කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
දුර ගමන් පෞද්ගලික බස් ආසන

දුර ගමන් පෞද්ගලික බස් ආසන
වෙන් කිරීම ඩයලොග් දුරකථනයෙන්

ඩයලොග් ප්‍රධාන අලෙවි නිලධාරී නුෂාඩ් පෙරේරා මහතා පළමු ටිකටිපත සී.බී. රත්නායක ඇමැතිවරයාට ලබාදුන් අවස්ථාව.

ඩයලොග් සමාගම, දුර ගමන් සඳහා පෞද්ගලික බස්රථ ආසන වෙන්කිරිම ජංගම දුරකථනයෙන් සිදුකළ හැකි සේවාවක් හඳුන්වා දෙයි.

ආරම්භයේදී කොළඹ – බදුල්ල, කොළඹ අම්පාර සහ කොළඹ -කතරගම ගමානාන්ත බස්රථ සඳහා මෙම සේවාව ලබාගත හැකි අතර පසුව රටෙහි අනෙකුත් දුර පළාත් සඳහා ද සේවාව ව්‍යාප්ත කෙරෙනු ඇත.

මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව ආසියාවේ ආශ්චර්යය කරා ශ්‍රී ලංකාව වේගයෙන් ගමන් කරන මේ අවස්ථාවේ නවීන තාක්ෂණය යොදා මඟී ජනතාවට හොඳ සේවාවක් ලබාදීම මඟින් රටේ ඉදිරි ගමනට මනා දායකත්වයක් ලබාදිය හැකි යැයි පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමැති සී.බී.රත්නායක මහතා කියයි.

නව සේවාව ඩයලොග් පාරිභෝගිකයින් හට හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය හාන්ස් විජයසූරිය “ශ්‍රී ලාංකික ජන ජීවිතය සවිබලගැන්වීම” ඩයලොග් හි නිරන්තර අරමුණයි. නව තාක්ෂණය ජනතාවගේ සුබසෙත සඳහා යොදාගැනීමට පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය සහ ඩයලොග් එක්ව ඉදිරිපත් කළ මෙම අදහස යථාර්ථයක් බවට පත්කිරීමට ඇමැතිවරයා දැක්වූ උනන්දුව සහ සහය ඉමහත් යැයි කීය.

ඔබ කළ යුත්තේ ඩයලොග් ජංගම දුරකථන සබඳතාව යොදාගනිමින් 444 අංකය අමතා ඩයලොග් පාරිභෝගික සේවා නියෝජිතයකු හට ගමන් කිරිමට බලාපොරොත්තු වන ප්‍රදේශය, අවශ්‍ය ප්‍රවේශපත් ගණන, ගමන් කරනු ලබන දිනය සහ වේලාව දන්වා සිටීමයි.

බස්රථයට නැඟීම සඳහා යා යුතු වන්නේ කොටුව, බැස්ටියන් මාවතේ පිහිටි ප්‍රධාන බස් නැවතුම්පළ වෙතය. එහි ඇති ජාතික ප්‍රවාහන කොමිසම අසල ප්‍රවේශපත් යන්ත්‍රයක් සවිකර ඇති අතර කෙටි පණිවුඩයක් මඟින් ඔබට ලැබෙන රහස්‍ය අංකය එයට ඇතුළත් කළ යුතුය. එවිට යන්ත්‍රය විසින් ටිකට් පත් දෙකක් මුද්‍රණය කොට ලබාදෙනු ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]