කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
පිට්ටනිය

සනත්... ඇත්තටම ආඩම්බරයි

ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කෙරෙන සනත් ජයසූරිය අන්තර්ජාතික තරග පිටියෙන් ඉකුත් සතියේ හිරු නොබසින අධිරාජ්‍යයේ ඕවල් පිටියේදී සමු ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ මෙන්ම අන්තර්ජාතික ක්‍රීඩා පිටියේ දශක එකහමාරක් රැඳී සිටි ලෝකයේ අද්විතියතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සනත් ජයසූරිය හැඳින්වෙයි.

ඉකුත් තිස්වැනි දින තම ජීවනමගේ 42 වැනි සැතපුම් කණුව පසු කළ මේ අසහාය ක්‍රීඩකයා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත්තේ ද ක්‍රිකට් ක්‍රීඩාවේ මහා යුගපුරුෂයෙක් ලෙසිනි.

ලොව ලොකු කුඩා කවුරුත් නම දන්නා ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය ලෝක ක්‍රිකට් ඉතිහාසයට වරින් වර සුවිශේෂ පිටු රැසක් එක්කිරීමට සමත් වූ ක්‍රීඩකයෙකි. එක්දින තරග බිමේදී ලකුණු 13000 ඉක්මවූ තරග 400 කට වඩා සහභාගිවීමේ සුවිශේෂ වාර්තාව පිහිටුවා ඇති ලොව සිටින එකම සුපිරි ක්‍රීඩකයා සනත් ජයසූරියය. එසේම තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වමින් පුරා වසර 15 ක් ක්‍රීඩා පිටියේ රැඳී සිටි එකම ක්‍රීඩකයා වන්නේ ද සනත් ජයසූරියය.

එක්දින ක්‍රිකට් තරග කලාවට නවතම ලකුණු රැස් කිරීමේ රටාවක් හඳුන්වා දෙමින් පළමු ඕවරයේ සිටම තම සහායක පිතිකරු සමඟ ලකුණු රැස් කිරීම ඇරැඹු පළමු පිතිකරුවා වන්නේ ද සනත් ජයසූරියය. එක්දින තරග 445 කදී ශතක 28 ක් අර්ධ ශතක 68 ක්, හතරේ පහරවල් 1500 ක් සහ හයේ පහරවල් 270 ක් ලබමින් ජගත් ක්‍රිකට් ක්ෂේත්‍රයේ සුවිශේෂ දස්කම් සටහන් කරමින් දශක එකහමාරක් තිස්සේ ජාත්‍යන්තර පිටියේ එවන් වූ පෙළහරක් පාන්නට ශ්‍රී ලංකා තලයේ නැවත ක්‍රීඩකයකු බිහි වන්නේ කවදාද යන්න සියලුම දෙනා අසා සිටින ප්‍රශ්නයකි.

වමත තම අවිය කර ගනිමින් තමන්ට ආවේණිකවූ ප්‍රහාරක රටාවක් අනුගමනය කරමින් වමතින් දඟ පන්දු යවන්නෙකු ලෙස ද ක්‍රීඩා පිටියේ රැඳී සිටිමින් සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවූ ආකාරය වර්තමානයේ සහ අනාගතයේදී පිටියේ සිටින සැමටම ආදර්ශයක් වනු ඇත.

ලෝක කුසලාන තරගාවලි පහකටම සහභාගිවීමට වරම් ලද ශ්‍රී ලංකාවේ එකම ක්‍රිකට් ක්‍රීඩකයා වූ සනත් ජයසූරිය ඔහුගේ එම සහභාගිත්වය අතර කාලයේදී ශතක තුනක් අර්ධ ශතක තුනක් සමඟ ලකුණු 1165 ක් රැස් කිරීමේ ගෞරවය ද දිනා සිටී. 1996 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ධජය ලෝකයේ ලෙළදෙන්නට පෙරමුණ ගත් ප්‍රධාන ‘කසකරුවා’ වූ සනත් ජයසූරිය එම තරගාවලියේදී ‘ශූරයා’ ලෙස සම්මාන දිනා ගත්තේ මවුබිමට ද මහත් අභිමානයක් උරුම කර දෙමිනි.

තමන් හෝ තමන්ගේ පිලේ ක්‍රීඩකයකු විසින් ප්‍රතිවාදින් දවාගත් විටදී ඔහුගේ මුවෙහි සටහන් වූ අහිංසක, ජයග්‍රාහී සිනහව සහ ඉරියව් ලෝකයා හමුවේ ප්‍රදර්ශනය වූයේ නිහතමානී නායකයකුගේ ක්‍රීඩකයකුගේ රුව ගුණය.

මාතර සර්වේශස් විදුහලේ පිටිය හරහා ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස තම හැකියාව රටට ප්‍රදර්ශනය කරමින් අගනුවර පිහිටි ප්‍රධානතම ක්‍රීඩා සමාජයක් වූ බ්ලුම්පිල්ඩ් ක්‍රීඩා සමාජය හරහා වසර 1989 දී ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වූ සනත් ජයසූරිය 1999 සිට 2002 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින් ඉතා සමබර පාලනයක් පිටියේ ගෙන ගිය ලොව ආදර්ශවත් නායකයෙක් ද විය.

ටෙස්ට් තරග දිවියේ ශ්‍රී ලංකා ක්‍රීඩා තලයේ රොෂාන් මහානාම සමඟ වැඩිම කාලයක් පිහිටියේ රැඳී සිටිමින් වාර්තාගත සම්බන්ධතාවයක් (576) දැක්වීමට සමත් වූ සනත් ටෙස්ට් තරග 110 කදී ශතක 14 ක් අර්ධ ශතක 31 ක් සමඟින් ලකුණු 6973 ක් ලබා අද ජගත් ක්‍රිකට් ලකුණු පොතේ රන් අකුරින් නාමය රැඳවීමට සමත් වී සිටී.

එක්දින ක්‍රිකට් තරග පිටියේ මේ සුවිශේෂ චරිතය මුලින්ම ජාත්‍යන්තර එක්දින තරගයකට සහභාගි වී ඇත්තේ තම 20 වැනි වියේදී 1989 වසරේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවය. අනතුරුව 1994 සිට 2009 දක්වා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානයේ රැඳී සිටි සනත් 2011 වසරේ ජුනි මස 28 වැනි දින එංගලන්තයේ ඕවල් පිටියේදී සහභාගිවූ තම අවසන් ජාත්‍යන්තර එක්දින තරගයේදී ද ආරම්භක පිතිකරුවෙක් වීම ක්‍රිකට් ක්‍රීඩකයකුට තම ක්‍රීඩා ජීවිතයේ අත්විඳීමට සිදුවන දුර්ලභ අත්දැකීමක් මෙන්ම භාග්‍යයක් ද විය.

ශ්‍රී ලංකාවේ මේ සුපිරි ක්‍රීඩා තරුවට තවත් විශේෂත්වයක් එක්වී තිබේ. ශ්‍රීමත් සහ නයිට් නාමවලින් ජගත් ක්‍රිකට් ශූරයින් උපහාර ලබා සිටිය ද තම රටේ උත්තරීතර පාලක සභාව වන පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මන්ත්‍රීවරයකු වීමේ අවස්ථාව සනත් ජයසූරියට ලැබීම ද විශේෂ ගෞරවයකි.


අප රටේ අද තත්ත්වය ලොවට කීමට පොදු රද මඩලු ක්‍රීඩා උලෙළ රුකුලක්

සත්කාරකත්වය ලබා ගැනීමට සුබවාදීව කටයුතු කරමුයි ජනපති කියයි

2018 වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් අතර ක්‍රීඩා උලෙළ පිළිබඳව සියලුම දෙනා සුබවාදී ආකල්පයකින් ක්‍රියා කළ යුතු බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැවසීය. එම ක්‍රීඩා උලෙළ ලබාගැනීම සඳහා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව තම අයදුම්පත් ඉදිරිපත් කර ඇති අතර ඕස්ට්‍රේලියාවේ හෝල්ඩිතොස්ටි නගරයේදී ද ශ්‍රී ලංකාවේ හම්බන්තොටදී ද මේ ක්‍රීඩා උලෙළ පැවැත්වීමට යෝජිතය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට රටවල් හැත්තෑ දෙකක සාමාජිකත්වය හිමි අතර සත්කාරය ඉල්ලා සිටින රටවල් දෙක හැර ඉතිරි රටවල් හැත්තෑවෙන් කැමැත්ත ලබා ගැනීම සඳහා ප්‍රබල ප්‍රචාරාත්මක මෙහෙවරක යෙදී සිටී.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍යවේදීන් ද කැඳවා පැවැත්වූ හමුවකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සඳහන් කර සිටියේ 2018 වසරේ පොදු රාජ්‍ය ක්‍රීඩා උලෙළ කෙසේ හෝ ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ අවස්ථාව අප දිනා ගත යුතු බවය. එම අවස්ථාව දිනාගත හොත් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඇති සැටියෙන් ලෝකයේ රටවල් හැත්තෑ එකකට ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව මෙන්ම ක්‍රීඩා සංවිධානය අතින් ශ්‍රී ලංකාවට ප්‍රබල පියවරක් ඉදිරියට තැබීමට හැකි වන බව ද ජනාධිපතිතුමා සඳහන් කර සිටියේය.

එබැවින් 2018 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල ක්‍රීඩා උලෙළ ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ අභිප්‍රාය සාර්ථක කර ගැනීමට සෑම දෙනාම සුබවාදී ලෙස කටයුතු කරන ලෙස ද ජනාධිපතිතුමා එහිදී අවධාරණය කර සිටියේය.

මේ අතර 2018 වසරේදී මේ ක්‍රීඩා උලෙළ ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ අවශ්‍යතාව හැකියාව හේතුන් පිළිබඳව තොරතුරු ගොනු කරමින් සකස් කරන ලද යෝජනා වාර්තාව පසුගියදා මැලේසියාවේදී පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සංවිධාන කමිටුව වෙත බාර දෙන ලදි. ඕස්ට්‍රේලියාව ද එදිනම තම රටේ යෝජනා වාර්තාව ද ඒ සමඟම ඉදිරිපත් කර සිටියේය.

ශ්‍රී ලංකාව 2018 වසරේදී එම ක්‍රීඩා උලෙළ ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳ ඉදිරිපත් කරන ලද වාර්තාවට සාමාජික රටවල් රැසකම ප්‍රසාදය මේ වන විට ශ්‍රී ලංකාව වෙත පළ කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියයි. මේ වන විට පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සංවිධානයේ ප්‍රධානිහු කීප දෙනෙක් ක්‍රීඩා උලෙළ පැවැත්වීම සඳහා එම රටවල ඇති සංවිධාන ශක්තිය යටිතල පහසුකම්, තාක්ෂණික පහසුකම් සහ සංචාරක ආකර්ෂණය පිළිබඳව නිරීක්ෂණ චාරිකාවල යෙදෙයි.

ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ තීරණාත්මක කමිටු සභාපති ලුමි මාර්ටින් ප්‍රධාන විධායක නිලධාරී මයික් හුපර් ඇතුළු නියෝජිත පිරිසක් පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණියහ. එම පිරිස ක්‍රීඩා උලෙළේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන නගරය වන හම්බන්තොට ප්‍රදේශය සහ ක්‍රීඩා උලෙළ පැවැත්වීමට යෝජිත සූරියවැව ක්‍රීඩා සංකීර්ණය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක ද නිරත වූහ.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට අයිති රටවල් 72 න් රටවල් හැත්තෑවක මනාපය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ විශේෂ දූත පිරිසක් කමිටු තුනකින් යුතුව එම රටවල සංචාරක දූත මෙහෙවරක යෙදීමට නියමිතය. ඒ අනුව යුරෝපිය, ආසියානු සහ ශාන්තිකර වශයෙන් එම රටවල් කලාප තුනකට බෙදා ශ්‍රී ලංකා නියෝජිතයන් එම මනාප මෙහෙයුම් ව්‍යාපෘතියේ යෙදෙනු ඇත. 2011 නොවැම්බර් 11 වැනි දින බටහිර කොදෙව් දූපත්හි කිට්ස් දූපතේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සංවිධාන කමිටුවේදී ඒ පිළිබඳව සාමාජික රටවල ඡන්දය විමසීමට නියමිතව තිබේ.


ලෝක නෙට්බෝල් තරගාවලිය සිංගප්පූරුවේදී අද ඇරැඹේ

ලෝක නෙට්බෝල් ශූරතා තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සුබපැතීමෙන් අනතුරුව කණ්ඩායම සමඟ.

ජගත් නෙට්බෝල් සම්මේලනය මෙහෙයවන 13 වැනි ජගත් නෙට්බෝල් තරගාවලිය අද (03) සිට සිංගප්පූරුවේ දී ආරම්භ වේ. මෙවර තරගාවලියට රටවල් 16ක් ඉදිරිපත් වෙයි. ශ්‍රී ලංකාව ද ඒ අතර සිටියි. තරගාවලිය කොටස් හතරකින් යුතුව පැවැත්වෙයි. ශ්‍රී ලංකාව ඒ කොටසට ඇතුළත් වී තිබේ. පැවැත්වූ ලෝක ශූරතා දොළහකින් නවයක්ම දිනා ඇත්තේ ඔස්ට්‍රේලියාවයි.

ඉකුත් තරගාවලියේ දී පළමු ස්ථාන පහට පිළිවෙළින් ඉදිරියට ආ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජැමෙයිකාව, එංගලන්තය සහ මලාවි යන රටවල් කෙළින්ම තරගාවලියට ඇතුළත් කර ඇති අතර සත්කාරක රට ලෙසින් සිංගප්පූරුව ද පළමු රටවල් හය තුළට ඇතුළත්ව සිටී. ඉතිරි රටවල් සුදුසුකම් ලබා ඇත්තේ කලාපීය තරගවලදී ලබාගත් ජයග්‍රහණ අනුවයි. ආසියාතික කලාපීය ශූරයන් වූ මැලේසියාව ද අනුශූරයන් වූ ශ්‍රී ලංකාව ද ආසියාව නියෝජනය කරමින් මෙවර තරගාවලියට එක්වී සිටියි. මෙවර තරගවදින රටවල් 16 අතුරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින්නේ බොස්ට්වානාවට පමණි.

තරග 47ක් ඇතුළත් මෙවර ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියේ පළමු තරගය සත්කාරක සිංගප්පූරුව සහ බොස්ට්වානා අතර අද පෙරවරු 11.00ට පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව තම පළමු තරගය හෙට (04) පස්වරු 3.30ට උතුරු අයර්ලන්තය සමඟ පැවැත්වේ. ශ්‍රී ලංකාව 5 වැනිදා සැමෝවා සමඟ ද 6 වැනි දින ඔස්ටේ‍්‍රලියාව සමඟ ද තරග වැදීමට නියමිතය.

මෙවර ලෝක ශූරතාව නියෝජනය කරන ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ක්‍රීඩිකාවන් තේරීම කෙටිකාලීනව පැවැති පුහුණු සංචිතයක් ඇසුරෙන් සිදු කරන ලදී. අන්තර්ජාතික තරග අත්දැකීම් සඳහා ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ස්කොට්ලන්ත නෙට්බෝල් කණ්ඩායම සමඟ පුහුණු තරගාවලියක් පැවැත්වූ අතර පැවැත්වූ තරග තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ කුමාරිනි ද සිල්වාට පැවරී තිබේ. ආසියාවේ සිටින උසම නෙට්බෝල් ක්‍රීඩිකාව වන තර්ජිනි සිවලිංගම් උප නායිකාව ලෙස කටයුතු කරයි.

තරගාවලියට සහභාගිවෙන ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම මෙසේය. කුමරිනි ද සිල්වා (නායිකා), තර්ජිනි සිවලිංගම් (උප නායිකා), ගයත්‍රි ලංකාතිලක, සසිතා සමරසිංහ, සඳුනි බොල්ලෑගල, මරිෂා ප්‍රනාන්දු, විරාජි චාමරිකා, චතුරංගනී ජයසූරිය, ධම්මිකා මල්කාන්ති, ඉරේෂා කෝරලගේ, ප්‍රෙසිලා කුක්.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]