කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඉඳහිට හතරගාතේ අලි කුලප්පු වුණාට දෙපා අලින්ගෙන් දැන් කරදරයක් නෑ

ඉඳහිට හතරගාතේ අලි කුලප්පු වුණාට දෙපා අලින්ගෙන් දැන් කරදරයක් නෑ

ගිය සතියේදී ජනාධිපතිතුමා විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වුණේය. ඒ අරලියගහ මැදුරේදීය. ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල, විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යාංශ ලේකම් පී. බී. ජයසුන්දර ද ජනාධිපතිතුමා සමඟ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවට එක්ව සිටියහ.

සාකච්ඡාව අරඹමින් ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියේ මෙවැනි සාකච්ඡා ලෝකයේ කිසිදු රටක සිදු නොවන බවය. ඉන් අනතුරුව ජනාධිපතිතුමා මාධ්‍ය ප්‍රධානීන්ට කියා සිටියේ තමුන්නාන්සේලා ප්‍රශ්න අහන්න මට කියන්ඩ තියෙන දේ ඊට පස්සේ කියන්නම් කියාය.

ඉන් පසුව පුවත්පත් හා විද්යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීහු එක දිගට ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න අහන්නට පටන් ගත්හ. මුලින්ම නැඟුණ ප්‍රශ්නය වූයේ උතුරු නැඟෙනහිරට දේශපාලන විසඳුමක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට රජය ගත් තීරණය ගැනය. එම තීරණය ගත්තේ යළිත් වරක් දේශපාලන විසඳුම වෙනුවට ප්‍රශ්නය කල් මැරීම සඳහා දැයි මාධ්‍ය ආයතන ප්‍රධානීහු විමසා සිටියහ.

“නැහැ. ඒක කල් මැරීමට කළ දෙයක් නෙමෙයි. සියලුම දේශපාලන පක්ෂවල එකඟතාවක් ඇතිව විසඳුමක් ලබා ගැනීමට හොඳම සහ සුදුසුම ස්ථානය උත්තරීතර පාර්ලිමේන්තුවයි. ඒ නිසායි විසඳුමක් යෝජනා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළේ. මේ පාර්ලිමේන්තු කාරක සභාව පත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මතයි.” ජනාධිපතිතුමා කියා සිටියේය.

ඉන් පසුව විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මාධ්‍ය ප්‍රධානින් හමුවේ අදහස් දැක්වූයේය. “කල් මැරීම කියන වචනයට පදනමක් නැහැ. එහෙම කියන්නෙ චෝදනාවකට. දැනටමත් රජයත් ද්‍රවිඩ සන්ධානයත් අතර සාකච්ඡා පැවැත්වෙනවා. මේ පාර්ලිමේන්තු කාරක සභාව පත් වුණාම මේ සාකච්ඡා දෙකම එකට සිදු වෙනවා.” විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් කියා සිටියේය.

ඒ සමඟම තවත් මාධ්‍ය ආයතන ප්‍රධානියෙකු විමසා සිටියේ තිස්ස විතාරණ කමිටු වාර්තාවට මොකද වෙන්නේ කියාය.

“ඒ කමිටු වාර්තාවේ යෝජනාවලියට දෙමළ, විපක්ෂ හෝ ආණ්ඩුවේ පක්ෂවත් සෑහීමට පත් වුණේ නෑ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට උතුරු නැඟෙනහිරට දේශපාලන විසඳුමක් යෝජනා කිරීමට ඉඩ ලබා දුන්නාම එවැන්නක් සිදු වෙන්නේ නැහැ” ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපතිතුමා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවැති සුහද කථා බහ ආරම්භ වී ටික වේලාවක් ගත වෙද්දී මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහ ජනාධිපතිතුමා අතර කතාව ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සෘජු ප්‍රශ්න නැඟීම් නිසාය. එහෙත් ජනාධිපතිතුමා ඉතාම පැහැදිලිව නිරවුල්ව මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට පිළිතුරු ලබා දුන්නේ ඉතා සැහැල්ලුවෙනි.

“දැන් ලංකාවට ඉන්දියාවෙන් ප්‍රබල දේශපාලන බලපෑමක් එල්ල වී තිබෙන බවට කට කතා පැතිරෙනවා.” ඒ ගැන ඔබතුමාට මොනවද කියන්ඩ පුළුවන්. “ඒ තවත් පුවත්පත් කතුවරයකුගේ ප්‍රශ්නයක් වීය.

”අරවා දෙන්ඩ, මේවා දෙන්ඩ. දේශපාලන විසඳුම දෙනකොට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එහා යන්ඩ. ඔය කියන විදියේ කිසිම දෙයක් ගැන ඉන්දියාවෙන් කියලා නැහැ. ඉන්දීය නියෝජිතයන් තිදෙනා ලංකාවට ඇවිත් සාකච්ඡා කළේ ඉන්දියාවේ අගමැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය ගැන විතරයි.” ජනාධිපතිතුමා කියා සිටියේය.

”එතකොට ජනාධිපතිතුමනි, සරසවි ඇදුරන්ගේ වැටුප් ප්‍රශ්නයට මොකක්ද දෙන විසඳුම” තවත් පුවත්පත් කතුවරයෙක් විමසීය.

”කෙළින්ම කියන්ඩ ඕනේ. එක් අයකුට ලක්ෂ දෙකක පඩියක් දෙන්ඩ බැහැ. එහෙම දුන්නොත් වෙනත් පාර්ශ්ව මගෙන් ප්‍රශ්න කරන්න පටන් ගනීවි. ජනාධිපති ලේකම්තුමාට තියෙන්නෙත් ඒ අයටත් වඩා හුඟක් අඩු පඩියක්. මං හිතන්නේ සරසවි ප්‍රශ්නය ඉක්මනටම ඉවර වේවි. එස්.බී.ගේ ගෙදර සාදයක් තිබුණා කියලත් ආරංචියි” ජනාධිපතිතුමා කියා සිටියේය.

ඉන් පසුව මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනගැනීමට අවශ්‍ය වීී තිබුණේ චැනල් ෆෝ රූපවාහිනිය විකාශය කළ ව්‍යාජ වාර්තා චිත්‍රපටය ගැනයි. “ඒ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ව්‍යාජ රූප රාමු යොදලා හැදූ චිත්‍රපටයක් කියලා ඔප්පු වෙලා තියෙනවා.” ජනාධිපතිතුමා කියා සිටියේය.

”ඒක ඇත්ත ජනාධිපතිතුමනි, අපිත් ඒක පිළිගන්නවා. නමුත් ඒ ව්‍යාජ වීඩියෝ පටයට විරුද්ධව ආණ්ඩුව මොකද කරන්නේ” මාධ්‍ය ආයතන ප්‍රධානීහු විමසා සිටියහ.

”ඇත්තටම සත්‍ය තත්ත්වය ලෝකයාට කියන්ඩ අපි වාර්තා 2ක් පිළියෙල කරමින් ඉන්නවා. එකක් තමයි මානුෂීය මෙහෙයුමේදී ත්‍රස්තවාදීන්ට එරෙහිව කළ සංග්‍රාමය මොහොතේ මොනවාද වුණේ කියලා සහ ඒ කාලසීමාවේදී සිදුවූ මානුෂීය සිදුවීම් ගැන. එතකොට ලෝකයට සත්‍යය තවත් තහවුරු වේවි” ජනාධිපතිතුමා කීවේය.

”ජනාධිපතිතුමනි, මේ වෙනකොට සහල්වල ආසනික් තියෙනවා කියලා සමහරු කියනවා. එතකොට කාර්මික තාක්ෂණික ආයතනය කියනවා එහි සත්‍යතාවක් නැහැ කියලා. ඇයි පරස්පර විරෝධී මත ඉදිරිපත් වෙන්නේ” මාධ්‍ය ආයතන ප්‍රධානීහු ජනාධිපතිතුමාගෙන් විමසා සිටියහ.

”කාර්මික තාක්ෂණික ආයතනය ඒ කියන්නේ අයි.ටී.අයි ආයතනයේ නිගමන අපි පිළිගන්නවා. ඒ ආයතනය විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා සහල්වල ආසනික් නැහැ කියලා. හැබැයි කවුරු මොනවා කීවත් නැතත් මම නම් බත් කනවා. රතු බත්” ජනාධිපතිතුමා මාධ්‍ය ආයතන ප්‍රධානීහු හමුවේ කියා සිටියේය.

ඉන්පසුව මාධ්‍ය ආයතන ප්‍රධානීහු තවත් වැදගත් ප්‍රශ්නයක් ජනාධිපතිතුමාට ඉදිරිපත් කළහ. ඒ 2018 වසරේදී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ගැනය.

”ජනාධිපතිතුමනි, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට අති විශාල මුදලක් වැය වෙනවා නේද” මාධ්‍ය ආයතන ප්‍රධානීහු විමසා සිටියහ.

”ඇත්තටම මතුපිටින් නොබලා ඒ ගැන හැමෝම ගැඹුරින් බැලුවොත් හොඳයි. අපේ අරමුණ ක්‍රීඩා නගරයක් සහ සංචාරක පුරවරයක් බවට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන ප්‍රදේශය සංවර්ධනය කරන්නටයි. එතකොට ඒ ප්‍රදේශයේ ඉදිකෙරෙන යටිතල පහසුකම් ගත්තොත් මහාමාර්ග හෝටල් වගේ දේවල් දීර්ඝකාලීන ආයෝජන. ඒවා ඉදිකරන්නේ පෞද්ගලික සමාගම්. ඒ නිසා ඒ සියලුම වියදම් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට යොදවන මුදල් විදියට නෙමෙයි රටේ සංවර්ධනයට යොදන මුදල් විදියට හිතන්ඩ ඕනේ” ජනාධිපතිතුමා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට පැහැදිලි කළේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශට පසුගිය බ්‍රහස්පතින්දා අලුයම 4.00 ට පමණ ලැබුණු හදිසි දුරකථන ඇමතුමකින් කියැවුණේ, කඩුවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රබලයකුගේ මෙහෙයවීමෙන් පැමිණි මැර කණ්ඩායමක් සිදු කළ ප්‍රහාරයක් පිළිබඳවය.

පසුගියදා කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක දිවි නැඟුම වැඩසටහනේ තවත් අදියරක් හඳුන්වා දීම සහ ඊට සමගාමී වෙළෙඳ ප්‍රදර්ශනය පැවැත්වුණේ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේදීය.

මේ සියලු කටයුතු සිදු වූයේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අවස්ථාවට අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ, කම්කරු අමාත්‍ය ගාමිණී ලොකුගේ, විද්‍යා හා තාක්‍ෂණ ඇමැතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි, නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මැති ඇමැතිවරු එක්ව සිටියහ.

මෙහිදී රැස්ව සිටි ජනතාව අමතමින් බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා අදහස් දක්වන අයුරු යාබද අසුන්වල වාඩි වී සිටි විමල් වීරවංශ හා බැසිල් රාජපක්‍ෂ යන මහත්වරු සාවධානව අසා සිටියහ.

”ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය සඳහා කටයුතු කළ බැසිල් රාජපක්‍ෂ මැතිතුමාට මගේ ස්තූතිය. එසේම තාක්‍ෂණ හා පර්යේෂණ ක්‍ෂේත්‍රයේ කටයුතු සඳහා දැක්වූ සහයෝගයට පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිතුමියට විශේෂ ස්තූතිය...” යනාදි වශයෙන් පවසමින් බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා සිය කතාව සිදු කරමින් යන විට විමල් වීරවංශ ඇමැතිවරයා බැසිල් රාජපක්‍ෂ මහතට කීවේ “බලන්න බැසිල් ඇමැතිතුමා, මම හෝමාගමට නිවාස ගම්මානයකුත් ලබා දෙන්නයි කටයුතු කරන්නේ. ඒත් බන්දුල ඇමැතිතුමාට මාව අමතක වෙලානේ කියාය.

සිය කතාව අවසන් කර අසුන් ගත් බන්දුල ඇමැතිවරයාගෙන් මේ ගැන බැසිල් ඇමැතිවරයා විමසූ විට, බන්දුල ඇමැතිවරයා පැවසුවේ “අනේ මට අමතක වුණානේ” කියාය.

කොළඹ යුගයේ කවි සම්ප්‍රදායේ පුරෝගාමියා ලෙස සැලකෙන සාගර පලන්සූරිය මහතාගේ 50 වන මතක සැමරුම පසුගිය 27 වැනිදා මරදාන ටවර් රඟහලේදී පැවැත්විණි.

මේ මතක සැමරුමට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ ඉදිකිරීම්, ඉන්ජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශයි. එහිදී ‘කේයස් පද්‍යාවලිය’ නම් වූ ග්‍රන්ථය එළි දැක්වුණු අතර එහි මුල් පිටපත විමල් වීරවංශ ඇමැතිවරයාට පිළිගැන්වූයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි ලක්විජය සාගර පලන්සූරිය විසිනි. මෙහිදී විමල් වීරවංශ සිදු කළ දේශනය කාගෙත් සිත් ගත්තේය.

”අප සමාජය සංස්කෘතික සෝදා පාළුවකට ලක්ව තිබෙනවා.

අද එෆ්.එම් නාලිකා බොහොමයක් රසඥතාව මොටකරගත් දරු පරපුරක් බිහි කිරීමට දායක වෙනවා. එදා කවිය විශාල සමාජ මෙහෙවරක් ඉටු කළා. ශික්‍ෂණයක් සහිත ඉහළ රසඥතාවයෙන් යුත් පරපුරක් බිහි කිරීමට අද දවසේ කේයස් පද්‍යාවලිය වර්තමාන පරපුර අතරට අප රැගෙන යා යුතුයි. එය රසඥතාව මොට කර ගත් පිරිස ඉහළ රසඥතාවයකින් යුත් පිරිසක් බවට පත් කිරීමට පිටිවහලක් වේවි.” විමල් එහිදී කියා සිටියේය.

පසුගිය සති අන්තයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන හතරක සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාවන්ට සහභාගී විය.

රුපියල් ලක්ෂ 2550 ක වියදමින් රත්නපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස හතරක මාර්ග කාපට් ඇතිරීමේ එම වැඩපිළිවෙළ ආරම්භ වූයේ කොලොන්න මැතිවරණ කොට්ඨාසයේ ගඟේ යාය ප්‍රදේශයෙනි.

උත්සවය ආරම්භවීමට නියමිතව තිබුණේ උදැසන 9.30 ටය. සිරිත් පරිදි නියමිත වේලාවට පෙර පළමුවෙන්ම එම ස්ථානයට ළඟා වූ සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් බැසිල් රාජපක්ෂ මහතා එනතුරු ඉතිරි කාලය වැය කළේ මැතිවරණය පැවැත්වීමට නියමිත ඇඹිලිපිටිය නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් රැසක් මුණගැසීමටය. මැතිවරණ ව්‍යාපාරයේ අඩුපාඩු සොයා බලමින් ඇතැම් ගැටලුවකට ඒ මොහොතේම විසඳුම් ලබා දීමටද මහීපාල හේරත් ඉදිරිපත් විය.

මාර්ගය කාපට් ඇතිරීමේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා අමතමින් කොලොන්න මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනී රෝහණ කොඩිතුවක්කු සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අති බහුතරයකින් සමන්විත ගඟේ යාය ප්‍රදේශය දීර්ඝ කාලයක් පුරා පුංචි අත්තනගල්ල ලෙස ප්‍රසිද්ධ බවය.

”එහෙනම් පුංචි බෙලිඅත්ත කිව්වත් වරදක් නෑ නේද මන්ත්‍රීතුමා” බැසිල් රාජපක්ෂ ඊට ඌන පූර්ණයක් එක් කළේය.

”ඇයි පුංචි ගම්පහ කිව්වත් වරදක් නෑ නේද” පවිත්‍රා වන්නි ආරච්චිත් තවත් අර්ථකථනයක් එක් කළාය.

පළමු උත්සවයෙන් පසු සෙසු උත්සව පැවතියේ නිවිතිගල, කලවාන සහ රත්නපුර යන මැතිවරණ කොට්ඨාසවලය. බැසිල් රාජපක්ෂ පැමිණි ගුවන්යානයේ සියලු මැති ඇමතිවරුන්ට ප්‍රමාණවත් අසුන් නොවිණි. එහෙත් සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් “නංගී චොපර් එකෙන් යන්න” යැයි සඳහන් කරමින් සිය ගුවන් යානා අසුන පවිත්‍රා වන්නිආරච්චිට පරිත්‍යාග කළේය.

රඹුක්කන දියසුන්නත කීර්ති ශ්‍රී රාජසිංහ රාජමහා විහාරයේ මිහිදු ;පරහර යෙදී තිබුණේ පසුගිය 25 වැනිදාය. මහනුවර සමයට අයත් මේ රාජමහා විහාරස්ථානයට හූවක දුරින් පින්නවල අලි අනාථාගාරය පිහිටා ඇතත් එම පෙරහරද අලි ඇත් හිඟයට මුහුණ දෙයි. මෙවර පෙරහරේ අතේ අතැගිලි ගාණටත් අඩු අලි ඇත් ගණනට අමතරව අලි ආකෘතියක් ද පෙරහට ඇතුළත් කර තිබුණේ එම අලි හිඟය සංකේතවත් කරන්නට මෙනි.

කෙසේ වෙතත් වාහනයක සවි කළ අලි අනුරුවක්ද සහිතව ගමන් ගන්නා පෙරහර බලන අතරතුර මහ ඇමති මහීපාල හේරත් අමතමින් විහාරාධිපති කොටගම චන්දරතන නාහිමි සඳහන් කළේ එදා කලුගල්ල මහත්තයා වෑවලදෙණිය පන්සලට ලබා දුන් ඇතා නැති කලෙක කෑගලු දිස්ත්‍රික්කයේම පෙරහරවල් අලි ගැටලුවකට මුහුණ පෑමට සිදු වන බවය.

පින්නවල අලි අනාථාගාරයේ අලි සියයක් විතර ඉන්නවා. ඒත් අල්ලපු වැටේ පන්සලේ පෙරහරේ කාඩ්බෝඩ් අලි ගෙනියන්න වෙලා.

චන්දරතන නාහිමිගේ මැසිවිල්ල අනුමත කරමින් තවත් හිමිනමක් පැවසූහ. එහෙත් හිමිවරුන්ගේ අලි ඉල්ලුම පිළිබඳ මුනිවත රැක්කා මිස මහීපාල හේරත් වචනයක්වත් ඒ ගැන කතා කළේ නැත.

පසුගිය වෙසක් පෝ දින මාවනැල්ල පෙරහරේ අලි කුලප්පුව සිහිපත් කරමින් රඹුක්කන පෙරහර අවසානයේ ද ඇතින්නක් කුලප්පු වූවාය.

ඒ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් පෙරහරේ ගමන් කරමින් සිටි අතර මහ ඇමැතිවරයාට මේ සිද්ධිය ආරංචි වූයේ පෙරහර නරඹා සිය නිවෙස වෙත එමින් සිටියදීය.

කුලප්පු වූ ඇතින්න මේච්චල් කරන්න මං එන්නද මහ ඇමැතිවරයා සිය පුත් කනක හේරත්ගෙන් ඇසීය.

”ඕනැ නෑ දැන් අපි කුලප්පු වෙච්ච අලියා නිර්වින්දනය කරලා බැන්දා” කනක හේරත් කීය.

”ඉඳහිටලා හතරගාත් අලියෙක් කුලප්පු වෙනවා මිස දැන් කකුල් දෙකේ අලින්ගෙන් කරදරයක් නැහැ.” මහීපාල හේරත් සිනා සෙමින් අවට සිටියවුන්ට කියා යළි ගමන ආරම්භ කළේය.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශූර ගොවියා තේරීමේ තරගයේ ප්‍රධාන අමුත්තා වශයෙන් ආරාධනා ලැබ සිටියේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතායි. ඔහු එහි යන විට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට පනහක හැටක පිරිසකගේ උද්ඝෝෂණයකි. ඒ රසායනික පොහොර භාවිතයට එරෙහිවය. උත්සවයට යාම මදක් පමා කළ අමාත්‍යවරයා උද්ඝෝෂකයන් හමුවට ගියේය. උද්ඝෝෂණයට හේතුව විමසුවේය. පොහොර භාවිතයට එරෙහිව උද්ඝෝෂණ පැවැත්විය යුත්තේ කරුණු දැනගෙන බව අමාත්‍යවරයා ඔවුන්ට පෙන්වා දුන්නේය. රජය පොහොර සහනාධාරය ලබාදීම නිසා අද රට සහලින් ස්වයංපෝෂිත වී ඇති බව ද පොහොර යෙදීමට එරෙහි මෙවැනි ව්‍යාපාරවල ප්‍රතිඵලය වන්නේ යළිත් වරක් සහල් රටින් ගෙන්වීමට සිදුවන තත්ත්වයක් උදාවීම යැයි ද පෙන්වා දුන්නේය.

වී සහ අනෙකුත් වගා සඳහා පොහොර අත්‍යවශ්‍ය දෙයක් බව ද එයට විකල්පයක් ලොව කොහේවත් හොයා ගෙන නැතැයිද ඔහු පෙන්වා දුන්නේය. කාබනික පොහොර යොදාගත හැක්කේ සීමා සහිතව බවද ඔහු ප්‍රකාශ කළේය. ඒ සමඟම උද්ඝෝෂකයන් සෙමින් පිටව යනු පෙනුණි.

එම සිදුවීම උත්සව අවස්ථාවේදී අමාත්‍යවරයාගේ සිතේ සටහන්වී තිබෙන බව පෙනුණි. අමාත්‍යවරයා තම කතාවේදී මෙසේ ප්‍රකාශ කළේය.

”ගොවිතැන ගැන කතාකරද්දී මට මතක්වුණා අපේ ගමේ මැදමුලන පාසලේ විදුහල්පතිතුමා මා හා ජනාධිපතිතුමා සමඟ කී කතාවක්.

එම පාසලේ හතර වසරේ ළමුන්ට පන්තිභාර ගුරුතුමා දවසක් කියලා තියනවා ගොවියාගේ හතුªරෝ දෙදෙනෙක් නම් කරන්න කියලා. එහිදී එක් ළමයෙක් පිළිතුරු ලියා ඇත්තේ ගොවියාගේ ප්‍රධාන හතුරන් වන්නේ රළුවෙ රාළහාමි හා වැව් විදානේ මහත්තයා යනුවෙන්. මෙහිදී අර ළමයගේ මවුපියන් සෑම දෙනාටම අයිති අඳ ඉඩමක සේවය කරන නිසා මෙවැනි පිළිතුරු ලියන්න ඇතැයි සිතනවා. කෙසේ නමුත් අද අපි මේ ප්‍රශ්නය ගොවියාගෙන් හතුරන් ගැන ඇහුවොත් හතුරො ගොඩක් ඉන්නවා කියල ඔවුන් කියනවා. සෑමවිටම ගොවියා නියඟය, ගංවතුර, වල්පැළෑටි, වෙළෙඳපොළ ආදී වූ කරුණු නිසා අසරණ වෙනවා. ඒ නිසා මම අද මේ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ඉතා අමාරුවෙන් හිස ඔසවන ගොවියාට හතුරු වන්න හදන්න එපා.

පොහොර භාවිතයට එරෙහිව, බත් කෑමට එරෙහිව එන සතුරු ව්‍යාපාර අප විසින් හොඳින් හඳුනාගත යුතුයි.” ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ පසුගියදා විවාහ දිවියට ඇතුළත් විය. ඔහුගේ අතගත් මනාලිය වූයේ සෙව්වන්දි ලියනආරච්චි මෙනවියයි. එම විවාහ මංගල උත්සවය පැවැතියේ කොළඹදීය. මේ විවාහ මංගල උත්සවයේ ද මතට තිත අකුරටම ක්‍රියාත්මක වී තිබිණි. මංගල උත්සවයට මැති ඇමැතිවරුද සහභාගි වී සිටියහ. ඒ අතරට ශ්‍රී.ල.නි.ප මහලේකම් මෛත්‍රිපාල සිරිසේන, ශ්‍රී.ල.නි.ප භාණ්ඩාගාරික ඇමැති ඩලස් අලහප්පෙරුම සහ ඇමැතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ, චම්පික රණවක, රාජිත සේනාරත්න ඇතුළු මැති ඇමැතිවරු සහභාගී වී සිටියහ.

මේ විවාහ මංගල උත්සවයට සහභාගී වූ විදේශීය රටවල ඇතැම් පිරිස් ජනාධිපතිතුමා සමඟ ඡායාරූප ගැනීමට පොර කෑහ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයේදී මනාලයාගේ පාර්ශ්වයෙන් ජනාධිපතිතුමා ද මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනියද සාක්ෂියට අස්සන් තැබූහ.

කථානායක චමල් රාජපක්ෂ මහතා, ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පවුලේ ඥාතීහු මේ විවාහ මංගල උත්සවයට සහභාගී වූහ.

ගිය සතියේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්විය. එහිදී විශේෂයෙන් ම සාකච්ඡා වූයේ උතුරු නැඟෙනහිරට ලබා දෙන දේශපාලන විසඳුම යෝජනා කිරීමේ පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳවය.

”බලය බෙදා හදා ගැනීම කියලා වචනයක් මොනම අවස්ථාවකදී හෝ ඇතුළත් නොවිය යුතුයි.” ඇමැති විමල් වීරවංශ කැබිනට් රැස්වීමේදී කියා සිටියේය. “ඔව් ඔව් ව්‍යවස්ථා සංශෝධනයක් යටතේ බලය බෙදා දීම සිදුවිය යුතුයි යන්නයි සිදුවිය යුත්තේ ඇමැති චම්පික රණවක ද ඇමැති විමල්ගේ ප්‍රකාශය අනුමත කළේය.

උතුරු නැඟෙනහිරට දේශපාලන විසඳුමක් යෝජනා කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ගෙන එනු ලැබූයේ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා විසිනි.

මේ අතර කැබිනට් මණ්ඩලයේදී ධීවර ඇමැති රාජිත සේනාරත්න ජනාධිපතිතුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එනම් උතුරු නැඟෙනහිර පළාත්වල ව්‍යාපාරිකන් කිහිප දෙනකුගේ මූලිකත්වයෙන් ට්‍රෝලින් ක්‍රමය භාවිතා කරමින් මසුන් ඇල්ලීම සිදු කරන බවය.

“මේ නිසා ජනාධිපතිතුමනි යාපනයේ ධීවර පවුල් 2000 ක් විතර පාඩු ලබනවා. ඒ ටෙ‍්‍රීලින් කරන 60 දෙනකු නිසා. ඊළඟට මන්නාරමේ ට්‍රෝලින් කරන 60 දෙනකු පමණ නිසා ධීවර පවුල් 4000 ක් විතර අසරණ වෙලා තිබෙනවා. ට්‍රෝලින් මඟින් මාළු ඇල්ලීම තහනම් කරනවා නම් වටිනවා.” ඇමැති රාජිත සේනාරත්ක කියා සිටියේය.

”ඔය ට්‍රෝලින් මගින් මසුන් අල්ලනවාට මාත් විරුද්ධයි. දැනට වසර කීපයකට පෙර හලාවත ට්‍රෝලින් මගින් මසුන් මැරීම තහනම් කරන්න හැදුවා. නමුත් විවිධ අයගේ ඉල්ලීම් නිසා බැරි වුණා.” ජනාධිපතිතුමා කියා සිටියේය.

ඉන් පසුව කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කැබිනට් රැස්වීම නිමා වීය.

ගිය සතියේදී බස්නාහිර පළාත් මන්ත්‍රී චන්ද්‍රසෝම සරණලාල් විශේෂ එ.ජා.ප. ක්‍රියාකාරීන්ගේ හමුවක් සංවිධානය කොට තිබිණි. ඊට එ.ජා.ප. නියෝජ්‍ය නායක කරු ජයසූරිය, මහ ලේකම් තිස්ස අත්තනායක, ජාතික සංවිධායක රවි කරුණානායක සහ ජෝශප් මයිකල් පෙරේරා සහභාගි වී සිටියහ. මේ ජනහමුව පැවැතියේ ලක්ෂාන් තලාවේගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය ලබාදීම වෙනුවෙනි.

ගිය සඳුදා රාත්‍රියේදී කොළඹ ප්‍රධාන ව්‍යාපාරිකයකුගේ දියණියකගේ විවාහ මංගල උත්සවයක් පැවැත්විණි. එහිදී මනාල යුවළ වෙනුවෙන් සාක්ෂියට අස්සන් කළේ එ.ජා.ප. මහලේකම් තිස්ස අත්තනායක සහ අගමැති දි.මු. ජයරත්න මහතාය.

ඉන්පසුව ගිය අඟහරුවාදා අලුයම එ.ජා.ප. නායකයා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට පෙර එ.ජා.ප. නියෝජ්‍ය නායක කරු ජයසූරිය එ.ජා.ප. වැඩබලන නායකයා ලෙස පත් කළේය.

මේ අතර එ.ජා.ප. වැඩබලන නායක කරු ජයසූරිය ගිය සතියේ පුවත්පත් කතුවරු සහ මාධ්‍යවේදීන් පිරිසක් හමුවුණේය. ඒ කොළඹ අමරසේකර මාවත නිවසේදීය එහිදී එ.ජා.ප. වැඩ බලන නායකයා පුවත්පත් කතුවරුන් දැනුම්වත් කළේ තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවේදී පරාජය වීම ගැනය.

”ඉසුරු සවිය” සමූපකාරයට නෛතිකතාවය ලැබී සියවසරක් පිරීම නිමිත්තෙන් සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය මඟින් කුරුණෑගල මාලිගාපිටියේදී දැවැන්ත වෙළෙඳ ප්‍රදර්ශනයක් සංවිධානය කළේය.

පසුගිය 28 දා එම ප්‍රදර්ශනය මාලිගාපිටියේ දී ආරම්භ වූයේ අගමැති දි.මු.ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිතුමාගේ සහභාගිත්වයෙනි.

උත්සවයේ සමූපකාරය වෙනුවෙන් අපූරු ගීතයක් නිර්මාණය කර තිබිණි. උත්සවය අවසානයේ තේපැන් සංග්‍රහයට අගමැතිතුමා, ජොන්ස්ටන් ඇමැතිතුමා සහ අනෙකුත් පළාත් අමාත්‍යවරු සහභාගි වූහ.

”බොහොම අපූරු සිංදුවක්නෙ. සමූපකාරය තරුණ වෙලා වගෙයි. පළාත් සමූපකාර අමාත්‍යවරු අගමැතිතුමාට සහ ජොන්ස්ටන් ඇමැතිතුමාට පැවැසීය.

”ඔව් සමූපකාරය තරුණ කරන්නනේ මේ වගේ තරුණ ඇමැති කෙනෙකුට සමූපාකාරය බාර දීලා තියෙන්නෙ. තවත් පළාත් ඇමැතිවරයෙක් ප්‍රකාශ කළේය.

”නෑ ඇත්තෙන්ම මේක හරිම ලස්සනට සංවිධානය කරලා තිබුණා. නව ලෝකෙට ගැළපෙන සමූපකාරයක් ගොඩනඟන්න මුල් අඩිතාලමට හොඳ ප්‍රවේශයක්” අගමැතිතුමා ද කතාවට එක්විය.

”ඔව් මේක හරියට මඟුල් ගෙදරක් වගේ. ජොන්ස්ටන් ඇමැතිතුමා ප්‍රකාශ කළේය. ”ඒ ඇයි” පළාත් සමූපකාර ඇමැතිවරයෙක් විමසීය. ”නෑ දෙයක් ගොඩගන්නකොට ආයෝජනයක් නොකර බෑ.

අනෙක මඟුල් ගෙදරක් කියන්නෙ ජීවිතයේ නැවත ආරම්භයක්. ඉතින් මේක සමූපකාරයට ඉදිරියට යන්න, නවලොවට ගැළපෙන පරිදි ගිහින් ජනතාවට ළංවෙන්න හොඳ අවස්ථාවක්” ජොන්ස්ටන් ඇමැතිවරයා කීවේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]