කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න

මෙරට විශ්ව විද්‍යාලවලට විදේශ ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනෙන්නේ එම විශ්ව විද්‍යාල අන්තර්ජාතික මට්ටමට ගෙන ඒමේ එක් පියවරක් ලෙස බව ද එසේ විදේශ ශිෂ්‍යයන් බඳවා ගත්තා කියා මෙරට ශිෂ්‍යයන් දැනට විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා ප්‍රමාණය කිසිසේත් අඩු නොකරන බව ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පවසයි.

සිළුමිණ සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ලේකම්වරයා මේ ප්‍රකාශය කෙළේය.

එහිදී ඇසූ ප්‍රශ්න කිහිපයක් හා ඒවාට උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා දුන් පිළිතුරු මෙසේ ය.

* විදේශ ශිෂ්‍යයන් මෙරට විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමට යාම දේශීය ශිෂ්‍යයන්ට තිබෙන අවස්ථාවක් අහිමි කිරීමක් ලෙස විපක්ෂය දකිනවා නේද?

කොහෙත්ම නැහැ. මේක වැරැදි විග්‍රහයක්.

පැහැදිලිව ලියන්න මේ අපේ විශ්ව විද්‍යාලවලට විදේශ ශිෂ්‍යයන් බඳවා ගත්තා කියලා බඳවා ගන්නා එක දේශීය ශිෂ්‍යයෙක්වත් අඩු කරන්නේ නැහැ. කප්පාදුවක් නැහැ. පුළුවන් තරමින් අපේ දේශීය ශිෂ්‍යයන් බඳවා ගන්නා ප්‍රමාණය වැඩි කරගනිමින් තමයි අපේ විශ්ව විද්‍යාලවල තත්ත්වය අන්තර්ජාතික මට්ටමට ඉහළ නංවා ගැනීමේ මේ අවශ්‍යතාව ඉටුකර ගන්නේ. මේක ලොව හැම පිළිගත් විශ්ව විද්‍යාලයකම සිදුකරන දෙයක්. සමහර විදේශ විශ්ව විද්‍යාලවල විදේශ ශිෂ්‍යයන් සියයට 40 සිට 60 දක්වා සිටිනවා.

* මෙසේ විදේශ ශිෂ්‍යයන් බඳවා ගැනීමේ තීරණයක් ගත්තේ ඇයි?

දැනටත් විදේශ ශිෂ්‍යයන් සුළු ප්‍රමාණයක් බඳවා ගන්නවා.

මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් කේන්ද්‍ර පහක් ගැන අවධානය යොමු කර තියෙනවා. ඉන් දැනුම් කේන්ද්‍රස්ථානයක් කිරීම ප්‍රධානයි. එතකොට මේ රට දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙන්න ඕනැ. එහෙම වෙන්න නම් ලංකාවේ දැනුම උත්පාදනය කරන්න ඕනැ. දැනුම නිෂ්පාදනය කරන්න ඕනැ.

ඒ සඳහා ලංකාවේ විශ්ව විද්‍යාල අන්තර්ජාතික මට්ටමට ගේන්න ඕනැ එහෙම ලංකාවේ විශ්ව විද්‍යාල අන්තර්ජාතික මට්ටමට ගේන්න නම් කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕන.

පළමුවැනි කාරණාව ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු පර්යේෂණ කරල ඒ පර්යේෂණවල ප්‍රතිඵල පිළිගත් අන්තර්ජාතික සඟරාවල පළ කරන්න ඕන.

දෙවැන්න තමයි මේ විශ්ව විද්‍යාලවල වෙන රටවල ශිෂ්‍යයොත් ඉන්න ඕනැ මොකද මේවා නිකම් විද්‍යාල නෙවෙයි නමේ කියන හැටියට විශ්වය සමඟම සම්බන්ධ විශ්ව විද්‍යාලනේ. අන්තර්ජාතික මට්ටමෙන් ශිෂ්‍යයෝ විතරක් නෙවෙයි ආචාර්ය මහාචාර්යවරුත් ඉන්න ඕනැ. තුන්වැනි කාරණාව තමයි මේ විශ්ව විද්‍යාලවලින් ලෝකයේ ඕනැ තැනක රැකියාව කළ හැකි උපාධිධාරින් බිහි වෙන්න ඕනැ.

* ඔබ කියන්නේ මේ පියවර නොගෙන බැරි බවයි?

මෙය අනිවාර්ය සාධකයක්.

එතකොට අපි මේ කියන අන්තර්ජාතික මට්ටමේ විශ්ව විද්‍යාල නිර්මාණය කරන්න දේශීය ශිෂ්‍යයන් කෝටියක් හිටියත් වැඩක් නැහැ. මොකද ඒක විදේශ ශිෂ්‍යයන් නැතිනම් අන්තර්ජාතික විශ්ව විද්‍යාලයක් වෙන්නේ නැහැ.

ඒ නිසා අනිවාර්්‍යයෙන්ම අපි අන්තර්ජාතික ශිෂ්‍යයන් ඇතුළත් කරගන්න ඕනැ අපේ විශ්ව විද්‍යාලවල මේ තියෙන තත්ත්වය අන්තර්ජාතික මට්ටමට ගේන්න. අපේ විද්‍යාල 6 ක් අන්තර්ජාතික මට්ටමට ගේන්න ජනාධිපතිතුමා පසුගිය අයවැයෙන් මිලියන 600 ක් වෙන්කළා.

තව රුපියල් බිලියන 3 ක් අවුරුද්දකට එක බිලියනය බැගින් ලබා දෙනවා.

දැන් මේ අපේ විශ්ව විද්‍යාලවලට බඳවා ගන්න විදේශ ශිෂ්‍යයන්ගෙන් මුදලක් අය කරනවා. වසරකට එක විදේශ සිසුවකුගෙන් රුපියල් ලක්ෂ 10 කට වඩා මුදලක් අය කරන්න වෙනවා. ඒ මුදල අපට පාවිච්චි කරන්න පුළුවන් ආචාර්යවරුන්ගේ පහසුකම් වැඩි කරන්න. ගොඩනැඟිලි ඉදිකිරීම්වලට. මහා භාණ්ඩාගාරය මතම රැඳී නොසිට විශ්ව විද්‍යාලවල ස්වාධීනතාව ගොඩ නඟන්නත් මෙය හේතුවක් වේවි.

* විදේශ ශිෂ්‍යයන් සියයට පහකට ඉඩ දෙන බව කියනවා.

දැනටත් විදේශ ශිෂ්‍යයන් ඉතා සුළු ප්‍රමාණයක් බඳවා ගන්නවා. විදේශ ශිෂ්‍යයන්ටත් ශිෂ්‍යත්ව 100 ක් දෙනවා. විදේශ ශිෂ්‍යයන් 1000 කට පමණ අවස්ථාව දෙනවා අර විදේශ ශිෂ්‍යයන් 100 කට දෙන ශිෂ්‍යත්ව සියය අපේ ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව ලබාදෙන රටවලට ලබා දෙනවා.

විදේශ ශිෂ්‍යයන් විතරක් නෙවෙයි විදේශ ආචාර්ය, මහාචාර්ය වරුත් විශ්ව විද්‍යාල අතර හුවමාරු වෙන්න ඕනැ. ඒ එක්කම විශ්ව විද්‍යාල අන්තර්ජාතික මට්ටමට යනවත් එක්කම දැනුම පිළිබඳ පර්යේෂණවල වැඩි වැඩියෙන් නිරත වෙන්න ඕන. අපේ රටේ අවුරුදු 2600 ක ඉතිහාසයක් තියෙනවා. හොඳ ජෛව විවිධත්වයක් තියෙනවා.

මේවා ගැන පර්යේෂණ කරන්න ඕනැ. ඒවා කෙරිල තියනවා අඩුයි. අපි දීර්ඝ ගරිල්ලා යුද්ධයක් ජයගත්ත රටක්. හුඟක් රටවල්වලට ඒක කරගන්න බැරුව ඉන්නවා. අපි යොදා ගත්තු යුද උපාය, ඒවා ගැන කවුරුවත් පර්යේෂණ කරල නැහැ.

අපේ ස්වාභාවික සම්පත් තියෙනවා. අපිට මේ හැම දෙයක් ගැනම පර්යේෂණ කරන්න පුළුවන්. අපට සාක් රටවල පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒකට මේ විදේශ සම්බන්ධතා අතිශය වැදගත්. අපට මේක කිසිසේත් තනියෙන් කරන්න බැහැ.

ඒ නිසා ජනාධිපතිතුමා කැමැත්ත පළ කර තියනවා විදේශ ශිෂ්‍යයන් 100 කට ශිෂ්‍යත්ව ලබා දීමටත් තවත් විදේශ ශිෂ්‍යයන් 900 කට මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගන්නත් අවස්ථාව ලබා දීමටත්. මේ ආකාරයෙන් අපේ දැනුම අධ්‍යාපනය අපනයන ආදායම් මාර්ගයක් බවට පත්කරගන්න අවස්ථාව තියෙනවා. හුඟක් රටවල් දැනටම මෙය කරනවා.

* විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඉංගිරිසි භාෂාවට පරිවර්තනය කිරීම ගැන කුමක් ද කියන්නේ?

ඒකත් ඉතා අවශ්‍ය දෙයක්. අපි විශ්ව විද්‍යාලවල කරන්න හදන පරිවර්තනය අනුව ලෝකයේ ඕනෑම තැනක රැකියාවක යෙදෙන්න පුළුවන් උපාධිධාරියෙක් හදන්නයි බලාපොරොත්තුවෙන්. මේකට ඉතාම අත්‍යවශ්‍ය සාධකයක් තමයි ඉංගිරිසි භාෂා අධ්‍යාපනය.

අපේ රටේ විශ්ව විද්‍යාලවලින් පිටවන උපාධිධාරීන් සංඛ්‍යාව වසරකට විසි දහසක් පමණ වෙනවා. මේ පිටවන සියලුම උපාධිධාරීන්ට අපේ රටේ රැකියා ලබා දෙන්න පුළුවන් කියල තමයි අපි විශ්වාස කරන්නේ. කෙසේ වෙතත් මේ අයට විදේශවලත් රැකියා ලබාගන්න පුළුවන්නම් ඔවුන්ටත් ලෝකයේ ඉහළ ආදායම් සහිත රැකියාවලට යොමු වෙන්න පුළුවන් වෙනවා.

උපාධිධාරීන්ට අයත් වන්නේ මේ රටේ හොඳම තරුණ පිරිස, හොඳම මොල ටික තමයි සෑම වසරකම මේ විදියට විශ්ව විද්‍යාලවලට තෝරා ගන්නේ. ඔවුන් රටේ දක්ෂම දරු පිරිස. මේ පිරිස විශ්ව විද්‍යාලවලට ඇවිල්ලා අවුරුදු 4 ක් 5 ක් අවසානයේ රැකියා විරහිත පිරිසට එකතු වෙනවා නම් ඒකට අපි ඔක්කොම වග කියන්න ඕනැ. ඔවුන් රැකියා විරහිත උපාධිධාරීන් වනවා වෙනුවට ලෝකයේ ඕනම තැනක මේ රටේ නැතිනම් විදේශයක තම අධ්‍යාපනයට සරිලන රැකියාවක් ලබා ගත හැකි උපාධිධාරියෙක් වෙන්න ඕනැ.

එහෙම කරන්න නම් මේ උපාධිධාරීන්ට ඉංගිරිසි භාෂාවෙන් වැඩ කිරීමේ හැකියාව හා සන්නිවේදනය කිරීමේ හැකියාව හා පර්යේෂණ සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව පර්යේෂණ ලිපි හා අනෙකුත් වාර්තා ඉංගිරිසි භාෂාවෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව අත්‍යවශ්‍ය වෙනවා. ඔවුන්ට තොරතුරු තාක්ෂණය පිළිබඳ හැකියාව ලබාදීමත් අපි වැදගත් කොට සලකනවා.

ඒ සඳහා දැනටමත් අපි මේ වසරේ විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා ශිෂ්‍යයන් සඳහා ලැප්ටොප් පරිගණක ඉතා අඩු මිලකට රැකියාවකට ගිය පසු ගෙවීමේ ක්‍රමය මත ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

නවක ශිෂ්‍යයන්ට දුන් නායකත්ව පුහුණු වැඩසටහන වගේ ම මේ කරන්න යන වෙනස්කම් හොඳයි කියල කවුරුත් පිළිගන්නවා.

* විවේචනය කරන ආචාර්යවරුත් ඉන්නවානේ?

විවේචන කරන කීප දෙනෙක් ඇති. නමුත් ආචාර්ය වරු බොහොමයකුත් මේක හොඳ වැඩක් විදියට පිළිගන්නවනේ.

* විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ ප්‍රශ්න අද නොවිසඳී ඇති බවක් පේනවා. ආචාර්ය වරුන්ගේ ඉල්ලීම් සාධාරණයි කියලා ඔබ පිළිගන්නවා ද?

ඔව්. සාධාරණයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරු කියන්නේ විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලැබු අයගෙනුත් ඉහළම සුදුසුකම් ලැබු පිරිස. හොඳම පිරිස තමයි විශ්ව විද්‍යාල ආචාර්යවරු ලෙස බඳවා ගන්නේ. පළමු පෙළ සාමාර්ථය හෝ දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් ලැබු අය තමයි මේ සේවයට ඇතුළු කරගන්නේ. ඔවුන් පශ්චාත් උපාධි ලබාගෙන තියෙනවා. පර්යේෂණ කරල තියනවා. ඒ අය විදේශවල නොඉඳ මෙරට සේවයට ඇවිල්ලා තියෙනවා රටේ යහපත සඳහා. ඒ අයට සාධාරණ වැටුපක් ලබාදීමට අපි පුළුවන් උත්සාහය දැරිය යුතුයි. සිසුන් සතුටු වන්නෙත් එවිටයි.

මේ වැටුප ලබාදීමේදී රජයට මහා භාණ්ඩාගාරයට ගැටලුවක් නොවන ආකාරයට පියවරෙන් පියවර තමයි අපට එතෙන්ට යන්න වෙන්නෙ.

ආචාර්ය වරුන්ගේ වැටුප් ප්‍රශ්නයත් පිට තවත් කල් නොයවා විසඳාගන්න පුළුවන් වෙතියි හිතනවා.

* විසඳුමක් පැත්තට යන්න දීර්ඝ කාලයක් ගතවුණා නේද?

එහෙම හිතන්නෙ නැහැ. මොකද ඉල්ලීම් දිය හැකි, දිය නොහැකි දෙපැත්තම තියෙනවා. අපි දන්නවා කේවල් කිරීමක් තියෙනවා. ඉල්ලීම් හා මහා භාණ්ඩාගාරයට දිය හැකි ප්‍රමාණය පිළිබඳ පරාසයන් තියෙනවා.

* ලංකාව, කලාපයේ දළ ජාතික නිෂ්පාදිතයෙන් අඩුම ප්‍රතිශතයක් අධ්‍යාපනයට වැය කරන රටක් විදියට නැඟෙන චෝදනාව ගැන කියන්නේ කුමක් ද?

අපි දැනට දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට දෙකකට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය සඳහා වැය කරමින් සිටිනවා. මේ ඉලක්කම සියයට හතරකට විතර ගේන්න පුළුවන් නම් ඉතාම වැදගත් වෙයි. එකපාර එහෙම දෙයක් කරන්න අමාරු වෙන්න පුළුවන් මොකද තවත් අමාත්‍යාංශ පනස් ගාණක් තිබෙනවා.

අපි සංවර්ධනය වෙන රටක්. හුඟක් වැයබර යටිතල පහසුකම් සංවර්ධනය වගේ දේවලට දැනට වැය කරන්න වෙනවා. ඒ හරහා තමයි කර්මාන්ත වගේ නව සංවර්ධනයකට පියවර ගන්න පුළුවන්. ඒ මාර්ගයේ අපට යන්න වෙනවා.

* විශ්ව විද්‍යාලවලට බඳවාගන්න ප්‍රමාණය තවත් වැඩි නොකරන්නේ ඇයි?

ඒකට පුළුවන් උත්සාහය දරනවා. විශ්ව විද්‍යාලවලට බඳවාගන්න ප්‍රමාණය වැඩි කිරීම වගේම වැදගත් කරුණක් තමයි ඉන් පිටවන සියලු දෙනාටම ඔබින රැකියාවක් ලබාදීමත්.

පළමුවෙන් කලා පීඨ, මානව ශාස්ත්‍ර පීඨවල උපාධි හදාරන අය, සමහර විශ්ව විද්‍යාලවල කළමනාකරණ උපාධිය හදාරන ශිෂ්‍යයන් තවත් විශ්ව විද්‍යාලවල කෘෂිකර්මය හා විද්‍යා විෂයන් හදාරන ශිෂ්‍යයන් අද රැකියා ලබා ගැනීමේ අපහසුවක ඉන්නවා.

මේ පිරිසටත් වෛද්‍ය, ඉංජිනේරු වගේ උපාධි පාඨමාලා සම්පූර්ණ කරන අයට වගේම විශ්ව විද්‍යාලයෙන් පිටවන විට හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටියදීම රැකියා ලබාදීම තමයි අපේ අරමුණ වෙන්නේ.

* සමහරු චෝදනා කරනවා නේද, විශ්ව විද්‍යාල කියන ශාස්ත්‍ර ශාලා රැකියා පුහුණු වැඩ බිම් බවට පත් කරන්න හදනවා ය කියා?

ඔව්. විශ්ව විද්‍යාල කියන්නේ රැකියා පුහුණු මධ්‍යස්ථාන නොවන අපි දන්නවා. ඒකට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තියෙනවා. ඒවයේ වඩු කාර්මිකයන්, කාර්මිකයන් නානා විධ වෘත්තිවලට පුහුණු කරවනවා. හැබැයි විශ්ව විද්‍යාලවලට එන්නේ රටේ හොඳම මොළ ටික. ඒ අය වසර තුන හතරකට පස්සේ විශ්ව විද්‍යාලයෙන් පිටවෙන කොට රැකියා විරහිත ගොඩට වැටෙනවා නම් ඒක නොවිය යුත්තක්. අපි දන්නවා වඩු වැඩ කරන අයකුට අපි ලී කොටයක් බාර දුන්නම සතියකින් දෙකකින් පුටුවක් මේසයක් වගේ නිමැවුමක් ලබා ගන්න පුළුවන්. නමුත් අපි විශ්ව විද්‍යාලයෙන් ඉතාම බුද්ධිමත් දරුවෙක් බඳවාගෙන අවුරුදු 4 ක් අවසානයේ එළියට දාන දරුවා රැකියා විරහිත ගොඩට වැටෙනවා නම් එය ඉතාම අසාධාරණයි කියලයි අපි හිතන්නේ. අපි ඒ සඳහා පිළියමක් සෙවිය යුතුමයි. රස්සාවක් එපා කියල හිතන මවුපියෝ දරුවෝ ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ.

මෙතැනදි දරුවා අහිංසකයි. ඔහු දෙන සහතිකය අරන් යනවා. නමුත් අපේ වගකීම තමයි ආර්ථිකය, රාජ්‍ය, පෞද්ගලික ආයතන ඉල්ලා සිටින විදියේ උපාධිධාරීන් රටට බිහි කිරීම. අපි විශ්ව විද්‍යාල රැකියා පුහුණු ආයතන කරන්න යනවා නෙමෙයි. ඕනෑම තැනක වැඩ කරන්න පුළුවන් හැකියාවක් ඇති උපාධිධාරියෙක් බිහි කරන්න පුළුවන් නම් ඒක තමයි විය යුත්තේ කියලයි අපි කල්පනා කරන්නේ. න්‍යායට සීමා නොවී ප්‍රායෝගිකව යමක් කළ හැකි නිර්මාණශීලී උපාධිධාරියකු බිහි කිරීම තමයි අපි කරන්න හදන්නේ.

පර්යේෂණ කරන අය, කැලෑවට ගිහිල්ලා භාවනා කරන අය ඉන්න පුළුවන්. ඒ අයට ප්‍රශ්නයක් නැහැ.

එසේ නොවන රැකියාවක් කරන්න බලාපොරොත්තු වන අයව ඒ හැකියාවන් ගෙන් සන්නද්ධ කිරීමයි අපි කරන්නේ.

* මේ අවුරුදු දෙක තුන විශ්ව විද්‍යාල ගුරු සිසු දෙපැත්තෙන්ම වැඩිම විවේචන එල්ල වන කාලයක් ලෙස හැඳින්වුවොත් ඔබ එය පිළිගන්නවා ද?

වෙනස්කම් කරන කොට විවිධ මත පරණ ක්‍රමයට වෙනස්ව අලුත් ක්‍රමයට එරෙහිව එනවා. ඒ එන විවේචනවලට අපි හොඳින් සවන් දෙනවා. පිළිගන්න පුළුවන් දේවල් පිළි අරන් රටට හොඳ දේ අනාගතයට හොඳ දේ ජනතාවට, දරුවන්ට හොඳ දේ තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. සාමාන්‍යයෙන් තිබෙන දේ ඒ විදියෙන්ම ක්‍රියාත්මක කිරීමෙන් කවදාවත් අපට දියුණු වෙන්න බැහැ.

යම් යම් නවීකරණයන්ට ඒව භාජනය කරන්න ඕන. ඕන අදහසක් අලුතෙන් එනකොට විවේචන එනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ එය නවතා දැමිය යුතුයි කියලා.

යුද්දෙ කරන කොටත් විරුද්ධතා ආවා දැනුත් එනවා. නමුත් කවුරුත් වගේ පිළිගන්නවනේ කළ යුතුම දේ කළා කියලා.

ඒ වගේ තමයි උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේත් කළ යුතු වෙනස්කම් අපි කරගෙන යනවා.

* යෝජිත රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල ආවොත් රාජ්‍ය විශ්ව විද්‍යාලවල ආචාර්යවරුත් ඒවට යාමේ අනතුරක් තියෙනවා නේද?

නීතියක් දමනවා එන රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලවලට රාජ්‍ය විශ්ව විද්‍යාලවල ආචාර්යවරු පූර්ණ කාලීනව බඳවා ගැනීම තහනම් කරලා. ඒ අයට ඒ ආචාර්යවරු ලබාගන්න පුළුවන් අර්ධ කාලීන ආචාර්යවරු ලෙස පමණයි.

* පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරැඹෙන්නේ කවදා ද?

දැනට විශ්ව විද්‍යාල විස්සක් විතර විමසුම් කරල තියෙනවා. ඉන් දෙක තුනක් මේ වසරේම ඒවි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]