාට්‍ය රැල්ලට, රටාවට විකල්පයක් විදිහටයි. මේ ‘අමරපුරය’ රැගෙන එන්නේ. මේ තුළ ජනප්‍රිය ලක්ෂණ මතු පිට තියෙනවා වගේ ම, සරල අත්දැකීම් තියෙනවා වගේ ම ගැඹුරු මානව දර්ශනයක් වක්‍රෝත්තියෙන් ‘අමරපුරය’ හරහා අරගෙන එනවා. මෙය හොඳින් විඳින්න පුළුවන් ටෙලිනාට්‍යයක්. සෑම ප්‍රේක්ෂකයකුම එය ඉතා හොඳින් බාරගනියි කියන විශ්වාසය මා තුළ තියෙනවා.

මෙතැනදී ඔබ සිනමා රංගන ශිල්පීන් වගේ ම ටෙලිනාට්‍ය රංගන ශිල්පීන් තෝරාගෙන යම් සංකලනයක් කරනවා කියලයි මට හිතෙන්නේ.

මට ඕන කරලා තිබුණ විශ්වාසයෙන් භාවිතා කළ හැකි රංගන ශිල්පීන් පිරිසක් තෝරාගෙන මේ ටෙලිනාට්‍යය කරන්න. එතැන දී විශේෂයෙන් ජීවන් කුමාරණතුංග, වීනා ජයකොඩි, ජයලත් මනෝරත්න, දිල්හානි ඒකනායක වගේ ම අලුත් පරපුරේ රැසකගේ දායකත්වය මම ලබා ගත්තා. අද බොහෝ පිරිසක් ඉන්නවා හොඳ චරිත හඹා යාමේ වුවමනාවක. මට එය තේරුම් ගිය දෙයක්. නමුත් ඔවුන්ට මේ ශ්‍රව්‍ය දෘශ්‍ය කලාව තුළ හිමි අවස්ථා අවමයි. ඒ නිසා ඔවුන්ට යම් මොහොතක අවස්ථාවක් ලැබෙද්දී හැකි පමණ තම ප්‍රතිභාව ගෙනෙන්න උත්සාහ කරනවා. ‘අමරපුරය’ ට එක්වූ සියලු රංග ශිල්පීන්ගේ ප්‍රතිභාව ඉහළ තැනක තියෙනවා. එය මැනවින් වැටහේවි මෙම ටෙලිනාට්‍යය විකාශය වෙන්නට පටන් ගත් පසුව.

ටෙලිනාට්‍ය කලාවේ අර්බුද රැසක් තියෙනවා කියලා ඔබ කියනවා. ඇත්තටම මොකක්ද මේකට හේතුව.

සමස්තයක් විදිහට ඔය ක්‍රියාව තුළ ම තියෙන්නේ ගැටලු. වෘත්තිකයින් හා නිර්මාණශීලීන් අද අඩුයි. ඒ නිසා හොඳ නිර්මාණ නැහැ. ප්‍රතිභාසම්පන්න නිර්මාණකරුවන් අඩුයි. දැනුම ලබා ගන්නවත් මේ ශ්‍රව්‍ය දෘශ්‍ය කලාව නිවැරදිව හදාරන්නවත් උනන්දුවක් අද නැහැ. එහෙම අවස්ථාත් අද නැහැ. හොඳ සිනමා පාසලක් නැහැ. මේ සියලු දේ එක්ක බැලුවම කොහොමද හොඳ නිර්මාණ අපි දකින්නේ. ඇත්තටම මෙය දීර්ඝව සාකච්ඡා කළ යුතු දෙයක්. මේවාට හොඳ සැලසුම් බිහිවිය යුතුයි.

අමරපුරය නිර්මාණය සඳහා ඔබ ආරණ්‍යගත ජීවිත පිළිබඳ හැදෑරීමක් කළා කියලා ආරංචියි.

මම ඒ පිළිබඳ හැදෑරීමක් කළා. අපේ රටවල මිනිසුන් භෞතික සාධක එක්ක ඒ සුඛ විහරණ පසුපස හඹාගෙන යද්දී බටහිර රටවලින් ආසියාකරයට එනවා බුදු දහම හොයාගෙන . භාවනා කරලා ඔවුන් පැවිදි බව ලබනවා. මම ඒ හා සම්බන්ධ පොතපත හොයාගෙන තියෙනවා. අධ්‍යයනය කළාම ස්වාමීන් වහන්සේලා මට දැනමුතුකම් දුන්නා. අනුශාසනා දුන්නා භාවනා ක්‍රම පිළිබඳ. ඒ ලබාගත් දැනුම ‘අමරපුරය’ නිර්මාණයක් විදිහට සමාජගත කරන්න මට ඉවහල් වුණා.

අවසන් වශයෙන් මම අහන්නම් අමරපුරය ඔබ කරන්නේ වසර නවයක දහයක දිගු නිහැඬියාවකින් පසුවයි. ඇයි ඒ?

සමහරු හිතනවා රූපය, සංගීතය, නාට්‍ය දැනුම, කතාව, කැමරාව, දැනගත්තම ඇති කියලා. නමුත් මේක එහෙම නෙමෙයි. හොඳ නිර්මාණකරුවෙක් වෙන්න ඕන. හොඳ හා නරක ආධ්‍යාත්මික ලෝකය පිළිබඳ දැනුම තියෙන්න ඕන. ඒ වගේ ම ෙමි සමඟ එකතු වන යාන්ත්‍රික කොටස පිළිබඳ අවබෝධය තියෙන්න ඕන. මේ දෙක එකට ගළපාගෙන හොඳ දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ දේට යම් කාලයක් ගන්න වෙනවා. එහෙම නැතුව දවසින් දවස නිකම්ම නිකම් කතන්දරයක් කියන්න මට අවශ්‍ය නැහැ. තමන් කරන නිර්මාණය තුළින් විසරණය වෙන්න ඕන ගුණ අගුණ. ලෝකයේ පැවැත්ම නිරාවරණය වෙන්න ඕන. ඒ සඳහා දැනුම ලබාගන්න ඕන. මම ඒ දේට කාලයක් ගන්නවා. එහෙම නැතුව මිනිසුන්ගේ හුස්ම ගැන අවබෝධයක් නැතුව කැමරාවේ කාචය, කෝණය දැනගත්තට නිර්මාණ කළාට වැඩක් නැහැ.


‘සත්ව හිංසාව පිටු දකින බුදුදහම’ එළිදකී

.ආර්.එම්.පී.බී. රත්නායක ලියූ ‘සත්ව හිංසාව පිටු දකින බුදුදහම’ නම් වූ කෘතිය දන්කොටුව කටුකෙන්දේ වාසනා පොත් ප්‍රකාශකයන්ගේ ප්‍රකාශනයක් ලෙස පසුගියදා එළිදුටුවේ ය.

‘සුදු කපුටෝ’ වැඩ නිමයි

කීර්ති බණ්ඩාරගේ “සුදු කපුටෝ” නවතම ටෙලි චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වන විට අවසන් වී ඇත.

මෙහි කීර්ති බණ්ඩාර, පියතිලක අතපත්තු, කුමුදු පාලිත ජයවීර, සමරසිංහ නානායක්කාර, සුජීවා ජයකොඩි, නිරෝෂා විතානගේ, ප්‍රමුඛ නළු නිළි පිරිසක් රඟපාති. ‘සුදු කපුටෝ’ අනූපමා ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.

‘මනමේ’, ‘කපුවා කපෝති’ සහ ‘සිංහබාහු’ 8, 9 සහ 10 ලයනල් වෙන්ඩ්ට්හිදී

හෙළ වේදිකාවේ විශිෂ්ටතම නාට්‍යවේදියාණන් වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍ය නිර්මාණ වන “මනමේ” නාට්‍යය මේ මස 8 වන දින ද “කපුවා කපෝති” 9 වන දින ද, “සිංහබාහු” නාට්‍යය 10 වන දින ද පිළිවෙලින් පස්වරු 3.30ට සහ 7.00ට කොළඹ ද ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකාගත වෙයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]