කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඕස්ට්‍රේලියාවේ සිට

ඕස්ට්‍රේලියාවේ සිට

මම මෙල්බන් නුවරින් ඕස්ට්‍රේලියාවට ගොඩබැස්සෙමි. මේ මාගේ සයවැනි ඕස්ට්‍රේලියානු සංචාරයයි. ඕස්ට්‍රේලියාවත්, ලංකාවත් අතර සම්බන්ධතා ආරම්භ වී තිබුණේ පූර්ව ප්ලයොස්ටෝසීන යුගයේ සිට යැයි භූගර්භ විද්‍යාඥයින් දන්වා සිටිය ද 1890 ගණන්වල සිට ශ්‍රී ලාංකිකයන් මෙහි පදිංචියට පැමිණ ඇති බවට ලිඛිත වාර්තා දැන් සොයාගත හැකිව තිබේ.

මෙවර මා මෙල්බන් නුවරට ගොඩබසින විට මෙහි වායුගෝලය සීතල වී තිබුණේය. සූර්යා උත්තරාර්ධ ගෝලයේ කර්කටක නිවර්තනයේ පසුවන ජූනි, ජූලි, අගෝස්තු මාසවල දක්ෂිණාර්ධ ගෝලයේ මකර නිවර්තනයේ පිහිටි ඕස්ට්‍රේලියාවට ශීත සෘතුවයි. උතුරු අක්ෂාංශ 5ත් 15ත් අතර පිහිටි අපේ රටට සීතල උඳුවප් මාසය ලබද්දී සූර්යා වසන්නේ දකුණු අර්ධ ගෝලයේ මකර නිවර්තනයේ ය. ඒ නිසා අපේ සීත උඳුවපය වනාහී ඕස්ට්‍රේලියාවට උෂ්ණ සෘතුවයි. එනිසා දෙසැම්බරය වන විට ඕස්ට්‍රේලියාවේ වායුගෝලය සෙල්සියස් අංශක 40 දක්වා උණුසුම් වන්නේ ය. ශීත සෘතුවට හිම වැස්සෙන් පීඩා ගෙන දෙන ඕස්ට්‍රේලියාවට උෂ්ණ සෘතුවේදී ලැව් ගින්නෙන් බරපතළ හානි සිදුවෙයි.

වර්තමාන ඕස්ට්‍රේලියානු සංස්කෘතියට වයස අවුරුදු 200කි. 1788 දී එංගලන්ත ජාතික කැප්ටන් තෝමස් කුක් ගේ රුවල් නැව දකුණු ඕස්ට්‍රේලියාවේ නැඟෙනහිර වෙරළට ගොඩබසින විට මේ මහාද්වීපයේ ජීවත්ව සිටියේ ඉතා නො දියුණු ගෝත්‍ර මානව විශේෂයකි. ඔවුන් ඕස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන් හෙවත් ආදිවාසීන් වූ නිසා ඉංග්‍රීසීන් මේ ගෝත්‍ර හඳුන්වන්නට Aborigines යන අර්ථයෙන් “ඇබොරිජින්” යැයි යෙදූහ.

ඉංග්‍රීසීන් ගොඩබට දකුණු නැඟෙනහිර වෙරළ තීරයේ සශ්‍රීක ගං මෝයේ ජීවත්ව සිටි ඇබොරිජීන් ජනතාව වනසා, පලවා හැර මෙහි බලය අල්ලාගත් ඉංග්‍රීසීහු ඒ ස්ථානයට ‘සිඩ්නි’ යැයි නම් තබාගත්හ. අද ඕස්ට්‍රේලියාවේ ඇබොරිජීන් වරුන්ට බලයක් හෝ උරුමයක් ඇත්තේ නොවේ. ලංකාවේ වැදි ජනතාව තරම්වත් ගෝත්‍ර උරුමයක් භුක්ති නො විඳින ඔවුන් වඳ වී යන මානව විශේෂයක් බවට පත්කර ඇත.

පනාපුත්‍ර හැන්දෑව

ඕස්ට්‍රේලියාව මහද්වීපයකි. එහි වර්ග ඵලය වර්ග කිලෝමීටර් මිලියන 7.69ක් වන අතර වර්තමාන ඕස්ට්‍රේලියාවේ මුළු ජනගහනය මිලියන 20කට ආසන්න ය. ඒ වනාහී ලංකාවේ මුළු ජනගහනයට සමාන ය. එහෙත් ලංකාවේ මුළු භූමි ප්‍රමාණය ඕස්ට්‍රේලියාවට වඩා ඉතා කුඩා ය. 18 වැනි සියවසේ දී ඉංග්‍රීසීන්ට අයත් වූ ඉතා විශාල හිස් ඉඩම ඔවුහු වගා කළෝය.

පළමු වශයෙන් මෙහි ගෙනත් දැමූ යුරෝපීය සිරකරුවෝ ඕස්ට්‍රේලියානු මුඩු ඉඩම සශ්‍රීක වගා භූමියක් බවට පත් කළෝය. කිසිදු වග විභාගයකින් තොරව වනසා දැමූ ආදිවාසී ජනතාවට ඇමෙරිකානු හිස් ඉඩමේ සිටි සියැටල් කෙනෙක්වත් දඹානේ වැදිබිමේ සිටින වන්නියලැත්තන් කෙනෙක්වත් නොසිටියේ ය.

අද වන විට බහුවාර්ගික රාජ්‍යයක් වන ඕස්ට්‍රේලියාවේ කිරීට ලකුණ තවමත් ඇත්තේ එංගලන්තයේ ය. මා මෙවර ඕස්ට්‍රේලියාවට පැමිණ සතියක් ඇතුළත ඔවුහු එංගලන්ත මහා රැජනගේ උපන් දිනය සමරා රජයේ නිවාඩු දිනයක් ගත කළෝය.

ඒ නිවාඩු දිනය සඳුදාවක් වූ නිසා ඊට පෙර දිනය වූ ජූනි 12 වන ඉරිදා දිනය මගේ සංචාරයට වාසි සහගත අත්දැකීමක් ගෙන ආවේය. මෙවර මා ඕස්ට්‍රේලියාවට පැමිණියේ මෙහි ප්‍රධාන නගර 05ක සංදර්ශන පහක් පැවැත්වීම සඳහා ලද ආරාධනාවක් හේතු කොටගෙනයි. මගේ ප්‍රමුඛ සංවිධායකවරු වසන්නේ මෙල්බන් නුවර වූ නිසා අප පළමු සංදර්ශනය පැවැත්වූයේ මෙල්බනයේ කෙල් වොට්සන් රඟහලේ ය. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා ළමා සුරැකුම් සංවිධානයේ ලේකම් ශිරෝමා ප්‍රනාන්දු මහත්මිය පළමු සංදර්ශනය හොඳින් සංවිධානය කොට තිබුණාය. ඔවුහු වෘත්තීය ළමා සුරැකුම්වරියන් වන නිසා වාර්ෂිකව ලංකාවේ වෙසෙන ප්‍රකට කලා පවුලක ඕස්ට්‍රේලියාවට ගෙන්වා සංදර්ශන පැවැත්වීමට අරමුණු කොට සිටිති. ගිය වසරේ විශාරද එඩ්වඩ් ජයකොඩි ප්‍රමුඛ පවුල මෙහි ගෙන්වා සංදර්ශන පැවැත්වූ ඔවුන් මෙවර ආරාධනා කළේ මා ඇතුළු මගේ මුළු පවුලට ම ය.

බැලරට් හි සංගීතකාරයෝ

මාත්, මගේ බිරිය කුමාරිත්, මගේ දරුවන් තිදෙනාත් එක් වී මෙල්බන් නුවර “බී ෂාප්” නම් වාද්‍ය වෘන්දය සමඟ පැවැත්වූ පළමු සංගීත ප්‍රසංගය ජනතාව පිරී ඉතිරී ගිය රඟහලක පවත්වන්නට යෙදුණි. යුරෝපීය සංස්කෘතියක් ඇති ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ අපේ සංස්කෘතියට අදාළ වූ පවුල තුළම ජීවත්වීමට බොහෝ වෙර දරන්නාහ. තම දරුවන් තම ඇස් මානයේ ම තබා හදා වඩා ගන්නට ඔවුහු උනන්දු වෙති. දෙමවුපියන්ගේ උරුමය දරුවන් විසින් ඉදිරියට ගෙන යනු දකින ඔවුහු සතුටින් ඉපිල යමින් ප්‍රසංගයේ බැඳී සිටියෝ ය.

මේ ප්‍රසංගය සංවිධානයෙන් ලබන මුළු ආදායම ඔවුන් යොදවන්නේ ලංකාවේ සුනාමි ව්‍යසනයෙන් විපතට පත්ව දෙමවුපියන් අහිමි වූ දරුවන් පිරිසකගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ය. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා ළමා සුරැකුම් සංවිධානයත් මාත් අතර ඇති වූ එකඟ ගිවිසුමකට අනුව මේ ප්‍රසංගවලින් ලබන ආදායමින් කිසිදු මුදලක් මගේ කණ්ඩායමේ වෘත්තීය ;ගවීමක් බවට පත් වන්නේ නැත. ඒ වෙනුවට මා ලබන වාසිය වන්නේ සිය පවුල පිටින් මාසයක කාලයක් පුරා මුළු ඕස්ට්‍රේලියාවේ ම සංචාරය කිරිමයි.

මේ වන විට අතිශයින් ම සාර්ථක සංදර්ශන තුනක් මෙල්බන්, සිඩ්නි සහ කැන්බරාවේ පවත්වා ඇත්තෙමු. සෑම දර්ශනයකම ශාලාව පිරී ඉතිරී ගිය ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරයෙන් අපි ප්‍රමුදිමත් වී සිටිමු. මේ සංචාරයෙන් මම මගේ සංචාරක සටහනට බොහෝ තොරතුරු එකතු කර ගනිමි. මෙල්බන් නුවර දී බැලරට් (Ballarat) පැරණි රත්‍රං ගම්මානයටත්, ඩැන්ඩිනෝං කඳු මුදුනේ පිහිටි ආදිවාසීන්ගේ උත්පත්ති කථා මූර්ති ගත කළ වන රක්ෂිතයටත් කළ සංචාරය මට ඉතා ප්‍රයෝජනවත් ය. බැලරට් ගම්මානයට මා සංචාරය කළේ දෙවැනි වතාවටයි. මීට පෙර මගේ සංචාර සටහනේ බැලරට් සංචාරක ගම්මානය පිළිබඳ ලියා දක්වා ඇත.

ඒ 1994 දී මා කළ බැලරට් සංචාරය පිළිබඳවයි. මෙවර මා පුදුමයට පත් වූයේ 94 සිට 2011 දක්වා වසර 17ක් ගෙවී තිබුණ ද එහි පැවැති සංචාරක පරිපාලන කටයුතු කිසිදු වෙනසකට පත් නොවී තිබීම පිළිබඳවයි.

Harbour Bridge  අපේ ඉංජිනේරු පරිපාලනයට

1800 ගණන්වල පැවැති ආදී ඕස්ට්‍රේලියාවේ රත්‍රන් පතලක් කේන්ද්‍ර කොටගෙන පැවැති ගම්මානයක් එලෙසින් ම සංරක්ෂණය කොට සංචාරකයින් වෙනුවෙන් පරිපාලනය කරන මේ පරිශ්‍රයට ඇතුළු වීම සඳහා ඔවුහු එක් අයකුගෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 25ක මුදලක් අය කරති. ඉන් ලබන අති විශාල ආදායම මේ නගරයේ සංරක්ෂිත පැවැත්ම ඉදිරියට ම පවත්වා ගැනීම සඳහා භාවිතා කෙරේ.

අපේ රටේ හෝර්ටන් තැන්නට ඇතුළු විම සඳහා සංචාරකයකු ගෙන් ලබා ගන්නා සුළු මුදල කෙළින් ම යන්නේ මහා භාණ්ඩාගාරයටයි. එය වසරකට රුපියල් මිලියන 30ක් පමණ වෙතැයි මා අසා ඇත. එහෙත් හෝර්ටන් තැන්නේ පරිපාලකයින්ට එහි සංචාරකයින් සඳහා වැසිකිළියක් තනා ගැනීමට වුවද අවැසි මුදලක් ලබාගැනීම ඉතා අසීරු යැයි නෝක්කාඩු ද මම ඔවුන්ගෙන් ඕනෑතරම් අසා ඇත්තෙමි.

මෙල්බන් හී ඩැන්ඩිනෝං කඳු මුදුනේ අපූරු ස්වාභාවික වන රක්ෂිතයක් හමුවෙයි. ඒ වනාන්තරයට මුදල් ගෙවා ඇතුල්වන සංචාරකයින්ට ඇබොරිජීනියන් ජනතාවගේ උත්පත්ති කථා, මිථ්‍යා කථා ඇසුරින් විලියම් රිකට්ස් නම් අතිශූර මූර්ති ශිල්පියකු කළ ස්වාභාවික ශෛලියේ කැටයම් විශාල ප්‍රමාණයක් හමුවෙයි. මම මේ කැටයම් අතර සැරිසරමින් ඇබොරිජීනියන් වරුන්ගේ ආත්ම තුළට රිංගා ගැනීමට උත්සාහ කළෙමි. 1910 තරම් කාලයක සිට විලියම් රිකට්ස් මේ කැටයම් නිර්මාණය කොට තිබේ.

ඔහු අතිශූර මූර්ති ශිල්පියකු වනවා පමණක් නොව සූක්ෂ්ම ජනශ්‍රැති විද්‍යාඥයෙකු ද බව මම තේරුම් ගතිමි. මේ අහිංසක ගෝත්‍රිකයන්ගේ යාතුකර්ම සහ අභිචාර විධි තුළ ඇති උත්පත්ති කථා විලියම් රිකට්ස් තම නිර්මාණ සඳහා පාදක කොටගෙන තිබීමෙන් ඒවා අනාගතය දක්වා පවතිනු ඇත. ඉංග්‍රීසින් විසින් ඕස්ට්‍රේලියානු ආදිවාසීන් වඳ කොට දැමුව ද මේ ඉංග්‍රීසි ජාතික මූර්ති ශිල්පියා තම ජාතිය වෙනුවෙන් පශ්චත්තාපීව හුදෙකලාව ම ඇබොරීජියන් වරුන්ට කරුණාව දක්වා ඇතැයි මට සිතේ.

ඔහු නිර්මාණය කොට ඇති ආදිවාසීන්ගේ ස්වරූප ස්වභාවිකව ජීවී පරිමාණයෙන් ම තිබේ. මම මේ ගෑනු මිනිස්සුන්ගේ මුහුණු හොඳින් නිරික්ෂණය කෙරුවෙමි. මට මේ මූණුවරේ නෑදෑකමක් දැනේ. පී.ඊ.පී. දැරණියගලයන් බලංගොඩ මානවයා පිළිබඳ ඇඳි කුරුටු චිත්‍රය සහ මේ මුහුණුවර අතර බොහෝ සමානකම් ඇතැයි මට සිතේ. ලංකාවේ බලංගොඩ මානවයා සහ ඕස්ට්‍රේලියාවේ ඇබොරිජීන් මානවයා පිළිබඳ මානව විද්‍යාත්මක සමානකම් ඇතැයි පැවසෙන විද්‍යා කථාව ඔප්පු කරගන්නට ඩැන්ඩිනොං කන්ද තරණය කළ යුතු යැයි මම සිතා ගත්තෙමි.

අපි නෑදෑයෝ ද?

බැලරට් රත්‍රං ගම්මානයට මා දෙවතාව ම රැගෙන ගියේ මෙල්බන් නුවර වෙසෙන ප්‍රකට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන බන්දු දිසානායක සහ උපා උපදාසය. වසර 17ක් ඇතුළත බන්දු සහ උපා වයස්ගතව සිටිය ද බැලරට් සංචාරක පුරය වයස් ගත වී නො තිබුණි. ඩැන්ඩිනොං කඳු මුදුන වෙත මා කැඳවා යෑමේ වගකීම බාරගත් ඩේසි සහ මැක්සිමස් විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ආදර්ශයකි.

ලංකාවේ දරුවන් බොහෝ පිරිසක් ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා යොමු කිරීමට ධන පරිත්‍යාග කර ඇති ඔවුහු ඒ දාන පාරමිතාවේ බලයෙන් වසර 10ක් පුරා ලබාගත නො හැකි වූ දරු සම්පත සඳහා දැන් ගැබ්බරව හිඳිති.

ඕස්ට්‍රේලියාව ලංකාවට වඩා බොහෝ දියුණු රටක් බව සැබෑය. එහෙත් ඒ දියුණුව සඳහා ලංකාවේ බුද්ධි බලය බොහෝ ඉහළින් යෙදී ඇති බව සමහර විට අප විශ්වාස නො කරනු ඇත. මා මේ සටහන ලියන්නේ කැන්බරා නගරයේ වසන පුරෝගාමී ශ්‍රී ලාංකිකයෙකු වන චන්ද්‍රසිරි පෙරේරා ඉංජිනේරු මහතාගේ ලියන මේසයේ සිට ය. ඔහු 1969 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පිට වූ ඉංජිනේරු උපාධිධාරියෙකි. අද කැන්බරා මාර්ග සංවර්ධන අධිකාරියේ ඔහු තම ඉංජිනේරු බුද්ධිය ගලා යෑමට සලස්වා ඇත. මට මේ ගමන පුරා විශාල ශ්‍රී ලාංකේය ඉංජිනේරුවරු පිරිසක් හමු වී ඇත.

I.T.  තාක්ෂණයේ ඉතා ඉහළ අධ්‍යාපනධාරීහු මවුබිමේ නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය ලබා අද ඕස්ට්‍රේලියාවට නැතිව ම බැරි බුද්ධිමතුන් වී සිටිති. අද ලෝක උරුමයක් ලෙස සුරකින Sydney Harbour Bridge  නම් දැවැන්ත යකඩ පාලම වර්තමානයේ පරිපාලනය කරන ඉංජිනේරු කණ්ඩායමේ ප්‍රධානියා ශ්‍රී ලාංකික ඉංජිනේරුවකු වන විජේ ආරියරත්න මැතිඳුන් යැයි මා දැනගත්තේ ඕස්ට්‍රේලියාවේ දී ය.

මෙහි හැම විශ්වවිද්‍යාලයක ම ශ්‍රීී ලාංකේය තරුණයින් අධ්‍යාපනය ලබන බව අප දනිතත් බොහෝ විශ්වවිද්‍යාලවල ශ්‍රී ලාංකේය කථිකාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් විශාල පිරිසක් ඕස්ට්‍රේලියානු දරුවන්ට උගන්වන බව අප ගණනය කර නැත.

ලංකාවේ හෙන්රි ජයසේනයන් නිර්මානය කළ ස්වතන්ත්‍ර නාට්‍ය කෘති අතර එක් නාට්‍යයක් වූයේ “සරණ සියොත් සේ පුතුනි හඹා යන” කියා ය. එහි තේමාව වන්නේ මව් රටේ නොමිලයේ අධ්‍යාපනය ලබා නො රටට සේවය ලබාදෙන “බුද්ධි ගලනය” පිළිබඳවයි. දැන් ඒ නාට්‍යය අපට දකින්නට නැත. එහෙත් “බුද්ධි ගලනය” අද වන විට එදාට වඩා ශීඝ්‍ර ලෙස සිදුවෙමින් පවතින බව මම මගේ සංචාර ජීවිතය පුරා ම දැක ඇත්තෙමි.

ලබන සතියේ - පයින්, වනාන්තරයේ ගස් මුදුන් මතින් ඇවිද ගියෙමි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]