කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

තවමත් පාසලක් නොලැබුණු දරුවන් සිටී නම් වහාම වාර්තා කරන්නැ”යි බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමැති සහ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දුන් උපදේශයක් පසුගිය දිනෙක මාධ්‍යයන්හි පළවී තිබෙනු දුටුවෙමු. එයින් කියැවෙන්නේ “අ”යනු “ආ”යනු ඉගෙන ගන්නට අවස්ථාවක් නොලද දරුවන් තවමත් සිටිනවා කියන එකය.

එක දරුවකුට හෝ තවමත් පාසලක් නොලැබී ඇත්නම් එය ඛේදවාචකයකි.

මේ තත්ත්වය හදිසියේ ඇතිවූ එකක් නොවේ. දැන් වසර දශක කිහිපයක් තිස්සේම මේ ඛේදවාචකය අපි අත්විඳිමින් සිටින්නෙමු. එය දැන් සමාජගත වූ ඛේදවාචකයක් බවට පත්වී ඇත්තේය.

මවුපියෝ “හොඳ” යැයි සම්මත පාසලක්ම හොයති. හැම තැනම එහෙම “හොඳ” පාසල් නැතිද?

”හොඳ පාසල්” සහ “හොඳ නැති පාසල්” යනුවෙන් කොටස් දෙකක් නිර්මාණය වී ඇත්තේ ඇයි?

සෑම මවුපියකුම උත්සාහ කරන්නේ තම දරුවා “හොඳ පාසලකට” ඇතුළු කරන්නටය. මෙය අහිංසක පුරවැසියාට පමණක් නොව බලවත් දේශපාලකයන්ට ද පොදුය. ඒ නිසාම “හොඳ පාසල්” ඉතිරි වී “හොඳ නැති පාසල්” වැසීයාමේ තර්ජනයක් ද ඇතිවී තිබේ. මෙය ඉතාම ඛේදනීය තත්ත්වයකි.

සැබැවින්ම මේ “හොඳ පාසල්” සහ “හොඳ නැති පාසල්” යනුවෙන් දෙවර්ගයක් ඇති වූයේ ඇයි?

“හොඳ පාසල්” ගොඩනංවා ඇත්තේ රත්රන් ගඩොල්වලින් නොවේ. ඒවා ද මැටි ගඩොල්ය. නැතිනම් කොන්ක්‍රීට් ගල්ය. ඩැස් පුටු ලීවලින් සාදා ඇත. නැතිනම් යකඩය. ගුරුවරු ද එකම ගුරු විද්‍යාලවල පුහුණු වූ අය වෙති. එකම විශ්වවිද්‍යාලවලින් පිටවූ අය වෙති. එසේ නම් මේ වෙනස කුමක් නිසාද? හොඳ ඒවා එන්ඩ එන්ඩම හොඳ වීමටත් හොඳ නැති ඒවා එන්ඩ එන්ඩම හොඳ නැතිවීමටත් හේතුව කුමක්ද?

හොඳ ඒවායේ සුපිරි ගුරුවරුන් සිටින නිසාද? නැතිනම් සුපිරි පහසුකම් තිබෙන නිසාද?

”ගමේ පාසලට දරුවා යවන්න යැයි ඇතැම් අය උපදෙස් දෙනු අසන්නට ලැබේ. එහෙත් ඔය කියන්නාවූ හොඳ පාසල් අවට සිටින දරුවන්ට ඒ පාසල අහිමිවෙද්දී වෑන්වලින් හෝ කාර්වලින් පැමිණෙන දරුවෝ ඒ පාසලට ඇතුළු වෙති.

මේ විසමතාව නිර්මාණය වූයේ ඇයි? වරද මවුපියන් අතද?

මොන නීතිරීති දැම්මත්, මොන පුවත්පත් ප්‍රකාශ නිකුත් වුණත් “හොඳ පාසලකට” දරුවා ඇතුළත් කිරීම සඳහා විශාල මුදලක් වැය කළ යුතු බව රහසක් නොවේ. එසේත් නැති නම් එය ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ. කිලෝමීටර් දෙකේ සීමාව නොව කිලෝමීටර් භාගයේ සීමාව ද හුදු මායාවන් බවට පත්ව තිබේ.

”මගේ දරුවාට හොඳ පාසලක්” කියා මවුපියෝ හතරවටේ දුවති.

”ඉල්ලන ඕනෑම ගාණක් දෙන්නම්” සල්ලි කාරයෝ ද සාක්කුව පෙන්න පෙන්නා ඇවිදිති.

”මට ළමයෙක්වත් දාගන්ඩ බැරි නම් මගෙ මන්ත්‍රීකමෙන් ඇති වැඩේ මොකක්ද?”

දේශපාලකයෝ ද විදුහල්පති වරුන්ගේ මොළ කන්නට හදති. නූල් සූත්තරකාර විදුහල්පතිවරු ගරති. හොඳ විදුහල්පතිවරු අසරණ වෙති.

ඇති හැකි අයට ප්‍රශ්නයක් නැත. නැති බැරි මවුපියෝ මැසිවිලි නඟමින් සිටිති.

”සල්ලි ඉල්ලුවොත් කියන්න” ඇමැතිවරු, නිලධාරීහු කියති. ඒවා කිය කියා සිදුවන දේවල් නොවේ. නිසි පිළියම් නොයොදා කරන එවැනි ප්‍රකාශවලට කියන්නේ බයිලා කියලාය.

මෙවැනි ප්‍රශ්න ගැනත් සිතන්නට ජනාධිපතිතුමාට ඉඩහළ යුතු නොවේ. එතුමාට කරන්නට දහසකුත් එකක් මහා කාර්යයන් ඇත.

කෙසේ වුවද පාසලක් නොලැබුණු එකම දරුවකු හෝ තවමත් සිටී නම් වරද කාගේ වුව ද ඒ දරුවාගේ පැත්තෙන් බලන කල්හි එය අති මානුෂීය සහ සංවේදී තත්ත්වයක් බව වටහා ගෙන තවදුරටත් ඛේදවාචකයක් ලෙසින් සමාජගතවන්නට ඉඩ නොදිය යුතු යැයි අපි අවධාරණය කරමු.

මේ වසරේ ඇතිවූ ප්‍රශ්නය ලබන වසරේ ඇති නොවන්නට වගබලා ගැනීම කාගෙ කාගේත් යුතුකමය. පසුගිය කාලය පුරාම සිදුවූවාක් මෙන් දරුවන්ට පාසල් නැතිවීමේ ප්‍රශ්නය පිළිබඳව බස්නාහිර මහ ඇමැතිතුමාට හෝ වෙනත් ඕනෑම බලවතකුට කතා කරන්නට ඉඩක් නොලැබෙන තරමට සමස්ත ක්‍රියාවලිය විසමතාවන්ගෙන් තොර එකක් වේවායි දරුවන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙමු.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]