කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
මොකක්ද මේ සුනඛ දේශපාලනය

මොකක්ද මේ සුනඛ දේශපාලනය

දේශපාලනයට විවිධ විශේෂණ පද තිබේ. ධනවාදී දේශපාලනය, මාක්ස්වාදී දේශපාලනය, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය, ඒකාධිපති දේශපාලනය ආදී විශේෂණ මේ වනවිටත් එක්වී තිබේ.

එහෙත් සුනඛ දේශපාලනය යන්න මේ තාක් අසන්නට ලැබුණේ නැත. සුනඛ දේශපාලනය යන්න පළමු වතාවට පිටවූයේ සජිත් ප්‍රේමදාස මහතාගේ මුඛයෙනි. ප්‍රේමදාස පරම්පරාව මැනැවිත් මුඛය පාවිච්චි කිරීමට සමත් එකකි. රණතුංග පවුල හෝ වෙත්තමුණි පවුල බැට් එකට දක්ෂ වන්නාක් ලෙසින්ම ප්‍රේමදාස පවුල මුඛයට දක්ෂතා පෙන්වයි.

එහෙයින් සියලු දේශපාලන විශේෂාංග අතරට “සුනඛ” යන විශේෂාංගය සජිත්ගෙන් එකතුවීම පිළිබඳව විස්මයට පත්විය යුතු නැත. එවැනි ශ්‍රී මුඛවලින් සුනඛ වැනි නව යෙදුම් පිටවෙයි.

එහෙත් සුනඛ දේශපාලනය යන්නෙහි අරුත කිම?

ප්‍රඥාගෝචරව විමසුමට ලක්විය යුත්තකි. වැරැදි අරුත් සපයන්නන් භාෂාව පමණක් නොව දේශපාලනය ද විනාශ කරන බැවිනි.

සුනඛයා කියන්නේ බල්ලාටය. ඇතැම් වැදගත් මහත්වරු “බල්ලා” යන්න වෙනුවට “සුනඛයා” යන්න පාවිච්චි කරති. ඒ බල්ලා තමන්ගේ වැදගත්කමට නොගැළපෙන බැවිනි. එහෙත් තමන්ට සුනඛයා කියන බව බල්ලෝ නොදනිති. “දුඞ බල්ලා” කියූ විට වල්ගය දෙපරංශය අස්සෙ ගසාගෙන දුවන බල්ලා “යව සුනඛයා” යැයි කියූ විට නොදුවා කියන්නාගේ මුඛය දෙස බලාගෙන සිටී. ඒ බල්ලාගේ අකීකරුවීමක් නිසා නොවේ. බල්ලාට ඒ බස නොවැටහෙන බැවිනි.

බලු වැඩ කියා කියන්නේ කැත වැඩවලටය. “බලු වැඩ කරන්ඩ එපා මිනිහෝ” කියා කියන්නේ යම් කෙනෙක් එවැනි ජරා වැඩක් කළ විටය. එහෙත් ඒ වෙනුවට “සුනඛ කාර්යයන් නොකරන්න” කියා කියූ විට අර තරම් ගතියක් හෝ ගැම්මක් නැත.

ඒ නිසා සජිත් කියන්නාවූ සුනඛ දේශපාලනය යන යෙදුම ගැන ද වියත් බස් වැද්දන්ගෙන් වැඩි තොරතුරු සොයා යාම අපතේ යන්නක් නොවේ.

සුනඛ දේශපාලනය කිරීමට දේශපාලනයේ සුනඛයින් සිටිය යුතුය. එනම් බලු දේශපාලනයක් කිරීමට දේශපාලනයේ බල්ලන් සිටිය යුතුය, යන්න එමඟින් ගම්‍ය වෙයි.

දේශපාලනයේ යෙදී සිටින්නෝ ටයිකෝට් හෝ කපටි සූට් අඳිති. කලිසමට උඩින් කපටි උඩ කොටස ඇඳගත් විට එය කපටි සූට් නමින් හැඳින්වෙයි. ඉස්සර මේවා ඇන්දේ රෙස්ටුරන්ට්වල වේටර්ලාය. එහෙත් දැන් මන්ත්‍රීවරු ද පාර්ලිමේන්තුවට යාමට අඳිති. සම්පූර්ණ ජාතික ඇඳුම අඳින්නේ හත් අට දෙනෙක් පමණි. රාජපක්ෂ පවුල කපටි සූට් නොඅඳිති. ජාතික ඇඳුම අඳිති.

මොනවා වුණත් රණසිංහ පේ‍්‍රමදාස මහත්තයා ඇන්දේ රෙද්ද බැනියම මිස කපටි සූට් එක නොවේ.

එක දවසක් රවි කරුණානායක මහත්තයා ද ජාතික ඇඳුමක් ඇඳගෙන පාර්ලිමේන්තු ගියේය. ලයිට් කණුවක්, සාරියක් ඇඳගෙන මඟුල් ගෙදරක ගියා වාගේ ය.

සුනඛ දේශපාලනයේ යෙදෙන සුනඛයන් ටයිකෝට්, කපටි සූට්, ජාතික ඇඳුම තබා අමුඩයක්වත් ගසන්නේ නැත. සුනඛයා යනු නිරුවතින් ම ඉපිද, නිරුවතින් ම දුවපැන ඇවිද, නිරුවතින් ම මියගොස් නිරුවතින් ම මිහිදන් වන සත්ත්ව විශේෂයක් බැවිනි.

එහෙත් සුනඛයන් දේශපාලනයට පැමිණි පසු වැදගත්කම ප්‍රදර්ශනය කරන්නට අර සූට්වලින් එකක් අඳිනවා දැයි සොයා බැලීම ද නරක දෙයක් නොවේ.

සජිත් මහත්තයා, සුනඛ දේශපාලනය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන අතරතුරම මීට පෙරත් ඔය සුනඛ විශේෂණය තම ශ්‍රී මුඛයෙන් වදාළේදැයි සිහිපත් කිරීම ද වටී.

කිසියම් කෙනෙක් රණසිංහ ප්‍රේමදාස මහතා මියගියේ මහ මඟ යැයි කියා සිටි විට “සුනඛයා” හෝ එවැනි සමාන වචන එතුමාගේ ශ්‍රී මුඛයෙන් පිටවූවාදැයි විමසා බැලීම නම් එතරම් ප්‍රයෝජනයක් ඇති දෙයක් නොවේ. මොනවා වුණත් ඒ කාටදැයි කියන එක නම් හාරා අවුස්සා බැලීමට නිරර්ථක දෙයක් නොවනු ඇත.

සුනඛ දේශපාලනයක් ගැන සජිත් මහත්තයා කතා කරන නමුදු වෘෂභ දේශපාලනයක් ගැන නම් කතා නොකරයි. වෘෂභයා යනු ගොනාය. කමතේ ගොයම් පාගන විට වෘෂභයා එකතැන කැරකෙයි. සෙක්කුවේ බැඳි ගොනා ද එකතැන කැරකෙනවා මිසක ගමනක් නම් නැත. සුනඛ දේශපාලනයක් ගැන තම විචාරක්ෂිය යොමු කරන සජිත් මහත්තයා වෘෂභ දේශපාලනයක් ගැන නොසිතන්නේ මන්දැයි කෙනකුට සිතුණොත් ඒ දේශපාලනයේ වැරැද්දක් ලෙසින් නොව වෘෂභයාගේ වැරැද්දක් ලෙසින් සැලකුව මනාය.

හොඳ වේලාවට වෘෂභයා මෙන්ම බූරුවා ද නිදහස් සතුන් මෙන් ජීවත් වෙයි. දෙදෙනාම දේශපාලනයෙන් නිදහස්ව ඇති බැවිනි.

දේශපාලනයට ගිය සුනඛයන් බලු තත්ත්වයට වැටුණත් බල්ලා ජරා සතෙක් නොවේ. ජපානයේ එක්තරා සුප්‍රකට නගරයක. දුම්රිය පොළක බල්ලකුගේ ප්‍රතිමාවක් ස්ථාපනය කර ඇත්තේ තම ස්වාමියාට එම බල්ලා දැක්වූ සෙනෙහසට උපහාර දක්වන්නටය. (ඒ කතාව අසා දැනගැනීම පහන් සංවේගය පිණිසම වන්නේය).

එවැනි සිවුපා සුනඛයන් දේශපාලනයට පිවිසියේ නම් අපේ දේශපාලනයට ද සැබෑ සුනඛ මුහුණුවරක් ලැබෙනු නිසැකය.

එහෙත් අපේ උදවිය මෙවැනි උතුම් සතකු ගැන නිතරම කතාකරන්නේ ලියන්නේ හුරහටය.

”බල්ලාට ඇති වැඩකුත් නැත. හෙමින් ගමනකුත් නැත” කියා කියමනක් ද තිබේ. තමුන්නාන්සේලාගේ කටට විවේකයක් ද නැත ඇති වැඩකුත් නැත” කියා යම් සුනඛයකු ප්‍රකාශ කළහොත් පිළිතුරු දීගන්නට නොහැකි බොහෝ දෙනකු අපේ දේශපාලනයේ සිටින බව නම් ඇත්තකි.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය යන යෙදුම හඳුන්වාදීමේ ඓතිහාසික ගෞරවය ඒබ්‍රහම් ලින්කන් තුමාට හිමිවන්නාක් මෙන්ම සුනඛ දේශපාලනය යන්න හඳුන්වාදීමේ ගෞරවය සජිත්තුමාට හිමිවෙයි.

එහෙත් ප්‍රශ්නය නම් “මේ දේශපාලන සුනඛයෝ කවරහුද?” යන්න කෙළින්ම කීමට තරම් කොන්දක් නොතිබීමය. එසේ වන වනා ගැසීමත් සුනඛ ක්‍රියාවක් නොවේදැයි කෙනෙකුට සිතෙන්නට ද පුළුවන.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]