කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
රුපියල් ශත සහ මනුස්සකම

රුපියල් ශත සහ මනුස්සකම

සෙනඟ මැද්දේ සිහිසුන්ව ඇද වැටුණ පුංචි යාළුවා වත්තම් කර ගැනීමට අපහසුයි. බෙල්ල පැත්තකට කඩා වැටිලා. ඇස් දෙක පියවිලා. අනේ... ඩ්‍රැයිවර් අන්කල් පොඩ්ඩක් ඉස්පිරිතාලෙට යමුකෝ. යාළුවාට අමාරුයි පොඩිත්තෝ හැමෝම එක හඬින් කෑගැසුවා. ඒත් ඉතින් වැඩක් වුණේ නැහැ. මාමට ඕනෙ වුණේ රුපියල් ශත හොයන්න ඉක්මනට ඉගිලෙන්න. නවත්තන්න හිතන්නෙවත් නෑ. ඒ තරම් වේගවත්. ‘මේ ළමයි නංවා ගත්තම හරිම කරදරයි. මීට පස්සෙ නම් ඉස්කෝලෙ ළමයි කවුරුවත්වත් නංවා ගන්න එපා.’ රියදුරුගේ කතාව වේගවත්. අංශුමාත්‍රයක තෙතමනයක් තිබුණේ නැහැ. බැරිම තැන බස්රිය නවත්වා යාළුවෝ රොත්තම බැස්සුවා. මොනවා කරන්න ද? රුපියල් ශතවලට තෙතමනයක් නැහැ. අනේ දෙවියනේ අපිට පිහිටවෙන්න. පොඩිත්තන්ගේ සිතුවිලි දාමය වේදනාව අතරින් කරුණාව සෙව්වා. මනු සිත් සසල කළ මේ අවස්ථාවට පිහිටවුණේ ත්‍රීරෝද රථ රියදුරෙක්.

ඊගසක වේගයෙන් ධාවනය වුණු ත්‍රීරෝද රථය මීගමු රෝහල අබියස නතර වුණා. හැමෝගෙම සහායෙන් යාළුවා රෝහලට ඇතුළත් කළා. ඈ ඒ වන විටත් ජීවිතයෙන් සමුගෙන හමාරයි. කලක සිට හදවත් රෝගයෙන් පෙළුණ ඇය අසනීප වූයේ නැවත වරක් එම රෝගය වැලඳීම නිසායි.

‘කොතන වුණත් නැත මරු හට බාධා’ යැයි අප අසා ඇත.

ඒත් මේ පුංචි දරුවා මරණයෙන් බේරාගැනීමට රියදුරු මහතා සහය වුණානම් කෙතරම් අනගි ද? රුපියල් සත සොයා ඉගිලෙන ලෝකයක දරුවකුගේ වේදනාව කඳුළ තේරුම් ගැනීමට නොහැකි වීම අරුමයක් නොවේ.

ඉහළ නගින බස් ගාස්තුව ගැන කිසිදු හැඟීමක් පෞද්ගලික බස්රථ රියදුරන් ගෙන් හා කොන්දොස්තරවරුන් ළඟ කුමන කරුණාවක් ද? පෞද්ගලික බස්රථ රියදුරන් ගේ අකරුණාව නිසා සිදුවුණ ප්‍රථම මරණය මෙය නොවේ. එමෙන්ම අවසාන මරණය ද මෙය නොවනු ඇත. රුපියල් සත, බස් ගාස්තු, ඉතුරු සල්ලි හැරුණහම පෞද්ගලික බස් රථවලින් ලැබෙන සහනය කුමක් ද? සාඩින් පැටෙව්වා වගේ මගීන් පටවන පෞද්ගලික බස් රථවලින් ජනතාව විඳින අසහනය කෙළවර වෙන දවසක් තිබේ ද?

මොන දේ වුණත් පුංචි දුවේ ඔයාගේ අම්මටයි තාත්තටයි ඔයා නැති වේදනාව ගොඩක් දැනෙනවා. ඒත් පුතේ, වෙලාවකට හිතෙනවා මේ මාමලා ඉස්කෝලෙ යන දරුවන්ගෙ වටිනාකම දන්නෙ නැද්ද කියලා. කොහොම සල්ලි හෙව්වත් අන්තිමේදී ඒවායින් කන්න දෙන්නෙ ඒගොල්ලන්ගෙ දරුවන්ට කියලවත් මතක නැහැ.

ඒගොල්ලන්ගේ මතකෙ තියෙන්නෙ අනිත් බස් එකට කලින් ඉස්සර වෙන එක ගැන විතරයි. ඒ ඇරුණහම බස් එක ඇතුළේ යන මිනිස්සු විතරක් නෙවෙයි, පාරේ කවුරු යනවා ද කියලවත් හැඟීමක් නැහැ. රියදුරු මාමලා එහෙම තමයි. ඒගොල්ලන්ට ඕනෙ වේගෙ, නැත්නම් ලොකු ලොකු නෝට්ටු. ඒ හැරුණහම මෙලෝ කල්පනාවක් ඒ ඔළුගෙඩි තුළ තියෙනවා ද කියලා දන්නෙ නැහැ.

ඒ නිසා මනුස්සකම පෞද්ගලික බස් රියදුරන් ගෙන් ලබා ගැනීම කළුනික හොයා ගන්නවාටත් වඩා අමාරුයි. ඔයා ගැන අහපු හැමෝම කීවේ, අනේ අපොයි ලස්සන කෙලි පොඩ්ඩි කියලා. ඒ අරුණහම දුවේ ඒ කාටවත් ඔයා වෙනුවෙන් කරන්න දෙයක් ඉතිරි වෙලා තිබුණේ නැහැ.

ඔයාගේ අම්මා කියපු විදිහට නම් දුව ආසා නර්ස් කෙනෙක් වෙන්නයි. ඒත් හිතුවේ නැති විදිහට ඒ පැතුම උඩු සුළඟට අහුවුණා. ජීවිතේ කියන්නේ ඒකයි. ඒත් මං හිතන්නෙ නැහැ, මේවා ඔයා තේරුම් අරං තිබුණා කියලා.

මොනවා වුණත් දුවේ, ඒ මාමලා දෙන්නට එයාලගේ හෘද සාක්ෂියෙන් නම් ගැලවීමක් ලැබෙන්නෙ නැහැ. මාර්ග බලපත්‍රය තහනම් කරලා නීතියෙන් දඬුවම් දෙනවා කියලා හැම පත්තරයකම ලියලා තිබුණා. ඒත් මොනවා වුණත් මොකටද ඔයා නැතුව. මීට පස්සෙවත් රියදුරු මාමලා හා කොන්දොස්තර මාමලා කරුණාවන්ත වුණොත්... එච්චරයි ඔයා වෙනුවෙන් ඔයා වගේ ළමයින්ට කරන්න පුළුවන් යුතුකම. ඒත් අපි බලාගෙන ඉඳිමු. කවදා හෝ යුක්තිය ඉටුවෙන තුරු.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]