කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
තඹ තහඩු සුර නූල් බැඳගෙන විභාගෙට ගියාට

තඹ තහඩු සුර නූල් බැඳගෙන විභාගෙට ගියාට

දෙවියන් ඇවිත් කනට කරලා උත්තර කියන්නේ නෑ

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

මීපේ ගණිතගේ චන්ද්‍රභාරතී

තවත් දින අටකින් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය ආරම්භ වෙයි. විභාග යැයි කී විට ළඟින් ම ඇසෙන්නේ ටියුෂන් ය. එහෙත් විභාගයට දින ළං වෙත්දී ටියුෂන් පංතියේ නිබන්ධනවලටත් වඩා වැදගත් වන්නේ කේන්දර කොපියයි. විභාග අපේක්ෂකයාගේ කේන්දරය දෛවඥයින් ගේ අතින් අතට යයි.

පුදුමාකාර ලෙස ඉහළ යන බෝධි පූජා නිසා බෝධීන් වහන්සේට ද සැනසුමක් නැත. විභාගයට පිටත්ව යෑමට සුබ නැකැත්, කරේ බැඳීමට යන්තර, පමණක් නොව සාක්කුවේ රුවා ගැනීමට මුද්‍රණය කළ සරස්වතී දේවරූප හා මහානුභාව සම්පන්න යැයි කියන තවත් ගුප්ත වස්තු වෙළෙඳපොළේ තොග ගණනට විකිණෙයි.

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී මීපේ ගණිතගේ චන්ද්‍රභාරතී මහතා අද සිළුමිණට අදහස් දක්වන්නේ විභාග කාලයේ උත්සන්න වන කේන්දර හා යන්තර මන්තර උමතුව පිළිබඳවයි.

“බෝධි පූජාව කොහොම කළත් හොඳ දෙයක්. බෝධීන් වහන්සේ සමීපයේ ඉන්න විට මානසික සහනයක් දැනෙනවා. සිතේ සංයමයක් - පහන් හැඟීම් ඇති වෙනවා. නමුත් අද බොහෝ දෙනා දැන හෝ නොදැන කරන දේවල් නිසා බෝධීන් වහන්සේ සමීපයේ දකින්න ලැබෙන්නේ එකම කන් කරච්චලයක්.

බෝ මළුවේ පැදුරු දාගෙන යන මඟත් හරස් කර ගෙන වාඩිවෙන සමහරුන් ගාථා පොත් පෙරළගෙන මහා සද්දෙන් ඒවා කියන්න ගන්නවා. මහ සද්දෙට ගාථා කීවා කියලා ලැබෙන ශාන්තියක් නෑ. ඒක ඇත්තටම කරදරයක්. මේ කන්දොස්කිරියාව නිසා අනෙක් බැතිමතුන්ට හිත එකලස් කර ගෙන ශාන්ත සංයමයෙන් වන්දනාමාන කරන්න බෑ.

සමහරුන් මහා හඬින් පාලි ගාථා කිව්වට ඒවාගේ තේරුම වත් දන්නේ නෑ. භක්තිය, ශ්‍රද්ධාව කියන්නේ හිත ඇතුළෙන්ම උපදින කුසල් හැඟීමක්. ඒක නිරාමිස ප්‍රීතියක් මිස කටුක ගෝෂාවක් නෙවෙයි. එක් පිරිසක් මහා සද්දෙට ගාථා කියන්න ගත්තම තවත් පිරිසක් ඒ හඬට උඩින් තවත් සද්දෙන් ගාථා කියන්න ගන්නවා. ඒකෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ බෝ මළුවේ තිබිය යුතු නිශ්කලංක පරිසරය දූෂණය වෙලා අනුන්ගේ දෝෂ දර්ශනයට ලක්වෙලා තමන්ටත් අනුන්ටත් අසහනයක් ඇති කිරීම විතරයි.

බීධීන් වහන්සේ ඉදිරියේ වන්දනාමාන කරත්දී හිතෙන් ඒක කරන්න. තොල් මුමුනන්න ඒත් කාටවත් කරදරයක් වෙන හැටියට ඒක කරන්න එපා. දැන් තවත් මෝස්තරයක්. පෝයදාට ආගමික උත්සව තියෙද්දී ගෙදරක දාන මාන පිංකම් කෙරෙත්දී සමහරු මුලට ගන්නේ ගෝෂාව. ලවුඩ්ස්පීකර් දාලා කැසට් බෆල් හයිකර ගෙන පුළුවන් තරම් සද්දෙට තෙරුවන් ගුණ ගයන්න ගන්නවා.

බොරු සද්දෙට වඩා අනුහස් දෙන්නේ සිතේ ඇතිවන පහන් හැඟීමයි. මේ විභාග කාලේ බෝධි පූජා කළාට කමක් නෑ. ඒත් ඒක අනුන්ට කරදරයක් වෙන විදිහට අකුසලයක් බවට පත් කර ගන්න එපා කියලයි මම කියන්නේ. බොරු ශෝභනේට සද්දේ මුලට අරන් කරන දාන මාන පිංකම් හිස් බෙරයක් වගේමයි. සද්දේ මිස හරයක් නෑ...”

දැන් විභාගේ අත ළඟම. මවුපියන් දෛවඥයන් ළඟට දුවනවා. සුබ වේලාවල් හොයන්න. විභාගේ පටන් ගන්නේ උදේ 9.00 ට නම් කල් තබා විභාග ශාලාවට ගිහිං සංසුන්ව විභාගෙට උත්තර ලියනවා මිස සුබ වේලාවට ගෙදරින් පිටත් වෙන්න මහා කලබලයක් කර ගන්න එපා.

කෙනෙකු උපදින කොටම කුසල් අකුසල් කර්ම බලය අරගෙනයි එන්නේ. ගෙදරින් පිටවෙන වේලාව කොයි තරම් හොඳ වුණත් කොයි තරම් නරක වුණත් උත්පත්ති ග්‍රහ බලය වෙනස් කරන්න බෑ. උත්පත්ති ග්‍රහ බලය කොයි තරම් හොඳට තිබුණත් ළමයා පාඩම් කරලා විභාගෙට හොඳින් සූදානම් වුණේ නැතිනම් අර ග්‍රහ බලය තිබුණැයි කියල විභාග සමත් වෙන්නේ නෑ.

සරස්වතී පූජාව කොයි තරම් කළත් දෙවියන් ඇවිත් කනට කරලා ප්‍රශ්නවලට උත්තර කියන්නේ නෑ. සරස්වතී පූජාවෙන් ස්මරණ - ධාරණ ශක්තිය වැඩි කරන්න පුළුවන්. නමුත් මොන විභාගේ සමත් වෙන්න වුණත් ළමයා නිසි පරිදි පාඩම් කරලා සූදානම් වෙන්න ඕනේ.

තවත් ළමයි සරස්වතී දෙවියන් ගේ රූප අරගෙන සාක්කුවේ දාගෙන විභාගෙට යනවා.

ඒක බොරුවක්. දේව රූප ළඟ තිබුණ පළියට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ නෑ. තවත් එක එක නම්වලින් නොයෙක් කාසි, මුදු, යන්තර විකුණනවා. මේ එකකින්වත් දේව බලය ලැබෙන්නේ නෑ. ඒවාට අහුවෙන්න එපා.

විභාගෙට යන ළමයාට හිතේ සැහැල්ලුවෙන් සාමාන්‍ය විදිහට ගෙදරින් පිටත් වෙන්න අවශ්‍ය පරිසරය සකස් කරන්න. ඒක වැදගත්, නුවුමනා යන්තර - මන්තර දේවරූප දාලා සුබ නැකත් - සුබ දිසා බල බලා දරුවාගේ ඔළුවට තවත් බරක් පටවන්න එපා.

හොඳම දේ සාමාන්‍ය විදිහට ළමයා සූදානම් කිරීම හා ගෙදර සතුට සාමය හා මවුපියන්ගේ ආශිර්වාදය මැද විභාගයට පිටත් කරවීමයි. මේ දේවල් වරද්ද ගත්ත සමහරුන් අනවශ්‍ය ගුප්ත විද්‍යා කරන්න ගිහිං වැඩේ නරක් කර ගෙන පස්සේ ඡ්‍යොතිෂයට බණිනවා.

මම ගෙදරින් එළියට යන්නේ රාහු කාලේ බලල, සුබ දිසා බලලා නෙවෙයි. මේ ලෝකේ ඒ විදිහට ජීවත් වෙන්න බෑ. ඡ්‍යොතිෂයෙන් කියවෙන එක දෙයක් තමා කෙනෙක් මෙලොවට අරගෙන ආව කුසල් බලය. ඒ කුසල් බලය තවත් දියුණු කර ගැනීම තමා අපල මඟ හරවන හොඳම ක්‍රමය. යන්තර - මන්තර භාවිත කිරීම මඟිනුත් අපල දුරු කර ගන්න පුළුවන් තමයි. ඒත් ඒවා නිසි පිළිවෙළට දැන ගෙන කළ යුතු දේවල්. යන්තරයක් දැම්ම පළියට විභාග සමත් වෙන්න පුළුවන් කියලා හිතන එක මුළාවක්.

විභාග කාලේ කරන තවත් දෙයක් තමා ග්‍රහ පූජා. ඒකත් දැන ගෙන කළ යුතු ගුප්ත ශාස්ත්‍රයක්. සමහරුන් බුදු ගුණ ගයලා ග්‍රහ පූජා කරනවලු. තවත් සමහරු තැපෑලෙන් ග්‍රහ පූජා කරනවලු. මේ සේරම පදනමක් නැති ශාස්ත්‍ර විරෝධී භාවිතයන්. ගෙදරක දරුවෙක් උසස් විභාගයකට සූදානම් වෙත්දී ඒ දරුවට ලොකුම ආශිර්වාදය ලැබෙන්න ඕනේ ගෙදරින්.

දෙමවුපියන්ගේ අවධානය, ආදරය, කරුණාව වගේම නිසි මඟ පෙන්වීමත් අවශ්‍යයි. පවුලේ අනෙක් සාමාජිකයන් ගෙදර පරිසරය ඉතාම සාමකාමීව, පී‍්‍රතිමත්ව හා සුහදශීලි වාතාවරණයක පවත්වාගෙන යන්න ආධාර කරනවා නම් ඒක තවත් ආශිර්වාදයක්. මේ අතරට බෝධි පූජා, ග්‍රහ පූජා කරන්නත් පුළුවන්. ඒවායෙන් බලපෑමක් ගන්න පුළුවන්. හැබැයි ඒ බලය ලැබෙන්නේ විභාගෙට සූදානම් වෙන ළමයා ඒ කටයුත්ත කොයි තරම් හොඳින්, කොයි තරම් කැපවීමෙන් මහන්සියෙන් කරනවා ද කියන කාරණය මතයි. අධ්‍යාපනය, පාඩම් පැත්තක දාලා ග්‍රහ බලය හා යන්තර මන්තරවලින් විතරක් විභාග සමත් වුණ කෙනෙක් මේ ලෝකේ කොතැනකවත් නෑ.

අධ්‍යාපනයට ගුණ දෙන ග්‍රහ යෝග වගේම අවගුණ දෙන ග්‍රහ යෝග තියෙනවා. ගුණ තවත් වැඩි කර ගන්නත් අවගුණ දුරු කර ගන්නත් ක්‍රම තියෙනවා. ඒ සේරම බලපවත්වන්නේ ශාස්ත්‍ර නියමයන් මතයි.

විභාග කාලෙදී ළමයින් වඩාත් සමීප වෙන්න ඕනේ යන්තර - මන්තර හා දේවාලවලට නෙවෙයි, තමන් කරපු පාඩම් වැඩයි. ඒ පාඩම් කටයුතුවලට මුල් තැන හා වැඩි තැන දෙන අතරේ බෝධි පූජාවකට සහභාගි වීමත්, හොඳයි. නමුත් ප්‍රශ්නය වෙන්නේ පොත් පත් පාඩම් අමතක කරලා සමහරුන් විභාගේ දෙවියන්ට බාර දීමයි.

කිසිම දෙවි කෙනෙක් විභාගවලට උත්තර ලියන්නේ නෑ. ඒවා දේවකාරි නෙවෙයි. ඒ වගේම පරිගණකයක් වගේ කිසිම යන්තරයකට මන්තරයකට විභාග ප්‍රශ්න විසඳන්න බලයක් නෑ. ඒක කරන්න හැකි වෙන්නේ විභාගෙට ලියන ළමයා ගේ මොළයට විතරයි.

විභාග කාලේ කේන්දර බලන සමහරුන් හානිකර මානසික තත්ත්ව දෙකකට එනවා. එකක් තමන් ගැන අවතක්සේරුව. අනෙක අධිතක්සේරුව.

මේ ළමයගේ ග්‍රහචාරය නිසා ළමයා මහා බුද්ධිමතෙක්, ප්‍රාඥයෙක් වෙනවා ය කියලා කවුරුහරි දෛවඥයෙක් කියනවා. ඒක හිතට අරගෙන ස්කෝලෙ නොගිහින් - පාඩම් නොකර දවස තිස්සේම අනං - මනං කළොත් මොකද වෙන්නේ? මේ අනාවැකිය ඔළුවට අරන් අධ්‍යාපනයට - පාඩමට දිය යුතු අවධානය උපරීමයෙන් දෙන්නේ නැතිව මම කොහොමත් උඩින්ම පාස් වෙනවානේ කියලා හිතුවොත් මොකද වෙන්නේ. අන්න ඒක තමා අධිතක්සේරුව.

තවත් අය කේන්දරේ කියන දේ තමන්ගෙම හානියට පෙරළා ගන්නවා. අධ්‍යාපනයට බාධයි, අපලයි කියලා දෛවඥයෙක් කීවොත්, ඔන්න ළමයා පාඩම අත හරිනවා.

විභාගෙට තියෙන උනන්දුව නැති කර ගන්නවා. ලියන්නත් කලින් විභාගේ පේල් කියලා හිතනවා. ඉතිං මොකද වෙන්නේ මුළු අනාගතේ ම විනාශයි. මෙන්න මේකට කියන්නේ අවතක්සේරුව කියලයි. කේන්දර බලලා අධිතක්සේරුවෙන් හිතීමත් අවතක්සේරුවෙන් හිතීමත් කියන දෙකම එක වගේම භයානකයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]