කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
මගෙ අම්මා රෑ මැදියමෙත් අපට උණු බත් උයපු ගැහැනියක්

මගෙ අම්මා රෑ මැදියමෙත් අපට උණු බත් උයපු ගැහැනියක්

චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය

මිනිසුන් ජීවත්වන්නේ බොහෝ විට ස්වප්නයන් තුළ ය. ඒ ස්වප්නයන් බොහෝ විට යථාර්ථයන් නොවී ජීවිතය මිලින වන තුරු එසේ ම තිබී ඔවුන් සමඟ ම මළවුන් අතරට එක්වෙයි. තමන්ගේ මුළු මහත් ජීවිතයේදී තම ස්වප්නයන් බොහෝ දුරට සාර්ථක කැරගත් මිනිසුන් දුලබ ය. ඒත් තමා පුංචි දවසදී පාට කූරු ගෙන ඇඳි චිත්‍රය හෙවත් සිතුවම තම ඇස් මානයේ මතු නොව සුවහසක් ප්‍රේක්ෂක සමූහයා අතර චලන චිත්‍රයක් බවට පත් කළ නිර්මාණකරුවා ඔහු ය.

වඩාත් පැහැදිලිව කියන්නේ නම් පුංචි දවසේ ඒ මනසේ ඇඳි සිතුවම් ඔහු චිත්‍රපට බවට පත් කැර ගත්තේ පුදුමාකාර ආයාසයකිනි. එකකට එකක් වෙනස් තේමා අතර සුවිශේෂ චිත්‍රපට රැසක් නිර්මාණය කළ උදයකාන්ත වර්ණසූරිය අද අපේ සාමීචිය හැඩ කරයි. ‘ගිනි අවි ගිනි කෙළි’, ‘රන්දිය දහර’, ‘බහුබූතයෝ, ‘බහු භාර්යා’, ‘චැලෙන්ජර්ස්’ ඔහුගේ චිත්‍රපට අතර දිදුළ කඩඉම් කිහිපයකි.

මගේ අම්මා හොඳට චිත්‍ර ඇන්දා, ගහකොළ සතා සීපාවා, ඇළ දොළ, වන සිවුපාවුන් විතරක් නොවේ නොයෙක් වාහන හා මිනිසුන්ගේ රූප අම්මා හොඳට පණ පිහිටුවලා ඇන්දා. මගේ පුංචි මනස සිත්තරකමට ඇඳී ගියේ ඒ අම්මාගේ චිත්‍ර කර්මය අනුවමයි. මාත් ඒ අනුව සිත්තරෙක් වෙලා නොයෙක් පත්තරවලටත් චිත්‍ර කතා ලියලා පස්සේ කාලෙක ඒ සිතුවම් චිත්‍රපට බවට පත්කර ගත්තේ මගේ රත්තරං අම්මා ගෙ මඟපෙන්වීම නිසයි.

චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය තම මෑණියන්ගේ වගතුග අවදි කරමින් කතාවට පිවිසියේ එලෙස ය.

වීරකොණ්ඩ ආරච්චිගේ ධර්මාවතී ද සිල්වා. එහෙම නම්වර ලද්දේ මගේ මෑණියන්. ගාලු දිස්ත්‍රික්කයේ අලුත්වල ඇගෙ ගම, ඇළ දොළ, කමත, ලන්ද, මේ හැම ගැමි සිරියාවක් ම තිබුණු ඉතාම සුන්දර ගමක්. තාත්තගේ ගම දොඩන්දූවෙ වුණත් මට ගම පිළිබඳ සියලු රසාලිප්ත හැඟුම් දියුණු තියුණු කළේ මේ ගමයි. මගෙ තත්තා වඩුමේස්ත්‍රිගේ සන්දසේන වර්ණසූරිය. එක රැකියාවක් කියලා නෑ. සුළු සුළු වෙළෙදාම් බොහොමයක් කළා. ඒවායින් වැඩිමනත්ම කළේ මෝටර් රථ අමතර කොටස් වෙළෙඳාම.

තාත්තා මේ රැකියාව කලාට මුල් කාලෙ තැනින් තැනට මාරුවෙමින් මේ රස්සාව කරලා තියෙනවා. මං ඉපදිලා තියෙන්නේ අම්මයි, තාත්තයි බොරලැස්ගමුවේ පදිංචි කාලේ . මට අවුරුදු 5 පමණ කාලයේ මට මතකයි අප හිටියේ නුගේගොඩ රේමන්ඩ් පාරේ පළමු නිවසෙ. කුලී නිවැසියන් හැටියට. ඒ කාලෙ තාත්තට විශාල ගරාජයක් තිබුණා නුගේගොඩ. ඒක හවුල් ව්‍යාපාරයක්. තවත් අයිතිකාරයෙක් හිටියා. මෙහෙම කාලයක් ඉන්නකොට තාත්තා මේකත් විකුණලා කොළඹ ඩාර්ලි පාරෙ කඩයක් දැම්මා. එතුමා බොහොම ධෛර්යවන්ත වුණාට එකම අරමුණක ඇලී ගැලී ඉන්නා කෙනෙක්ම නොවෙයි. අම්මා එහෙම නෑ. ඇය තමයි තාත්තා පිටුපස හිටි යෝධ සෙවණැල්ල.

තාත්තාගෙ දැඩි පෞරුෂය නිසා ඇය නම්‍යශීලීව හැම විටම ක්‍රියා කළා,, ඒ කෙතරම් ද කියන්නෙ පිටස්තර කෙනෙකුට අම්මා තාත්තට යටවෙලා ජීවත්වෙන බව පෙනෙන තරමට. ඇත්තටම සිද්ධ වුණෙත් ඒකම තමයි. ඒත් අම්මට මැරෙනකම් ම ඒක ඒ විදියට වැටහුණේ නෑ. ඇය එහෙම කල්පනා කළෙත් නෑ. අම්මා කියන දේ තාත්තා මොහොතක්වත් ඇහුවා නම් අපි කොළඹ කෝටිපතියො වෙන්ටත් තිබුණා. ඒත් මේ දෙන්නගෙ බැඳීම ප්‍රබලයි. තාත්තා ඒ වතාවෙ දැමූ සදර්න් මෝටර්ස් සාප්පුව පිටරටින් ආනයනය කළ මෝටර් ස්පෙයාර් පාර්ට්ස් පවා විකුණන කොළඹ ඒ ක්ෂේත්‍රයේ තරගකාරී ආයතනයක් බවට පත්වුණා.

මාව මුලකුරට යැවුණෙ කොළඹ ඉසිපතනයට. උදේ රැයින් නැගිටින අම්මා අපට මොනවා හරි කවලා පොවලා අන්දවලා පාසල් යැව්වෙ පුදුමාකාර ආසාවකින්. අය්යලා දෙන්නයි අක්කයි නංගියි අතර මං පවුලෙ පොඩි පුතා වුණා.

අයියලා දෙන්නා ටිකක් දඩබ්බරයි. අම්මා කියන දේට තරමක් අවනත නෑ. මං වෙනස් කියලා අම්මා නිතරම කීවෙ සාමකාමී ජීවිතයට කැමැති කෙනෙක් ලෙස පුංචි කාලෙ ඉඳන් දිවි ගෙවූ නිසයි. අම්මා වැඩියෙන් ම ඇල්මක් දැක්වපු චිත්‍ර කර්මය මං නිතරම අම්මාගෙන් අහගෙන ඇගෙ තුරුලෙම ඉන්නා නිසා කොහොම කීවත් ඇය මට වැඩියෙන් ආදරය කරන බව කවුරුත් කීවා. ඒත් අපේ අම්මා හැම දරුවටම එක විදියට සැලකුවා. මං ඇගෙ තුරුලෙම හිටි නිසා මා ගැන හැම විට සොයා බැලුවා.

වෙලාවකට ඇය පොඩි ළමයි වන අප අතර තවත් පොඩි ළමයෙක්. සරුංගල් අරින්න අපි හරිම ආසයි. අම්මත් සරුංගලය හදන්න උදව් කරලා පාට කොළ අලවලා ඈත තිබුණු වෙල්යාය පැත්තට ඇවිත් මාත් අයියලාත් සරුංගල් අරින හැටි බලා ඉඳලා සතුටුවෙන හැටි මට තවම මතකයි. අම්මා තාත්තා කරන හැම ව්‍යාපාරයකට මහත් ශක්තිය දුන්නත් ඇගෙ අදහස් කල්පනා තාත්තා පිළිගත්තෙම නෑ. ඉංගිරිසි දන්නා පිටරට පවා ගිහින් අත්දැකීම් තිබෙන තාත්තා සාම්ප්‍රදායානුකූල ගැමි මවක් වන මගෙ අම්මගෙ සිතිවිලි අනුව ව්‍යාපාර කළේ නෑ. එනිසා කොළඹ ඒ ව්‍යාපාරෙන් විකුණලා ඊළඟට තාත්තා කෙළින්ම අපව රැගෙන ගියේ තාත්තාගෙ ගම දොඩන්දූවට.

එහෙම ගිහින් අර තිබුණු සල්ලි ඔක්කෝම යොදවලා එහි විශාල ගරාජයක් දාගත්තා. ඒත් එහිදී තාත්තා බලාපොරොත්තු වූ තරම් වෙළෙඳාමක් සිදුවුණේ නෑ. ඒක සුදු අලියෙක් වෙන්ඩ ගත්තා. අපි කට්ටිය ජීවත් වුණෙත් තාත්තාගේ මහගෙදර එක්තරා කොටසක. එහෙම ඉන්න කොට සුළු සුළු ආරවුල් පවා ඇති වුණා. තාත්තාගෙ අම්මා හරිම සැරයි. මේ නිසා ම දොඩන්දූවෙ තාත්තගෙ පාර්ශ්වයට වඩා අපි ආසා කළේ අම්මගෙ පාර්ශ්වයේ නෑදෑයින් අතර ගත කරන්නයි. තාත්තාගේ පෞරුෂයටත් ඒ පාර්ශ්වයේ අනෙක් අයගේ අණ පනත් සියල්ලට තරමක් හෝ යටවෙලා අම්මා කුසීතව කම්මැලිව පැත්තකට වුණෙත් නෑ. ඇය කඩියකු මෙන් වැඩ කළා.

මාව ඒ කාලෙ යැව්වේ ගාල්ලෙ රිච්මන්ඩ් විදුහලට. අක්කයි නංගියි ගියේ ගාල්ලේ සවුත්ලන්ඩ් එකට. අමාරුකම් යම් තරමකට ආවත් තාත්තයි අම්මයි කොහොම හරි දරුවන් උසස් විදුහල්වලට යැව්වා. අම්මා ඒ කාලෙ පොල් අතු වියා යම් අතමිටක් හොයාගත්තා. වත්තෙ පොල් ටික කඩලා ලෙලි ගහලා වැඩි කොටස විකුණාගත්තා. මහගෙදර වත්තෙ වගා වෙන්න දියුණු කළා. නැත්නම් ජීවිතේ ගැටගහගන්න බැරි තරමට තාත්තා ඒ ගරාජයත් එක්ක බංකොලොත් වෙච්ච අවස්ථාව ඒක.

කැලෑ පනින්න, ගඩා ගෙඩි කඩන්න මෙන් ම අයියලා පැනලා යනකොට අම්මා මා කෙරෙහි ලොකු බලාපොරොත්තුවක් තැබුවා අධ්‍යාපනය පැත්තෙන්. අම්මා හැමදාම කීවෙ පුතේ චිත්‍ර අඳිනවා වගේ ම හොඳට ඉගෙන ගන්න. උඹට වරදින්නෙ නෑ කියලා. අපි අම්මගෙ ගමට යන විට පුදුමාකාර ආසාවකින් හිටියා කීවනෙ. එහෙ ගියාම අපට හරිම ජය මඟුල්. එක පැත්තකින් ඇළට ගිහින් නානවා. තවත් පැත්තක මාළු බාන්න තැනක් තියෙනවා. පාසල් නිවාඩු කාලෙ එනකොට අපි ඉතින් කලින් ම බිලී පිති, බිලී කොකු ආදිය ලෑස්ති කරගෙන ඉන්නෙ. ඒත්! එහෙම ගිහින් මාළු බාන්න ගියාම මගේ පිත්තට මාළු අහුවෙන්නෙම නෑ. අයියලා දෙන්නට නම් මාළු අහුවෙනවා. අම්මා මේවට තරමක් අසතුටු වුණත් දරුවන්ගේ සතුට කියලා මේ බිලී බෑම ගැන ඉවසුවා.

ධර්මාවතී ද සිල්වා මාතාව

හවස ගෙදර ආවාම මං ඉතින් මාළු හසු නොවී ම ගැන කම්පාවෙන් ඉන්නෙ. අම්මා අහනවා පුතා අදත් මාළු බාන්න ගියාද කියලා. මං කියනවා ඔව් කියලා. ඒත් මාළු හමුවුණේ නෑ නේද පුතේ? ඊළඟට අම්මා එහෙම අහනවා.

මං මුහුණත් බෙරි කරගෙන ‘හ්ම්’ කියනවා. අම්මා හරි සතුටකින් මගේ පුතේ, ඉතින් නුඹ සතුටු වෙයන්. උඹ පින් කාරයෙක්. පවුකාරයන්ට තමයි එහෙම මාළු අහුවෙන්නේ. ඇය උද්දාමයෙන් වගෙ කියනවා. මගෙ හිත සැනසෙනවා. මගෙ හිතෙ කළකිරීම් දුක නැතිව යනවා. මං අම්මා වැලඳගෙන ටිකක් වෙලා ඉන්නවා.

පස්සෙ කාලෙක මට හමුවෙනවා පොඩි කෙටි කතාවක්. ඒකෙ තියෙනවා මේ මාළු බෑම ගැන අම්මකුයි පුතකුයි අතර සංවාදයක්.

පුතා අද මාළු බෑවා නේද?

ඔව් අම්මෙ.

ඒ මාළුන්ට මොකද කළේ.

යාළුවොත් එක්ක පුච්චලා කෑවා.

මං පුතාට කියලා තියෙනවානෙ එහෙම දේවල් කරන්ට එපා කියලා. බලන්ඩ පුතා නැවත ඉපදීම විශ්වාස කරනවා නේද?

ඔව්, අම්මේ.

දැන් පුතාගෙ තාත්තා අප අතර නෑ නේද?

ඔව්, අම්මේ

තාත්තාත් අපි අතර ඉපදෙන්න පුළුවන් නේද පුතේ.

ඔව්, අම්මේ.

එහෙම නම් පුතා පුච්චගෙන කෑ මාළුන් අතර තාත්තත් හිටිය නම්....

අම්මාගේ මේ ප්‍රකාශයෙන් කොලුවා මානසිකව කඩා වැටෙනවා. මේක ලියලා තියෙන්නෙ මහා කෙටිකතා කරුවෙක් නොවේ. ජනප්‍රිය ගී රචකයෙක්. කරුණාරත්න අබේසේකර. මං ඒ කතාව කියවපු දවසෙ ඉඳන් මගෙ රත්තරං අම්මාත් මේ විදියටම මාව ඉන් ගලවා ගන්නට වෑයම් කළා නේදැයි සිතුණා.

අම්මගෙ බලවත් ඉල්ලීම පිට තාත්තා ගමේ ඉස්කෝලෙන් අස් කරවාගෙන ඇවිත් කොළඹ රාජකීය විද්‍යාලයට මාව ඇතුළත් කළා. තාත්තගෙ අයියා කෙනෙක් හිටියා අධ්‍යාපන අධ්‍යක්ෂ කෙනෙක්. ඊටත් වඩා ඇතුළත්වීමේ විභාගයකින් මා සමත් වුණා. එකට හිටි අම්මයි මායි මුල් වරට තරමක් වෙන් වුණේ මෙතැනදි. මං කොළඹ ලොකු තාත්තගෙ ගෙදර නතර වෙලා රාජකීයට ගියා. අම්මා ගමේ. 9 වැනි ශ්‍රේණියෙදි මේ සිදුවීම් වුණේ. අම්මා නිතර මට ලිපි ලියනවා. මං ඉතින් ගෙදර ගියාමයි ඒවට පිළිතුරු දෙන්නෙ. නැත්නම් මා අතින් ලිපි ලියැවෙන්නෙම නැති තරම්. මා විද්‍යා විෂයයන් හදාරනවටයි අම්මා කැමැත්තෙන් හිටියේ. ඒත් මගෙ හිත රැදුණේ කලාවටයි.

මං ලස්සනට ඇඳලා සූට්කේසයත් අරන් එනකොට අපේ පුතා දොස්තර කෙනෙක් වගේ කියලා අම්මා සතුටු වුණ අවස්ථා ගැන මං අහලා තියෙනවා. ඒත් මා හිත ගත්තෙ කලාව. අම්මට තාත්තට දොස්තරවරු ඉංජිනේරුවරු කරන හීන තිබෙන්න ඇති.

තාත්තා බංකොලොත් වුණත් මේ කාලයේ තාත්තත් ගෙදරට වෙලා නිකම්ම හිටියේ නෑ. එතුමාත් අතට අසුවෙන බොහෝ වෙළෙඳාම් කළා. අම්මත් හරි හරියට ඔට්ටුවෙලා ගෙදර කටයුතු පිරිමහ ගත්තා. ඒ කිසිම දෙයක් අපට දැනෙන්න දුන්නෙත් නෑ. ලැබුණු දේ අරපිරිමැස්මෙන් වියදම් කිරිම අම්මා අක්කටත් නංගිටත් ජීවිතයෙන් කියා දුන්නෙ මේ වෙලාවෙ.

ඇයගේ අමුතු සෞන්දර්යයක් මා දැක නෑ. අඩුම තරමේ කවියක් ගීතයක් අහනවාවත් කියනවාවත් මා දුටුවෙ නෑ. චිත්‍රපටි, ශාන්තිකර්ම, සොකරි, මොනම දේකටවත් ඈ ගියේ නෑ. දරුවන්ට තම්බ තම්බා ගිල්ලීම තමයි ඇගෙ සතුට. චිත්‍ර නම් අඳිනවා. මැහුම් ගෙතුම් කරනවා. අදත් මගෙ ගෙදර උඩ තට්ටුවෙ බුදුමැදුරෙ තිර රෙද්ද අම්මා කළ ගෙත්තමකින් මා සරසාගෙන ඉන්නෙ. අම්මා මිත්තණියක් විදියට කළ භූමිකාවත් අපූරුයි. ඇය ‘ක්ලේ’ වලින් අපූරු නිර්මාණ කළා. දුව හා මගෙ පුතා පුදුමවෙන්න සජීවී මුවෙක් හැදුවා මතකයි. ඇයගෙ මැහුම් රටා හරිම සුන්දරයි.

ඉවුම් පිහුම් ගැන කතා කරන්න වචන නැති තරම්. මොන තරම් ප්‍රිය හිතෙන විදියට මොන තරම් රසට ඇය කෑම හදනවද? අනෙක ඇගෙ පිළිවෙළ සුන්දරයි. පිඟාන කෝප්පය තිබ්බත් ඇඳුම පැලඳුම තිබ්බත් පුදුමාකාර ‘නීට්’ බවත්, මං ඉතින් ගැටවරයා කාලෙ ඉඳන් විවාහ වෙන තෙක් ම සමහර විට රාත්‍රියෙත් අම්මා බලන්න ගමට යනවා. පොඩි පුතා ආවෙ නෑනේ කිය කියා ඇය මඟ බලන බව මං දන්නවා. ඒ නිසා ම රාත්‍රි 12 ට හරි අම්මා ආයිත් බත් එළවුළු උයනවා. ඇය ගෙදර බත් තිබුණත් උණු බත් දරුවන්ට කන්ට දෙන්න කැමැතියි. මහ රාත්තිරියෙ අම්මා ළඟට ගියත් ඇය උණු බත් කැවීම පාන්දරින් උයපු අවස්ථා තියෙනවා.

මේ කියන කාලෙ මං යොවුන් ජනතා, සරසවිය, ජනතා, බුදුසරණ ආදි පත්තරවලට යම් යම් චිත්‍ර ඇඳ මුදලක් හොයාගත්ත කෙනෙක්. අම්මා මේවා බලලා හරියට සතුටු වුණා. එයාගෙ චිත්‍ර ඇඳීමේ ආශාව මං ඉහළට ගෙන ගියා කියන කල්පනාව ඇයට තිබුණෙ.

පස්සෙ මං මැද පෙරදිග රැකියාවකට ගිහින් එනකොට අම්මා මට විවාහයකුත් ලෑස්ති කළා. ඇත්තටම ශාන්ති අම්මගෙම දුවක් වගේ. ඇය සැලකුම් ලැබුවෙ ඒ විදියට. ශාන්තිටත් මගේ අම්මා තමන්ගෙම අම්මා වගේමයි. මට මතකයි අපි දෙදෙනා කසාද බන්දලා අම්මලා අප එහෙ කැඳවපු දවසෙ අපෙ ඇඳ කොට්ට මෙට්ට ආදී සියලු දේ පුදුමාකාර සුගන්ධයක් අම්මා තවරලා තිබුණෙ. අම්මා ඒවා හැමදේටම සුවඳ විලවුන් ගල්වලා. ඊට පස්සෙ ගෙදර ගියාම ඈ ඉන්නෙ පොඩි පුතා වන මගෙ පස්සෙමයි. මං ගිය පොඩි වෙලාවට ගමේ ඕප දූප ටික කියන්න කැමැතියි.

අම්මා ළඟ ඉඳන් මේවා කියාගෙන යනවිට සමහර විට මට නින්දත් යනවා. සමහර විට “කෝ මං කතා කළාට මේ ළමයා නිදිනෙ” කියලා අම්මා ඒ වෙලාවට නෝක්කාඩුවක් කියනවා අඩනින්දෙ ඉන්න මට සමහර විට ඇහෙනවා. අයියලා අක්කලා නංගිලා බැඳලා ගියාම ගෙදර තනි වුණෙ අම්මයි - තාත්තයි. මාත් කොළඹට ආවා.

තාත්තත් නැති වුණාම අම්මා තනියෙන් කාලයක්ම හිටියා. ඒ වෙලාවට ඇය කතා කළේ ගෙදර බල්ලන් පූසන් සමඟ. ඔළුව හොඳ නැතිව නොවෙයි. ඇගෙ තනිය මකා ගන්ඩ.

ඊට පස්සෙ මං අම්මව කාලයක් මගෙ ගෙදර නවත්වාගෙන හිටියා. ඒත් අනෙක් දරුවො මතක් වුණාම අම්මට යන්ඩ ඕනෑ. අන්තම කාලෙ අම්මා හිටියෙ අක්කා ළඟ.

මං ‘දිය සුළිය’, ‘එක මවකගෙ දරුවො’ වගේ ටෙලිනාට්‍ය හදලා පෙන්වද්දි අම්මා නොවරදවාම ටී.වී. එක ළඟ වෙලාවට වාඩි වෙනවා. හරිම ආඩම්බරයෙන් අපේ පොඩි පුතාගෙ නාට්‍යයක්නෙ කියලා අහළ පහළ කට්ටියටත් කියනවා. මේ විදියට මගෙ ගමන් මඟ ගැන ලොකු බලාපොරොත්තු තබපු අම්මා චිත්‍රපට කරද්දීත් මට උපරිම සහාය දුන්නා.

“බහුභාර්යා” හදලා හතර වටින් චිත්‍රපටයේ තේමාව ගැන දැඩි විචාරයට ලක්වෙද්දී මගෙ පොඩි පුතා නරක දෙයක් කරන්නෙ නෑ. එයා විනීත ළමයෙක්. ඔය අවිනීත වැඩ කරන්නෙ නෑ කියලා මගෙ පැත්තෙ අම්මා නොසැලී පෙනී සිටියා. ඇත්තටම ඒ චිත්‍රපටය නරක චිත්‍රපටයක් නොවේ. එහි රංගන, ඉදිරිපත් කිරීම් ගැන විචාරකයා දුන් තීන්දුව තමයි රටට ගියේ.

මගෙ රත්තරං අම්මාට අසනීපයි කියලා මට පණිවුඩය ආවෙ මං ‘රාජ්‍ය සේවය පිණිසයි’ සාමූහික හමුදා දර්ශන ගනිමින් සිටිද්දී මට හෙල්ලෙන්නවත් බැරි වාතාවරණයක. ඒත් මං ‘ෂූටින්’ අහවර වූ ගමන් උදේ හතරට පමණ අම්මා බලන්ට ශාන්තිත් එක්ක ඉස්පිරිතාලෙට ගියා.

අම්මා ලස්සනට හිනාවෙලා මා දිහා බැලුවා. ඒ ඇස් දෙකේ ආදරය පිරිලා තිබුණා. පුතේ, උඹලයි වැඩ නතර කරගන්ඩ කාරි නෑ. මට එච්චර අමාරුවක් නෑ මගෙ පුතේ, ඇය කීවෙ එහෙමයි. මං අම්මගෙ අත් අල්ලගෙන ඉඳලා ඇවිත් හෝරා දෙකක් ගියෙ නෑ. ඇය මොළයෙ නහරයක් පිපිරිලා මැරුණා.

මට මගෙ ලෝකය කඩා වැටුණා. උදාර සෙනෙහස විසිරී ගියා. පුතා උඹ දුක් වෙන්ඩ එපා. උඹ මා සතුටු කළ පුතෙක්. මං චිත්‍රවලට ආසයි. උඹ ඒ චිත්‍රය අතින් ඇන්ද විතරක් නොවේ ලස්සන වියමනක් හැටියට සජීවී රූප මගින් පෙන්නුම් කළා. මට ඒ ඇති.

අම්මා දවසක් කී කතාව මට මතක් වුණා. ඇය හැමදාම කීවේ මගෙ සිත නොරිදවූ පුතා උඹයි කියලයි. ඇත්තටම මා කවරදාවත් ඇගෙ සිත රිදවා නෑ. ඒත් අන්තිම කාලයේත් අම්මා මා ළඟ සිටියා නම් කියලා මට අද හිතනවා.

අපේ සැපත වෙනුවෙන් පුදුමාකාර විදියට කැපවීම් කළ ඒ රත්තරං අම්මා සංසාරෙදිත් මගේ ම අම්මා වෙන්න කියලා මා පතනවා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]