කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
කොටි හොල්මන් සහ හොල්මන් කොටි

කොටි හොල්මන් සහ හොල්මන් කොටි

කයිවාරුවට කියන්නේ තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන්නේ එංගලන්තයේ කියාය. තරුපහේ මාධ්‍ය නිදහස තිබෙන්නේ ද එංගලන්තයේ කියාය. කයිවාරුව එසේ වුවද කෙරුවාව නම් බලු නොවටී.

අපේ ජනාධිපතිතුමා කොහේ හරි වෙන ගමනක් යන ගමන් එංගලන්තයට කඩා පාත් වූවා නොවේ. එසේම කොහේ හරි යන ගමන් කඩාපාත්වී බලෙන් ඔක්ස්ෆර්ඩ් සරසවියට රිංගා කතාවක් පවත්වන්නට උත්සාහ කළාද නොවේ.

එතුමා එහි ගියේ දේශනයක් පවත්වන්නැයි ඔක්ස්ෆර්ඩ් සරසවියේ ශිෂ්‍ය සංගමය මඟින් විධිමත් ලෙස කරන ලද ආරාධනාවක් අනුවය.

එම විධිමත් ආරාධනය ගෞරවයෙන් පිළිගෙන එම දේශනය පැවැත්වීම සඳහා එංගලන්තයට ගිය මොහොතේ ආරක්ෂාව අතින් අග්‍රගන්‍ය යැයි ලෝකයේම ප්‍රසිද්ධව ඇති හීත්‍රෝ ගුවන් තොටුපොළට කොටි හිතවාදීහු කඩාවැදුණාහ. ප්‍රභාකරන්ගේ ඡායාරූප ද ඔසවාගෙන කෑගැසූහ.

ඔවුන් පාලනය කරගන්නට එංගලන්ත ආරක්ෂක නිලධාරීන්ට හැකි වූයේ නැත. හීත්‍රෝ ගුවන් තොටුපොළ කොටි හිතවාදීන්ගේ ග්‍රහණයට හසුවී තිබිණි. මෙය ඉතා ඛේදනීය තත්ත්වයකි.

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයක් පරාජය කරන අයුරු ලෝකයටම ප්‍රදර්ශනය කළ රටකි. අපේ රාජ්‍ය නායකයා ලොව වැඩිම අවධානය දිනාගත් රාජ්‍ය නායකයා බවට පත්ව සිටින්නේ එබැවිනි. එහෙත් තමන්ගේ ගුවන් තොටුපොළක්වත් ආරක්ෂා කර ගැනීමට නොහැකි තරමට එංගලන්තය හෑල්ලු වී ඇත්තේය.

කොටි ත්‍රස්තවාදය උග්‍රව තිබෙද්දීත්, බෝම්බ පුපුරද්දීත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායක සමුළු පැවැත්විණි. ඒ සමුළුවලට පැමිණෙන රාජ්‍ය නායකයින්ට දූවිලි කැටයක තරම්වත් බාධාවක් හෝ කරදරයක් ඇති නොවීය. ප්‍රශ්න, අර්බුද, යුද්ධ තිබියදී පවා ආගන්තුක රාජ්‍ය නායකයන්ගේ ගරුත්වය ද රටේ ගරුත්වය ද රැකගත්තේ එසේය.

කොටි හොල්මන් ගැන අපි පුදුම නොවෙමු. ඒ ඔවුන්ගේ ස්වභාවයයි. බොහෝ රටවල් කොටි සංවිධානය තහනම් කර ඇත්තේ එබැවිනි. අප පුදුමවන්නේ එංගලන්තයේ ඇති ඛේදනීය තත්ත්වය ගැනයි.

මේ කොටි හොල්මන් සමඟ එක්වූ හොල්මන් කොටි ගැන ද ආන්දෝලනයක් මුදුන් වෙමින් පවතී.

දොස්තර ජයලත් ජයවර්ධන එ.ජා.ප. මන්ත්‍රීවරයාට නිර්දය චෝදනා එල්ලවී ඇත. ජයලත් මන්ත්‍රීවරයා කොටි හිතවාදියකු වශයෙන් ප්‍රසිද්ධය. “සයිරන් දොස්තර” යනුවෙන් ද ඔහුට නමක් පටබැඳී තිබේ. කොටි ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාව ගිනිබත් කළ සමයේදී ජයලත් ජයවර්ධන මහතා ඔවුන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවත් මැස්සකුටවත් යා නොහැකි වාතාවරණයකදී වුවද උතුරට ගොස් කොටි නායකයන් හමුවූ බවත් ප්‍රකට කරුණකි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා හීත්‍රෝ ගුවන්තොටුපොළට ළඟා වන විට කෑගසන්නට රැස්ව සිටි කොටි හිතවාදීන් අතර ජයලත් මහතා ද සිටි බවට කෙලින්ම චෝදනා එල්ල වී තිබේ.

දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා මේ පිළිබඳව චෝදනා එල්ලකොට ඔහු පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා යෝජනාවක් ගෙන එන බවද පාර්ලිමේන්තුවේදී පැවැසීය.

කොටි හිතවාදීන් උද්ඝෝෂණය කරන්නේ බාධා කරන්නේ මහින්ද රාජපක්ෂ නම් වූ පුද්ගලයාට නොවේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාට ය. මහින්ද රාජපක්ෂ මැතිතුමා පෞද්ගලිකව ඔවුන්ට කළ දෙයක් නැත. එහෙත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා සහ සේනාධිනායකයා වශයෙන් ඉදිරිපත්ව තිස් වසරක ත්‍රස්තවාදී ශාපයෙන් ශ්‍රී ලංකාව මුදා ගත්තේය. මේ හොල්මන් කරන්නේ කොටි මර්දනය වීම දරාගත නොහැකි කොටි සහ කොටි හිතවාදීන්ය.

”ශ්‍රී ලංකා රජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දිවි හිමියෙන් රැක ගනිමි”යි කියා ප්‍රතිඥා දුන් ශ්‍රී ලංකා පර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු දේශද්‍රෝහී තහනම් සංවිධානයක් සමඟ ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාට එරෙහිව එතෙරකදී පෙළගැසීම විශේෂයෙන් සලකා බැලිය යුත්තක් බවට අටුවා ටීකා අවශ්‍ය නැත. එය සදාචාරය පිළිබඳව පමණක් නොව ව්‍යවස්ථා විරෝධී බව පිළිබඳව ද ප්‍රශ්නයකි.

දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා ගෙන එන්නට සූදානම් වන යෝජනාව සමඟ කොටි හිතවාදීන් හැරෙන්නට මුළු මහත් ජනතාවම එකට පෙළගැසෙන්නට සූදානම් ව සිටින බව අවධාරණයෙන් ප්‍රකාශ කරමු.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]