කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
නෙළුම් විල

වෙසක් පත

ගුණසිංහ හෙට්ටිආරච්චි

වෙසක් සතිය ඇරඹිණි.

තැපැල්කරුගේ බෙල් හඬ ඇසුණෙන් මම දොරකඩට ගියෙමි.

තැපැල්කරු මට වෙසක් පතක් දුන්නේ ය.

මම ඒ අකුරු හඳුනමි.

මා සිත පහන් විය. පහන් සිතින් ම යුතුව මම වෙසක් පත විවර කළෙමි.

“කීකරු ශිෂ්‍ය සෝමවීරගෙන් දයාබර ගුරුතුමියට වෙසක් සුබ පැතුම්!”

අද මා වියපත් ය. මේ වෙසක් පත ආවේ තිස් හය වැනි අවුරුද්දට ය. මින් පෙර වෙසක් පත් තිස් පහක් තිස් පස් අවුරුද්දක් පුරා මට මේ සිසුවා ගෙන් ලැබී තිබේ.

මුල් යුගයේ දී මම එය මා සැමියාට පෙන්වා සතුටු වීමි. ඉන් පසු දරුවන්ට පෙන්වා සතුටු වීමි. දැන් මුනුබුරු මිනිබිරියන්ට පෙන්වා සතුටු වෙමි.

වසර තිස් හයකට පෙර, එවක මා ඉගැන්වූ උසස් පෙළ පන්තියේ සිටි සෝමවීර අද විදුහල්පතිවරයෙකි.

විදුහල්පති සෝමවීර සිසුවාණනි, ඔබ බඳු පුතකු ලද මාපියෝ ද, ඔබ වැනි සැමියකු ලද බිරිය ද, ඔබ වන් පියකු ලද දරුවෝ ද, ඔබ වන් ගුරු පියකු ලද සිසු දරු දැරියෝ ද නිවුණෝ වෙති. ඔබට සියලු යහපත සැලසේවා!
 

කුරුණෑගල, ඉලුප්පුගෙදර පාරේ, මාලනී ජයසුන්දර මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.


වෙසක් බැලිල්ල

වෙසක් සඳ මහනුවරට උඩින් පායා එමින් තිබිණ.

අප සිත් තුළ ද වෙසක් බලන්නට යෑමේ ආසාව පහළ විය.

අපි රියට ගොඩවීමු.

එය පැදවූයේ මා සැමියා ය. දරු තිදෙනා ද, වියපත් මව ද අප අතර වූහ.

අපි අවට නරඹමින් මැණික්හින්න පසු කළෙමු. මල්පාන ද පසුවිය.

දිගනට එන විට අපට දන්සලක් හමුවිය. මඤ්ඤොක්කා ද කඩල ද එහි විය. එහි සංවිධායක තරුණයන් කඩිනමින් වැඩ කරනු අපි දුටිමු.

අපට ද යමක් සප්පායම් වීමට සිතිණ.

රිය ඒ අසල නැවැත්වූ අපි දන්සල් බිමට පා තැබීමු. අඩ හෝරාවකට පමණ පසු අපේ අවස්ථාව එළඹියේය.

සිත් සේ අහර බුක්ති විඳි අපි ආපසු පැමිණ රියට නැඟුණෙමු.

වූයේ අප කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයකි.

රිය පණ ගැන්වී ගියරය ක්‍රියාත්මක කළ ද රිය නොසෙල්විණි.

ඒ වන විට දන්සල අවට පෙදෙස සෙනඟින් පිරී තිබිණ. අපි ඒ සෙනඟ මැද අක්‍රීය රියෙහි හිරවී සිටියෙමු.

දඟකාර දරුවෝ රියෙන් එළියට පනින්නට හැදූහ. සැමියා සෙනඟ අතරට වැද පිළිසරණ පතා ඔබ මොබ ගිය ද බිඳුණු හිතින් ම ආවේ ය.

පසුව අපි දරුවන් රියෙහි අගුළු ලා උදවුවක් ලද හැකි තැනක් ඇද්දැයි බැලුවෙමු.

’දිගන පොලිස් මුරපොළ’ ඇස ගැටුණේ එවිට ය.

අපි වහා එහි ගියෙමු.

එහි නිලධාරීහු කිහිප දෙනෙක් සිටියහ. අපි වෙච්ච ඇබැද්දිය කීමු.

’මේ වෙලාවෙ හැටියට ගැරේජ් බාස් උන්නැහැ කෙනෙක් හොයාගන්න එක තමයි ප්‍රශ්නෙ!’ නිලධාරීහු කීහ.

එවේලේ එහි පැමිණි තවත් පොලිස් නිලධාරියකුට මේ කතාව ඇසිණ. ඔහු සියුම් බුද්ධියෙන් යුතුª අයෙකි. ඔහු පොතක් පෙරළා දුරකථන අංකයක් සොයා ඊට ඇමතුමක් ගත්තේය. ඒ, කාර්මිකයෙකි.

’මෙයාට කියන්ඩකො ප්‍රශ්නෙ’ ඔහු අපට දුරකථනය පෑවේය.

අපි ආගන්තුකයාට වාහනේ ලෙඩේ ගැන පැහැදිලි කළෙමු. අපෙන් දුරකථනය යළි ලබාගත් පොලිස් නිලධාරියා වහාම එහි එන ලෙස කාර්මික ශිල්පියාගෙන් කාරුණික ඉල්ලීමක් කළේය.

පැය බාගයකින් පමණ ඔහු ආයේ පාරේ සෙනඟ අධික බැවින් ඒමට අමාරු වූ බව පවසමිනි.

පොලිස් නිලධාරියා කාර්මික ශිල්පියා කැඳවාගෙන අප රිය වෙත ගියේය. අපිදු පසුපසින් ගියෙමු.

කාර්මික ශිල්පියා රිය යථා තත්ත්වයට ගැනීමට බොහෝ මහන්සි වුව ද අවසානයේ කටයුත්ත අතහැර දැමුවේය. අමතර කොටස් නැතිව එය පිළිසකර නොකළ හැකි බව ඔහු කීවේය. රිය යථා තත්ත්වයට පත්කර ගැනීම නොකළ හැකි වුවද අප වෙනුවෙන් පැමිණ බොහෝ සේ වෙහෙසුණු කාර්මික ශිල්පියා හිස් අතින් යැවීම අපට නොකළ හැක්කක් විය. අපි ඔහු ගේ මහන්සිය ගෙවන්නට හැදීමු. එහෙත් ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. ඉන්පසු කාර්මික ශිල්පියා සමුගෙන ගියේය. එහෙත් පොලිස් නිලධාරියා අප හැර නොගියේය.

දන්සලට ඇදෙමින් සිටි සෙනඟ අතර වූ අඳුනන මුහුණක් සොයා ගැනීමට පොලිස් නිලධාරියාට හැකි විය. ඒ ඔහු ගේ ඥාති පුත්‍රයෙකි. නිලධාරියා පුත්‍රයාට කරුණු පැහැදිලි කළේය. පුත්‍රයා සිය මිතුරන් කණ්ඩාමක් එකතුකර ගත්තේය.

ඔවුහු අප රිය පොලිස් මුරපොළ අසලට තල්ලු කරගෙන ගියහ.

අපි ඒ තරුණ පිරිසට තුති පිදීමු. ඔවුහු ද සමුගත්හ.

”දැන් ඉතිං ඔය කට්ටිය යන්ඩ! වාහනේ තියෙන්නෙ පොලිස් මුරපොළේනෙ. බයවෙන්ඩ දෙයක් නෑ. හෙට ඇවිත් හදාගෙන ගෙනියන්ඩ!’

පොලිස් නිලධාරියාගේ උපදෙස එක අතකින් අපට ඉස්පාසුවක් ගෙන දුන්නේය. අපි ඔහුට මහත් සේ තුති පුදා ආපසු හැරුණෙමු. මැදියම් රැය එළඹෙන විට ගෙදරට යා ගන්නට අපට හැකිවිය.

වෙසක් බලන්නට ගොස් අතර මඟ හිර වූ අපට දෙවියකු මෙන් පිහිට වූයේ තෙල්දෙණිය පොලිස් ස්ථානයේ සාජන්ට් අබේසේකර මහතාය.

අබේසේකර මහතාණනි, ඔබටත් ඔබේ ඇමතුමින් අප සොයා විත් පිහිට වීමට උත්සාහ කළ කාර්මික ශිල්පී ධර්මසිරි මහතාටත් පොලිස් කුටියේ සිටි සෙසු නිලධාරි මහතුන්ටත්, වාහනය මුර පොළ වෙත ගෙනා පොලිස් නිලධාරි මහතාගේ ඥාති පුත්‍රයා ඇතුළු මිතුරු පිරිසටත් සියලු යහපත පතමි.
 

මැණික්හින්නේ, වලල, වෛජයන්තියේ, රම්‍යානි ගුණරත්න මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

නෙළුම් විල,
සිළුමිණ, ලේක්හවුස්,
කොළඹ


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]