කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
වසර 125 ක අභිමානය සමරන මහනුවර ධර්මරාජය

වසර 125 ක අභිමානය සමරන මහනුවර ධර්මරාජය

ලංකා මාතාවට කීර්තිමත් ශ්‍රේෂ්ඨ පුරවැසියන් විශාල සංඛ්‍යාවක් දායාද කළ කන්ද උඩරට වන්දනීය ගුරු ගෙදර බවට පත් මහනුවර ධර්මරාජ විදුහල ජූනි 30 වැනි දිනට 125 වැනි වසරට පා තබයි.

වර්ෂ 1887 ජූනි මස 30 වෙනිදා ඕල්කට් මැතිඳුන්ගේ පුරෝගාමිත්වයෙන් මහනුවර උසස් බෞද්ධ පාඨශාලාව යන නමින් පොල් අතු මඩුවක සිසුන් 12 දෙනෙකුගෙන් ඇරැඹුණු ධර්මරාජය අද මුළුමහත් දේශයටම අභිමානය ගෙනෙන විද්‍යාපීඨයකි.

දක්ෂ කාර්යශූර ගුරුවරයකු වූ අන්දිරිස් ද සිල්වා මහතා ධර්මරාජයේ පළමු විදුහල්පතිවරයා විය. වර්ෂ 1890 වන විට ධර්මරාජයේ විදුහල්පතිවරයා බවට පත් වූයේ එවකට ශ්‍රී ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ බුද්ධිමතකු වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතා ය. වසර 9 ක කාලයක් තුළ ජයතිලක මැතිඳුන් ධර්මරාජය ඉහළ තලයකට ගෙන ඒමට අපමණ වෙහෙස වී කටයුතු කළේ ය. ජයතිලක යුගයෙන් පසු බැන්බරි මහතා විදුහල්පති ධූරය හෙබ වූ අතර එම කාලයේ දී විදුහලට සැබෑ බෞද්ධ මුහුණුවරක් හා ජාතික පදනමක් ලබාදීමට ද කටයුතු කළේ ය. ආගමික කැක්කුමක් ඇති ජනතාවගෙන් සතය දෙක බැගින් එකතු කර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට ධර්මරාජයේ දෙමහල් ගොඩනැඟිල්ල ඉදිකිරීමට පුරෝගාමී වූයේ ද බැන්බරි මහතා ය. 1899 දී විල්ටන් හැක් මහතා ද ඉන්පසු සී. එස්. රාජරත්නම් මහතා ද විදුහල්පති ධූර හෙබ වූහ.

ධර්මරාජයේ ස්වර්ණමය යුගයක් ලෙස සැලකෙන්නේ 1902 සිට 1932 දක්වා කේ.එෆ්. බිලිමෝරියා මහතා විදුහල්පති ධූරය දැරූ යුගයයි. එම යුගයේදී ධර්මරාජය සෑම අංශයකින් ම ඉදිරියට ආ බව පැරණි වාර්තාවල දැක්වේ. 1932 - 1936 පී. ද එස්. කුලරත්න යුගය ද 1936 - 1945 එල්.එච්. මෙත්තානන්ද යුගය ද ධර්මරාජ ඉතිහාසයේ විශේෂ දියුණුවක් ලැබූ වකවානු ලෙස හැඳින්විය හැක. එස්. ඒ. විජේතිලක (1945 - 1955) චාල්ස් ගොඩගේ 1955 - 1959) ඩී.බී. තෙවරප්පෙරුම (1959 - 1961) මේජර් ඊ.ඒ. පේරුසිංහ (1962 - 1964) කර්නල් එස්.එල්.බී. අමරනායක (1964 - 1971) ඩී.බී. සමරජීව (1971 - 1973) යන මහත්වරු ද ධර්මරාජයේ උන්නතියට උරදුන් විදුහල්පතිවරු ලෙස ඉතිහාසයට එක් වී ඇත.

නැවතත් ධර්මරාජයේ ස්වර්ණමය යුගයක් උදාවන්නේ ඒ.පී. ගුණරත්න මහතා විදුහල්පති ධූරය දැරූ 1973 - 1987 වසර 14 ක කාලය තුළයි. ඉන්පසුව යූ.බී. හේරත් (1987 - 1988) නිහාල් හේරත් (1989 - 1991) ටී.බී. දමුණුපොළ (1991 - 1995) ඩබ්ලිව්. එම්. බණ්ඩාරනායක (1995 - 1999) අශෝක හේරත් (1999 - 2001) යන මහත්වරුන් විදුහල්පති ධූර දැරූ කාල සීමා වලදී ද ධර්මරාජය දියුණුවට පත්විය. ඉන්පසු 2001 දී ආරම්භ වී මේ දක්වා දිවෙන්නේ ධර්මරාජයේ වත්මන් යුගය නොහොත් එස්.එම්. කීර්තිරත්න විදුහල්පතිතුමාගේ යුගයයි. ධර්මරාජය ශ්‍රී ලංකාවේ අංක එකේ විදුහලක් බවට පත් වී අධ්‍යාපන, ක්‍රීඩා හා අනෙකුත් ක්ෂේත්‍රවල කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් හිමි කර ගත්තේ කීර්තිරත්න යුගය තුළ ය. විභාග ප්‍රතිඵල ඉතා ඉහළ මට්ටමකට ගෙන ඒමට ද කීර්තිරත්න මහතා කැපවීමෙන් කටයුතු කළේ ය.

ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ සහ තාරුණ්‍යයට හෙටක් පදනමේ අනුග්‍රහයෙන් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සහයෝගය මත ධර්මරාජයට රුපියල් මිලියන 37 ක් වටිනා අංගසම්පූර්ණ පිහිනුම් තටාක සංකීර්ණයක් ලැබී ඇත.

ධර්මරාජ ඉතිහාසයේ ප්‍රථම වරට ලොව හොඳම පාසලක් ලෙස බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් අන්තර් ජාතික සම්මේලනයෙන් පිදුම් ලැබීමට ධර්මරාජයට හැකිවීම සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙහි සඳහන් කළ යුතුම ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]