|
||
එදා ටිකක් තෙමුණා තාමත් එහෙම ද?ඔබ හදිසියෙන් මාරුවෙලා ගියා. දැන් බස් හෝල්ට් එකේ මං විතරයි. මැයි ගහේ මල් පිපිලා නැහැ. මැයි මාසෙට තව හුඟාක් කල් තියෙනවනේ. කවදාවත් කතා කෙරුවෙ නැතිවුණාට අපි හැමදාමත් හිනාවුණා. ඔබත් එක්ක හිටියේ ඔබේ පෙම්වතා වෙන්නට ඇති. එහෙමත් නැත්නම් සැමියා වෙන්ඩ ඇති. මං දන්නෙ නැහැ කවුද කියලා. එයා නගින්නේ වෙන බස් එකකට. ඔබ නගින්නේ වෙනත් බස් එකකට. මං නගින්නේ තවත් එකකට. ඒත් අපි තුන්දෙනාම එකම බස් හෝල්ට් එකේ හිටියා. වැහි පොද වැටුණ දවසක ඔය දෙන්නා එකම කුඩය යට හිටියා. මට කුඩයක් තිබුණේ නැහැ. බස් හෝල්ට් එකක් වුණාට එතන වහලයක් තිබුණෙ නෑ. බෝඩ් එකක් විතරයි. මං ලේන්සුව හිසට දාගත්තා. ඔබේ යාළුවා බස් එකට නැග්ගා. කුඩේ යට ඔබ විතරයි. එතකොටම මගෙ බස් එක ආවා. “තෙමුණ නේද?” ඔබ එහෙම ඇහුවෙ නෑ. ඒත් ඔබේ ඇස් දෙක එහෙම ඇහුවා. ඒත් ඊට පස්සේ ඔබව දකින්න ලැබුණේ නැහැ. යාළුවා විතරක් බස් හෝල්ට් එකේ ඉන්නවා දකිනවා. ඔබ වෙන ඉස්කෝලෙකට මාරු වෙන්ඩ ඇති කියලා හිතුණා. එහෙම හිතුණේ ළමයින්ගෙ පොත් කිහිපයක් ඔබ තුරුළු කරගෙන සිටි දවසක ඔබ ඉස්කෝල හාමිනේ කෙනෙක් විය යුතු යැයි මා සිතූ නිසා. ඇත්තටම ඔබ ඉස්කෝල හාමිනේ කෙනෙක් ද? ඒ ඔබේ පෙම්වතා ද? එහෙමත් නැතිනම් ඉස්කෝලෙ ගුරු යාළුවෙක් ද? මම මොකක්වත් දන්නෙ නෑ...
“ඔව් එදා මාව ටිකක් තෙමුණා තමයි. තාමත් ඒ තෙතමනය තියෙනවා.” සාලිය බණ්ඩාර මහනුවර
එකක් නෙමේ දෙකක්
ස්ථානය ගම්පහ දුම්රිය ස්ථානයය. වේලාව සවස එකට පමණය. කොළඹ බලා ධාවනය වන දුම්රියක් පැමිණෙන තුරු බලා සිටි යුවතියකි. පෙනුමෙන් ඇය සැපවත් නිවසකින් පැමිණෙන්නියක් විය යුතුය. ඇය අසලට පැමිණි කුඩා හිඟන දරුවන් පිරිසක් මුදල් ඉල්ලා ඇයට කරදර කරන්නට විය. එක් දරුවෙක් ඇගේ කකුලේ එල්ලුණේ ය. එයින් විස්මයටත්, මහත් අපහසුවටත් පත් වූ ඇය කළ යුතු දෙයක් සිතාගත නොහැකිව වට පිට බලන්නට වූවාය. ඇය අත මාරු කාසි කිහිපයක් හා ටොෆි දෙකක් වූ අතර එයින් මාරු කාසි දෙකක් ඇය අර දරුවාට පිරිනැමුවාය. එවිටම ඇය අත තිබු ටොෆී දෙක දුටු හිඟන දරුවා එය ඉල්ලුවේය. එයින් මහත් සංවේගයට පත් තරුණිය එක් ටොෆියක් දරුවාට දුන්නාය. එය දෙනවාත් සමඟම ඇයව තල්ලු කර දැමු හිඟන දරුවා ඇය අත තිබු අනෙක් ටොෆියත් උදුරාගෙන විදුලි වේගයෙන් පැන දිව්වේය.
ඉලේකා රුවන්පතිරණ ගම්පහ
අතරමං වූ යව්වනය
දිසාපති තුමාණෙනි
ඔබ තවම තනිකඩය
හිතාදර නැන්දනිය
ඉන්න නිවහනක් නැත
තෙල් කඩේ මුදලාලි
ඉඩම කඩමත් නොමැති සිරිල් සේනානායක වාඩිගල රන්න.
සිප් බිමේ මතකය
“සුදු පාට රැළි ගවුම
ඉෂංකා ඒකනායක සමාජ සේවා විද්‍යාලය
ගුරු මෑණියන් සමරමි බැතින්
තුන්සිය හැටපස් දිනක් ගතවුනි සමු දීමෙන්
හතළිස් පස් වසරක් තුළ කළ මෙහෙය
තිලකා ගුරු මෑණියන් ගැන වෛශාඛයේ සිසුන් පිරිසක්
ඇත්තයි ! ඒත් ලැජ්ජයිනගරයේ පදික වේදිකාව මත අසරණ මගියකු හදිසියේ සිහි නැතිවී බිම වැටුණු අතර ඔහුගේ තත්ත්වය දැක ගැනීමත්, ඔහුට පිහිට වීම සඳහාත්, ඒ අසලින් යන එන අය බොහෝ පිරිසක් ඔහු වටා රොක් වූහ. වැටීම නිසා ඔහුගේ අතපය බොහෝ සේ සීරී තිබු අතර එම ස්ථාන වලින් ලේ ගලමින් පැවතුණි. බොහෝ දෙනෙක් බලා සිටියද, ඔහුට පිහිටවීම සඳහා බොහෝ වේලාවක් යනතුරු කිසිවෙක් ඉදිරිපත් නොවීය. මද වේලාවකින් ඒ අතර සිටි හැඩිදැඩි පුද්ගලයෙක් ඉදිරියට පැමිණ තුවාලකරු පරීක්ෂා කර බලා අවට සිටි අය වෙතින් ඉල්ලීමක් කළේය. “ඉක්මනින්ම කවුරුහරි ගිහිල්ල අරක්කු කාලක් ගෙනැත් දෙන්න...” ඔහුගේ ඉල්ලීමට ඉක්මන් ප්‍රතිචාර දැක්වූ තරුණයකු වහාම දුවගොස් අසළ තිබු මත්පැන් හලින් අරක්කු කාලක් මිලදීගෙන පැමිණ වහාම එම ඉල්ලීම ඉටු කැරිණි. එය අතට ගත් හැඩිදැඩි තරුණයා වහාම එහි මූඩිය ගලවා එක හුස්මට එය ගිල දමා. “හා... වහාම ලෙඩා ස්පිරිතාලෙට ගෙනියන්න වාහනයක් නවත්තල දෙන්න...” තරුණයා - “මම හිතුවෙ අරක්කු ගෙන්න ගත්තෙ ලෙඩාට පොවන්න කියල. මගේ අතේ තිබුණෙම ඒ මුදල විතරයි. අපරාදෙ මගෙ සල්ලි. ඇයි ඔයා ඒක බිව්වෙ...” හැඩිදැඩි පුද්ගලයා - “ලේ දැක්කම මට කලන්තෙ හැදෙනව. අරක්කු ටිකක් ධව්වම තමයි ඒක හරියන්නෙ...”
නන්දසිරි හෙට්ටිගම මාගම්මන, දෙහිඕවිට.
සීයාගේ අපූරු දඬුවම
පෞද්ගලික බස් රථයක් පාර දිගේ ආවා
ගන්ට එපා මැන්ටලයක් අපි පාගල යං
ඊටත් පසු සීයා තරුණයෙකු වාගෙ වූවා ගාල්ල වටරක ආබාධිත රණවිරු ආනන්ද විජේතිලක
අචල - චපල සිත
ඔය තිර පෙමේ බල මහිමය ඇතිව පිදූ මීපුර මර්වින් නයිනමඩම
මගෙ හිමි සඳුනි
කඳුවැටි අතර පුරසඳ පායනා පෙනේ
මගෙ හිමි සඳුනි! කිම මා අමතක වීද
දසැඟිලි අතර තෙරපී කාලය යනවා
රේණුකා කරුණානායක කොස්වාඩිය
සංසාර ආරණ්‍යයේ දී
ගෙවා ආ ගමන් මඟ - අවසනක් නොවූවද
නේක විසිතුරු සිහින - නොදැක්කෙමි කිසිදු විට
ඇසිල්ලක් නෙත පිරූ - සොඳුරු දසුනක් තියෙද
සෙනෙහසක් කිව් යමක් - තිබුණිනම් නොවෙනස්ව
මොහොතකින් මොහොතකට - සමුගනී වත්මනද
වියෙක ඇත ගත සිත ද - නික්ම ගොස් කාලය ද
හිස් තැනක් ඇත තැනක - පුරවන්ට නොහැකි ලෙස
ගමන අරඹමි විගස - මඟ බොහෝ දුර විහැක
හෂ්
සයොනාරා...රාත්‍රිය තිත්ත කළුවර සමඟ ගෙන එන්නේ පාළු සොහොන් බිමක ඇති නිසල බව. නන්නාඳුනන නිසාචර විහඟෙකු ගේ මූසල නාදය දෙසවන් පසාකර යන්නේ පවතින දැඩි සීතල ඇ¼ඟ හිරිගඩු නංවමින්. ඈත ගම කෙළවර ඉඳහිට බල්ලෙක් බිරුම් නද දෙන්නේ මිනිස් වාසයක් අසල ඇති බව කියන්නට වගේ. කෙතරම් දුර කතර ගෙවා ගෙන ආවත්, කෙතරම් ගත විඩාව තිබුණත් නිදි දෙව් දුව මා අසලට වත් නොඑන්නේ මන්දැයි මට හිතුණා. නුහුරු නුපුරුදු පරිසරයක තනිවීම මගේ හිතට ගෙන එන්නේ කල්ප කාල ගණනාවක් හුදෙකලා වූ මිනිසෙකු ගේ මානසික විඩාවක්, ඒත් ඒ විඩාව මඳකට හෝ නිවාලන්න මෙන් හෙට දවස පිළිබඳ බලාපොරොත්තු සිතට ගලා ගෙන එනවා. මේ රුදුරු යාමයේ ගත සිත ගල්වෙනා දැඩි සීතල තිබුණත් මට හිතුණා ජනේලය අරින්න. නිසොල්මනේ රාත්‍රියට බාධා නොවෙන්න මම ජනේලය ඇරියේ එහි අගුල වැටෙන හඬවත් පරිසරයට එක් නොවෙන්න. ගන මීදුම් වලාවකින් මුළු පරිසරයම වෙළාගෙන බව මට හැඟී ගියේ කාමරයේ ඇති විදුලි පහනේ අඩවන් ආලෝකය යාන්තමට මෝදුවෙලා නිසා. මම මේසය මත වූ ඩිජිටල් ඔරලෝසුවට නෙත් යොමු කළා. රාත්‍රි 12.43 සටහන් වෙලා තිබුණ බව එහි නියොන් ආලෝකය මට කිව්වා. ජීවිතයේ අනේක විදි දුක්ඛ දොමනස්සයන් විඳි මා ඒ මොහොතේ ඉන්නේ කොතැනද කියලා මේ ලෝකේ කවුරුවත් ම දන්නේ නෑ කියලා මට හිතුණා. ඒත්... ඒත් ඇය මා ඉන්නා තැන හරියටම දන්නවා. හෙට උදයේ නොවරදවාම මාගේ දෙනෙත් මානයට අසුවන ඉසව්වකට ඇය එනවා. ඔව්, මම දන්නවා ඇය එනවාමයි. හෙට හිරු පායන සේ එය සත්තයි. ඇය එනවා. සුදෝ සුදු ලිලී මල් මිටක් අතින් ගෙන සුදු හා කළු පැහැති කිමෝනාවකින් සැරසී, නෙත් බිමට හරවා ගෙන ඇය එනවාමයි. ඇය ගේ ලැසි ගමන මට චිත්ත රූප මවනවා. එක් අතෙක ලිලී මල් මිටත් අනෙක් අතේ ඉන්දියන් සුවඳ කූරුත් අරගෙන එන ඇය සොහොන් කොත පාමුල දණ ඔබා සුවඳකූරු දල්වා, මල් මිට බිම තබා යාඥා කරාවි. වසර ගණනාවක් හදවතේ තෙරපුණ සෝකය ඇය සිත් සේ පිට කරාවි. තම දුක කියාවි. ඒ වගේම සුපුරුදු ලෙසට ඔහුගෙන් ප්‍රශ්න අසාවි. උණුසුමකට ඇයට ඉතිරිව තිබෙන්නේ යුතම්පෝව පමණක් බවත් දැන් එය ඉවත් කරන්න කාලය පැමිණ ඇති බවත් කියාවි. ඇයගේ මුදු මොළොක් සිත ඒ වදන් පෙළ මුමුණන්න දැඩි වෙහෙසක් ගනීවි. ජීවිතයක් පණ පොවන්න ආදරය ඇවැසි බවත් එය සීමා මායිම් වැට කඩොලු, ජාති බේද කිසිවක් නොමැති විශ්ව සාධාරණ පොදු ධර්මතාවක් බවත් හෙමිහිට මුමුණාවි. ඇය මේ එන්නේ අවසන් වතාවට වෙන්නත් පුළුවන්. ජීවිතයේ කවදාවත් ඇය යළි මෙතැනට නොඑන්නත් පුළුවන්. ආවත් තනිවම නොවෙන්නත් පුළුවන්. ඔබට තවමත් හිතා ගන්න බැරිව ඇති කවුද එන්නේ...? කොතැනට ද එන්නේ...? කුමට ද එන්නේ...? කියලා... ඔව්, ඇය නොරිකො, මේ එන්නේ මළවුන්ගේ මාසයේ දී නකජිමා සොහොනට, සිය පණ මෙන් ආදරය කළ දෙවෙන්දොරා සං ට අවසාන වතාවට “සයොනාරා” කියන්න. යළිත් ටෝකියෝව පුරාවට සකුරා මල් පිපේවි, ඇය ගේ ජීවිතයට එහි සුවඳ දැනේවි. ඇයට හුරු පුරුදු දකුණේ දූපත් වැසියෙකු ගේ උණුසුම් සුසුමක් ඇයට දැනේවි... “ඉක්මනට ගියොත් ඉක්මනට එන්න පුළුවන්” ඇය පුන පුනා කියාවි.
මම ජනේලය වැසුවෙමි. ටී. එච්. සරත් මහනුවර
අහිමි සෙනෙහසතාත්තාගේ කෙඳිරිලි හඬ නොකඩවා ඇසේ. ඒ හඬත් සමඟ ම මගේ සිත අමුතු දුකකින් ශෝකයකින් පිරී යයි. ඔහු ලෙඩ ඇඳට වැටී වසරකට වැඩි කාලයක් ඉක්ම ගොස් ඇත. නමුදු ඔහු එන්න එන්නම අබලන් වූයේ ප්‍රතිකාරවල නොහොඳක් නිසා හෝ ඇප උපස්ථානවල අඩුවක් නිසා හෝ නොවේ. ‘ජම්මෙට වඩා පුරුද්දක් ලොකු නොවැ’ කෙතරම් අසනීප වුවත් ඔහු ඒ ජරා පුරුද්ද අත් නොහළේය. “මැණිකේ... මැණිකේ...” තාත්තා අම්මාට ආමන්ත්‍රණය කරන්නේ මැණිකේ කියාය. ඔහු එසේ අම්මාව ඇමතුවේ ඇය කෙරෙහි උපන් දැඩි ආදරය නිසාද එසේත් නැතිනම් කුඩා කල සිට ඇයට “මැණිකේ” කියා නම පට බැඳුණු නිසාදැයි මම නොදත්තෙමි. “මොකද මනුස්සයෝ හැම තිස්සෙම මැණිකේ... මැණිකේ... කියන්නේ” අම්මා සිය සුපුරුදු වදන් තෙපළේ තාත්තා ගැන උපන් කෝපය නිසා හෝ ඔහුට ඇති නොසැලකිල්ල නිසාද හෝ නොවේ. අම්මා කවදත් තාත්තාට දැඩි ලෙස ආදරය කළාය. කිසිවෙක් තම සැමියා පිළිබඳව යම් නොහොඳක් කී විට ඔහු වැරැදි බව දනිතත් ඔවුන් හා වාද කරමින් විටෙක රණ්ඩු කරමින් තම සැමියා නිර්දෝෂි කරන්නට ඇය උත්සාහ කළේ ඔහු කෙරෙහි වූ දැඩි ආදරය ඬසාය. තාත්තා එක්තැන් වීමට පෙරත් ඉන් පසුවත් ඔහුගේ ඕනෑ එපාකම් හොඳින් සොයා බලා ඉටු කිරීමට ඇය වග බලා ගත්තාය. ඇය තාත්තා සමඟ ගත කළ විසිපස් වසර පුරාවට ඔහුගෙන් ලැබු වද හිංසා අපමණය. නමුදු ඇය කිසි විටකත් සිය සැමියාට වෙනස්කමක් නොකළාය. “බීරි අලින්ට වීනා වයන්නා වාගේ හැමදාමත් කියනවා. කෝ කියන එකක් අහන එකක් යැ” තාත්තාගේ ජීවිතය පමණක් නොව අපගේ ජීවිතවල සුන්දරම කාලය විනාශ කළ ඔහුගේ ජරා පුරුද්ද පිළිබඳව ඇය සිහිපත් කළේ එලෙසිනි. අම්මාගේ තරුණ කාලයත් මගෙත් මල්ලීගෙත් අක්කාගේත් ළමා කාලයත් කළාමැඳිරි එළියක තරමකවත් ආලෝකයක් නොලබා අඳුරේම ගෙවී ගියේ තාත්තාගේ මේ ඇබ්බැහිය නිසාය. ඔහුගේ වරදක් ලෙස කවුරුත් දුටුවේ එපමණකි. ඒ නිසාදෝ ඔහු එය අත් නොහළේය. නමුදු ඒ පුරුද්ද අපේ ජීවිත විනාශ කළ සැටියක්. මට යන්තම් තේරෙන වයසේ පටන් නිවසේ අප සතුටින් ගත කළ රැයක් මට මතක නැත. සෑම රැයක්ම ගෙවී ගියේ කෑකෝ ගැසීම්, හැඬීම්, බඩු මුට්ටු කඩා බිඳ දැමීම් සමඟිනි. යන්තම් කරුවල වැටෙන තැන් පටන් අප පසු වන්නේ දැඩි බියකිනි. මමත් අක්කාත් පාඩම් කළේ කුප්පි ලාම්පු එළියෙනි. තාත්තාගේ පැමිණිම අප දුර තියා දත්තේ ඔහුගේ සුපුරුදු දෙඩිවිලි හඬ නිසාය. එය ඇසෙත්ම අපි පොත් පත් ඇඳ යට පෙට්ටගමට දමා නිදි පැදුරට වන්නෙමු. මල්ලී ඒ වන විටත් සුව නින්දේය. එසේ නොකළ දිනවල පසු දා උදෑසනට පොත්වල කැබලි අහුලා ගැනීමට අපට සිදු වේ. නොමැතිනම් කුප්පි ලාම්පුව සමඟ අළු වී ගොස්ය. අපට හරි හැටි නින්දක් ලැබුණු දිනක් අද වන තුරුත් මට මතක නැත. තාත්තා අනුන්ගේ පර වැඩ කර උපයාගත් තුට්ටු දෙක මැගි අක්කාට හෝ බබී අයියාට පූජා කළේ දැඩි ආශාවකිනි. අම්මා දර අහුලා පොල් අතු වියා අපව ඇති දැඩි කිරීමට අපට අකුරක් දෙකක් ඉගැන්වීමට දැඩි වෙහෙසක් දැරුවාය. ඇය තවමත් එසේමය. අක්කා වැඩි වියට පත් වූ දා මට අද මෙන් මතක ඇත. “ගෙදර හරියේ තඹ සතයක් නෑ...” අම්මා කඳුළු පිරි දෙනෙතින් කිරි අම්මා සමඟ පැවසුවාය. ඇයට ආභරණයකට කියා තිබුණු රන් මාලය උගස් කර හැකි ලෙස අක්කාගේ කටයුතු ඉටු කළාය. තාත්තාට ඒ ගැන වැඩි උනන්දුවක් නොතිබුණත් සිය ගෝල බාලයන් සමඟ සුපුරුදු ක්‍රියාවේ යෙදීමට එය අවසරයක් කොට ගත්තේය. අක්කා සාමාන්‍ය පෙළ සමත් වුවත් උසස් පෙළ නොකළේ පවුලේ ආර්ථික තත්ත්වය ගැන සිතු බැවිනි. මා සරසවියට සමත් වූ දා පටන් ඇය දිවා රෑ නොබලා වෙහෙස වන්නීය. විසිතුන් වන විය පසු කර සිටියත් ඈ තවමත් විවාහය පිළිබඳව සිතා වත් නොමැත. “අයියේ තාත්තා ඉස්පිරිතාලේ ගෙනිච්චා... අම්මත් තාම ආවේ නෑ” දිනක් මා නිවසට පැමිණි සැණින් මල්ලි පැවසුවේය. “ඇයි මොනවා වෙලා ද?” මම ඇසුවෙමි. “ලේ වමනේ දාලා... හොඳටම අසනීපයිලු...” එදා පටන් අද වන තුරුත් ඔහු ලෙඩ ඇඳේ. “මින් පස්සේ සිරිසේන උන්නැහේ ප්‍රවේසම් වෙන්න ඕනා. ආයෙමත් සමාවක් ලැබෙන එකක් නෑ...” දොස්තර මහතා තාත්තාගේ ජීවිතේ අවසාන අනතුරු ඇඟවීම් කළේය. එනමුත් අපට තියා සිය ජීවිතයටවත් ආදරය නොකළ ඔහු සිය නරක පුරුද්ද අත් නොහළේය. ඔහු අප සියල්ලට හොරෙන් සිය මිතුරන් ලවා එය සපුරා ගත්තේය. “ලොකු පුතේ... ලොකු පුතේ...” අම්මා උස් හඬින් කතා කරනු මට ඇසණ. මම හනිකට තාත්තාගේ ඇඳ අසලට දිව ගියෙමි. “තාත්තට හොඳටම අමාරුයි...” අම්මා කඳුළු පිරි දෙනෙත් තාත්තා දෙසට යොමු කරමින් පැවසුවාය. “පුතේ... මයේ පුතේ...” තාත්තා කතා කළේ දැඩි ආයාසයකිනි. මල්ලි ද ඇඳ අසලට ආවේය. “කෝ ලොකු පුතේ අක්කා... කෝ මැණිකේ මයේ කෙලී... මගේ කෙල්ලට වරදින්නැ එකී හොඳ එකී...” අම්මා කිසිත් නොකියා හඬන්නට වූවාය. අක්කා රාත්‍රි වැඩ මුරයට ගොස්ය.
“පුතේ උඹලා මට සමාව දෙනවා නේද... මැණිකේ මට සමාවෙයන් රත්තරනේ... මට සමාවෙයන්ලා...
මම උඹලට ආදරෙයි... මට සමාවෙයන්ලා...” තාත්තා හඬමින් මල්ලි තුරුලු කර ගත්තේය. මගේ
නෙත් කඳුළින් තෙත් වනු මට දැනිණ. අම්මා කිසිත් නොදොඩා හඬන්නීය. එක්වරම තාත්තාගේ
සිරුර නිසල විය. තවත් එතැන රැඳීමට අපහසු වූ මම මොහොතකට පෙර ලද පිය සෙනෙහස අහිමි
වීමෙන් හිමි වූ දුක දරා ගැනීමට නොහැකිව කාමරයට දිව ගියෙමි. දිනිත සඳමල් රාජකුලතුංග මානව ශාස්ත්‍ර පීඨය කැලණිය සරසවිය
විනෝද කතා
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |