කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
දිගු පාලමෙන් මැවෙන කෙටි පාරක්

දිගු පාලමෙන් මැවෙන කෙටි පාරක්

ඔබ මේ දකින්නේ විදෙස් රටක නවීන පන්නයේ පාලමක් නොවේ. ත්‍රස්තවාදීන් විසින් පුපුරවා හරින ලද සංගුපිටිය පාලම පෙරසවි පාලමක් ලෙසින් අලුතින් ඉදිකර ඇති ආකාරයයි. තම ජනතාවට විමුක්තිය ලබා දෙනවා යැයි කී ත්‍රස්තවාදින් දශක තුනකට පමණ පෙර සංගුපිටිය පාලම පුපුරවා හරින ලද්දේ උතුරේ ප්‍රධාන නගර යා කරන කෙටිම මාර්ගය අවහිර කරමිනි. එහෙත් ඒ ජනතාවට දැන් සාමයේ අරුණලු වැටී ඇති අතර මෙවැනි සංවර්ධනයක ප්‍රතිලාභ ද හිමිව ඇත.

ඔවුහු තිස් වසරකට ආසන්න කාලයක් කුරිරු ත්‍රස්තවාදයෙන් බැට කෑහ. අපමණ දුක් වින්දාහ. දැන් යුද්ධය අවසන් ය. ත්‍රස්තවාදය මුළුමනින්ම අතුගා දමා ඇත. දැන් ඒ ජනතාවට අවශ්‍ය වන්නේ ඉදිරි දියුණුව සලසා ගැනීම කඩිනම් කරගැනීමය.

උතුරේ සිටි මේ ජනතාව ත්‍රස්තවාදය නිසා හොඳටම හෙම්බත් විය. තම දෛනික කාර්යයන් පවා නිසි අයුරින් ඉටු කරගත නොහැකිව ඔවුන්ට ගැටලු රැසකට මුහුණපාන්නට සිදුවිය.

ආහාර, ඇඳුම්, ඖෂධ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ප්‍රවාහනය අත්‍යවශ්‍ය සාධකයක් වේ. ප්‍රවාහන කටයුතු සාර්ථකව සිදුකර ගැනීමට නම් වාහන සහ මාර්ග අවශ්‍ය වේ. උතුරේ ජනතාවට බොහෝ විට වාහන තිබුණේ නැත. වාහන තිබෙන විට යාමට පාරක් නැත. පාර තිබෙන විට පාලම් නැත. පාලම් නැති විට දෙපස සිට මුහුණට මුහුණ බලා සිටීමට පමණක් සිදු වේ.

මන්නාරම නම ඇසු පමණින් සිහියට නැඟෙන්නේ කරවලයි. මන්නාරමේ කරවල කර්මාන්තය ඒ තරමට ජනපි‍්‍රයය. එහෙත් පොදු මාර්ග පහසුකම් නැතිවීම හේතුවෙන් පසුගිය වකවානුවේදී මන්නාරමේ ජනයාට කිසිදු කර්මාන්තයක් කර ගැනීමට නොහැකි වූවා සේය. ඔවුන්ට මන්නාරම් දූපතට පමණක් කොටු වී සිටීමට සිදුවූ අවස්ථා ද නැතිවාම නොවේ.

ඒ ගොඩබිම හා යා කෙරෙන පාලම් ත්‍රස්තවාදීන් විසින් විනාශ කර දැමු අවස්ථාවලදීය. ත්‍රස්තවාදීන් වැඩිපුරම විනාශ කෙළේ හානි පැමිණ වූයේ ජනතාවට වැඩි අවශ්‍යතාවන් ඇති පාලම් බව ද අමුතුවෙන් කිව යුතු නොවේ.

‘සංගුපිටිය’ පාලම ද මේ අතර ඉතා වැදගත් තැනක් ගන්නා පාලමකි. ත්‍රස්තවාදීන් සංගුපිටිය පාලම විනාශ කර දැමීමෙන් පසු මන්නාරම හා යාපනය අතර වෙළෙඳ සබඳතා ඇන හිටියේය.

මන්නාරමේ සිට යාපනයට යාමේදී කෙටිම මාර්ගය වන්නේ පුනරින් කලපුව හරහා වැටී ඇති මාර්ගයයි. මේ මාර්ගයේ කලපුව මතින් ගමනාගමනයට ඉදිකරන ලද සංගුපිටිය පාලම නිසා ඉතා ඉක්මනින් යාපනයට ළඟාවිය හැකි විය. මේ බව දැනගත් ත්‍රස්තවාදීහු සංගුපිටිය පාලම පුපුරවා දැමූහ. එයින් මන්නාරම පුනරින් කාරතිව් ඒ - 32 මාර්ගයේ යාපනයට ගමන් ඇන හිටියේය.

වරාය හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා ඇතුළු පිරිස පාලම නිරීක්ෂණය කළ අවස්ථාවක්

උතුරු සංවර්ධනය යටතේ එම පාලම ඉදිකිරීම් ද අරඹා ඇත. ‘පාලමක් ඉඳි කිරීම’ ඇත්තෙන්ම කතා කළ යුතු මාතෘකාවක් නොවේ. එහෙත් මෙහි විශේෂයක් ඇත. එය උතුරේ ප්‍රධානම නගර රැසක් යා කරන කෙටිම මාර්ගය වීමය.

මන්නාරමේ සිට වවුනියාවට දුර කිලෝමීටර 77 කි. වවුනියාවේ සිට යාපනයට කිලෝමීටර් 150 කි. ඒ අනුව මන්නාරමේ සිට වවුනියාව හරහා ගමන් කරන්නෙකුට කිලෝමීටර් 227 ක පමණ දුරක් ගෙවා යාපනයට යා යුතු විය. එහෙත් පුනරින් කලපුව හරහා ඒ - 32 මාර්ගයෙන් මන්නාරම පුනරින් කාරතිව් හරහා යාපනයට යාමේදී ගෙවා යා යුත්තේ කිලෝමීටර 127 ක පමණ දුරකි.

ඒ අනුව කිලෝමීටර 100 ක දුරක් සංගුපිටිය පාලම හරහා ගමන් කළ විට අඩු කර ගත හැකිය. මෙය වවුනියාව හරහා යන දුරෙන් අඩක් පමණ අඩු දුරකි. මෙය උතුරේ ප්‍රධානම නගර දෙක යා කරන කෙටිම මාර්ගයයි.

මන්නාරමේ සිට යාපනය පමණක් නොව චාවකච්චේරි, පේදුරුතුඩුව වැනි නගර කරා ඇදී යාමට ඇති කෙටිම මඟ සංගුපිටිය පාලම හරහා වැටී ඇත. මේ පාලමේ ඇති වැදගත්කම එයයි.

පුනරින් කලපුව හරහා දෙපස ගොඩබිම් යා කර ඇති සංගුපිටිය පාලම පුපුරවා හැරීමෙන් පසු මන්නාරම - යාපනය මං ඇහිරීම නිසා යාපනයට යන්නේ නම් වවුනියාව හරහා යා යුතුම විය.

එක් දිනකින් යාපනයට ගොස් පැමිණි වෙළෙන්දාට දින දෙකක් ගත කිරීමට සිදුවිය. යුද්ධයක් පවතින පරිසරයක ඒ අයුරින් දින 2 ක් ගත කිරීම කටුක විය. අමිහිරි විය. උතුර මුදා ගැනීමෙන් පසු සංගුපිටිය පාලම ඉදිකිරීම් ද වහා ඇරැඹිණි. ඒ - 32 මාර්ගය මුදාගෙන බිම්බෝම්බ සියල්ල ඉවත්කර බාධා රහිත බව ස්ථිර කළ පසු කඩිනමින් පාලම තැනීම ආරම්භ කරන ලදි. පාලම සම්බන්ධව ඇති වැදගත්කම පහදා දීමෙන් පසු බ්‍රිතාන්‍ය රජය ඒ සඳහා මූල්‍යාධාර ලබාදීමට ඉදිරිපත් විය.

පෙරසවි පාලමක් ලෙසින් කඩිනමින් එම පාලම ඉදිකිරීමට කටයුතු කිරීමෙන්ම එහි ඇති අවශ්‍යතාව පැහැදිලි වේ.

පාලම තැනීම බාරව කටයුතු කරන්නේ ඇක්සස් ඉන්ජිනියරින් සමාගමයි. මාස 7 කින් වැඩ නිම කිරීමට යෝජිත පාලම ඉදිකිරීම පසුගිය මාර්තු 25 වැනිදා ඇරැඹිණි. ඒ අනුව දෙසැම්බර් 20 වැනිදා වන විට මෙම පාලමේ වැඩ නිම කළ යුතු අතර සියලුම වැඩ දෙසැම්බර් 30 වැනිදා වන විට නිම කිරීමට කාලය ලබා දී ඇත.

ඒ අනුව 2011 වසරේ ආරම්භයේදීම පාලම විවෘත කෙරෙනු ඇත. පාලම සඳහා රුපියල් මිලියන 1037 ක් වැය වේ. ප්‍රධාන මංතීරු 2 ක් සහිතව පාලම ඉදි කෙරෙන අතර පාලමේ දිග මීටර් 288 කි. ධාවන මංතීරුවේ පළල මීටර් 7.4 ක් වන අතර පාලමේ සම්පූර්ණ පළල මීටර් 8.9 කි.

පාලම ඉදිකිරීමෙන් පසු ඒ - 32 මාර්ගය ද සංවර්ධනය කිරීමට යෝජිතය. පාලම සෑදීම පළමුව කළ යුතු හෙයින් ඊට මුල් තැන ලබා දී ඇත.

වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා එම ව්‍යාපෘතිය වැඩ කටයුතු නිසි කලට අවසන් වන්නේ දැයි නිරතුරුවම විමසිල්ලෙන් සිටී. එම පාලම ඉදිකිරීමත් සමඟ මන්නාරමේ ධීවරයාගේ, යාපනයේ ගොවියාගේ අතමිට සරු වනු ඇත.

කිලෝමීටර් 200ක් අනවශ්‍ය ලෙස එහාටත් මෙහාටත් යන ගමනකදී කාලය ඉතිරිවීම යනු විශාල ආර්ථික වාසියකි. ඉන්ධන ඉතිරියකි. දිනක් තුළ සිදු කරගත හැකි කාර්යයට දින දෙකක් ගත කළ කාලය මේ වසර අවසානයේදී නිම වනු ඇත.

එසේම මෙතෙක් කාලයක් අඳුරේ අතපත ගෑ කාරතිවු - පුනරින් මාර්ගයේ ජනතාවට ද යළි එළිය වැටෙනු ඇත. ඔවුනට ද යළි ජීවන මංපෙත් විවර කර ගත හැකි වේ. පාර අද්දර කඩයක් දමා ගෙන සිටි යුගය යළි ඔවුනට උදාවනු ඇත. මේ පාලම විවෘත කිරීමේ තවත් පැත්තක් අප දකින්නේ එලෙසිනි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]