කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
වහල් දූපතෙන් මතු වූ ඉස්පිරිතාලය

වහල් දූපතෙන් මතු වූ ඉස්පිරිතාලය

අපේ රටේ වහල් දූපතක් ගැන ඔබ අසා තිබේ ද? නැත යන්න ඔබේ පිළිතුර විය හැක්කේ ඔබ දේශීය සමාජයේ ගැවසෙන නිසා ය. වැඩි අපබ්‍රංශ නැතිව කිවහොත් සිංහල භාෂාව ව්‍යවහාර කරන නිසා ය. එහෙත් ඉංගී‍්‍රසි බස ව්‍යවහාර කරන්නෝ කිසිම චකිතයකින් තොරව ස්ලේව් අයිලන්ඩ් යන නම පාවිච්චි කරති. එවැනි ව්‍යවහාරයක් නූතන ලෝකයේ වෙන කිසිම තැනක ඇතැයි ද යන්න සලකා බැලිය යුතු ප්‍රශ්නයකි. ඇතැම් නාම පුවරුවල පවා මානවයාගේ එක් තුච්ඡ ඓතිහාසික කාල පරිච්ඡේදයක් සිහි ගන්වන මෙම නම දිස් වන්නේ දියුණු යයි කියා ගත් එක් රටක් හෝ ජාතියක් නොදියුණු යැයි සැලකුණු මිනිස් කොටසක් වෙළෙඳ භාණ්ඩයක් වශයෙන් සැලකු කාලය ගෙවී යාමෙන් බොහෝ කලකට පසුවය. එම අශික්කිත වෙළෙඳාම නීතියෙන් පවා තහනම් කර ශතවර්ෂ කීපයක් ගෙවී යාමෙන් ද පසුවය.

එහෙත් 1656 සිට 1796 දක්වා නැතහොත් ලන්දේසි පාලන සමයේදී මෙය ඇත්තටම වහල් දූපතක් විය. නැතහොත් වහල් සේවය සඳහා මුදලට අපි‍්‍රකාවේ මොසැම්බික් හා මැඩගස්කර් යන පෙදෙස් වලින් මිල දී ගත් ස්ලේව්ස් වශයෙන් ස්ථිර වශයෙන් හැඳින්වුණු අපි‍්‍රකානුවන්ගේ නිත්‍ය වාසස්ථානය විය. එකල මේ පෙදෙස බේරේ වැව ආශි‍්‍රත ජලයෙන් මුළුමනින්ම වට වී තිබිණි. කොළඹ කොටුව තුළ පදිංචි ලන්දේසි පවුල් නිවැසි සුඛෝපභෝගී නිවෙස්වල දවස පුරා බැල මෙහෙවර කිරීමෙන් අනතුරුව හෝක් වීදිය ඉදිරියෙන් බෝට්ටුවල නැගී ඔවුහු මේ වහල් දූපත කරා යාත්‍රා කළෝය. ආපසු පසු දින සේවයට වාර්තා කළහ. ඒ අද කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානය ඇති ඉසව්වේ ය.

කොළොං ගසක් යට සාමාන්‍ය තොටුපළක් ඇසුරෙන් කලඑළි බැස ගත් කොළොම්පුරය ආසියාවේ සෙසු ප්‍රධාන නගර සමඟ පෙළ ගැසීමට වැඩි කලක් ගත නො වූයේ නගරය අන්තර්ජාතික වෙළෙඳ මාර්ග මධ්‍යයේ පිහිටා තිබීම නිසාය. නගරය ජනපි‍්‍රය වෙත්ම එහි ගැවසෙන දෙස් විදෙස් ජනකාය ද සිය දහස් ගණනින් වැඩි වූයේ දහස් ගණන් වාස ස්ථාන ද සමඟය. ක්‍රමයෙන් එය ව්‍යාපාර හා කර්මාන්ත මධ්‍යස්ථානයක් බවට ද පත් විය. අහස් ගැබ දෙසට ඇදෙන සුවිසල් ගොඩනැඟිලි සඳහා ඉඩකඩ සැපයීමට නගරය පුරා අඟර දඟර පාමින් දුව ගිය ජල පාර සියල්ල ගොඩබිමට හරවද්දි වහල් දූපත, දූපත් තත්ත්වයෙන් ඉවත් වීම අනිවාර්යයෙන් සිදු විය. මේ අතර කුරිරු වහල් වෙළෙදාම ද අන්තර්ජාතික තලයෙන් ඉවත් වූයේ මානව හිතවාදීන්ගේ ව්‍යායාමය නිසා ය. දැන් ලංකාව ද ලන්දේසි සමය ගෙවා බ්‍රිතාන්‍ය සමයට අවතීර්ණ වී හමාර ය.

ප්‍රධාන නගරයට එක් වූ දූපත මත ක්‍රමයෙන් විවිධ ගොඩනැගිලි හතු මෙන් මතු වෙත්ම එහි මුල් පදිංචි කරුවෝ නිදහසේ පුත්තලම ආදි විවිධ පළාත්වලට ගොස් පදිංචි වූහ. එහෙත් එහි ආ තවත් ජන කොටසක් වන මැලේ ජාතිකයින්ගෙන් වැඩි කොටසක් කොළඹ පදිංචිය අත් නොහැරියහ. මැලේ වීදිය එයට සාක්ෂියකි. එහෙත් මේ ලිපිය කොළඹ ජන ව්‍යුහයේ විපර්යාස ගැන නොවේ. තවත් මාතෘකා දෙකක් ඇත.

ඒ යෝධ ගොඩනැගිලි හා යෝධ මිනිසුන් ගැනය. 1980 දශකයේ ස්ලේව් අයිලන්ඩ් ප්‍රදේශයේ නැතහොත් කොම්පඤ්ඤ වීදිය නමින් ස්ව භාෂාවලින් හැඳින්වෙන ප්‍රදේශයේ අමුතු කලබලයකි. යෝධමය ගොඩනැගිලි රාශියක් මේ කලබලයෙන් පසු ජනිත විය. එය දිවයිනේ විශාල සෞඛ්‍යමය ව්‍යාපාරයක පෙර නිමිත්තකි. මෙම දැවැන්ත ව්‍යාපාරය පිටුපස දැවැන්ත සිංහලයකු විය.

ව්‍යාපාර හා පාරම්පරිකව බැඳුණු පරපුරකට ඔහු අයිති නොවීය. උපතින් හිමි වූ සමාජ තත්ත්වය නිසා සෑම දෙයමඇකයට වැටෙන පවුලකට ඔහු අයිති නොවීය. එහෙත් විශාල අධිෂ්ඨාන ශක්තියක් ඔහු සතු විය. ඔහු ගැන ලිවීමට පෙර අපර දිගට යමු.

ඇමෙරිකා මහාද්වීපයට යමු. එහි එක්තරා කාලයක කුඩා දරුවෙක් විසීය. එය වැඩි ඈත කාලයක් නොවේ. අපේම කාලයයි. බිල් ගේට්ස් නම් මේ දරුවා ලෝකය පුරා පැතිරී ගිය අද ද පැතිරී යන මයික්‍රෝසොෆ්ට් නම් කම්පියුටර් අධිරාජ්‍යයේ එම්ප්‍රදෝරු වේ යයි කිසිවෙක් නොසිතීය.

ඒ ගැන යාම්තමින් හෝ පේන කීවේ ඔහු විසූ ගමේ පුස්තකාලාධිපතිනිය පමණි. පාඨකයාට වඩා හොඳ සේවයක් ලබා දෙන ලෙස පුස්තකාලය සකස් කිරීමට මේ දරුවා ඉදිරිපත් වීමෙන් පසුවය, ඒ පේන කීවේ. අද ඔහු ඇමෙරිකාවේ මහා ධන කුවේරයකු බවට ද පත් වී ඇත. ප්‍රකට ලේඛකයකු බවට ද පත් වී ඇත. ඔහු එක්තරා සඟරාවකට ලියු ලිපියක් මම ගිය වසරේ කියවීමි.

ඒ නිර්මාණාත්මක ධන වාදය ගැනය. දූෂිත ධන වාදය සූරාකරන ධන වාදය ආදී වශයෙන් කාලාන්තරයක් තිස්සේ පරිභව ලැබූ මේ ධනවාදයට අමුතු විශේෂණ පදයක් යෙදුවේ ඔහු ය. නිර්මාණාත්මක ධනවාදියා වශයෙන් ඔහු නම් කළේ තමන් එක්කාසු කළ ධනය සමාජයට විශාල යහපතක් ගෙන දෙන ඵලදායි ව්‍යාපෘතියනට යොදන්නාටය. නැතිව මසුරු සිටාණන් මෙන් එය ගොඩ ගසන්නාට නොවේ. සමාජයට තත්කාලීනව වැඩියෙන් අවශ්‍ය කුමන් දේ ද යන්න ගැන ඔහු නිර්මාණාත්මකව සිතිය යුතුය. උදාහරණ වශයෙන් චරිත කීපයක් බිල් ගේට්ස් ගෙන හැර දැක්වීය. බොහෝ අය යුරෝපීයයන්ය. මෝටර් රථ රජු වන පෝඩ් රොක්ෆෙලර් වැනි ඇමෙරිකානුවන් ය. එකම එක ආසියාතිකයෙකි. ඒ බංග්ලාදේශිකයෙකි. දුප්පත් ගැමි ළඳුන්ට සුළු ගෘහ කර්මාන්ත ඇරැඹීමට ණය පහසුකම් සැපයීම ඔහුගේ කර්තව්‍යය විය. දහස් ගණන් දුගී ගැමි ගැහැනු ධනවත් වූහ. නවලෝක මුදලාලි නැතහොත් එච්. කේ. ධර්මදාස යන නම මේ ලේඛනයේ නොවීය. ගේට්ස් නම ඔහු නොදැන සිටියත් එම ලිපිය කියවද්දී මට ඔහු සිහි වූයේ නිතැතින්ම ය.

මක් නිසා ද? අප රටේ සෞඛ්‍යය සේවයට ඔහු උර දුන් ප්‍රබල අන්දම නිසාය. අද සිය ගණන් ජනී ජනයා යට කී වහල් දූපතෙන් මතු වූ මෙම සුවිසල් ගොඩනැගිලි සමුදායට දිවා රෑ රොක් වත්ම මේ නවලෝත ඉස්පිරිතාලය රටේ ප්‍රබල අවශ්‍යතාවකට කර ගසා ඇති අන්දම පැහැදිලිව පෙනේ. මෙය ධනවතුන්ට වෙන් වූ ආරෝග්‍ය ශාලාවක් යැයි කෙනෙකුට තර්ක කළ හැක. නැත. දිළිඳු යැයි බැලු බැල්මට පෙනෙන විශාල පිරිසක් මා එහි දැක ඇත. වෛද්‍ය සහන හිමි රජයේ සේවකයින් රාශියක්ද මෙහි ඇදී එති. තවද මෙයින් උපයන ආදායමෙන් සෑහෙන කොටසක් සමාජ සේවා කටයුතු සඳහා යොදවන බව නොරහසකි.   

වරක් කාපිරි තිප්පලක් වහල් දූපතක් වශයෙන් නිගරුවට ලක්වූ කොම්පඤ්ඤ වීදි පෙදෙස් ඔහු මේ සේවය වෙනුවෙන් තැනූ ගොඩනැගිල්ල යෝධයකුගේ ලීලාවෙන් අහස අරා නැගී සිටිනු විශ්මයජනක දර්ශනයක් වන්නේ එහි නිර්මාතෘ ඉතා සාමාන්‍ය සමාජයකින් මතු වූවකු නිසා ය. ඔහුට මුක්කු ගැසීමට පවුල් පට්ටම් නොවීය. ආයෝජනය කිරීමට මුදල් දිය හැකි ධනවත් ඥාතීහු නොවූහ. වසර අසූවකට පමණ පෙර අපේ දර්ශනීය දකුණු සමුද්‍රාසන්න මාර්ගය දිගේ ඔහු තම දෛවය සොයමින් තනිව සුප්‍රකට කොළොම් පුරවරයට සම්ප්‍රාප්ත වන විට එම නගරයේ ආකාස සිතියම Sky line තමා අතින් වෙනස් වේ යැයි ඔහු කිසි දින නොසිතන්නට ඇත. එම නගරය පවා මිනිසාගේ අප්‍රතිහත ධෛර්යය කියා පාන්නේ එය එක් කලෙක නිකම්ම නිකම් කොළොම් තොටක් වශයෙන් පැවති බැවිනි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]