කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
රටේ කෘෂිකර්ම සංවර්ධනයට රසායනික පොහොර අත්‍යවශ්‍ය දෙයක්

රටේ කෘෂිකර්ම සංවර්ධනයට රසායනික පොහොර අත්‍යවශ්‍ය දෙයක්

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ කෘෂි විද්‍යාඥ ආචාර්ය හේමන්ත විජේවර්ධන

අපේ රටේ වී නිපැයුම පසුගිය වසර හය ඇතුළත වී මෙට්‍රික් ටොන් 1676000 කින් ඉහළ ගොස් ඇති බවත් ඊට ප්‍රධාන හේතුව රජයේ පොහොර සහනාධාරය යටතේ දුන් රසායනික පොහොර නිසි පරිදි යෙදීම බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ කෘෂි විද්‍යාඥ ආචාර්ය හේමන්ත විජේවර්ධන මහතා පවසයි.

හරිත විප්ලවයෙන් පසු මෙරටදී නිපදවූ නව වී හා අන් ආහාර බෝග ප්‍රභේද සියල්ලගෙන්ම වැඩි අස්වැන්නක් ගැනීමට රසායනික පොහොර හරියට සුදුසු වේලාවට අවශ්‍ය ප්‍රමාණය යෙදීම අත්‍යවශ්‍ය වූ බවත් ආචාර්ය හේමන්ත විජේවර්ධන පැවැසීය.
ඔහු මේ අදහස් පළ කළේ රසායනික පොහොර භාවිතය, පොහොර සහනාධාරය, දිවි නැඟුම වැඩ පිළිවෙළ පිළිබඳව සිළුමිණ පුවත්පතට කරුණු පැහැදිලි කරමිනි.

* අපේ රටේ පොහොර භාවිතයේ අතීතය පිළිබඳව පැහැදිලි කළොත්...?

ඈත අතීතයේ සිට නිදහසට පෙර කාලවකවානුවේ වී වගාවට අපි වැඩිපුර භාවිත කළේ කාබනික පොහොර වර්ග. ගෙරිකටු කොළ අතු ගොම පොහොර ආදිය ඒ කාලේ බහුලව කුකුළු පෝරත් පාවිච්චි කළා. ඒ කාලේ තිබුණු වී වර්ගවලට මේ පෝරවලින් ලැබුණු පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණවත් වුණා. උදාහරණයක් ලෙස ගතහොත් ඒ කාලේ තිබුණු පච්චපෙරුමාල් කහට වී දෙවැරැද්දිරි වගේ වී වලට මේ පොර ගැළපුණා. හැබැයි මේ වී වල අස්වැන්න අද ජනගහනයට ගැළපෙන්නේ නැහැ. ඒ වී අක්කරයකට ලැබුණේ වී බුසල් 20 - 30 ක අස්වැන්නක්.

එසේ වුවත් හරිත විප්ලවයත්, රටේ ජනගහනය වැඩිවීමත් වගා කළ හැකි බිම් ප්‍රමාණය අඩුවීමත් සමඟ ඒකක ක්ෂේත්‍ර ඵලයකින් වැඩි අස්වැන්නක් ගන්න වී ප්‍රභේදත් අන් දියුණු බෝග ප්‍රභේදත් වගා කරන්නට අපට සිදුවුණා. උදාහරණයක් ලෙස අක්කරයකට වී බුසල් 200 දක්වා වැඩි අස්වැන්නක් දෙන බී ජී 300 වැනි ප්‍රභේද අපට වගා කරන්නට අවශ්‍ය වුණා.

එසේ වුවත් මේ අලුත් ප්‍රභේද රසායනික පෝරවලට වැඩි ප්‍රතිචාරයක් දක්වනවා. සරලව කිව්වොත් මේ බෝග ප්‍රභේදවලට රසායනික පෝර නියමිත වේලාවට නියමිත ප්‍රමිතියට නියමිත මාත්‍රාවට දැම්මොත් ඉහළ අස්වැන්නක් ගන්න පුළුවන් වුණා. මේ වී ප්‍රභේදවලට පෝෂකවල බලපෑම වැඩියි. ඉහළ ප්‍රතිචාර දක්වනවා පෝෂකවලට.

ඒ සමඟම එදා අතීතයේ තිබුණේ යැපීම් කෘෂිකර්මයක්. නමුත් අද තිබෙන්නේ වාණිජ කෘෂිකර්මයක්. එදා ගොවියන් නම් නිපැයුම තමන්ට විතරයි ප්‍රයෝජනයට ගත්තේ. අද තමන් හදන වී ටිකෙන් ටිකක් විකුණන්නත් බලාපොරොත්තු වෙනවා. ඒකට අනුව අපි හැඩ ගැසිය යුතුයි.

* නමුත් රසායනික පෝර මිල වැඩි නිසා 2004 වන තෙක් අපේ ගොවියන් පොහොර භාවිත කළේ අඩුවෙන් නේද?

ඔව්. ඒකට පිළියමක් ලෙස තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පොහොර සහනාධාරය දුන්නේ. ඒකෙදි රසායනික පෝර කිලෝ 50 ක මිටියක් රුපියල් 350 කට දුන්නා.

ඒ අනුව මේ රටේ ගොවියන් පොහොර පාවිච්චිය වැඩි කළා. 2004 දී මෙරට වී අස්වැන්න වූයේ මෙට්‍රික් ටොන් 2628000 යි. නමුත් එය පසුගිය වසරේදී මෙට්‍රික් ටොන් 4299000 දක්වා වැඩි වුණා. ඒ වැඩිවීම මෙට්‍රික් ටොන් 1676000 යි.

ඒ සමඟම 2004 දී මෙරට හාල් නිපැයුම වූයේ මෙට්‍රික් ටොන් 1612000 යි. පසුගිය වසරේ එය 2681518 ක් වුණා. ඒ අනුව සහල් නිපැයුම මෙට්‍රික් ටොන් 1060000 කින් විතර වැඩි වුණා. මේ වැඩිවීමට ප්‍රධාන හේතුව රජයේ පොර සහනාධාරය යටතේ ලැබුණු රසායනික පෝර වී වගාවට නිසි පරිදි ලබාදීමයි. මෙය පැහැදිලි ඇස්පනා පිට පෙනෙන සාක්කියක්.

* වී වල අස්වැන්න පසුගිය කාලේ වැඩි වුණත් පොල් හා මිරිස්වල අස්වැන්න අඩු වී ඒවායේ මිල අහස උසට ගියා. ඒ පෝර දැමීම පිළිබඳ ප්‍රශ්නයක් නිසා ද?

ඔව්. වී හැරුණු විට අන් බෝගවලට පෝර සහනාධාරයක් තිබුණේ නැහැ. ඒ නිසා ගොවි ජනතාව ඒ බෝගවලට පොර දැම්මේ අඩුවෙන්. ඒ නිසා ඒවායේ අස්වැන්න අඩුවුණා. එයට පිළියමක් ලෙස තමයි රජය සියලු බෝගවලටම දැන් රසායනික පොහොර කිලෝ 50 ක මිටියක් රුපියල් 1200 ගණනේ ලබා ;දන්නේ. පොහොර සහනාධාරයට රජය වාර්ෂිකව රුපියල් දස ලක්ෂ 50000 ක් විතර වැය කරනවා. ඒක හොඳ ආයෝජනයක් ලෙසයි රජය තීරණය කර තිබෙන්නේ. ඒ අනුව මේ සහනාධාර ලෙස ලැබෙන පොහොර ගසට අවශ්‍ය වේලාවට සුදුසු ප්‍රමාණයෙන් සුදුසු පරිදි වී ඇතුළු බෝගවලට ලබාදිය යුතුයි. එවිටයි හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. එතකොට තමයි රජයේ අරමුණ ඉටුවන්නේ.

ප්‍රමිතියට හදපු කාබනික පෝරත් අපි රසායනික පොහොර සමඟ මිශ්‍ර කළොත් පස තවත් සාරවත් වෙනවා.

* රසායනික පොහොරවල තිබෙන පෝෂ්‍ය පදාර්ථ පිළිබඳව පැහැදිලි කළොත්. ඒවා බෝගවලට අවශ්‍ය ඇයි. එය වෙනත් ප්‍රභවවලින් ගන්නට බැරි ද?

රසායනික පොහොර කියන්නේ කාර්මිකරණයත් එක්ක හරිත විප්ලවයත් එක්ක හදල වැඩි දියුණු කරපු පෝෂ්‍ය පදාර්ථ ශාකයකට මූල ද්‍රව්‍ය 14 ක් අවශ්‍යයි. ඒ 14 න් 3 ක් එනම් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් ජලයෙන් හා පසින් උරා ගන්න පුළුවන්. ඒත් නයිට්‍රජන් පොස්පරස් පොටැසියම් නම් ගසකට අවශ්‍ය ප්‍රධාන මූලද්‍රව්‍ය තුන එසේ උරා ගන්න බැහැ. එසේ වුවත් ගසක වර්ධනයට මුල පද්ධතිය වැඩීමට අස්වැන්න වැඩි කිරීමට ඒ මූලද්‍රව්‍ය නැතිවම බැහැ. එය අප පර්යේෂණවලින් පැහැදිලිව අත්දුටු දේවල්. මේ අනුව වාණිජ කෘෂිකර්මයට යන විට ඒ ප්‍රධාන මුලද්‍රව්‍ය අඩංගු රසායනික පෝර ඉතා වැදගත් දෙයක්. රසායනික පෝරවල ඒ ඒ පෝෂ්‍ය පදාර්ථ බහුලව තිබෙනවා. යූරියාවල 46% ක් නයිට්‍රජන් තිබෙනවා. සාන්ද්‍ර සුපර් පොස්පෙස්වල පොස්පරස් 46% ක් තිබෙනවා. මියුරේට් ඔෆ් පොටෑෂ්වල 60% ක් පොස්පරස් තිබෙනවා.

මේ රසායනික පෝරවල හුඟක් ද්‍රාව්‍යතාව වැඩියි. සාන්ද්‍රණය වැඩියි. ඕනැම වේලාවක පොහොර දැමු ගමන් ගස්වලට උරා ගන්නවා කාබනික පොහොර උරාගන්න හුඟාක් කල් යනවා. ඉස්සර අපි දාන ගෙරි කටු වගේ දේවල් ගසට උරාගන්න මාස 3 - 4 ක් යනවා. ඊට අමතරව ගසකට ද්විතියික මූල ද්‍රව්‍ය හා අංශු මාත්‍ර මූල ද්‍රව්‍ය අවශ්‍යයි. මේවා පස ජලය හා කාබනික ද්‍රව්‍ය මඟින් උරා ගන්න පුළුවන්. කාබනික පොහොර මඟිනුත් මේ මූල ද්‍රව්‍ය උරාගන්න හැකියාව තිබෙනවා.

* දිවි නැඟුම වැඩ සටහන යටතේ රටේ ගෘහස්ථ ආර්ථික ඒකක ලක්ෂ 10 ක් ස්ථාපනය කරන්න තීරණය කර තිබෙනවා. මෙහිදී ගෙවතු සංවර්ධනය ප්‍රධාන අංගයක්. ඒ අනුව ගෙවතුවල වගා කරන විට පාවිච්චි කළ යුතු පෝර ලෙස ඔබ නිර්දේශ කරන්නේ මොනවා ද?

අපේ රටේ හුඟක් ප්‍රදේශවල පොළොවේ තිබුණු සාරවත් බව සෝදා පාළුව නිසා අද අඩුවෙලා තිබෙනවා. මෙහිදී සමහර අවස්ථාවලදී මතුපිට තිබුණු ලෝම පස් අඟල් 6 ක් විතර ඉවත් වෙලා තිබෙනවා. පසේ තිබෙන සාරවත් බව අඩු වුණොත් වවන වගාවට ඒක අනිවාර්යෙන්ම බලපානවා. මේ අනුව මුලින්ම පසේ සෝදා පාළුව අවම කර ගත යුතුයි. ඉන්පසු පසේ තත්ත්වය පිළිබඳ අපි අවධානය යොමු කළ යුතුයි. ඊට පසු ඒ තත්ත්වය අනුව පස සාරවත් වීමට රසායනික පෝර යෙදිය යුතුයි. කාබනික පෝර කොම්පෝස්ට් පොහොර පමණක් යෙදීම මදියි, ඒවාත් අවශ්‍යයි. අනිවාර්යෙන්ම කාබනික පෝර යොදනවනම් රසායනික පෝරත් ඒ සමඟ යෙදිය යුතුයි. රසායනික පෝර නැතුව ගසේ ඉක්මන් වර්ධනයක් ඇති කරගන්න බැහැ.

* මේ පිළිබඳව තව දුරටත් විද්‍යාත්මකව පැහැදිලි කළොත්?

පසේ සාරවත් බව තීරණය වන්නේ ප්‍රධාන අංග 3 ක් උඩයි. එනම් පසේ භෞතික තත්ත්වය පසේ රසායනික තත්ත්වය පසේ ජීව විද්‍යාත්මක තත්ත්වයයි.

පසේ භෞතික තත්ත්වය යනු පසේ තෙතමනය, පසේ බුරුල් බව, වාත ප්‍රමාණය පසේ ඇති වැලි ප්‍රමාණය, මැටි ප්‍රමාණය, ගල් සහිත බව බොරළු සහිත බව යනාදියයි. මේ අනුවත් පසේ සාරවත් බව වෙනස් වෙනවා.

පසේ රසායනික තත්ත්වය යනු පසේ පොහොර ප්‍රමාණය, පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය පසේ තිබෙන කාබනික ප්‍රමාණය පසේ තිබෙන ප්‍රතික්‍රියා තත්ත්වය (ආම්ලික භාෂ්මික බව) පසේ තිබෙන කැටායන හුවමාරුව (පසට පොහොර දැමු විට පැවතිය හැකි ප්‍රවණතාව) ආදියයි. මෙහිදී යම් පසක කැටායන හුවමාරුව ඉහළ මට්ටමක තිබේනම් ඒ පසට දමන පොහොර ප්‍රමාණය සේදී යන්නේ නැහැ.

පසේ ජීව විද්‍යාත්මක තත්ත්වය යන පසේ තිබෙන ජීවින් ගේ ගහණයයි. ගැඩවිල්ලන්ගේ සිට ඇසට නොපෙනෙන සතුන් විශේෂ ඉන්නවා පසේ. ඒ අය පස් දිරාපත් කරනවා. ද්‍රාව්‍යතාව වැඩි කරනවා. එය පසේ සාරවත් බව වැඩි කිරීමට හේතුවක්

මේ අනුව පසක සාරවත් බව වැඩි වීමට නම් මේ තත්ත්ව තුනම දියුණු කළ යුතුයි. අපි පසට රසායනික පෝර යෙදීමට අවශ්‍ය වන්නේ පසේ තිබෙන රසායනික තත්ත්වය ඉහළ නැංවීමටයි. රසායනික පෝර පසකට යෙදුවේ නැත්නම් පස සාරවත් වෙන්නේ නැහැ. කාබනික පෝරවලින් පමණක් ඒක කිසිසේත් කරන්න බැහැ. හැබැයි පසේ තිබෙන ජීව විද්‍යාත්මක හා භෞතික තත්ත්වය වැඩි දියුණු කිරීමට කාබනික පෝරත් අවශ්‍ය වෙනවා. හැබැයි ඒවා ප්‍රමිතියට හැදු ඒවා වීම අවශ්‍යයි.

* අද අපේ රටේ පොහොර භාවිතය පිළිබඳව කථා කළොත්?

අද අපේ රටට ගෙන්වන පෝරවලින් සියයට 60 ක් විතර භාවිත වන්නේ වී වලට. එළවළු පලතුරු අතිරේක ආහාර බෝග වැවිලි බෝග සඳහා මේවා පාවිච්චි කරනවා. හැබැයි අපි පෝර පාවිච්චි කළ යුත්තේ ක්‍රමානුකූලවයි. පෝර සඳහා රජය වාර්ෂිකව රුපියල් දස ලක්ෂ 50000 ක සහනාධාරයක් දෙනවා. ඒ අනුව ඒ ඒ වවන බෝග වලට මේ පෝර යෙදිය යුතු අවස්ථා පිළිබඳව අපි පැහැදිලි අවබෝධයක් ලබාගෙන පෝර දැමිය යුතුයි.

* පොහොර යෙදීමේදී යොදන ප්‍රමාණය යොදන්න කාලය ඉතා වැදගත් නේද?

ඔව්. මොන බෝගයකට වුණත් පොහොර යොදන කාලයක් ප්‍රමාණයක් තිබෙනවා. ඒවා නිවැරැදිව තීරණය නොකර යොදන පොහොරවලින් ගසකට වැඩක් වෙන්නෙ නැහැ. ලාබෙට පොහොර දෙන නිසා පොහොර ටික අරන් ඇවිල්ලා වැඩියෙන් දැම්මට වැඩක් නැහැ. එය කළ යුත්තේ කෘෂි තාක්ෂණික උපදෙස් අනුවයි. ඒ සමඟම බෝගයක නිසි ඵලදාව ලැබීමට නම් පොහොර යෙදීමට පෙර වල් ඉවත් කළ යුතුයි. ජල පාලනය කළ යුතුයි.

* යම් වගාවකට සුදුසු පොහොර ප්‍රමාණය ඒ ඒ බෝගවලට පොහොර දැමිය යුතු කාලය පිළිබඳව සාමාන්‍ය ගොවි ජනතාව උපදෙස් ලබාගත යුත්තේ කාගෙන් ද?

ගොවිජන සේවා මධ්‍යස්ථානවල සිටින කෘෂිකර්ම උපදේශක වරුන්ගෙන් හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරු මඟින් මේ පිළිබඳව උපදෙස් ලබාගත යුතුයි. ඔවුන්ගේ උපදෙස් පරිදි ඔබේ ඉඩමේ පස්වල තත්ත්වය පිළිබඳව පරීක්ෂණ වාර්තාවක් ලබාගන්න පුළුවන්. අපේ රටේ පස් පරීක්ෂා කරන පර්යේෂණ ආයතන රැසක් තිබෙනවා. ඒ ස්ථානවලට රුපියල් 290 ක් පමණ දීලා තම ගෙවත්තේ පස් සාම්පලයක් පරීක්ෂා කරගන්න පුළුවන්. ඒ පරීක්ෂාවට අනුව ලැබෙන වාර්තාව කන්න 5 කට ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

පසේ තත්ත්වය අනුව සුදුසු පොහොර සුදුසු ප්‍රමාණවලින් ගොවියාට පසට යොදන්න පුළුවන්. ඒ සමඟම ගොවිජන සේවා මධ්‍යස්ථානවල සිටින ඒ ඒ එක් එක් බෝග පිළිබඳව උපදේශකවරුන් මඟින් ඒ ඒ එක් එක් බෝගවලට පොහොර යෙදිය යුතු කාලය පොහොර යෙදිය යුතු ප්‍රමාණය පිළිබඳව උපදෙස් ලබා ගන්න පුළුවන්.

නිහාල් පී. අබේසිංහ

සේයාරුව-විමල් කරුණාතිලක


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]