කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
මේ කරලා තියෙන්නෙ දෙවියො කෝප කරන වැඩක්

මේ කරලා තියෙන්නෙ දෙවියො කෝප කරන වැඩක්

අප දෙදෙනා නින්දට ගියේ වෙනදා තරම් සතුටකින් නොවේ. රාත්‍රි කෑමෙන් ද වැඩි කොටසක් ඉතිරිව තිබුණි.

“බලාපොරොත්තු නැති කරගන්න එපා චාමික.”

මංජේශ්වරී මගේ හිස පිරිමදිමින් කීවා ය.

“අපට වරදින්නෙ නෑ”

“වැරදුණොත්”

“වැරදුණාට පස්සෙ ඒකට විසඳුමක් හොයමු.”

මගේ දෑස් පිය වුණේම නැත. මංජේශ්වරී මට තුරුලු වූයේ වෙනදා මෙන් ම මගේ පහස පතමිනි.

පසුදා හැන්දෑවේ අපි කෝවිල් ගියෙමු. කොතරම් සිත ශක්තිමත් වුවත් බාරහාර ගැන මංජේශ්වරී තුළ තිබුණේ පුදුම භක්තියකි. ඈ දෙවියන් විශ්වාස කළාය. දේව කැමැත්තට ඉඩ දුන්නා ය. විවාහයෙන් පසු ඈ තුළ වූ මේ විශ්වාසය ටිකෙන් ටික වැඩි විය.

සිරිත් පරිදි ඈ පොල් ගෙඩියක් කුඩු කළේ නැත. ගිතෙල් පහන් දල්වා මල් සුවඳ දුම් පූජා කළා පමණි.

“ලංකාවට ගියහම මේ කිසි දෙයක් කරන්න බැරිවේවි නේද චාමික.”

අප ආපසු එන අතරමඟදී ඈ ඇසුවා ය.

“අපොයි නෑ. අපේ හැම පන්සලකම වගේ දේවාලයක් තියෙනවා.

ඊට අමතරව විෂ්ණු, කතරගම, සමන්, දැඩිමුණ්ඩ සූනියම් වගේ දෙවිවරුත්, කාලි සහ පත්තිනි මෑණියන් වැඩ වසන දේවාලත් තියෙනවා. පන්සලට ගිහින් මං බුදුන් වඳින කොට ඔයාට දේවාලෙට ගිහින් දෙවියන් වඳින්න පුළුවනි.”

මංජේශ්වරී ඒ අසා සිටියේ කිසියම් සතුටකිනි. ලංකාවේ පන්සල් ගැන මීට කලින් කිසිම අවස්ථාවක මංජේශ්වරීට දැනගන්නට නොලැබුණි.

“එතකොට බෞද්ධයො වගේ ම හින්දු ආගම අදහන අයත් ඉන්නවද?

“ඇයි ද්‍රවිඩ ජාතිකයො. ඒ වගේ ම සිංහල බෞද්ධයොත් හුඟ දෙනෙක් දෙවියො අදහනව.”

“එහෙනම් හොඳයි. මට දෙයියො බුදුන් දෙන්නටම වඳින්න පුළුවනි.”

මංජේශ්වරීගේ කතාව විවාහයට ශ්‍රී ලංකා හමුදාවෙන් අවසර ලැබී ලංකාවට ගියා හා සමාන ය. ඇගේ බලාපොරොත්තු බිඳ දැමීමට මම කිසිදු උත්සාහයක් නොගත්තෙමි. සතුට දියකර හරින්නේ කුමකට ද? බලාපොරොත්තු ජීවිතයට අත්වැලකි.

“මං බලාපොරොත්තු අත අරින්නෙ නෑ චාමික”

“බාරෙ වුණු ගමන් ම ඔයාට දෙවියො බලල වාගෙ.”

මංජේශ්වරි හිස ඔසවා මා දෙස බැලුවා ය. දෑස සතුටින් දිදුලයි. දෙතොල් මඳ සිනාවකි.”

“මං ජීවිතේට කවදාවත් පැරදිලා නෑ චාමික”

“ඒ ඔයානෙ. මම”

“ඔයා පරදින්නෙත් නෑ”

“පැරදුණොත්”

“පැරදුණොත් අපි ඉන්දියාවෙ නවතිනවා.”

මට තවත් එකම වචනකුදු කතා කර ගත හැකි නොවීය. සෙනඟ අතරින් පුරුදු මුහුණක් මතුවිය. ඒ ක්‍රිෂ්ණාදේවය. මංජේශ්වරී ඔහුට වෛර නොකරන බව හිස වනා පැවසූ මුත් මා තුළ කිසියම් විචිකිච්චාවක් ඇති විය.

ක්‍රිෂ්ණදේව සිටියේ කිසියම් බරපතළ ප්‍රශ්නයකට මුහුණ දුන් සෙයියාවෙනි. මුහුණ හිනාවක් නොවීය. බියපත් බවක් පෙනිණි.

“අක්කෙ මේ මොකද? ඇයි මෙහේ.”

මංජේශ්වරී එක්වරම කෑගැසුවා ය. ක්‍රිෂ්ණදේව පිටුපසින් රංගනාතා සිටින බව මා දුටුවේ මංජේශ්වරීගේ කෑගැසීමෙන් පසුව ය. මගේ දත කට පූට්ටුවූවාක් මෙන් දැනිණ. මහා පුදුමයකි.

“මේ කොහේ යන ගමන් ද?

මට කතා කරගත හැකි වූයේ බොහෝ වේලාවකට පසුව ය. ඒ වනතුරු සියල්ලෝම ගොළුවත පිරූහ. මංජේශ්වරී හා රංගනාතා සිටියේ එකිනෙකා බදාගත් ගමන් ය.

“අපි ඔයගොල්ලන්ගෙ ගෙදර යන ගමන් ඒ අතර කෝවිලට යමු කියල රංගනාතා කිව්ව.”

“අම්මල දන්නවද, මෙහෙම ආපු බව“

තම සොහොයුරියගේ ග්‍රහණයෙන් මිදුණු මංජේශ්වරී ඇසුවා ය.

“නෑ...නෑ”

රංගනාතා ගොත ගැසුවා ය.

“දැන් ඒ මිනිස්සු හොඳටම බයවෙලා ඇති.” අනික මං වගේ නෙමෙයි. අක්ක සිය දිවි නසාගනී කියල බයකුත් තිබුණා.”

“මං... ඒ තරම් දුර හිතුවෙ නෑ...”

ක්‍රිෂ්ණදේව ද ගොත ගසන්නට විය.

“ඇයි මේ විදියට අක්කව එක්කන් ආවෙ.”

මංජේශ්වරී කතා කළේ තර්ජනාත්මක ස්වරයෙනි.

“නිකන් එක්කන් ආවෙ නෑ. මං අක්කව කසාද බැන්දා.”

“ඒ කොහොමද? අක්ක බැඳපු ගෑනියක්”

“අපි මධ්‍ය ප්‍රදේසෙ කෝවිලකට ගිහින් ආයෙත් බැන්දා.”

රංගනාතා වැන්දඹුවකි. ඇයට යළි විවාහ වීමේ වරම් නැත. ඇගේ සැමියා ඈ නිවසින් පිටමං කළේ බලාපොරොත්තු වූ දෑවැද්ද නොලැබී ගිය නිසා ය.

“ගාන්ධි තුමා මේ ප්‍රශ්නයට විසඳුමක් දුන්නා. මිනිහ මැරිච්චි ගෑනුන්ට ආයෙ බඳින්න අවසර දුන්නා. ඒත් අපේ මිනිස්සු ඒවා පිළිගත්තෙ නෑ. අපිවත් මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න ඕනි. මං ප්‍රායෝගිකව ඒ පියවර ගත්තා.”

“අක්කගෙ මිනිහ මැරිල නෑ. ජීවත්ව ඉන්නවා.”

“මැරුණත් එකයි දාල ගියත් එකයි. එකම ප්‍රහ්නෙ පැති දෙකක්. කොයි එකෙනුත් වෙන්නෙ ගෑනියක් වැන්දඹු ෙ වන එක විතරයි.”

ක්‍රිෂ්ණදේව කතා කරන්නේ දාර්ශනිකයකු පරදවමිනි. අදහස් අතින්, පැවැත්ම අතින් මිනිසුන්ගේ වෙනස්වීම පුදුමවන්නට හේතුවක් නොවේ. මගේ ප්‍රශ්නයට වඩා මානුෂික ප්‍රශ්නයකට විසඳුමක් ලැබී තිබේ. මංජේශ්වරීගේ තනි නොතනියට තම සොහොයුරිය පැමිණ සිටී. එය ද මගේ සිතට සැනසිල්ලකි.

“ක්‍රිෂ්ණදේව ගිහින් අම්මලට කියන්න රංගනාතා හොඳින් ඉන්නවය කියල.”

මංජේශ්වරී කීවේ නියෝගයක් ලෙසිනි.

“එහෙනම් රංගනාතාව අදට එක්ක යන්න”

“අදට නොවෙයි හැමදාටම ඉන්න පුළුවනි. සමහරවිට ඒ ගෙදර අනාගත පදිංචිකාරයො ඔය දෙන්න වෙන්න පුළුවනි.”

රංගනාතා හා මංජේශ්වරී අශෝක උද්‍යානයේ නිවසට ඇරලූ මම ක්‍රිෂ්ණදේව රංගනාතාගේ නිවසට යෑමට ප්‍රථමයෙන් රාමචන්ද්‍රන් හමුවීමට සිතුවෙමි.

“කොයිකටත් අපි රාමචන්ද්‍රන් හමුවෙලා බලමු. මිනිහ අපට විසඳුමක් දේවි”

ක්‍රිෂ්ණදේව මගේ අදහසට එකඟ විය. අප යනවිට රාමචන්ද්‍රන්ගේ නිවසේ විදුලි පහන් දැල්වෙමින් තිබිණ. ඊට අමතරව කොන්ක්‍රීට් වහල උඩ මැටි පහනක් ද දැල්වෙමින් තිබිණ. ගේට්ටුව පියමන් කරත්ම අප දුටුවේ ගල් බංකුව මත වාඩි වී සිටින ඡායාවන් දෙකකි.

“ඇවිත් වගේ...”

ක්‍රිෂ්ණදේව මගේ කනට කොඳුළේ ය.

ගල් බංකුව මත රාමචන්ද්‍රන් සමඟ වාඩි වී සිටියේ රංගනාතාගේ පියා නවරත්නම් ය. අඬ අඳුරේ වුව ද ඔහු ක්‍රිෂ්ණදේව දුටුවේ ය. එක්වරම අසුනින් නැඟිට ගත් ඔහු අප වෙත පැමිණියේ කඩිසර ගමනිනි. ඔහු ක්‍රිෂ්ණදේවට පහර දෙතැයි මට සිතිණ. අත පය වීසි කරමින් ඔහු මොන මොනවාදෝ දෙඩුවේ ය. මම රාමචන්ද්‍රන් වාඩි වී උන් ගල් බංකුව වෙත පිය මැන්නෙමි. රාමචන්ද්‍රන් බවුන් වඩන ලෙසකින් ඉඳගත් ගමන් ය. මා ඔහු අසලින් වාඩි වී තවත් ටික වේලාවක් ගත විය.

“දෙවියො කෝප කරන වැඩක්නෙ මේ කරල තියෙන්නෙ.

ඔහුගේ වචන මගේ කනට හී පහරක් මෙන් විය.

“දෙවියො කෝප වෙන්නෙ මොකටද?”

“ඇයි දරුවො ගෑනියෙකුට දෙවියන් ඉදිරියෙ දෙපාරක් බඳින්න බෑ. දේව උදහසට ළං වෙනවා. අපි ඔය කෙල්ල දේව අසපුවකට යවන්නෙ නැතුව ගෙදර තියා ගත්තෙ හරි පරිස්සමින්. දේව අසපුවකට යැව්වා නම් වෙන වෙන දේවල් සිද්ධ වෙනවා. එහෙම වුණා නම් වංශක්කාරයො තම තමන්ගේ කාමාශාවන් සපුරා ගන්න මේ ගැහැනු පාවිච්චි කරනවා. මුදල් උපයීමේ චේතනාවෙන් දේව අසපු රහසේ මේ කාර්යයේ යෙදෙනවා.”

රාමචන්ද්‍රන් කතා කළේ කිසියම් ආවේගයකිනි. මගේ සිත සසල විය.

“එතකොට වංශක්කාරයන්ගේ කාමාශාවන්ට ගොදුරු වෙන්න මේ අයට හොඳයි. නිත්‍යානුකුලව විවාහ වෙන්න තමයි නරක”

මතු සම්බන්ධයි


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]