කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
මං අලුත් පාරවල් හොයාගත්තා ඔබත් ඒ පාර දිගේ එන්න

මං අලුත් පාරවල් හොයාගත්තා ඔබත් ඒ පාර දිගේ එන්න

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනසන්නිවේදන මහාචාර්ය අජන්තා හපුආරච්චි

මහාචාර්ය අජන්තා හපුආරච්චි... අපිට සුවිශේෂී වන්නෙ හේතු ගණනාවක් හින්දා.

කලෙක ඈ පුවත්පත් කලාවේදිනියක්. ‘දිනමිණ’ නියෝජ්‍ය විශේෂාංග කර්තෘ පදවිය දරමින් සිටියදී පුවත්පත් කලා දිවියට ආයුබෝවන් කියන ඈ ඉන් ඉක්බිති පූර්ණ කාලීනවම සරසවි ඇදුරු ජීවිතය වැළඳගන්නවා. විභාග... තනතුරු... ගණනාවකින් පස්සෙ ඈ සන්නිවේදන විෂය පිළිබඳ ප්‍රථම මහාචාර්යවරිය වීමේ වාර්තාව තබනව. පුවත්පත් කලාවට එය අභිමානයක්... මතු පරපුරකට මඟ කීමක්.

ඇය හා සමඟ මේ කතා බහ ඒ නිමිත්තෙන්.

සන්නිවේදන ක්ෂේත්‍රය හා බැඳුණු උසස් අධ්‍යාපනයේ බොහෝවර ඔබ පළමු කාන්තාව වුණා...

කෑගල්ල රන්වල මහානාග මහා විදුහලෙන් මං කැලණි විශ්වවිද්‍යාලයට ආවේ 1973 අවුරුද්දෙ. ජනසන්නිවේදන අංශයේ දෙවැනි කණ්ඩායම අපි. ඒ දෙවැනි කණ්ඩායමෙන් දෙවැනි පන්තියේ ඉහළ සමාර්ථයක් (Second upper) ලද පළමු කාන්තාව වන්නට මට පුළුවන් වුණා. සන්නිවේදනය විෂයක් හැටියට හදාරා පුවත් කලාවට ආ ප්‍රථම කාන්තාව, සන්නිවේදන අංශයේ ශාස්ත්‍රපති (MA) උපාධියක් හිමිකරගත් ප්‍රථම කාන්තාව, සන්නිවේදන අංශයේ ආචාර්ය උපාධියක් (PHD) හිමිකරගත් ප්‍රථම කාන්තාව වගේ ම සන්නිවේදන අංශයෙන් බිහිවූ ප්‍රථම මහාචාර්යවරිය වීමටත් මට පුළුවන් වුණා. මේ හැම දේම තුළින් මං අලුත් පරපුරට මඟක් හැදුවා. ඒ අයත් මා ආ මාවතේ පැමිණිය යුතුයි.

ඔබේ වපසරිය එතෙකින් නැවතුණේ නැහැ....

ඔව්. ජනසන්නිවේදනය පිළිබඳ ග්‍රන්ථ 13 ක් රචනා කරන්න මට පුළුවන් වුණේ ඒ නිසා. හයිද්‍රාබාද් සහ බැංකොක් සරසවි දෙකකින් විදේශ සම්මාන ශිෂ්‍යත්ව දෙකක් මට ලැබුණා. පශ්චාත් ආචාර්ය උපාධිය (Post Doctoral) හිමි කරගන්න මට අවස්ථාව ලැබුණෙ එයින්. 2003 - 2010 කාල පරාසය මං වැය කළේ ලොව විවිධ රටවල අන්තර්ජාතික සමුළු නියෝජනය කරමින් අපේ රට වෙනුවෙන් පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන්න. එය අපේ රට ලෝක අවධානයට ලක් කරන්න මට ලැබුණු සුවිශේෂී වරප්‍රසාදයක්.

Napsipag Outario International’ වැනි අන්තර්ජාතික සංවිධානවල, අන්තර්ජාල ප්‍රකාශනවලට (On line) ලිපි සැපයීම අදත් මා කරනව. අනික එවැනි සමුළුවකදී මා ඉදිරිපත් කළ ‘Dynamics of sillicon valley civilization in the Globalization’ වැනි තේමා ලෝක අවධානයට ලක් වුණා. මගේ රට වෙනුවෙන් මේ දේවල් කරන්න ලැබීම මට මහා ආඩම්බරයක්. නිහඬව වුණත් මං මේ රටට වැඩක් කරන හැබෑ දේශප්‍රේමියෙක් කියන සතුට මට තියෙනව. අනික කොළඹ ලොකු ඉස්කෝලෙකින් බිහිවූ කෙනෙක් නෙවෙයි මං. රන්වල මහානාග විදුහලේ ඉඳන් මේ ආපු ගමන මට ආඩබ්බරයක් වෙන්නෙ ඒ නිසා.

සන්නිවේදන ක්ෂේත්‍රයේ මහාචාර්යවරියක් දක්වා ආ ගමන ගැන ඔබට මොකද හිතෙන්නෙ.

පුංචි කාලෙ ඉඳන් මට තිබුණා ලොකු ආසාවක්. ඒ මේ රටේ නමගිය කාන්තාවක් වෙන්න ඕනෙමයි කියන ආසාව. ඒත් මගේ ලෝකෙ හිටියෙ අම්මා - තාත්තා, පුංචි අම්මා - බාප්පා සහෝදර - සහෝදරියො වගේ සීමිත පිරිසක් විතරයි. මගේ බාප්පයි පුංචි අම්මයි දෙන්නම ගුරුවරු. ඒ අය දිහා බලල මං විසින් ම හැදුණ මිසක් කවදාවත් මට ඒ අය බලකිරීම් කළේ නැහැ. මං මගේ පවුලෙ වැඩුමල් දූ.

මගේ ලෝකෙ හැමෝටම මං ආඩම්බරයක් වෙන්න ඕනෙ කියන අධිෂ්ඨානෙ මට තිබුණා. ඒ කාලේ හැමෝම පේරාදෙණිය සරසවිය ඉල්ලද්දි මට ඕනෙ වුණේ කැලණියට යන්න. නීතිඥ සරත් කෝන්ගහගේ, ඉමිටියාස් බාකිර් මාකර් මගේ බැච් එකේ කට්ටිය. එහි සන්නිවේදන අංශයට තෝරා ගත්තෙ හොඳම ‘ස්පිරිට්’ එක. එතැන තමයි මගේ ජීවිතේ වෙනස් කරපු තැන. දෙවැනි පෙළ සාමාර්ථයක් ගත් පළමු ශිෂ්‍යාව වෙලා මං මගේ ගමන ඇරැඹුවා. අද ආපහු හැරිලා බලද්දී හරි සතුටක් දැනෙනවා.

ඔබ පත්‍ර කලාවේදිනියෙක් වුණේ...

එඩ්වින් ආරියදාස මහත්තයගෙ පස්සෙන් ඇවිත්. එතුමා අපිට දේශන කළා. පුවත්පත් පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබන්න මං ලේක්හවුස් පඩි පෙළ නැංඟා. ඒ ආ ගමන මං නැවතුණේ ‘මිහිර’, ‘සරසවිය’, ‘තරුණි’, ‘ජනතා’, ‘යොවුන් ජනතා’, ‘සිළුමිණ’ පුවත්පත් සියල්ලෙම වැඩ කරල. ලේක්හවුස් එකෙන් අයින් වෙද්දී මං ‘දිනමිණ’ නියෝජ්‍ය විශේෂාංග කර්තෘ. අනික ටයිප් රයිටරයෙන් ලිපි යතුරුලියනය කරන යුගයේ පටන් පරිගණකයෙන් පිටු සකසන, අන්තර්ජාලයට ලේක්හවුස් පුවත්පත් සංස්කරණය යුගය දක්වා මං ලේක්හවුසියෙ වැඩ කළා. ඒ අත්දැකීම මට හරි සුවිශේෂයි.

ඔබේ ජීවිත අත්දැකීම් ඇසුරේ ලාංකේය කාන්තාවට දෙන පණිවුඩය...

කාන්තාව දැනුවත් විය යුතුයි කාරණය. ඒ කාලෙ පිරිමි, කාන්තාවන් ආරක්ෂා කළා. අද පුංචි දැරියක්වත් ආච්චි - සීයා ළඟ දාලා යන්න බැරි යුගයක් ඇවිත්. දැනුම් තේරුම් ඇති කාලෙ ඉඳල ගැහැනු දරුවෙක් ආරක්ෂා විය යුතු අයුරු අම්මලා දරුවන්ට කියා දෙන්න ඕනෙ. මේක තවදුරටත් කතා නොකරන විෂයක් විය යුතු නැහැ. සාක්ෂරතාව කොයි තරම් දියුණු වුණත් මොකටද..... හැම දවසකම මොකක් හරි අපචාර සිද්ධියක් වෙනව. සමහර දේ වාර්තා නොවීම වැළලෙනව. කාන්තා මන්ත්‍රීවරියො, කාර්යාංශ මොනව තිබුණත් මේවයේ අඩුවක් නැහැ.

පුළුවන් තරම් පරෙස්සමින් ජීවත්වෙන්න දරුවන් පුරුදු පුහුණු කළ යුතු යුගයක් මේ උදාවෙලා තියෙන්නෙ. ඒ වගේ ම දිළිඳුකම පිටු දකින්න පුළුවන් වෙන්නෙත් කාන්තාවන් දැනුවත් කිරීමෙන්ම පමණයි.

ඔබ මේ රටේ මාධ්‍ය භාවිතාව පිළිබඳව තෘප්තිමත් ද...?

අද අපේ රටේ මාධ්‍ය තනිකරම බිස්නස් එකක් වෙලා. ඒ වගේ පැවැත්මට තරගකාරිත්වය - මුදල් අවශ්‍යයයි. නමුත් අපි දැනගන්න ඕනෙ ඉන් ගත යුතු, නොගත යුතු දේ. අද මේ හැම රියැලිටි වැඩසටහනකින් ම කරන්නෙ සූදුවක්. මේක SMS සූදුවක්. මහ විශාල ප්‍රසිද්ධියකට - තෑග්ගකට ජීවිතේ සූදුවට තබනව. අම්මල තමයි වැඩිපුරම මේ සූදු කෙළියට දූලා යවන්නෙ. ඒ මදිවට කඳුළු පෙර පෙරා බලා ගෙනත් ඉන්නව. ලැජ්ජාව, විනය සංවරකම මේ හැම දේම පරදුවට තියල හරි තරුණ තරුණියොත් දඟලනව අර මහා තෑග්ග - ප්‍රසිද්ධිය වෙත යන්න. මේක මාධ්‍ය ගොඩ නඟපු බව ඇත්ත. නමුත් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය අපිට තියෙනව.

ඔබ ජීවිතේ දිනුවා කියල හිතනවද...

ඇත්තටම ඔව්. කොළඹ විශ්ව විද්‍යාලයට මගේ ජීවිතේ සුවිශේෂී ස්තුතියක් හිමිවෙනව. ප්‍රගතිශීලී කාන්තාවන් රැසක් මට එහිදී හමුවුණා. මහාචාර්ය කුසුමා කරුණාරත්න, සාවිත්‍රි ගුණසේකර, ක්ෂණිකා හිරිඹුරේගම කියන විද්වත් කාන්තාවන් තුන්දෙනා යටතේ ම මං හිටියා. කොළඹ විශ්ව විද්‍යාලයේ කාන්තාවන්ට නිසි තැන ලැබෙන තැනක්. අංශාධිපතිනි තනතුරේ කාන්තාවන් වැඩිපුරම සිටින්නෙත් එහි. ඒ නිසා මගේ ගමනටත් බාධකවලට වැඩිය අත්වැලක් ලැබුණෙ කොළඹ විශ්ව විද්‍යාලෙදි. අනික නිදහස් අධ්‍යාපනයේ ඕන තරම් මං මාවත් තියෙනව ඉදිරියට යන කෙනෙකුට. මං මේ ගමන ආවෙ එහෙම. ඒ ගමනෙදි බොහෝ අලුත් පාරවල් මං හොයා ගත්තා. ඊළඟ පරපුරට ලේසියි. මේ පාරෙන් එන්න...! කියල මං ඔවුන්ට කියනව.

ඔබ බොහොම කඩිසර කෙනෙක්...

ඇත්ත. මොන මහාචාර්යවරිය වුණත් අදත් මං කෙඩි පිලේ ගිහින් උයන පිහින දේ අරන් එනව. මොන තරම් කාර්ය බහුල වුණත් මගේ පුංචි මිණිබිරි ශෙරායා එක්ක මං කාලය ගත කරනව. මගේ එකම දූට හොඳ අම්මෙක් වෙන්න මට බැරි වුණු සමහර කාල තිබුණා, පත්තර පොත් ගොඩල් බදාගෙන පාඩම් කරපු, වැඩ කරපු. ඒත් අද මායි මගේ මහත්තයයි විඳින සුන්දරම සුවය අපේ මිණිබිරි එක්ක ගත කරන ජීවිතය. එයාගෙන් ලබන ආදරේ හෘදයාංගම බව බැඳීම සෙනෙහස මේ මුළු ලෝකෙටත් වැඩිය මට ඉහළයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]