කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
දිය ගොඩ ගුවනේ විකුම් යළි සිහිගන්වන දියකාවා මෙහෙයුම

දිය ගොඩ ගුවනේ විකුම් යළි සිහිගන්වන දියකාවා මෙහෙයුම

ශ්‍රී ලංකා භූමිය ත්‍රස්තවාදයෙන් මුදාගත් වීරෝදාර ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ දස්කම් විස්කම් සුරුවිරුකම් සැබැවින්ම මවා පෑ යුද බිමක් පසුගිය දා අපට සිලාවතුර මුල්ලියාන්කුලම් මුහුදු තීරයේදී දකින්නට ලැබිණ.

මන්නාරම නගරයට දකුණින් මහ වන මැදින් යා යුතු වූ මාර්ගයක් කෙළවර මුහුදු තීරයක පිහිටි සිලාවතුර දැන් සන්සුන්ය. එහෙත් එහි මුහුදු කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ඉතා දරුණුවට තිබුණු සමයේ මේ ප්‍රදේශය ඔවුන්ගේ තෝතැන්නක්ව තිබිණ.

2007 සැප්තැම්බර් 2 දින ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකාය විසින් මේ ප්‍රදේශය මුදා ගනිමින් වයඹදිග කොටි බලය සුන් කිරීමේ වැඩ ඇරැඹීය.

අප පසුගිය දා එහි ගියේ සිලාවතුර මුහුදේ අපේ නාවික හමුදා විරුවන්ගේ දස්කම් මෙන්ම ගුවන් හමුදා නැවියන්ගේ හා යුද හමුදා කොමාන්ඩෝ භටයන්ගේ ද සුරු විරුකම් නැවත දැකගන්නටය.

කපිතාන් ඩි. කේ. පී. දසනායක ගේ මෙහෙයවීම යටතේ සිලාවතුර මුහුදේ ‘ශක්ති’ නෞකාව ඈත මුහුදේ නවතා තිබුණේ තවත් නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බළඝනයත් (SBS) ක්ෂණික විහිදුම් යාත්‍රා බළඝනයත් පිරිවරා ගෙනය.

දෙස් විදෙස් හමුදා නිලධාරීන් මෙහෙයුම නරඹමින්

විශේෂ යාත්‍රා බළඝනයට නායකත්වය දුන්නේ කපිතාන් පි‍්‍රයන්ත පෙරේරාය. ක්ෂණික විහිදුම් යාත්‍රා බළඝනය පැවතියේ කමාන්ඩර් නලින් ජයසිංහ යටතේය.

ඔවුන් මේ එන්නේ රතු හමුදාව නමින් හඳුන්වන සතුරු බළකොටුව අල්ලා ගැනීමටය. ඔවුන් සිය යාත්‍රාවල නංවාගෙන එන්නේ කොමාන්ඩෝ බළකා සෙබළුන්ය.

රතු හමුදාවේ බළකොටුව අල්ලා ගැනීමට නිල් හමුදා සෙබළුන් කරන සටනක් ලෙසින් හැඳින්වූ මෙය ‘දියකාවා’ මෙහෙයුම නම් වේ.

මුහුදේ නාවික සැතපුම් 37 ක් ඈත සිට කපිතාන් ඩී. කේ. පී. දසනායක ගෙන ආ ශක්ති නැව වෙරළට මීටර් 700 ක් පමණ ළංවෙද්දී විශේෂ යාත්‍රා බළඝනය හා ක්ෂණික විහිදුම් බළඝනයේ ආ සෙබළු ඒවායින් ගොඩබිමට පැන ගත්තේ නියම යුද මෙහෙයුමක් මවා පාමිනි. ඔවුන් අතින් සුළු හෝ වරදක් වීමට ඉඩක් නොතිබිණි.

සෙබළු 500 ක් පමණ රතු හමුදා බංකර් පෙළට වෙඩි තබමින් ගොඩබිමට බැස ඒවා වටළමින් ඉදිරියට ගියහ.

මේ අතර ඉහළ අහසේ ගිගුරුම් හඬක් ඇසිණි. ඒ ඈතින් ආ කෆීර් යානාවකි. සතුරු ඉලක්ක ඉහළින් වරක් දෙවරක් ගිය යානාව එක්වරම පහත් වී තෝරාගත් ඉලක්කවලට බෝම්බ හෙළුවේ පළාතම දෙවනත් කරමිනි.

ඊට අමතරව ක්ෂණිත විහිදුම් යාත්‍රා බළඝනයේ ඇරෝ බෝට්ටුවල තුවක්කු ද මුහුදේ සිට ගොඩබිම ඉලක්ක වෙත එල්ල වූයේ සතුරන් බිය ගන්වමිනි.

ගුවනින් මුහුදෙන් සතුරු ඉලක්ක කරා

එම්. අයි. 24 ප්‍රහාරක හෙළිකොප්ටර් යානාවක් ද ඈත කුදිරමලේ තුඩුව දෙසින් අහසේ දිස්විය. එය ද සතුරු ඉලක්ක වෙත බෝම්බ හෙළමින් අහසේ කැරකිණි. ඊළඟට සතුරු බංකර් වටලා කොමාන්ඩෝ භටයන් පහර දුන්නේ කර්නල් ලලන්ත ගමගේ ගේ නායකත්වයෙනි. ඔහු අවසන් සටනේ දී සතුරන්ට හිසරදයක් වූ දක්ෂ යුද සෙනෙවියෙකි.

ත්‍රිවිධ හමුදාවෙන්ම 2500 ක් වූ භට පිරිසක් මේ පුහුණු මෙහෙයුමට දායක වූහ. ඉන් 1600 ක්ම කොමාන්ඩෝ භටයන්ය.

සටනේ දී භටයන්ට අතිරේක සේනා එක්කිරීම ද සටනට නව ජීවයක් ගෙන දෙන කරුණකි. මේ අනුව එම්. අයි. 17 හෙලිකොප්ටර් මඟින් සටනට අවශ්‍ය අතිරේක භටයින් ප්‍රවාහනය කළේය. ඒ මහ වන මැද ඉහළ අහසේ නවතා තැබු හෙලිකොප්ටරයෙන් ලණු දිගේ භටයන් පහළට බැසීමෙනි.

රාත්‍රි කාලයේදී කරනු ලබන තවත් මෙහෙයුමක් අපට දකින්නට ලැබුණේ ඉන් අනතුරුවය. වයි. 12 අහස් යානාවලින් පැරෂුට් මඟින් කොමාන්ඩෝ භටයන් මහ වන මැදට බස්සවනු ලැබීය.

නාවික යාත්‍රාවලින් කාලතුවක්කු ප්‍රහාර

මේ සියලු සිද්ධීන් සිදුවන අතරේ බීච් ක්‍රාෆ්ට් යානාව ඉහළ අහසේ ඔත්තු බලනු පෙනිණ.

පැයක පමණ කාලයක් ඇතුළත දී මුහුදින් අහසින් ගොඩබිමෙන් ආ මිත්‍ර පාක්ෂික නිල් හමුදාව විසින් රතු හමුදාවේ සියලු බංකර් සියතට ගනු ලැබීය.

සටන් බිමේදී තුවාල වන සෙබළුන් කර තබාගෙන ආරක්ෂා ස්ථානවලට වහ වහා ගිය භටයෝ ඔවුන්ට ප්‍රථමාධාර දෙමින් සටන් බිමෙන් ඉවතට ගෙන ගියහ.

මා මෙතෙක් විස්තර කළේ පසුගිය 24 වෙනිදා සිලාවතුර මුල්ලියාන්කුලම් වෙරළ තීරයේ හා ඉන් ඔබ්බෙන් වූ මහ වන මැද සිදුවූ “දියකාවා” මෙහෙයුමයි.

දියෙන් ගොඩින් ගුවනින් සතුරු බළකොටුවකට වැදෙන කොමාන්ඩෝ භටයන් එය සුණු විසුණු කොට අත්පත් කරගන්නා අන්දම පසුගිය යුද සමයේදී ඇත්තටම සිදුවූ දෙයයි. යුද්ධයේ දී එල්ටීටීඊ නායකයන්ට මරු කැඳවූ මෙහෙයුමේදී අට දෙනාගේ කණ්ඩායම් වෙන් වෙන්ව ගොස් සතුරු බංකර් බිඳ දැමුවේ මේ ආකාරයෙනි.

මේ පිළිබඳව අපි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් උබය මැදවෙල මහතාගෙන් විමසීමු.

“අද උදෑසන ඔබ මේ දුටු දියකාවා මෙහෙයුම ත්‍රිවිධ හමුදාවේ ක්ෂේත්‍ර අභ්‍යාසයක්. මෙයින් සිදු කළේ භූමි ආක්‍රමණික භට පිරිස් නාවික හමුදා යාත්‍රා මඟින් ගොඩබිමට ගෙනැවිත් ගොඩබිම් ඉලක්කයන් වෙත ප්‍රහාර එල්ල කිරීමයි. විවිධ ක්‍රමෝපායන් මඟින් ගුවනින් හා මුහුදින් අවශ්‍ය ඉලක්කයට භටයින් ගෙනැවිත් භූමිය ආරක්ෂා කර ගැනීම සිදුවුණා. විශේෂ බළකා සෙබළුන් හා කොමාන්ඩෝ සෙබළුන් මඟින් මේ මෙහෙයුම සිදු කෙරුණි.

ඒ වගේ ම සතුරු භූමියට පිවිසෙන්නට පෙර ගුවනින් හා නාවික යාත්‍රා මඟින් සතුරු භූමියට ප්‍රහාර එල්ල කොට සතුරා බෙලහීනතාවයට පත් කළා. ඉන් පසුව ඒ ලබාදී තිබු ඉලක්කයන්ට පහරදී සතුරා පරාජයට පත්කරන අන්දමයි මෙහෙයුම මඟින් පෙන්නුම් කළේ. විශේෂයෙන්ම කුඩා කණ්ඩායම් ඉදිරියට ගොස් ඒ ප්‍රහාරයන් එල්ල කළා.

මෙයින් අප අදහස් කළේ විවිධ ක්‍රමෝපායන් භාවිත කරමින් භූමියේ ඉලක්කයන්ට පහරදීමට ත්‍රිවිධ හමුදාවන්ගේ ශක්තිය යළිත් උරගා බැලීමයි. සැලසුම වෙත ඔවුන් නිවැරැදිව යොමුවන ආකාරය මෙහිදී විශේෂයෙන් මැන බැලුවා. මෙම යුද අභ්‍යාස මඟින් බලාපොරොත්තු වුණේ යුද හැකියාව හා මේ අත්දැකීම් මඟින් හොඳ හා නරක විශ්ලේෂණය කරගන්නා අයුරු පරීක්ෂා කිරීමයි.”

පසුගිය 22 දා සිට 29 දා දක්වා සිලාවතුර හා මුල්ලියාන්කුලම් මුහුදු කඳවුර ඔබ්බෙන් වූ මහා වන මැද මේ යුද අභ්‍යාස විවිධ පියවර හා ක්‍රියාන්විතයන් ක්‍රියාත්මක විය.

මෙහිදී අප දුටු තවත් ක්‍රියාන්විතයක් වූයේ මහ වන මැද පිහිටි සතුරු බංකර් පෙළකින් යුතු කඳවුරක් වෙත හොර රහසේ හෙලිකොප්ටර් මගින් කොමාන්ඩෝ භටයන් ගොඩ බස්වා රහසේ ම එය වටකොට සතුරු බලය සුණු විසුණු කොට එය අත්පත් කරගන්නා අන්දමයි.

ඇත්තටම යුද බිමට ගිය බොහෝ පුවත්පත් කලාවේදීන්ට මෙය සිය අත්දැකීමක් අලුත් කරවන්නක් විය.

මහ වන මැද “රතු හමුදාව“ යනුවෙන් හැඳීන් වූ බංකර් වලින් වටවූ සතුරු බළකොටුවට නුදුරින් ර්ධ් 24 හෙලිකොප්ටරයක් මගින් කොමාන්ඩෝ භටයන් භූමියට ගෙන එන ලද අතර ඉන් පසු ඔවුහු අට දෙනාගේ කුඩා කණ්ඩායම් වශයෙන් සතුරු බළකොටුවට කඩා වැදුනහ. වෙඩි තබමින් සතුරු වෙඩි ප්‍රහාරයන්ට මුහුණ දෙමින් ඉදිරියට යද්දී ඔවුන් ට අවශ්‍ය අතිරේක භටයින් හෙලිකොප්ටර් මගින් යළිත් භූමියට බස්වන ලද්දේ කඹ ආධාරයෙනි.

ත්‍රාසජනක අත්දැකීම් වලින් පිරි මෙහෙයුම නැරඹීමට විදේශීය හමුදා නිලධාරීන් ද පැමිණ සිටීම විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකාවේ නේවාසික ඇමෙරිකානු යුද නිලධාරි ලෙප්ටිනන්ට් කර්නල් ලැරිස් ස්මිත් ප්‍රධාන කොට බ්‍රිතාන්‍ය පකිස්තානු හා ඉන්දියානු හමුදා නිලධාරීහු මේ මෙහෙයුම නැරඹීමට පැමිණ සිටියහ. එමෙන් ම වන්නි ආඥාපති මේජර් ජනරාල් කමල් ගුණරත්න ඇතුළු ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළ නිලධාරීහු ද පැමිණ සිටියහ.

මේ විශේෂ මෙහෙයුම භාරව සිටියේ විශේෂ මෙහෙයුම් ආඥාපති බ්‍රිගේඩියර් අරුණ ජයසේකර මහතා ය.

විශේෂ බළකා සේනාධිපති කර්නල් හරින්ද්‍ර රණසිංහ, කොමාන්ඩෝ බළ සේනාධිපති කර්නල් ලලන්ත ගමගේ, අභ්‍යාස පාලන ඒකකයේ බ්‍රිගේඩියර් අරුණ පෙරේරා.

ගුවන් හමුදාවේ ගෲප් කපිතාන් සාගර කොටකදෙනිය, මෙන් ම නාවික හමුදාවේ කපිතාන් ඩී.කේ.පී. දසනායක කපිතාන් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරු මෙහෙයුම භාරව කටයුතු කළ අතර තවත් යුද හමුදා කොමාන්ඩෝ හා විශේෂ බළකා නිලධාරීන් යටතේ කොමාන්ඩෝ බළකායන් පහක් මීට දායක වූහ.

යුද නාවික හා ගුවන් හමුදාවේ බලය යළි පිරික්සා බැලීම පිණිස විවිධ වූ මෙහෙයුම් රාශියක් පසුගිය 22 දා සිට 29 දා දක්වා සිලාවතුර මුහුදු සීමාවට මෙපිටින් වූ විල්පත්තු මහා වනාන්තරයේ දී සිදු කෙරිණ.

කොටි ග්‍රහණයේ තිබියදී හා පාළු වී කොටි බංකර් බවට පත්ව තිබූ විශාල වෙල්යායන් හා ‘සහල් බඳුන’ ප්‍රදේශය යළි පිබිදෙමින් තිබෙන අයුරු දුටු අපට යුද්ධය නිමා වූ දා තිබූ සතුට හා සරි තවත් සතුටක් දැනිණ.

දැන් සිලාවතුර නාවික හමුදා කඳවුරක් මගින් පාලනය වීම දැකීම සිතට සතුටක් ගෙනාවේ මෙතරම් අගනා මුහුදු තීරයක් කොටි ග්‍රහණයේ තිබීමේ වේදනාව යටපත් කරමිනි.

යළි පිබිදෙන ශ්‍රී ලංකාව රටවටින් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාව සැරසී සිටිද්දී සියලු භේද අත්හැර දමා රට සශ්‍රික කිරීමට එක්වීමේ අවශ්‍යතාවය අපට මෙම චාරිකාවේ දී හොඳින්ම පැහැදිලි විය.

එමෙන් ම ත්‍රිවිධ හමුදා සතුරු බලවේග බිඳ දැමීමට කොතරම් කැපවීමක් කළේ ද යන්න අපට මෙන් ම විදේශීය යුද සෙන්පතියන්ට ද මෙහිදී ඒත්තු යන්නට ඇත.

විදේශීය යුද උපදේශකයන්ට අපේ ශක්තිය මෙන් ම සැලසුම් පිළිබඳවත් කියාදුන් අවස්ථාවක් වූ දියකාවා මෙහෙයුම ත්‍රිවිධ හමුදාව එක්ව කළ පළමුවැන්න විය. ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් මගින් වරින් වර හමුදා ශක්තිය මැන බැලීම අවශ්‍යයෙන් ම කළ යුතු දෙයක් ලෙස අපට හැඟී ගියේ ය.

මුහුදින් ගොඩබිම සටනට එන කොමාන්ඩෝ භටයෝ


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]