කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
පනස් වසර සමරන ජනහද හඳුනන මහජන බැංකුව

පනස් වසර සමරන ජනහද හඳුනන මහජන බැංකුව

නවසිය පනස්හය අප රටේ ඓතිහාසික සන්ධිස්ථානයක් වනුයේ රටේ අනාගත ගමන් මඟ සනිටුහන් කරන පියවර රැසකට මුල් පිරූ යුගය එය බැවිනි.

වරාය – බස් ජනසතු කෙරිණි. මැයි පළමුවෙනිදා නිවාඩු දිනයක් ලෙස නම් කෙරිණි. සංස්කෘතික අමාත්‍යාංශයක් ඇරඹිණි. සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් කළු සුද්දන් අතට මාරු වී තිබූ රජ සභාවේ අසුන් මතට පොදු ජන නියෝජිතයෝ පත්ව ආහ.

ඒ ඉතිහාසය මතකයට නැඟුවේ එහි ප්‍රතිඵලයක් ලෙස රටට දායාද වූ අගනා ජාතික ආයතනයක් පිළිබඳව ලියැවෙන සටහනකට මුල පුරන්නට ය. මේ අගනා ජාතික ආයතනය වූ කලී 1961 ජූලි 01 දින ස්ථාපිත කෙරුණු මහජන බැංකුවය. මහජන බැංකුව සිය අභිමානවත් ගමන් මඟෙහි අඩසියවස සපුරනුයේ මේ වසරේ දී ය.

වැවිලිකරුවන්, ව්‍යාපාරිකයන් ප්‍රමුඛ ඇති – හැකි පැළැන්තියට සීමා වී තිබුණු බැංකු ක්‍රමය පොදු ජනතාවට විවර වූයේ ශ්‍රී ලංකවේ ප්‍රථම රාජ්‍ය වාණිජ බැංකුව ලෙස මහජන බැංකුව පිහිටුවීමත් සමඟිනි.

1956 බිහි වූ නව රජයේ ගොවිකම් හා ආහාර ඇමති පදවියට පත්වන පිලිප් ගුණවර්ධන මහතා 1958 දී මහා කෘෂිකර්ම සැලැස්ම නම් පුළුල් වැඩපිළිවෙළක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. සමූපකාර සංවර්ධන බැංකුවක් පිහිටුවීමේ යෝජනාව ද එම වැඩපිළිවෙළටම ඇතුළත් විණි.

එහෙත් ඇමති මණ්ඩලය තුළම සිටි දක්‍ෂිණාංශිකයෝ පිලිප්ගේ කකුලෙන් අදින්නට වූහ. පිලිප්ගේ යෝජනාවලට එරෙහිව කුමන්ත්‍රණ ඇරඹූහ. පෙළපාළි මෙහෙය වූහ. බැරිම තැන පිලිප් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

ගොවි, කම්කරු, වෙද, ලිපිකරු ඇතුළු සමස්ත පොදු ජනතාව වෙනුවෙන් බැංකුවක් පිහිටුවීමේ පුරෝගාමී මෙහෙවරට පිලිප් ගුණවර්ධනයන් අතින් මුල පිරෙන්නේ එලෙසිනි.

ඉන් අනතුරුව පැවති දේශපාලන හැල හැප්පීම් හා කැඩී බිඳී යාම් මාලාවක් මැද 1960 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් නව රජයක් බිහි විය. එහි වාණිජ, වෙළෙඳ, ආහාර හා නාවුක කටයුතු පිළිබඳ අමාත්‍යවරයා බවට පත් වූයේ ටී.බී. ඉලංගරත්න මහතාය. පිලිප් ගුණවර්ධනයන් ඉදිරිපත් කළ ප්‍රගතිශීලී යෝජනා පෙරදක්නා නුවණින් යුතු පරිණත දේශපාලන නායකයකු වූ ඉලංගරත්නගේ අවධානයට යොමු විය. 1957 දි කැබිනට් මණ්ඩලය විසින් ද අනුමත කරන ලද සමූපකාර සංවර්ධන බැංකුවක් පිහිටුවීමේ යෝජනාව ප්‍රතිසංස්කරණය කොට ‘මහජන බැංකු පනත’ ලෙසින් යළිත් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණේ ඉලංගරත්නයන් අතිනි. 1961 අංක 29 දරන මහජන බැංකු පනත ඉලංගරත්න අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ 1961.06.16 දිනය. ඇතැම් ප්‍රතිගාමීහු එදා ද ඊට එරෙහිව අවලාද – අපහාස නැගූහ. ඉලංගරත්න ඉතා චතුර හා උපායශීලී ලෙස ඒ සියලු දෙනා නිහඬකොට සමස්ත පාර්ලිමේන්තුවේම ඒකමතිකත්වය මත, මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ඓතිහාසික සටහනක් තබමින් මහජන බැංකු පනත හැන්සාඩ් ගත කළේ ය.

මහජන බැංකුවේ ප්‍රථම සභාපතිවරයා වූයේ ‘සඳලංකා සමූපකාර සමිතියේ’ නිර්මාතෘ හා ආදර්ශවත් ව්‍යාපාරිකයකු වූ වින්සන්ට් සුබසිංහ මහතා ය. ප්‍රවීණ බැංකුකරුවකු වූ විල්මර් සොලමන්ස් මහතා මුල් ම සාමාන්‍යාධිකාරිවරයා විය. බණ්ඩාරනායක මැතිනියගේ රජයේ අපේක්‍ෂා මල්ඵල ගන්වමින් වසරක් ඇතුළත කොළඹ අගනගරයේ සිට ඈත හම්බන්තොට දක්වා විසිරුණු ශාඛා 20 කින් යුතු බැංකු ජාලයක් ගොඩනැඟීමට වින්සන්ට් - සොලමන්ස් දෙපළ සමත් වූහ.

ගැමි ජනතාව වෙත තවත් සමීපවීමේ අටියෙන් 1964 දී සමූපකාර ව්‍යාපාරය හා අත්වැල් බැඳ ගනිමින් ඇරඹූ ග්‍රාමීය බැංකු ක්‍රමය සුබසිංහයන්ගේ දුරදක්නා නුවණ පිළිබඳ කදිම සාක්‍ෂියකි. එසේ ම කළුකඩ ව්‍යාපාරිකයන්ගේ ඒකාධිකාරියක්ව පැවති රන්භාණ්ඩ උකස් ගැනීමේ ව්‍යාපාරයට මැදිහත්වීමට රජයේ විශේෂ අවසරයක් ලබාගත් සුබසිංහ මහතා ඉතා සාධාරණ කොන්දේසි මත මහජනයාගේ රන්භාණ්ඩ ආරක්‍ෂා කරදීමේ වගකීම මහජන බැංකුවට පවරා ගත්තේ එතෙක් පැවති සාම්ප්‍රදායික බැංකු ක්‍රමය උඩුයටි කරමිනි.

එහෙත් 1964 වනවිට මුදල් අමාත්‍ය ධුරයට පත් ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා සහ වින්සන්ට් සුබසිංහ මහතා අතර මත ගැටුමක් හට ගැනිණ. අවංක කාර්යශූර බැංකුකරුවකු වුවද සාමාන්‍යාධිකාරි සොලමන්ස් මහතා ග්‍රාමීය බැංකු ක්‍රමයට විරුද්ධ විය. ඉන් නොනැවතුණු ඔහු ඇන්.ඇම් ද සිය මතයට නම්මා ගත්තේ ය. තම වැඩ පිළිවෙළට එකඟ නැති අමාත්‍යවරයකු සමඟ එකට වැඩ කළ නොහැකි බව පවසමින් සුබසිංහ මහතා එසැණින් සභාපති ධුරයෙන් ඉල්ලා අස් විය.

ග්‍රාමීය බැංකු ක්‍රමය පිළිබඳ තමා දැරූ මතය වැරදි බව පසුව ඇන්.ඇම්. පිළිගෙන තිබේ. ග්‍රාමීය බැංකු පිහිටුවීම අත්හිටුවමින් නිකුත් කළ නියෝගය ඇන්.ඇම්. විසින් ම අවලංගු කරනු ලැබුව ද මහජන බැංකු හා සමූපකාර ව්‍යාපාරය අතර ඇති වූ පිපිරීම යළි පෑස්සිය හැකි නොවීය.

වින්සන්ට් සුබසිංහ මහතාට රුපියල් 1500 ක මාසික දීමනාවක් හිමිව තිබුණ ද 1961 සිට 64 දක්වා වූ ඒ මහතාගේ සේවා කාලය තුළ එම දීමනාව ලබා ගත්තේ නැත. එහෙත් ඒ මහතා නිත්‍යානුකූල ලෙස මහජන බැංකුවෙන් ලබාගත් රුපියල් 16,000 ක ණය මුදලක් පිළිබඳව එක්තරා පුවත්පතකින් දිගට හරහට පහර දුන්නේ ය. ඒ වනවිට සුබසිංහ මහතා එම ණය මුදල සම්පූර්ණයෙන් ගෙවා හමාරව තිබිණි. අදාළ පුවත්පත ඒ බව හෝ 1961 – 64 කාලය තුළ ඔහුට හිමිව තිබූ රුපියල් 54,000 ක දීමනාව බැංකුවට පරිත්‍යාග කර තිබීම පිළිබඳව හෝ වචනයක්වත් සඳහන් නොකිරීමට තරම් අකෘතඥ විය. 1977 දී බලයට පැමිණි එජාප ය 1978 අංක 25 දරන විශේෂ විධිවිධාන පනත සම්මත කරමින් එතෙක් මහජන බැංකුව හා සමූපකාර ව්‍යාපාරය අතර පැවති සියලු සබඳතා බිඳ දැමී ය. ජනතාකරණයේ මකරාක්‍ෂයා රාජ්‍ය ආයතන බිලි ගන්නට පෙරට ආවේද ඒ සමයේ ය.

ලංකා බැංකු සේවක සංගමය ප්‍රමුඛ ජාතික මට්ටමේ සංවිධාන රැසක් එක් වී රාජ්‍ය බැංකු සුරැකීමේ ව්‍යාපාරයක් ඇරඹුවේ මේ පසුබිම තුළ ය. එදා කම්කරු හා මානව අයිතීන් සුරැකීමේ අරගලයේ පෙරමුණ ගෙන සිටි වත්මන් ජනපති මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ගේ පූර්ණ සහය ද රාජ්‍ය බැංකු ඇතුළු ජාතික සම්පත් සුරැකීමේ උද්ඝෝෂණයට පිරිනැමිණි.

1994 දී එජාපය පරාජය කරමින් චÁද්‍රිකා මැතිනිය බලයට පැමිණියා ය. රාජ්‍ය බැංකු ඇතුළු ජාතික සම්පත්වලට උදා වී තිබූ නරක දසාව සම්පූර්ණයෙන් ම පහව ගියේ යයි ජනතාව අපේක්‍ෂා කළ ද ප්‍රතිව්‍යුහගතකරණ බෝඩ් ලෑල්ලට මුවා වී පෞද්ගලීකරණයේ අවතාරය විටින් විට හොල්මන් කරනු පෙනිණි.

2005 දී මහින්ද චින්තනය පෙරට එනුයේ රාජ්‍ය සම්පත් පමණක් නොව සමස්ත දේශය ම ඉතිහාසයේ බරපතළම අභියෝගයට මුහුණ පා සිටින අවස්ථාවක ය. එබඳු තීරණාත්මක පසුබිමකදී රාජ්‍ය බැංකු හෝ ජාතික සම්පත් පෞද්ගලීකරණය නොකරනු ඇතැයි යන ප්‍රතිඥාව මහින්ද චින්තන ප්‍රතිපත්ති මාලාවට එක් කිරීමට රාජපක්‍ෂ මැතිඳු නොපැකිළව ඉදිරිපත් විය.

2010 දී දෙවන වරට ද එතුමා එම ප්‍රතිඥාව තහවුරු කළේ ය.

මහජන බැංකුව වූ කලී පනස් හයේ පෙරළියේ ඍජු උරුමයකි. ඒ පෙරළියට උරදුන් ව්‍යාපාරයේ වත්මන් නියෝජිතයකු වන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට මහජන බැංකුව සමඟ අවියෝජනීය බැඳීමක් පවතී. ජනාධිපතිතුමා මහජන බැංකුව කෙරෙහි දක්වන විශේෂ ඇල්ම, වර්තමානයේ මහජන බැංකුවේ සභාපති ධුරය දරන ඩබ්ලිව්. කරුණාජීව මහතා අවස්ථා කිහිපයකදී ම ජනමාධ්‍ය වෙත අවධාරණය කර තිබේ.

එළඹ තිබෙන මේ වාසි සහගත දේශපාලන ස්ථාවරයෙන් හා සමාජ ආර්ථික පසුබිමෙන් උපරිම ප්‍රයෝජන ගෙන මහජන බැංකුවේ හෙට දවස තිරසාර කර ගැනීම මේ මොහොතේ මහජන බැංකු පාලක මණ්ඩලයේ මෙන් ම වෘත්තීය සමිති ද ඇතුළු කාර්ය මණ්ඩලයේ පොදු අරමුණ විය යුතුය.

සමස්ත රට වැසියාගේ ම අවධානය තමන් වෙත යොමු කර ගැනීමට මහජන බැංකුවට මෙතරම් කදිම අවස්ථාවක් තවත් කොපමණ කලකින් උදාවේදැයි සිතිය නොහැකිය.

මහජන බැංකුවේ එදා මෙදා සහ මතු දා කෙරෙහි අවධානය යොමු කරමින් ලියූ මේ සටහන නිමා කිරීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා බැංකුවයි ඔබයි සඟරාවට දැක්වූ අදහස් කිහිපයක් සිහිපත් කිරීම කාලෝචිත යයි සිතමු.

”ලංකාවේ බැංකු සංස්කෘතිය තුළ මහජන බැංකුවට හදවත් ඇතැයි මම සිතමි. ඒ නිසා මම මහජන බැංකුවට ආදරය කරමි. මහජනයාට ආදරය කරන තාක් මහජන බැංකුව ද නිරෝගී - සෞඛ්‍ය සම්පන්න ආයතනයක් සේ පවතිනු ඇත. එසේ ම පවතීවා! චිරං ජයතු!”


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]