කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
හාල්පාරු මැස්සන්ගෙන් පරෙස්සම් වුණොත් බිංදුව පුපුරුවා හරින්ඩ ඔබට පුළුවන්

 

හාල්පාරු මැස්සන්ගෙන් පරෙස්සම් වුණොත් බිංදුව පුපුරුවා හරින්ඩ ඔබට පුළුවන්

පිට්ටනියට බහින්ඩ අලුත් ඇමැති කෙනෙක් ඇවිත්. මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා. කටකාර දේශපාලනඥයෙක් තමයි. හැබැයි කටකාරයට, වැඩකාරයෙක් වෙන්ඩත් පුළුවන් කියන එක පෙන්නන්ඩත් හොඳම හොඳ වේලාවක්.

පිට්ටනිය බිංදුවට ම බැහැලා. මොකක්වත් නෑ... ආසියාතික ක්‍රීඩා උලෙළට ගියා... රන් පදක්කමක් තියා බෙලෙක් කෑල්ලක්වත් නෑ.

මහින්දානන්ද ඇමැතිතුමෝ... වැඩක් වැඩක් හැටියට පටන්ගන්ඩ හොඳම වේලාව. අනම් මනම් කතා බහ කයිවාරු ගැහිලි තුට්ටුවක්වත් වටින්නෙ නෑ... බෙලෙක් කෑල්ලක්වත් ගන්ඩ බැරි කයිවාරුවලින් වැඩක් නෑනෙ...

එක අතකට බිංදුවෙන් පටන් ගන්ඩ ලැබිච්ච එක ඇමැතිතුමාගේ හේතුවාසනාවක් කියලත් හිතෙනවා...

මොකද බිංදුවේ ඉඳලා... ඒ කියන්නෙ බෙලෙක් පතුරක්වත් නැති තත්ත්වෙක ඉඳල තඹ පතුරක්වත් ලැබුණොත් ඒකත් දියුණුවක් නේ. ඒකත් සංවර්ධනයක්නෙ.

එහෙම හිතන්ඩත් එපා ඇමැතිතුමෝ... අපි රන් පිට රන් ගත්තු ජාතියක්. සුසන්තිකා, සුගත්, දර්ශා, ශ්‍රියානි, දුවන කාලේ රන් පදක්කම් ආවේ හුරේ පාරකුත් එක්ක. ලෝකයේ ඕනෑම ක්‍රීඩා තරගයකදී අපට පදක්කමක් තිබුණා. මුළු ආසියාවටම මලල ක්‍රීඩාවෙන් ඔලිම්පික් රන් පදක්කමක් ගන්ඩ බැරි වෙච්චි කාලේ සුසන්තිකා රිදී පදක්කමක් ගත්තා. රන් පදක්කම අහිමි වුණේ නූලෙන්... පියවර බාගෙකින්...

1974 ටෙහෙරාන් ආසියාතික මලල ක්‍රීඩා තරගයේදී අපට රන් පදක්කම් ;දකක් ලැබුණා. විමලදාස මීටර් හාරසීය රන් පදක්කම ගත්තා. විමලදාස ප්‍රමුඛ මීටර් හාර සීයේ සහාය දිවීම් කණ්ඩායම රන් පදක්කම ගත්තේ වාර්තාවකුත් එක්ක.

මහින්දානන්ද ඇමැතිතුමෝ තව එක සිද්ධියක් මතක් කරන්නම්. බැංකොක් ආසියාතික තරගයට සුසන්තිකාල, දර්ශලා, සුගත්ලා සහභාගි වුණා. මීටර් දෙසීය සුසන්තිකාට කජු කන්නා වාගේ... ඒත් අලුත් ම චීන කෙල්ලක් ඉන්නවා කියලත් ආරංචියක් ආවා. ඒත් ඒ වෙනකොට සුසන්තිකා ලෝක පුරාම කප් ගහලා ඉවරයි.

මීටර් සීය අවසාන පූර්ව තරගයෙන් සුසන්තිකා බොහොම පහසුවෙන් දිනුවා. අනෙක් අවසාන පූර්ව තරගයෙන් චීන කෙල්ල දිනුවා... සුසන්තිකා ගේ පාදයේ ආබාධයක් ඇති වුණා. මිටර් සීය අවසාන තරගයට පමණක් නොවෙයි. මීටර් දෙසීයේ අවසාන තරගයටත් සුසන්තිකාට දුවන්ඩ බැරුව ගියා. අර චීන ක්‍රීඩිකාව ඒ තරගයේ දීත් අවසාන වටයට තේරිලා හිටියේ. හැබැයි අපේ දර්ශාත් අවසාන තරගයට තේරිලා.

සුසන්තිකා නැහැ. දර්ශා අර චීන කෙල්ලට අන්තිම මීටර් විසි පහේදී දුන්නා වැඩේ. මේ ලියන ග්‍රවුන්ඩ් බෝයි කොලුවාත් එදා ඒ තරගය වාර්තාකරන්ඩ මාධ්‍යවේදියෙක් හැටියට ගිහිල්ලා හිටියා.

අපේ මාධ්‍යවේදීන් මාධ්‍ය කුටිය දෙවනත් වෙන්ඩ කෑ ගැහුවා. අනෙක් රටවල්වල මාධ්‍යවේදීන් හිනා වෙවී අප්පුඩි ගැහුවා. අපට... අපට කිව්වේ ශ්‍රී ලංකාවට.

ආසියාතික ක්‍රීඩා තරගය වාර්තාකරන්ඩ පැමිණි මාධ්‍යවේදීන් දර්ශා වට කරගත්තා. ඔවුන් අපෙන් ඉල්ලා සිටියා දර්ශාත් එක්කල කතා කරන්ඩ අවස්ථාවක් ලබා දෙන්ඩ කියලා.

එක්කෙනෙක් නැත්නම් තව එක්කෙනෙක් රන් පදක්කම් දිනන යුගයක් තිබුණා ඇමැතිතුමෝ... එහෙම ඉඳලයි අපි බෙලෙක් පතුරක්වත් නැති තත්ත්වෙකට පල්ලම් බැහැලා තියෙන්නේ.

කමක් නෑ... මහින්දානන්ද ඇමැතිතුමෝ... අපි බිංදුවෙන් පටන් ගම්මු. මේක අත අරින්ඩ පුළුවන් ගේමක් නෙමෙයි. අපි පත්තරකාරයෝ හැටියට ෆුල් සපෝට් එකක් දෙන්නම්. ‘සිළුමිණ’ ක්‍රීඩා පිටුවක් පටන් ගන්ඩ හිතුවෙත් ඒක හින්දමයි. අපි පටන් ගම්මු බිංදුවෙන්. ආශ්චර්යවත් ඉලක්කයක් තියා ගම්මු ඔලිම්පික් පදක්කමක්.

ඒත් ඊට ඉස්සෙල්ල ජයගන්ඩ හුඟාක් දේවල් තියෙනවා. සාෆ් එකේදි අපි අනිවාර්යයෙන්ම අපි ඉන්දියාවට හොඳ සටනක් දෙන්ඩ ඕනැ... සුසන්තිකාලටත් ඉස්සෙල්ල ධම්මිකා මැණිකෙලගේ කාලෙදි අපට මලල ක්‍රීඩාවලින් තරගයක් නෑ... මීටර් 800, 1500 දිනුවේ ගව් ගණනක් තියලා. ශි‍්‍රයානිත් එක්ක හැරෙන්ඩවත් බෑ... දැන් ඒ අතීතය ගැන කතා කර කර ඉඳලත් වැඩක් නෑ... ගිය දේ ගියා... ඒත් ලබාගන්ඩ දේවල් හුඟාක් තියෙනවා... ඇත්තමයි... අපි පටන් ගම්මු බිංදුවෙන්...

හැබැයි මහින්දානන්ද ඇමැතිතුමෝ... වටේට එක්කාසුවෙන හාල්පාරුවො ටික නම් ඈත් කරගන්ඩ වෙනවා... ඇවිල්ල ඔළුව අතගායි... මූණ අතගායි... තොත්තු දෙයි... සත පහක වැඩක් නෑ... බොරුව විතරයි... කා ගැනවත් විශ්වාසය තියන්ඩ එපා... ඇමැතිතුමෝ ඔබට හොඳ ආත්ම ශක්තියක් තියෙනවා... හොඳ ජවයක් තියෙනවා... ජනාධිපතිතුමාත් ඒක දන්නවා. ඒක තමයි මේ අභියෝගය බාර දුන්නේ.

ඕනැම ඇමැති කෙනෙක් අලුතින් පත් වුණාම මැස්සො වහනව වගේ හාල්පාරුවො ඇවිල්ල ඇඟේ වහනවා. පරිස්සම් වෙන්ඩ. හාල්පාරුවන් හෙවත් මැස්සන්ගෙන් ගැලවෙන්ඩ... අපි පටන් ගම්මු හොඳ වැඩක්... පාසල් ක්‍රීඩාවටත් සම්බන්ධ වෙන්ඩ... බන්දුල ඇමැතිතුමා එක්ක ඒක ඔබතුමාට කරගන්ඩ පුළුවන්. ඉස්කෝල පිට්ටනියේ සම්පත් ගොඩාක් තියෙනවා. ඒවා අපරාදේ අපතේ යනවා.

සුසන්තිකාලා, දර්ශලා, සුගත්ලා ශි‍්‍රයානිලා ඕනැතරම් ඉන්නවා... ඒ අය ආවේ කොළඹින් නෙමෙයි... ගිරිදුර්ග, වන දුර්ග තියෙන ඈත ගම් පළාත්වලින්. සුසන්තිකාගේ අම්ම රබර් කිරි කැපුවා... සුගත්ගෙ අම්ම තේ දලු කැඩුවා... මේ දුප්පත් අම්මලාගේ දූ පුත්තු තමයි ඇමැතිතුමෝ ශ්‍රී ලංකා ජාතික ගීතය අන්තර්ජාතික ක්‍රීඩා තරගවලදී දෝංකාර දෙන්ඩ සැලැස්සුවේ.

බීච් වොලිබෝල් ක්‍රීඩාවෙන් දැන් අපි ආශ්චර්යවත් පදක්කමකට තට්ටු කරමින් ඉන්නවා. ඩිලාන් පෙරේරා ඇමැතිතුමා තනියම වගේ පැත්තකට වෙලා ලොකු වැඩක් කරනවා. ඔය දෙන්න තව දුරටත් කිට්ටු වුණොත් ආසියානු නෙවෙයි පොදු රාජ්‍ය මණ්ඩලයීය බීච් වොලිබෝල් පදක්කමක් අපට ගන්ඩ පුළුවන්.

ඇමැතිතුමෝ ඔබට ලැබුණේ බිංදුවක් තමයි. මේ බිංදුව පිට්ටනිය මැද්දෙ පුපුරුවා හරිමු. අපි “බුල් සබෝට්” හැබැයි අඩුපාඩුවක් පෙන්නුවොත් ඒ අඩුපාඩුව දෙස බලන්න. පෙන්නන ඇඟිල්ල දෙස බලන්ඩ එපා.

ඔබට ඒ වැඩේ කරන්ඩ පුළුවන් බව අපට විශ්වාසයි... හැබැයි හාල්පාරුවන් හෙවත් මැස්සන්ගෙන් නම් පරෙස්සම් වෙන්ඩ ඕනෑ. එහෙම යමු. රන් පදක්කම් නැවත අපේ රටට ගේන්ඩ පුළුවන්.

. අපේ සිංහ කොඩිය අන්තර්ජාතික ක්‍රීඩා පිටියේ උඩටම ඔසවන්ඩ පුළුවන්.

. අපේ ජාතික ගීයේ දෝංකාරයෙන් අන්තර්ජාතික ක්‍රීඩා පිටිය දෙවනත් කරන්ඩ පුළුවන්.

ඔබට සුබ ගමන්. අපි ඔබට පසුපසින් සහ ඉදිරියෙන්

ගමේ පිට්ටනිය

ඔබේ ගමේ ක්‍රීඩා තරගයක් පිළිබඳව හෝ ක්‍රීඩාවට සම්බන්ධ වෙනත් ප්‍රවෘත්ති ඇත්නම් හෝ සෑම සතියකටම අඟහරුවාදාට පෙර අපට ලැබෙන්නට සලස්වන්න. ගමේ පිට්ටනියට වැදගත් තැනක් දීමට ‘සිළුමිණ පිට්ටනිය’ සූදානම්. හැකි සෑම විටම 2 429260 ට ෆැක්ස් කරන්න.

ලිපිනය - සංස්කාරක, ‘පිට්ටනිය’, සිළුමිණ, ලේක්හවුස්, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]