කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

පොසොන් සඳ දැන් කෙමෙන් වියැකී ගිහින්. ඇසළ සඳ උදාවීමට ඇත්තේ තවත් දින කිහිපයකි. මේ සටහන ලියන මොහොත වනවිට මා කියන්නට සැරසෙන පුංචි වීරයන්ගේ මේ කතා පුවත ද අතීතයට එක්වී හමාර යි.

කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ඉතිහාසයට රන් සලකුණක් එක් කරමින් වැව් බැදි රාජ්‍යයට පිදූ නාලන්දා සෑයේ කතාව මෙසේ ය.

එදින පදවියට ළඟාවන විට රෑ බෝ වී තිබුණු බැවින් පදවි ශ්‍රී පුර රජ මහා විහාරයේ නවාතැන් ගත් අපි පසුදින උදෑසනම විහාර සඳහා සිවුරු පිරිකර ලබාදීමට ගමන් කළෙමු. දුෂ්කර වූ මේ ප්‍රදේශයේ බෞද්ධ ජනතාව සිටියත් ඔවුනට වන්දනා මාන කිරීමට බෞද්ධ සංකේත නොලැබීම අප කාගේත් අවධානයට යොමු විය. මේ වැව් බැඳි රාජ්‍යයට ගෞරවයක් ලෙස නාලන්දා වෙන් විහාරස්ථානයක් ඉදිකර පූජා කළහොත් එය නාලන්දාවට මහත් ගෞරවයක් වන බව මගේ මතකයට හැඟුණා.”

නාලන්දා සෑය

නාලන්දාවේ හිටපු විදුහල්පති හේමන්ත ප්‍රේමතිලක සිය අතීත අත්දැකීම් ගොනු කරමින් අප හා පැවසීය.

බෞද්ධ ඉතිහාසයට ද උරුමකම් කියන නාලන්දාවට ඇත්තේ ගෞරවනීය අතීතයකි. ඒ අතීතයට වර්තමාන නාලන්දියන් මෙන් ම අතීත නාලන්දීයන් ද එකට එකතුව තැබූ රන් සලකුණක් ලෙස නාලන්දාසෑය හැඳින්විය හැකි ය.

දලුක්ගල කියන්නේ හරිම දුෂ්කර ගම්මානයක්. එදා කොටි තර්ජන වැඩි වැඩියෙන් තිබුණු පළාතක්. පදවිය, කැබිතිගොල්ලෑව, ශ්‍රී පුර, වැලිඔය වගේ පළාත් තියෙන්නේ මේ ආසන්නයේ. එදා කොටි තර්ජන නිසා මේ ප්‍රදේශවල ජනතාවට සිය නියම් ගම් පවා අත්හැර යන්නට සිදුවුණා. ඒත් අද එහෙම නැහැ. අද රටට සාමය උදාවෙලා. බියක් සැකයක් නැහැ. මිනිස්සුන්ට තමන් ගැන හිතන්න කාලය ඇවිත්. ඒ හැමටත් වඩා තමන්ගේ ආරක්ෂාව ගැන සහතිකයකුත් ඔවුන්ට ලැබී තියෙනවා.

අද මේ මායිම් ගම්මානවලත් එහෙමයි. හැමෝටම බියක් සැකයක් නැතිව ජීවත් වෙන්න පුළුවන් වුණා. කරපු විනාශවල තරම මෙතැකියි කියා නිම කරන්න බැහැ. මේ දලුක්ගල ගමත් එහෙමයි. ගමේ පන්සල තිබුණේ දලුක්ගල ගමට කි.මී. 10 ක් 15 විතර දුරින්. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට මායිම්ව සේරුවිල හා මැදවච්චියට මායිම්වයි පිහිටා තිබුණේ. මේ ගමේ විතරක් නෙමෙයි මේ අවට තිබුණු හැම පන්සලක් ම දැන් නටබුන් වෙලා. ගම් වැසියන්ට වඳින්නට පුදන්නට පන්සලක් නැහැ.

පළමු සමීක්ෂණ ගමනට ප්‍රේමතිලක මහතාත් අපිත් සිවුරු, පිරිකර අරගෙන දුෂ්කර පන්සල්වලට බෙදන්න ගියා. ඒක පන්සලක දාගැබක් නටබුන් වෙලා තියෙනවා දැක්කා. ඒකේ ආකෘතිය වට පවුරුවලින් ආවරණය වෙලා තිබුණේ. මේක මහසෙන් රජ කාලයේ තනා තියන වෙහෙරක නටබුන් කියලා අපි දැනගත්තා.

අපි ඒ නටබුන් හාරන්න ගියේ නැහැ. හිටපු විදුහල්පතිතුමා අපිට යෝජනාවක් ගෙනාවා නාලන්දයෙන් මෙතෙන වෙහෙරක් හදමු කියා...” ‘නාලන්දා සෑය’ හැදෙන්න පසුබිම හැදුණේ එහෙමයි. නාලන්දා වෙහෙර තැනීමේ කතාව අපට කීවේ ආදි නාලන්දියන්ගේ ධර්මග්‍රාම සංසඳ ව්‍යාපෘති මණ්ඩලයේ ලේකම් සුනිල් වික්‍රමතුංග මහතායි.

විදුහල්පතිතුමා සහ නාලන්දා දරුවෝ කොත වැඩම කරද්දී

“එදා අපේ රජ දරුවෝ ද මහා වෙහෙර විහාර හදා සසුනට පූජා කළා. බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ පරිදි විහාර සාදා සසුනට පූජා කිරීම මහා ආනිසංස ගෙනදෙන පින්කමක්. මහා දස කුසල්වලින් එක් කුසලයක් විදියටයි බෞද්ධයිනුත් එය සලකන්නේ. එදා වගේ ම අදත් මේ පින්කමට හැමෝම දායක වෙනවා. එහෙත් මේ මහා පින්කම පාසල් දරුවන් අතින් සිදුවූ අවස්ථාවක් නම් අපි මීට පෙර අසා තිබුණේ නැහැ. ලංකා ඉතිහාසයේ පාසලක් පදනම් කරගෙන චෛත්‍යයක් ඉදි වූ මුල් ම අවස්ථාව ලෙස ‘නාලන්දා සෑය’ ඉතිහාසයට එක්වෙනවා.

නාලන්දා සෑය ටිකෙන් ටික ගඩොලින් ගඩොල බැඳෙන්න පටන් ගත්තා. ඒ දරුවන්ගේ රුපියලෙන් රුපියල කැටයට එකතු කළ මුදල්වලින්. මුදල් එකතු කරන්න දරුවනට කිසිම බලපෑමක් කළේ නැහැ. දෙමවුපියන්ට බරක් වුණෙත් නැහැ. ඒගොල්ලන්ගේ අතේ ගෙනෙන කෑමට දෙන මුදල්වලින් කොටසක් දවස ගාණේ මේ කැටවලට එකතු වුණා.

ආගමික හැඟීම් දරුවන් තුළ මෝරන්න වුණා. ඒගොල්ලන්ගේ එකම හීනය වුණේ චෛත්‍යය හදන එක. ඒ හීනය මාර්තු මාසයේ සැබෑ වෙන්න පටන් ගත්තා. වැස්ස, ජල ගැලීම් බාධාවක් වුණත් කරපු වැඩය සාර්ථකව නිම කරන්න අප්‍රේල් මාසයේ දී ඔවුන්ට හැකි වුණා.

දුෂ්කර මඟ තරණය කරමින්

“මේ චෛත්‍යයේ හැම වැලි කැටයකටම හැම ගලකටම නාලන්දාවේ සම්බන්ධයක් තියනවා. අපේ කැට ව්‍යාපාරයට හැම ළමයෙක් ම දායක වුණා. සමහරු රුපියලේ සිට රුපියල් 1000 දක්වා පරිත්‍යාග කළේ සිය කැමැත්තෙන් ම. ඒ වගේ ම ධර්මග්‍රාම සංසඳ නාලන්දා ව්‍යාපෘති මණ්ඩලයත් මුල සිට ම දැක්වූයේ විශාල දායකත්වයක්. අපි මේ වෙහෙර හැදුවේ කොළඹ සිට කි.මී. 350 ක් දුරින්. හැම ළමයකුට ම සජීවීව පෙන්වන්න ගෙනියන්න අපිට අපහසුයි. ඒත් මින්පසු අධ්‍යාපන චාරිකා සඳහා ළමයින් ගෙනියන විට අපි මෙය බලන්න දරුවන් ගෙනි යනවා...” ඒ විදුහල්පති රංජිත් ජයසුන්දර මහතායි.

අධ්‍යාපන තරගයට හසුවී නිදහසේ හුස්මක් කටක් ගැනීමට ඉඩ නැති සිසුන් මෙවැනි දේකට හිත යොමු කිරීම සතුටකි. ආදී නාලන්දියන් වන මවුපියයෝ ද ඒ සතුටේ හවුල්කරුවෝ වෙති.

ඔහු සඳුන් වීරසිංහයි. ඉගෙනුම ලබන්නේ ජීව විද්‍යා අංශයේ 12 වැනි වසරේ ය.

“2600 සම්බුද්ධත්ව ජයන්තියේ වෙහෙර විහාර දහසේ ව්‍යාපෘතියෙන් අපේ නාලන්දාවට බාර වුණේ දුෂ්කර ප්‍රදේශශයක විහාරයක් තැනීම. අපේ හිටපු විදුහල්පතිතුමා තෝරා ගත්තේ පදවිය දලුක්ගම කියන අමාරු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්. අපි හැමෝගෙම උත්සාහයක් විදියටයි මේ චෛත්‍යය ඉදිවුණේ.”

මේ දරුවෝ ගමට විහාරයක් හැදුවා පමණක් නොව මේ ගමට විදුලිය ද ලබා දුන්හ. නාලන්දා සෑය ඉදිවෙන කොට මේ ගමේ මිනිස්සු නාලන්දියන් දකින්න වුණේ තමන්ට පිහිටට ආ දෙවිවරු ලෙස ය. මේ හැම වැලි කැටයකට ම ගම්මුද පැත්තකට වී බලා නොසිට සම්මාදම් වූහ. මුදල් නැතත් තමන්ගේ ශ්‍රමය හා කැපවීම ලබා දීමට මැළිනොවූහ.

“අපි වෙහෙර හැදීමට අමතරව ගමට විදුලියත් ලබා දුන්නා. ඒ ගමට ලයිට් තිබුණේ නැහැ. හිටියේ කළුවරේ. පළාතේ අතුරු පාරවල් රාශියක් හදන්න පුළුවන් වුණා. හෙට වනවිට මේ ගමේ පාසලටත් අපි උදව් උපකාර කරන්න බලාපොරොත්තු වෙනවා...

මේ වනවිටත් අපි මේ පළාතේ දැල් පන්දු අත්පන්දු තරඟවලට පාසල් දරුවන්ට අවශ්‍ය උපකරණ ලබා දුන්නා. පුස්තකාලවලට පොත් දුන්නා. ප්‍රථමාධාර කට්ටල ලබාදුන්නා. සෑම ගෙයකටම බුදුපිළිම ලබා දුන්නා. ගමේ සණස බැංකුවක් හදන්න උදව් කළා. සමාජ සේවා කටයුතු සඳහා දායකත්වය ලබාදුන්නා.

නාලන්දා ධර්ම ග්‍රාම සංසදයේ සභාපති, විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඩී.ඩබ්ලිව්. වීරසූරිය මහතා පැවසීය.

නාලන්දා මහා සෑයේ පූජා වස්තු නිදන් කිරීමේ උත්සවය වගේ ම කොත පැලඳවීමේ උත්සවය ද නාලන්දියන්ට වගේ ම ගමටත් විශාල ආශිර්වාදයක් වෙමින් ඒ මොහොතේ ආශිර්වාද වැසි වැටෙන්නට වූ බව ආරංචි වුණා. සෑයේ නිදන් වුණේ ශ්‍රී සර්වඥ ධාතූන් වගේ ම දෑ අගසව් ධාතුන්. ඒ උත්සවය සිදුවුණේ මැයි මාසයේ, 2600 සම්බුද්ධ ජයන්තිය සමරණ මොහොතේ දී. ඒ වගේ ම කොත් වහන්සේ පැලඳවීමේ උත්සවයත් චාරිත්‍රානුකූලව ඉටු කරන්නට ඔවුන්ට හැකි වුණා. ගමට වගේ ම ගම් වැසියන්ටත් හොඳ කළ දසාවක් ලබන්නට වුණා. ජූනි මාසය එළඹුණා. තවත් සුබ කටයුත්තකට මුල පිරෙන්නට වුණා. සුබ දෑතින් සුබ මොහොතින් මේ නාලන්දා සෑයේ කොත නිරාවරණය වුණේ සාධුකාර මධ්‍යයයේ.

වඳින්නට පුදන්නට වෙහෙරක් ලැබී....

මේ සියලු දේ පිටුපස තවත් කෙනෙක් හිටියා. ඒ භාණ්ඩාගාරික කරුණාරත්න සේනාධීර මහතායි.

“මේ ව්‍යාපෘතියට අපිට රුපියල් ලක්ෂ 35 ක් විතර වියදම් වුණා. චෛත්‍යයට අමතරව අනිකුත් කටයුතුවලට තවත් රුපියල් ලක්ෂ 15 ක් විතර ගියා. විශාල මූල්‍ය සහයෝගයක් දරුවන්ගෙන් ආචාර්ය මණ්ඩලයෙන් ලැබුණා. අපිට තව මුදල් අඩුපාඩු තියනවා. අපි මේ ගමට තව යමක් කළ යුතුයි. මේ ගමේ අඩුපාඩු ගොඩක් තියනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් අපේ මේ සත් කාර්යයට උදව් කරන්න...” ආගම දහමට හිතැති ඔබ ගෙනුයි ඒ ඉල්ලීම.

අධ්‍යාපනය හදාරණ ඔබේ දරුවන්ට යමක් කළ හැකි නම් වැඩිහිටි ඔබට කළ නොහැකි දෙයක් නැහැ. ඔබේ කුඩා ආධාරයන් ඔවුනට විශාල ශක්තියක් විනෝදයක්. බොරැල්ල, සම්පත් බැංකුවේ ඉතිරිකිරීමේ ගිණුමේ නාලන්දා සෑය නම් වූ අංක 100460568868 දරන ගිණුමට ඔබටත් දායක වන්න පුළුවන්. නාලන්දා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සරත් ගුණතිලක මහතාත් අපෙන් එක ඉල්ලීමක් කළා.

“ඔය ගොල්ලෝ රටට මේ පණිවිඩය දෙන්න. අපි දරුවන්ට ආගමික චාරිත්‍රවලට ගරු කරන සමාජයකට හුරු කළ යුතුයි” පාඩම, විෂය නිර්දේශ, විභාගය විතරක් ම දරුවන්ට ප්‍රමාණවත් නැහැ. පාසලේත් ගුණගරුක සමාජයක් ඇති කළ යුතුයි. පාසලේ දී ද දරුවන් ආගමික කටයුතුවලට හුරු කළ යුතුයි...”

විදුහල්පතිවරුනි, ආචාර්යවරුනි, දෙමව්පියනි, ඔබගෙනුයි මේ ඉල්ලීම. හෙට දවසේ රට බාරගන්නා අනාගත පරපුරේ අනාගතය රැඳී ඇත්තේ ඔබ අත ය. ඔබේ නිර්මාණය නාලන්දා සෑයක් නොවන්නට පුළුවන්. අවසන් නිර්මාණය විය යුත්තේ ගුණ ගරුක දරු පිරිසකි.

ස්තුතිය - නාලන්දා විද්‍යාලයේ වත්මන් විදුහල්පති රංජිත් ජයසුන්දර මහතාට.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]