කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා
රජරට අස්වද්දන්න එදා දහදිය හෙළූ ගොවි මතාවක ගේ මතකය

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා
අපි වතුර බීලා තියෙනවා

කෙහෙල්ගමුවේ ගෙදර ඩිංගිරි අම්මා
දිරිය මව

සියලු තුරු ලතා පිරුණු සිසිල් දියෙන් පිරුණ ශාන්ත පරිසරයක් වූ කොත්මලා රැජනගෙන් මිදී ඉඩම් ලැබී සුන්දර ඓතිහාසික රජරටට පැමිණි යුගයේ, මුළු වනාන්තරයම අලි කොටි වලස් දාර පිඹුරු නයි පොළොං විස ඝෝර සතුන්ගෙන් පිරුණු අඩවියකි. එය මින්නේරි දෙවියන්ගේ බල මහිමය හා පුල්ලෙයාරේ දෙවියන්ගේ අණ සත්ත තිබුණ බල තිබුණු ප්‍රදේශයක් ලෙස ද සැලකේ.

1948 දී එළිපෙහෙළි වූ මින්නේරිය ජනපදයේ කවුඩුල්ල ප්‍රදේශයේ විසිහයේ (26) කොළණියට පසුගිය දිනෙක අප ගියේ එදා රජරට විත්ති සෙවීමටය.

එදා රජරට සංවර්ධනයේදී මහ ගස් කපා කැලය සුද්ද කොට බිම පෙරළා කුඹුරු අස්වැද්දූ වීරෝදාර ගොවි මවුපියවරුන්ගෙන් අද ඉතිරිව ඇත්තේ අතේ ඇඟිලි ප්‍රමාණයටත් අඩු පිරිසකි. මෙහිදී අපට හමුවූ දිරිය මවකි. ඇය කෙහෙල්ගමුවේ ගෙදර ඩිංගිරි අම්මා (89) ගොවි මාතාවයි.

”එදා 1948 දී අපි පරම්පරා ගණනක් ජීවත්වූ උපන් බිම් අත්හැරලා මෙහාට එන්න වුණේ නායගොස් ගම් නියම්ගම් විනාශවී අනාථ වූ නිසයි.

අපි එන දවසෙ උලපනේදී අපිට කෑම දුන්නා. කදාර් රෙදි අඳින්න දුන්නා. හිඟුරක්ගොඩ අහස්යාත්‍රා පිට්ටනියට අපි අරන් ආපු දවසෙ පාර දිගේ පොල්අතු දාල වාඩි කරවල හාල්මැස්සො හොදිත් එක්ක අපිට පාන් කන්න දුන්නා. එක පොල් අතු වාඩියක කාමර 10ක් විතර තිබ්බා. පවුල් අටක් විතර එක වාඩියක නතර කළා.

ඒ කාලේ අපේ ඉඩ කඩම්වලට ආපු යුගේ මුළු ප්‍රදේශය පුරාම අලි කොටි වලස් ආදී සතුන්ගෙන් පිරිලා. හැම තැනකම යෝධ සර්පයො, අලි ලැගපු වළවල්. අපි ඒවායින් අලි බෙටි අයින් කරලා තිබහට වතුර බීලා තිබෙනවා.

මයියොක්කා ලී කෑල්ල ගේන්න හිඟුරක්ගොඩ ගුවන් තොටුපළට අපි පයින් ගිහින් තිබෙනවා. එදා අද වගේ තාර පාරවල් බොරළු පාරවල් තිබුණේ නෑ. යටියල්පතානේ බෝම්බ දමන හරහා තමයි කරත්ත පාරෙන් ඛ්ඹ්ඟුරක්ගොඩට ගියේ.

එදා තුන් හතර දෙනකුට බදන්න බැරි පලු, බුරුත, වීර ගස් තමයි කැලේ පිරෙන්න වැවිලා තිබුණේ. රාත්‍රිය අලි කෑගහනකොට අපි ගිනිගොඩවල් ගහගෙන හිටියෙ.

කැලේ ශුද්ධ කරලා බත් කන්න ගියාම බත් මුල පුරා කූඹි. වතුර වළවල්වල රොඩු අයින් කරලා තමයි වතුර බීවේ. එදා අපේ පුරුෂයන් සමඟ මං හරිහරියට කැලේ ශුද්ධ කළා. ගිනි තිබ්බා. හුඹස් බින්දා නියර දැම්මා.

දරු මුණුබුරන් සමඟ

අපිට ආණ්ඩුවෙන් ලැබිච්ච බිත්තර වී බුසල් දෙක වැපුරුවා. දෙවියන්ගේ නාමෙට ගොයම හැදුණා කවදාවත් දැකලා නැති විදියට. මේවා දැකපුවාම අපේ හිත්වල මල් පිපුණා.

හිඟුරක්ගොඩ සෙන්ට්‍රල් කඩෙන් අපිට හුඟාක් උදව් තිබුණා. ගොයම් කපලා සල්ලි හරි වී හරි දෙනකම් අපිට ණයට බඩු දුන්නා. ඒ විතරක් නොවෙයි ඒ පිංවන්ත මිනිස්සු අපිට ගෙදරට වෑන් එකෙන් බඩු ගෙනත් දුන්නා. පොතේ ලියලා ණයට වෑන් එකේ ඇවිල්ලත් තියෙනවා.

හැමෝම අත් උදව්වට වැඩකර ගත්තා. පවුලේ දරුවන් හත්අටදෙනා ඉන්න අය තමන්ගේ වැඩ තනියම කරගත්තා.

කුඹුරේ හේනේ වැඩකරලා හවසට පයින් යන්න ඕන වාඩිවලට. අපි හට්වලට යන්නේ උල්කටුඇළෙන් එගොඩවෙලා. ඒ කාලේ මාදම්ගෙඩි ගස් යට ඉදිලා වැටිලා. අපි ඒවා ඇහිඳගෙන චීත්ත රෙද්දේ ඔතාගෙන කකා යනවා. දරු පැටවුන්ටත් ගිහිල්ලා දෙනවා. බතල රංහාමි උන්දැ අපිට මයියොක්කා ලී කෑලි දෙක දෙක දුන්නා බෝකර ගනිල්ලා කියලා.

ගොයම් කපන කාලෙට අප්පච්චි ගමේ ඉඳලා හාල් පොල් බුලත් පුවක් ගේනවා. ගෙනල්ලා අක්කලා නංගිලා අපිට බෙදලා දෙනවා.

අප්පච්චි සුමානයක් විතර වැඩකරනවා. ගෙනාපු දුම්කොළ ඉවර වුණාම දුම්කොළ නැටි කටේ තියාගෙන වැඩ කරනවා.

ඒ කාලේ හිගුරක්ගොඩ ටවුමේ පොඩි රේල් පෙට්ටියක් තමයි තිබුණේ කෝච්චි නතර කරන්න. වලස්සු කොටි ගිය පාරේ තමයි අපි හිඟුරක්ගොඩට බඩු ගේන්න ගියේ. අපි හැට හැත්තෑවක් තරම් කල්ලියක් එකතු වෙලා තමයි හාල් පොල් කරවල බුලත් පහේ ගේන්න කැලෑ පාරෙන් ටවුමට ගියේ.

අපිට ගෙවල් හදලා දුන්නට පස්සේ කිරි උතුරුවලා පිරිත් කියලා අපි දූ දරුවොත් එක්ක ගෙවල්වල පදිංචි වුණා. වැඩි දෙනෙක් දරුවෝ ගෙනාවේ පස්සේ. ටිකිරි බංඩයියයි කොහිල වත්තේ ගෙදර මුදියන්සේ කුඩප්පච්චියි හැමදාම රාත්‍රි 1 – 2 වෙනකම් කවි සීපද පිරිත් කියනවා.

ඩිංගිරි අම්මා රජරටට පැමිණ පදිංචි වූ මුල්ගෙදර

ඒ කාලෙ බුලත් 100ක් සත පහයි. පොල් ගෙඩියක් සත අටයි. මුළු දවසම වැඩ කළාම රුපියල් දෙකයි පඩිය දෙන්නේ.

අපේ දුක සැප බලන්න මහ සේනානායක උන්නාන්සේ ඇවිත් තියනවා. එතුමා මහා පිංවන්ත යෝධයෙක් වගේ. කටහඬ සිංහයෙක්ගෙ වගේ. එතුමා එදා වැඩ කෙළේ තුන් කල් බලලා. එතුමා ඇවිත් අපේ ගෙවල් ඔක්කොටම යතුරු බාර දුන්නා. අපි එදා බාර ගත්තේ රටක් රාජ්‍යයක් බාර ගන්නවා වගේ හරිම සතුටින්. ආඩම්බරෙන්. ගෙවල් ලොකුවට හදලා මාලිගා වගේ හුණු ගාලා ඒ උත්තමයට අදත් මම උදේ සවස පිං දෙනවා.

ඒ කාලේ වී බුසලක් රුපියල් හයයි. ඒකාලේ හිඟුරක්ගොඩ කඩේක වී ගන්න දෙන කොට අමුතු සංගදියක් තිබ්බා. ලොකු දුව බුසල ගේන්න කියන කොට ලොකු බුසල ගේනවා. පොඩි දුව බුසල ගේන්න කියන කොට පොඩි බුසල ගේනවා.

දවසක් අප්පුහාමි අයියා යමල්ලා වරෙල්ලා දර ටිකක් ගේන්න කියලා අපි ගෑනු රොත්තක් දක්කගෙන දර ගේන්න ගියා. මම කොටයක් කියලා හිතාගෙන පිඹුරෙක් උඩ නැගලා දර කපලා තියෙනවා. මම බයවෙච්ච පාර කුඹුරටම දුවලා ගිහින් අපේ උන්දැට කාරණාව කිව්වා. මම කිව්වා මට මෙහේ ඉන්න බෑ කොත්මලේටම යන්න ඕන කියලා.

ආයේ දවසක හම්බු කපන්න ගිහිල්ලත් ඒත් පිඹුරෙක් උඩ හිටගෙන හම්බු කපලා තියෙනවා. ඌ හෙල්ලෙන කොටයි දැනුණේ. අනේ දෙයියනේ මටමයි එහෙම වුණේ.

කාලයක් ගියා. නයි පොළොන්ගු කාලා කට්ටිය මැරුණා. කොටියා ඇඟට පැනලා, වලහ පහුරු ගාලා මිනිස්සු මැරුණා. ඉතිං අපි පවුල් පිටින් සිය ගණන් අඩාවෝ ගාගෙන මරණ ගෙවල්වලට යනවා. අද වගේ එම්බාම් නෑ. දවස් තුනේ හතරේ මිනී ගෙවල්වල තියෙනවා.

ඕජස් ගල ගලා. බේසම් යටින් තියලා ජරාව විසිකරනවා. දවස් ගණන් මළ ගෙදර ගඳ ගහනවා. මැස්සන් පිරිලා. ඒත් මිනිස්සු දුක දරාගෙන ඉවසගෙන ඉන්නවා. ඒ කාලේ මිනී පිට්ටනියට ගමේම අය යනවා. හාමුදුරුවරුත් පයින්ම පිට්ටනියට මඩේ වඩිනවා.

එල්.බී.නමයෙ ගමේ හිටියා කරත්ත බංඩා කියලා කෙනෙක්. එයා මහ කැලේ මැද තිබුණ ගල් බුදු පිළිමයක් කරත්තෙ දාගෙන ඇවිල්ලා. නමුත් රාත්‍රී හීනෙන් බයකරලා තියනවා. පිළිමෙ ගිහින් දාපං නැත්නම් ඇස් පොට්ට කරනවා කියලා. පිළිමේ ආපසු දාන්න තිබුණ තැන හොයාගන්න බැරි වෙලා තියෙනවා.

කොහොම හරි අන්තිමට එයාගේ ඇස් දෙකම අන්ධ වුණා.

ඒ කාලේ මිනිස්සු තම්බාපු හාල් කෑවේ නෑ. ගම්වලින් බිත්තර වී ගෙනල්ල වගා කරගෙන නිවුඩු හාල් කැකුළෙන් කෑවා. ලෙඩ ජාති මොකවත් තිබුණේ නෑ. හැමදෙනාම 70 – 80- 90 පැනලා තමයි මැරුණෙ.

එදා ඉලංතාලියං, පච්ච පෙරුමාල්, දික්වී, හැල් සිදුවී, හීනටි වී, ඒ බත් තමයි කෑවේ. හරිම රසයි බරයි. වී බුසලක් වැපුරුවාම බුසලට වී බුසල් සීයේ ඉඳලා එකසියවිස්ස, තිහ තිබිලා තියෙනවා.

එදයි අදයි රටේ දියුණුව අහසයි පොළොවයි වගේ. අපේ දරු මුණුබුරෝ අද රටේ ඉහළම තැන්වල ඉන්නවා. ඔවුන්ට තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේම පිහිටයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]