කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සොයාගෙන ගියාට පලක් නැහැ සතුට තිබෙන්නේ ඔබ ළඟමයි

සොයාගෙන ගියාට පලක් නැහැ සතුට තිබෙන්නේ ඔබ ළඟමයි

ඔබගේ සිත සතුටින් තබාගැනීමට කැමති ද? සැම දෙනාගේම පිළිතුර වන්නේ ‘ඔව්’ යන්නයි.

මිනිසුන් තම සිතේ සතුට වෙනුවෙන් නොකරන දෙයක් නැත. ධනය, බලය, සැප සම්පත්, ප්‍රසිද්ධිය ආදී බොහෝ දේ සොයා මුළු ජීවිතයම වෙහෙසෙන්නේ එමඟින් සතුටක් ලබාගැනීමට ය.

“හිතේ සතුට නැතිනම් මට මොනවා තිබුණත් වැඩක් නැහැ”. එක් රෝගියෙක් මා සමඟ පැවසීය. මම කාරණය සත්‍ය නොවේද? සතුට කොතරම් අපට අවශ්‍ය දෙයක් ද?

රෝග සම්බන්ධව කල්පනා කිරීමේ දී ද සිතේ සතුට ඉතා වැදගත් වෙයි. සිතෙහි ඇති සතුට, පුද්ගලයෙකු රෝගී බවට පත්වීම වැළැක්වීමට ද. රෝගී වූ අයෙකු ඉක්මනින් සුවපත් කිරීමට ද හේතු වෙයි. අප සතුටින් සිටින විට ශරීරයේ නිෂ්පාදනය වන එන්ඩොපින් වැනි රසායන ද්‍රව්‍යවලින් ශරීරයේ මනා පැවැත්ම සිදු කරයි. “හොඳට හිනාවෙලා සතුටින් ඉන්න කොට ලේ පිරිසිදු වෙනවා” යැයි ඇතැම් අය පවසන්නේ ඒ නිසා ය.

එතරම් වැදගත් දෙයක් වන ‘සතුට’ ඇති කරගන්නේ කෙසේ ද?

සැබෑ සතුටක් ඇති කර ගැනීම සඳහා පුද්ගලයෙකුගේ මනස පිරිසිදු විය යුතු ය. විහිළු චිත්‍රපටයක් නැරඹූ පමණින් ඔබට සැබෑ සතුටක් ලැබෙන්නේ නැත. අප සතුට ලබා ගැනීම සඳහා භාවිතා කරන බොහෝ උපක්‍රම වලින් ලැබෙන්නේ තාවකාලික සතුටක් පමණි. එවැනි සතුටකින් සැබෑ කායික හා මානසික නිරෝගී භාවයක් ලැබේ යැයි සිතිය නොහැකි ය.

දිනක් මට සැබෑ සතුටින් ජීවත්වන පුද්ගලයෙකු මුණ ගැසිණි. ඔහුගේ සිත නිතරම සතුටින් පිරී තිබිණි. සිත ද කය ද නිරෝගී විය. එම සිදුවීම මෙසේ ය.

ඉතා මනස්කාන්ත කඳුකර ප්‍රදේශයක් හරහා මෝටර් රථය පදවමින් සිටි මගේ නෙත ගැටුණේ පාර අයිනේ තිබූ කුඩා කඩයකි. මා එයට ගොඩ වුණේ බීම බෝතලයක් ලබාගැනීමට ය. එහි සිටි කඩයේ හිමිකරු ප්‍රසන්න මුහුණින් යුතුව පැවසුවේ තමා ළඟ සිසිල් බීම නැතත් වෙනත් සුදුසු බීමක් ඉක්මනින් ලබාදිය හැකි බව ය. ඉන්පසු ඔහු තම කඩය ද අතහැර දමා ඊට මදක් ඔබ්බෙන් වූ සිය නිවස බලා දිව ගියේ ය. කඩයේ වටිනා භාණ්ඩ මෙන් ම මුදල් ද තිබුණ ද බලාගන්න වෙනත් කිසිවෙකු එහි සිටියේ නැත. ටික වෙලාවකින් නැවත පැමිණි ඔහුගේ අතේ තිබුණේ තැඹිලි ගෙඩියකි. එම තැඹිලි ගෙඩියේ මිල ද ඉතා සාධාරණ වූ අතර ඉතිරි රුපියල් පහක මුදල ද ඔහු අඩුවකින් තොරව ලබා දුන්නේ ය.

“මුදලාලි නැති වේලාවේ මට මේ කඩේ ඕනෑම දෙයක් අරගෙන යන්න තිබුණානේ” යයි මම ඔහුට කීවෙමි.

ඔහු සිනාසී ප්‍රකාශ කළේ මා හොඳ කෙනෙකු යැයි ඔහු සිතන බවත් මා එසේ නොකරනු ඇති බවත් ය. ඔහු මා කෙරෙහි යම් විශේෂත්වයක් දක්වන බව මට පැහැදිලි විය. ඒ පිළිබඳව ඔහුගෙන් ඇසූවිට ඔහු ප්‍රකාශ කළේ ඔහු, තමා වෙත එන ඕනෑම පුද්ගලයෙකු පිළිබඳව විශේෂත්වයක් දක්වන අතර ඔවුන් සතුටු කිරීම තමාගේ ද එකම සතුට බවයි. තමාට ජීවත්වීමට ඇති තරම් මුදලක් මේ ව්‍යාපාරයෙන් ලැබෙන බැවින් ඊට වඩා යමක් ඔහුට අවශ්‍ය නැති බවයි ඔහු කීය. තමාගේ යුතුකම් තම පවුල වෙනුවෙන් ඉටුකර ඇති බැවින් දැන් තමාට විශේෂ බලාපොරොත්තුවක් හෝ ආශාවක් නැති බවයි. එබැවින් ඔහු ඉතාම සතුටින් තමාගේ ඉතිරි ජීවිත කාලය ගත කරන බව ද ඔහු පැවසීය.

ඔහුට කිසිදු රෝගයක් හෝ රෝගයක් පිළිබඳව බයක් තිබුණ් නැත. විශාල අනාගත ඉලක්කයක් හෝ සැලසුමක් තිබුණේ ද නැත. තමාට ලැබෙන සෑම දෙයක් සතුටින් භාරගන්නා බව ඔහු පැවසීය.

ඔහු අපූරු පුද්ගලයෙකි. කුඩා ව්‍යාපාරිකයෙකු වුවත් ඔහුට සුපිරි ව්‍යාපාරිකයෙකුටවත් නැති තරමේ අභ්‍යන්තර සතුටක් තිබිණි. මා සමුගැනීමට පෙර ඔහුට පැවසුවේ යම් අසනීපයක් හෝ වෙනත් අවශ්‍යතාව ක් ඇති වුවහොත් රෝහලට පැමිණ මා හමුවන ලෙසය.

එවිට ඔහු පැවසුයේ තමා එවැනි විශේෂත්වයක් බලාපොරොත්තුවෙන් ක්‍රියා නොකළ බවත් යළි මේ පැත්තට එන්නේ නම් තම කඩයට ද පැමිණීම ඔහුට සතුටක් බවයත් ය.

තම ජීවිතයේ අභ්‍යන්තර සතුට සහ නිරෝගී භාවය පිළිබඳව කල්පනා කරන අයට මේ කතාව වැදගත් විය හැකි ය. සැබවින් ම සතුට පවතින්නේ තමා තුළම ය. තමා ලෝකය පිළිබඳව සිතන ආකාරය තුළ ය. සතුට සොයා බොහෝ දේ පසුපස හමා යා යුතු නැත. සතුට පවතින්නේ නිවැරදි ආකල්ප වලින් පිරුණ සරල චාම් ජීවිතය තුළ ය.

මිනිසුන්ට විවිධ ආශාවල් සහ බලාපොරොත්තු තිබේ. ඒවා කෙසේ හෝ ඉටුකර ගැනීමට ලැබීම ද සතුටකි. නමුත් විවිධ දේ ලබා ගැනීම මඟින් ඇතිවන සතුට පවතින්නේ ඒ දෙය පවතින තුරු පමණි. එසේ පැවතුණ ද ටික කලකින් ඒවා ඔබට මදි වෙයි. ඒ නිසා නැවතත් සතුට සොයා ගැනීමට වෙහෙස විය යුතු ය. සරල ජීවිතයක් ගත කිරීම දුකක් ලෙස ඇතැම් අය සිතුව ද එය එසේ නොවේ. එවැනි ජීවිතයක් තුළ සතුට පමණක් නොව සැහැල්ලුව හා සැනසීම ද තිබේ. මේවා සමඟ බැඳී පවතින්නේ මානසික හා ශාරීරික නිරෝගී භාවයයි.

මහනුවර මහ රෝහලේ
හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී
සායනික මෝහන වෛද්‍ය
එච්. දමිත් හෙට්ටිආරච්චි

ලෝකයේ සතුටින් ම සිටින පුද්ගලයන් කවුරුන් ද යැයි නිගමනය කිරීමට සිදු කළ එක්තරා පරීක්ෂණයක් පිළිබඳව මට අසන්නට ලැබිණි.

මම පරීක්ෂණයට අනුව ලෝකයේ වඩාත් ම සතුටින් ජීවත්වන පුද්ගලයන් වූයේ භාවනානුයෝගී භික්ෂුන් වහන්සේ ය.

සැබවින් ම මේ ලෝකයේ අපට ලබාගත හැකි විවිධ සැප අතරින් ඉහළින් ම පවතින්නේ භාවනාව තුළින් අත්විඳින සැපයයි. ඒ බව හොඳින් ම වැටහෙන්නේ භාවනානුයෝගීන්ට ය.

එබැවින් සරල ජීවිතය දුකක් ලෙස සිතීම වැරදි ය. නිරෝගී භාවය උපරිම වශයෙන් තිබෙන්නේ ද එවැනි පුද්ගලයන් ළඟ ය. භාවනාව ඉතා හොඳ ක්‍රමයක් වුව ද බොහෝ දෙනෙකුට එය ප්‍රායෝගිකව සිදුකිරීම අපහසු ය.

විශේෂයෙන් ම තමාගේ සිතේ සතුටට බාධා වන විවිධ මතකයන්, හැඟීම්, ආවේග ඇති අයට භාවනා කිරීම අපහසු ය.

නමුත් ඔවුන්ගේ වාසනාවකට මෙන් එවැනි යටි සිතේ පවතින ආවේග, හැඟීම්, දුක ආදිය ඉවත් කිරීමට ද ක්‍රමයක් තිබේ.

සායනික මෝහන වෛද්‍ය ක්‍රමය මගින් ඔබේ සිතේ සතුටට බාධා කරන එවැනි විවිධ ගැටලු ඉවත් කළ හැකි ය.

යටි සිතේ තැන්පත් වී ඇති එවැනි පීඩාකාරී හැඟීම් ඉවත් කර යළිත් ඔබේ සිතට සතුට ඇති කළ හැකි යෝජනා ඇතුළු කිරීම ද කළ හැකි ය.

ඉන්පසු ඔබට කැමති ආකාරයට තමාගේ සිතේ සතුට වර්ධනය කරගත හැකි ය.

ඒ මඟින් මානසික, කායික, නිරෝගී භාවය ද ඇතිකරගත හැකිය.

සර්ව සම්පූර්ණ මිනිස්සු ලෝකයේ නොසිටිති.

කවර මට්ටමක අයෙකුට වුව ද හිතේ සතුට ඇති කර ගැනීම, ගැටලුවක් විය හැකි ය. එබැවින් විවිධ ඉලක්ක සොයා විවිධ දේ පසුපස හඹා යමින් සතුට සොයනවා වෙනුවට තමාට ලැබී ඇති දෙයින් සතුට සොයා ගැනීමට උත්සාහ කළයුතු ය. එයින් අදහස් වන්නේ “පුද්ගලයකු දියුණුවට පත්විය යුතු නැත” යන අදහස නොවේ. “පුද්ගලයන් තමාගේ සිතේ සතුට නැති කරගත යුතු නැත” යන අදහස ය.

එසේ නොසිතුව හොත් ඔබට සැබෑ සතුටක් කෙදිනකවත් ලැබේදැයි සැක සහිතය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]