කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
මීගහයාය ගම්මානයට නව හිරු උදා වූ දා...

මීගහයාය ගම්මානයට නව හිරු උදා වූ දා...

හාත්පස කඳුපෙළ සිසාරා හමා ආ සිසිල් සුළඟ මැණික් ගඟ දියරැලි නංවා ගම්මානය හරහා ගියේ රැස්ව සිටි තරුණ පිරිසගේ ගතට සුවදායක බවක් එක් කරමින්. එයින් එම තරුණ සිත්වල තිබූ ප්‍රබෝධවත් බව තව තවත් වැඩි වූයේ වසර ගණනාවක් පුරා ඔවුන් දුටු සිහිනයක් සැබෑ වී ඇති නිසාවෙන්.

කැනඩා සිසුවකු බදාම අනද්දී මහාචාර්ය කෙලී මහත්මිය ඒවා රැගෙන යමින්

ඒ ගමට ලොකු අඩුපාඩුවක්ව පැවැති ප්‍රජා ශාලාවක් ඉදිකර ගන්නට වසර ගණනාවක් තිස්සේ ඔවුන් ගත් උත්සාහය මල්ඵල ගැන්වීම හේතුවෙන්.

මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි සුන්දර එහෙත් අතිශය දුෂ්කර ගමක් වූ මීගහයාය ගැමියන්ගේ සිත් බොහොම එඩිතරයි. මේ නිසා ඔවුන් ගැමි ජීවිතයට උරුම රැකියාවන්හි නියැළෙමින් සොඳුරු අවිහිංසක දිවි පෙවෙතක් ගත කරයි. එහෙත් කාලයේ වෙනසත් සමඟ ඇතිවුණු සංවර්ධන අරුණැල්ලෙන් මුළු රටම පිබිදෙද්දී මීගහයාය තරුණ පිරිස ද තම ගම්මානයේ දියුණුවට කටයුතු කිරීමට ඒකරාශි වුණා.

ගමේ සිටි බුද්ධිමත්, ශක්තිමත් තරුණ පිරිසගෙන් සැදුම්ලත් කුඩා කණ්ඩායම් ඒකරාශි වීමෙන් ‘මීගහයාය ශක්ති සාමූහික සංවිධානය බිහිවන්නේ ඒ අනුව. අදින් වසර 5 කට පමණ පෙර ශක්ති සාමූහික සංවිධානය ගමට අත්‍යවශ්‍යම වී තිබූ ප්‍රජා ශාලාවක් ඉදිකිරීම ආරම්භ කළේ එහි මුල්ම කාර්යය ලෙස.

තරුණයින් වැඩිහිටියන් සෑහෙන වෙහෙසක් දැරූවත් මේ සඳහා ප්‍රතිපාදන ලෙස එකතු කර ගත හැකි වූයේ රුපියල් ලක්ෂ තුනක පමණ මුදලක්. මෙය කිසිසේත්ම මෙම ඉදිකිරීම් කටයුත්තට නොසෑහුණු නිසාවෙන් වැඩ කටයුතු උපන් ගෙයිම මියැදෙන්නේ තරුණ පිරිසගේ සිත් දුකින් පුරවමින්.

මීගහයාය තරුණ පිරිසගේ සිත් කොතරම් ශක්තිමත් වුවත්, මුදල් නොමැති කමින් නැවතුණු ප්‍රජා ශාලාව ඉදිකිරීමේ කාර්යය සාර්ථක කරගන්නට සිත් තුළ ඇතිවුණු ආශාව දවසින් දවස ඈතට ගිහින් වසර 5 ක් ගෙවී යන්නේ කාටත් නොදැනුවත්වම.

ඔවුන්ගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන්නට අවශ්‍ය අඩිතාලම දැමෙන්නේ බදුල්ලේ අනාගතේ අපේ අතේ සංවර්ධන පදනමේ ප්‍රධාන විධායක පී. ඒ. ප්‍රභාත් කුමාර මහතාගේ මැදහත් වීමෙන්.

ඒ අනුව ලෝක කැනඩා විශ්ව විද්‍යාල අරමුදල මැදිහත් වී කැනඩාවේ මැනිටෝබා විශ්ව විද්‍යාලය ප්‍රජාව සමඟ වැඩ කරමින් ඉගෙන ගැනීමේ ක්‍රියාවලියට මීගහයාය ගම සම්බන්ධ කෙරුණා. මහාචාර්ය කෙලී බෙවර්පෝඩ් මහත්මිය මීගහයාය ගමට පැමිණෙන්නේ ඉන් අනතුරුවයි.

ගමේ තරුණයින්ගේ බලාපොරොත්තුවලට නව පණක් ලැබුණේ ඇය පැමිණ ශක්ති සාමූහික සංවිධානයේ නිලධාරීන් මුණ ගැසුණාට පසුවයි.

ගමට ලැබුණ ප්‍රජා ශාලාව

කැනඩාවේ මැනිටෝබා විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පය හා උද්‍යාන අලංකරණය පිළිබඳ වසර 04 ක පාඨමාලාවක් පැවැත්වෙන අතර, ‘ජාත්‍යන්තර ප්‍රජාව සමඟ වැඩ කරමින් ඉගෙන ගැනීම’ නමැති ව්‍යාපෘතිය යටතේ වාර්ෂිකව සිදුකරන නිල කටයුත්තක් වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටකට ගොස් විශ්ව විද්‍යාල සිසුන් ගමක නැවතී සිටිමින් ප්‍රජා ඉදිකිරීමක නිරත වීමේ අවස්ථාව මෙවර මීගහයාය ගමට ලබා දිය හැකි බව එහිදී මහාචාර්ය කෙලී මහත්මිය ගමට දන්වන ලදී.

අදහාගත නොහැකි ආශීර්වාදයක් සේ පැමිණි මෙම ස්වර්ණමය අවස්ථාවෙන් උපරීම ප්‍රයෝජන ගැනීමට එකඟ වීමට ශක්ති සාමූහික සංවිධානය තීරණය කරන්නේ දෙවරක් නොසිතා.

මේ කණ්ඩායමට මාසයක කාලයකට අවශ්‍ය වීසා ලබා දීමට ආගමන හා විගමන පාලක අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද රත්නායක මහතා පෞද්ගලිකව මැදහත් වී කටයුතු කරතිබෙනවා.

2011 මැයි 10 වැනිදා මහාචාර්ය කෙලී මහත්මියත් ඇගේ සහායකයන් ලෙස මාර්ක් සහ ජේම්ස් යන කථිකාචාර්ය වරුන් දෙදෙනාත් සිසුන් 05 ක් සහ සිසුවියන් 05 ලෙස විවිධ ජාතීන්ට අයත් 13 දෙනකුගෙන් යුත් කැනඩා කණ්ඩායම මීගහයාය ගමට පැමිණියේ ඉන් අනතුරුවයි.

ගම්මුන් විසින් මේ කණ්ඩායම උණුසුම් සහ හරසර ලෙස පිළිගත්තේ ගමේ පිපුණු වන මල් වලින් සෑදූ මල් මාලා දමමින්. ඒ අනුව ශක්ති සාමූහික සංවිධානයේ ප්‍රජා සම්බන්ධීකාරක ධම්මිකා සඳමාලි මහත්මියගේ නිවෙස මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස යොදා ගැනුණු අතර, ගමේ තවත් නිවාස 05 ක් මේ පිරිසට නවාතැන් දීමට සූදානම් කෙරුණා. පොලිතීන් තිරවලින් වටකොට නාන කාමර පහසුකම් හා නළ ජලය සපයා ගැනුණා.

ගැමියන් සමඟ වැඩ කටයුතු කිරීමේ පහසුව සඳහා පස්සර අනුලා දිසානායක මහත්මිය පරිවර්තක ලෙස ගමේ නතර වී කටයුතු කිරිමට බඳවා ගැනුණා.

ශක්ති සාමූහික සංවිධානයේ සාමාජික සාමාජිකාවන්ගේ අදහස් අනුව ගමේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ගෘහ නිර්මාණ සැලසුමක් සාදා අනුමැතිය ලබා ගැනීම විශ්ව විද්‍යාල කණ්ඩායම කළ පළමු කාර්යයි. කඳුකර සංවර්ධන පදනමේ සම්බන්ධීකරණ කමලසිරි දිසානායක මහතාගේ උපදෙස් මත මීගහයාය ග්‍රාම නිලධාරී උපාලි රත්නායක මහතා පෞද්ගලිකව මැදිහත් වී දැව හෙළීමට බලපත්‍ර හා වැලි ගොඩ දැමීමට බලපත්‍ර ද බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් ජයන්ත ශ්‍රී රත්නායක මහතා මඟින් ලබා ගැනුණා.

මීගහයාය ගැමියන්ගෙන් මහාචාර්ය කෙලී (දකුණේ) සහ සරසවි සිසු කණ්ඩායම සිහිවටන තිළිණ ලබා

ගමේ පිරිස 10 දෙනෙක් විශ්ව විද්‍යාල කණ්ඩායමේ 13 දෙනා සමඟ වැඩ කළ අතර තරුණ සමාජවලින් නියෝජිතයින් සති අන්ත වලත් එක් වී දිනපතා පැය 8 සිට 12 දක්වා වැඩ කළා. මේසන් සහ වඩු බාස්වරුන්ගේ උපදෙස් මත විදේශීය සිසු සිසුවියන් අත්වැඩ දීම, ගල් වැලි ඇදීම, ලී දඬු ගෙන ඒම වැනි ඉදිකිරීම්වලට අදාළ සෑම දෙයක්ම පාහේ සිදුකර තිබෙනවා.

ගමේ අයට මේ අත්දැකීම හරිම නැවුම්. කැනඩා රටේ සැප සම්පත් අමතක කොට, ඔවුන්ගේ ක්‍රමයට කන්න බොන්න අවස්ථාව නැතිව, අව්වේ පිච්චෙමින් අනුන් වෙනුවෙන් බර වැඩ කරන මේ විදේශීය දරු දැරියන් පිරිසට ඔවුන් ආදරය කරන්න ගත්තේ සැබෑ ළෙන්ගතු කමෙන්. මේ නිසා වැඩ කරන ඔවුන්ගේ වෙහෙස නිවන්න කන්න බොන්න දෙමින් ආදර සැලකිලි දැක්වූවා.

ප්‍රජා ශාලාව ටිකෙන් ටික ඉදිවෙද්දී දවසින් දවස මේ පිරිස ළංවුණා.

එකම පවුලක මවුවරු පියවරු දූ දරුවන් වගේ සෙනෙහසින් බැඳුණා. මේ නිසා පැය 7 - 8 ක් පමණ එක දිගට බර වැඩ කළා වුණත් දවස් ගෙවුණේ විනෝදයෙන්.

වෙනත් රටක පිරිසක් තම රටට පැමිණ දුක් විඳිමින් කරන සේවයේ වටිනාකම තේරුම්ගත් ගම්වැසියන් කැනේඩියානුවන් සමඟ කරට කර වැඩ කළේ නියමිත දිනට ඉදිකිරීම් අවසන් කළ යුතු නිසාවෙන්. එහි ප්‍රතිඵලය වුණේ දින 22 කින් මීගහයාය ගමට ප්‍රයෝජනවත් ප්‍රජා ශාලාවක් සමඟ ළමා පුස්තකාලයක් ලැබීම.

බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් සහ මහාචාර්ය කෙලී පොල්තෙල්
පහන් දල්වයි

මේ සමඟම ගමේ පොදු ඉඩමක තිබුණු බෝධියට බැම්මක් බැඳ බුදු පිළිමයක් වඩමවා ගම්මුන්ට වැඳ පුදාගන්නට හැකි ආකාරයට එය සකස් කර දෙන්නට කෙලී මහත්මිය ඇතුළු කණ්ඩායම කටයුතු කළේ ඒ සඳහා රුපියල් පනස් දහසක මුදලක් පරිත්‍යාග කරමින්.

මේ ව්‍යාපෘතිය පිළිබඳව මහාචාර්ය කෙලී මහත්මිය අදහස් දැක්වූයේ හරිම සතුටින්.

“මා නියෝජනය කරන්නේ කැනඩාවේ මැනිටෝබා විශ්ව විද්‍යාලය. එහි ගෘහ නිර්මාණ ශිල්පය හා උද්‍යාන අලංකරණය පිළිබඳ වසර 04 ක පාඨමාලාවක් තිබෙනවා. ‘ජාත්‍යන්තර ප්‍රජාව සමඟ වැඩ කරමින් ඉගෙන ගැනීම’(Service Learning in Global Community) නමැති ව්‍යාපෘතිය යටතේ ලෝකයේ දියුණු වෙමින් පවතින රටකට ගොස් විශ්ව විද්‍යාල සිසුන් ගමක නැවතී සිටිමින් ප්‍රජා ඉදිකිරීමක නිරතවීම වාර්ෂිකව සිදුකරන නිල කටයුත්තක්. එහි අරමුණ වන්නේ අපේ විෂයයට අදාළව එකී රටේ තාක්ෂණය ඉගෙන ගැනීමයි.

කටුබැද්ද විශ්ව විද්‍යාලයේ පාඨමාලා සංවර්ධන කටයුතු සඳහා වසර කිහිපයක් තිස්සේ මම ලංකාවට එනවා යනවා. ඒ නිසා ලංකාව ගැන මම තරමක් දන්නවා. රට පුරාම සංචාරය කරලත් තිබෙනවා. ඒ නිසා 2011 වසරේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීමට මගේ විශ්ව විද්‍යාලයට මා යෝජනා කළා. ඒ යෝජනාව අනුමත වුණා.

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් ප්‍රජා සංවිධාන සමඟ වැඩ කරන ලෝක කැනඩා විශ්ව විද්‍යාල සේවයේ දකුණු පළාත් භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ලක්ෂ්මන් මලවතන්ත්‍රි මහතාගෙන් මට උපදෙස් ලැබුණා. ඔහු ඌව පළාත් පැරැණි හා පිළිගත් ප්‍රජා සංවිධානයක් වන අනාගතය අපේ අතේ සංවර්ධන පදනමේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කරන පී. ඒ. ප්‍රභාත් කුමාර මහතා මට මුණ ගැස්වීමට කටයුතු කළා. ඔහුගේ මඟ පෙන්වීම අනුව මොනරාගල බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීගහයාය නමැති ගම අපේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තෝරාගන්නට මට හැකි වුණා.

මැණික් ගඟ අසබඩ පිහිටි දුෂ්කර ගමක සුන්දර මිනිසුන් සමඟ විශේෂයෙන් කාන්තාවන් සමඟ වැඩ කිරීමට අපට හැකි වුණා.

මම ඇසින් දුටු කාන්තා දායකත්වය ගැන මට හරිම සතුටුයි. ශක්ති සාමූහික සංවිධානයේ ප්‍රජා සම්බන්ධීකාරක ධම්මිකා සඳමාලි කුඩා දියණියකගේ හා පුතකුගේ දිරිය මවක්. මගේ විශ්ව විද්‍යාල සිසුන් කණ්ඩායම චීන, ඉන්දියානු, පාකිස්තාන්, ශ්‍රී ලංකා හා කැනඩා ජාතිකයින්ගෙන් සමන්විත බහු වාර්ගික කණ්ඩායමක්. මේ ගමේ පිරිස අපට ඉතා හොඳින් ආගන්තුක සත්කාර කළා.

ශක්ති සාමූහිකයේ ප්‍රජා සම්බන්ධීකාරක ධම්මිකා සඳමාලි ගමට ලැබුණු මේ වාසනාව ගැන මෙසේ අදහස් දැක්වූවා.

“මේ ව්‍යාපෘතිය වසර 15 ක මාගේ ප්‍රජා සංවර්ධන ජීවිතයේ සුවිශේෂ අත්දැකීමක්. දුප්පත් අපේ ගමට ඔවුන්ගේ පැමිණීම වෙස්වලා ගත් ආශිර්වාදයක්.

කැනඩා රටේ සැප සම්පත් අමතක කොට ඔවුන්ගේ ක්‍රමයට කන්න බොන්න නැතිව, හරියට වැසිකිළි කැසිකිළි පහසුකම්, නාක කාමර පහසුකම් නැතිව අව්වේ කරවෙමින් ඔවුන් අප වෙනුවෙන් බර වැඩ කළා. ගැහැනු ළමයි යෝධ ලී පරාල කරෙන් ඔසවාගෙන එන්න ඉදිරිපත් වුණා. මැණික් ගඟෙන් වැලි ගොඩ දැම්මා. ගඩොල්, මැටල් ඇද්දා. පිරිමි කාන්තා භේදයක් නැතිව හරි හරියට වෙහෙස වුණා. මේවා දකින විට අපේ ගමේ හැම කෙනෙකුගේම ඇස්වල කඳුළු පිරුණා.

වෙනත් ආගමික පසුබිමක් ඇති අය වුණත් ඔවුන් වෙසක් පොහොයට අපිත් එක්ක පන්සලට ගිහින් බුදුන්ට මල් පූජා කළා. සමිති ගණනාවක් සඳහා පොදු වැඩවලට වෙන් කරලා තිබුණු ඉඩමක වල් බිහිවෙලා තිබුණු බෝ ගස වැඳ පුදා ගන්නට අපට හැකියාවක් තිබුණේ නෑ. කෙලී මහත්මිය මේ ගැන දුක්වෙලා අපට බෝ මළුව හදලා බුදු පිළිමයක් වඩමවා ගන්න මුදල් ආධාර පමණක් නොවෙයි ඔවුන්ගේ ශ්‍රමයත් ලබා දුන්නා. මැයි 30 වැනිදා උදේ පෙරහරකින් බුදු පිළිමයක් වඩමවලා එහි කුටියක තැන්පත් කළා.”

මීගහයාය ගමට ලැබුණු මේ ප්‍රජා ශාලාව සහ ළමා පුස්තකාලය ගමට පැවරීමට නියමිතව තිබුණේ මැයි 31 වැනිදා. මේ නිසා මැයි 30 වැනිදා රාත්‍රියේ විදේශීය සිසු සිසුවියන් හා මීගහයාය ගමේ තරුණ සමාජවල ළමයින් එක්ව සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වූවා.

මීගහයාය ගමට නව යුගයක උදාව රැගෙන 31 වැනිදා හිරු එබිකම් කරද්දී අවට සහෝදර ගම්වල සමිති සමාගම්වල හිතවතුන්ගෙන් ගම පිරුණා. ගමේ කුඩා දුවෙක් සහ පුතෙක් අතින් පීත්ත පටිය කැපුණා. බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කේ. ජේ. සී. රත්නායක මහතා සහ මහාචාර්ය කෙලී මහත්මිය පොල්තෙල් පහන් දල්වා ගොඩනැගිල්ලේ සමරු ඵලකය නිරාවරණය කළේ ජය සක් බෙර හඬ මැද්දේ.

දින 22 ක් තිස්සේ කය වෙහෙසා වැඩ කරමින් මේ දෙපිරිසම කළ කැපකිරීමේ ප්‍රතිඵලය ලෙස මීගහයාය ගමට ප්‍රජා ශාලාවක්, ළමා පුස්තකාලයක් සහ බෝ මළුවක් ලැබුණා. විදේශීය කණ්ඩායම සමුගැනීමේ අතිශයින් හැඟුම්බර මොහොත උදාවුණේ දිවා ආහාරයෙන් පසුව. ඔවුන් එකිනෙකාගෙන් සමුගත්තේ ඇස්වල කඳුළු පුරවාගෙන. ඒ ඔවුන් එකිනෙකා එකම පවුලක පිරිසක් මෙන් බැඳී සිටීම නිසාවෙන්.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]