කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

ජයලත් දෙවරක් ලන්ඩනයට ගොස් සාකච්ඡා කෙළේ කා සමඟද?

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

මේ නරිනාටක ඒ නිසා ය

කිසියම් පුදුමයක් ඇති කරවමින් රනිල් වික්‍රමසිංහ මහතා සිද්ධියක් ගැන වහාම කතා කෙළේ ය. “අනේ අපි නං ඕවට නෑ - අපි නෙවෙයි ඒක කෙරුවේ”

එංගලන්තයේ කොටි නාඩගම ගැන වික්‍රමසිංහ මහතා එසේ කීවේය. එජාපයේ ඇතැම් චරිත හා එල්.ටී.ටී.ඊ. ය අතර පැවැති කුප්‍රකට සබඳතා සම්බන්ධයෙන් කිසිත් නොකියන පිළිවෙතක සිටි රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රථම වරට යම් සිද්ධියක් තම පක්ෂය සම්බන්ධ නැති බව කීමට සිදුව තිබේ. එසේ වූයේ කාරණා දෙකක් නිසා ය.

එක් අතකින් එංගලන්තයේ ඇතිවූ සිද්ධියට කිසියම් හෙයකින් එජාපය දැන හෝ නොදැන උදවු දී තිබේ නම් ඉන් එම පක්ෂයට අත් වන්නේ මහත් පිළිකුලකි. අනෙක් අතින් නායකත්වය අසීරුවෙන් රැක ගැනීමට යත්න දරණ මොහොතේ ඇති වූ මේ සිද්ධියෙන් වහාම අත සෝදා ගත යුතු බවත් ඔහුට දැනෙන්නට ඇත. කෙසේ වෙතත් එංගලන්තයේ කොටි වියරුවට තම පක්ෂය සම්බන්ධ නැති බව කී කාරණය සැක සහිතය. දැනට තොරතුරු වාර්තා වන්නේ කොටි ලාංඡනය සහිත කොඩිය යටතේ ප්‍රමුඛව කොටි ක්‍රියාකාරින් ද, එජාප හා ජ.වි.පෙ ක්‍රියාකාරීන් පිරිසක් ද හීත්රෝ ගුවන් තොටුපළේ පැවති නින්දිත විරෝධතාවට සහභාගි වූ බවයි. අන්තර්ජාලයේ දකින්නට ලැබෙන වීඩියෝ දර්ශන හා ඡායාරූපවලින් එහි ඇත්ත නැත්ත තවදුරටත් තහවුරු කළ හැකි ය. ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නැ¼ඟූ හා එහිම අනිත් පැත්ත වන සරත් ෆොන්සේකා නිදහස් කළ යුතු බවට විදේශ රටවල් කිහිපයක විරෝධතා සංවිධානය කළ මුහුණු ද ඒ අතර පහසුවෙන් සොයා ගත හැකි වනු ඇත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හා රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා නැඟීමට ව්‍යාජ වීඩියෝ පට නිර්මාණය කළ බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව හා කුප්‍රකට වෙබ් අඩවි කිහිපයක් මේ සිද්ධියේ දී ක්‍රියා කළ ආකාරයත් මේ සිද්ධිය ආශ්‍රිතව එජාපය හා ජ.වි.පෙ ක්‍රියා කළ ආකාරයත් මොනවට ගැලපෙයි. ජනාධිපතිතුමාගේ එංගලන්ත සංචාරයට ඔන්න මෙන්න කියා තිබියදී ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා දෙවරක් එංගලන්තයට ගොස් සාකච්ඡා කෙළේ කවුරුන් සමඟ ද? මේ අතර අය වැය විවාදය පවා මඟ හරිමින් ජයලත් ජයවර්ධන මහතා මේ හදිසියේ එංගලන්තයටත්, පසුව ඔහු ම කී පරිදි ඉතාලියටත් ගොස් ඇත්තේ මේ දිනවල යුරෝපයට ඇද වැටෙන අධික හිම පතනයවත් දැක බලා ගැනීමට ද?

පුදුමයකට මෙන් ජයලත් ජයවර්ධන මහතා නිදොස් කොට නිදහස් කිරීමට එජාපයේ එකම මන්ත්‍රීවරයකුවත් ඉදිරිපත් වූයේ නැත. ජෝන් අමරතුංග මහතා ඇතුළු තවත් එජාප මන්ත්‍රීවරු කොටි ත්‍රස්තවාදීන් එංගලන්තයේ දී පෙන්වූ වියරුව හෙළා දැක්කෝ ය. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තත්ත්වය ඊටත් වඩා උග්‍රය. ජයලත් ජයවර්ධන ද්‍රෝහියෙක් බවත් ඔහු වැනි අයගේ නොපනත්කම් නිසා එජාපය තවදුරටත් මහජනතාවගේ පිළිකුළට ලක්වන බවත් තවත් පිරිසක් කීහ.

එහෙත් මේ සිද්ධිය නිසා එ.ජා.ප ය උභතෝකෝටිකයකට මුහුණ දී සිටී. ජයලත් ජයවර්ධන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන නිසා ඔහු රැක ගැනීමට වුවමනා ය. එහෙත් ජයලත් රකින්නට යෑමෙන් එජාපයේ ශේෂ වී තිබෙන සාමයත් දියවී යන්නේ ය. ජනතා විමුක්ති පෙරමුණට නම් ඔවුන්ට ම ආවේණික මෝඩ න්‍යායක් ඉදිරියට දමා ගැලවෙන්නට උත්සාහ දැරිය හැකි ය. මොකද ඔවුන් කතා කරන්නේ අධානග්‍රාහී තම පාක්ෂිකයන්ට මිස ශ්‍රී ලාංකේය මහජනතාවට නොවන හෙයිනි.

ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා සහ ඔහුගේ කොටි සබඳතා පිළිබඳ චෝදනා නැඟුණේ අද ඊයේ නොවේ. එල්.ටී.ටී.ඊ. ය උතුරේ හා නැඟෙනහිර තම ආධිපත්‍යය පැතිර වූ කාලයේ නිදහසේ උතුරේ සංචාරය කළ හැකි වූ අතළොස්සක් මන්ත්‍රීවරුන් අතර ජයලත් ජයවර්ධන මහතා ද ඇතුළත් ය.

මේ පිළිබඳ විවිධ කතා ඇසෙන්නට ගත්තේ මීට වසර ගණනක සිට ය. අන්තර්ජාතික සමුළු පැවැත්වෙන අවස්ථාවල ස්විට්සර්ලන්තය, කැනඩාව, එංගලන්තය, නෝර්වේ වැනි රටවලට යන ජයලත් ජයවර්ධන මහතා කොටි නායකයන් ගේ නිවෙස්වල නවාතැන් ගෙන ඔවුන් අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවලට රැගෙන ගිය බවටත් ප්‍රසිද්ධියේ චෝදනා නැඟිණ. මේ සම්බන්ධයෙන් ආසන්නම සිද්ධිය වාර්තා වූයේ මීට මාස දෙකකට පමණ පෙර ය. අවාසනාවකට මෙන් ජයලත් ජයවර්ධන මහතාට හෝ එජාපයට හෝ ඒ සිද්ධි සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසනීය පැහැදිලි කිරීමක් කළ නොහැකි විය. එජාපයේ කොටි නියෝජිතයා ජයලත් ජයවර්ධන බව කියන්නේ ඒ පක්ෂයේ ම මන්ත්‍රීවරුන් ය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය දැරූ එ.ජා.පෙ ආණ්ඩු කාලයේදී එවකට ඇමැති ජයලත් ජයවර්ධන උතුරේ මාර්ග සංවර්ධනයට යැයි කියමින් තම පවුලේ සමාගම්වලට රජයේ කොන්ත්‍රාත් ලබා ගත් බවට ප්‍රබල චෝදනා නැඟිණි. ඔහු ගේ පැටිකිරිය ඒ දිනවල ම සන්ඩේ ලීඩර් පුවත්පතේ පිටු පුරා පළ කෙරිණ. උතුරේ මාර්ග සංවර්ධනයට රජයේ මුදල් වැය වී ඇතත් කෙරුණු මාර්ග සංවර්ධනයක් නැත. එවකට කොටි ත්‍රස්තවාදී ග්‍රහණයේ පැවති ප්‍රදේශ කිහිපයක නිවාස ඉදිකිරීමට යැයි කියමින් රජයේ මුදල් මිලියන ගණන් වැය කෙරිණි. ඊට අදාළ පුද්ගලයා අද සරත් ෆොන්සේකාගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

ඒ මුදල් දෙකට බෙදී කොටසක් සාක්කුවටත් තවත් කොටසක් ප්‍රාදේශීය කොටි නායකයන් ගේ සාක්කුවලටත් ගිය බව සිතා ගත හැකි ය. මෙවැනි පුද්ගලයන් හා අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන ඩොලර් මිලියන ගණන් වැය කොට ඒ ප්‍රදේශවල කැර තිබූ ‘ව්‍යාපෘති’ ලෝකයටම ප්‍රදර්ශනය කෙරිණි. දෙමළ ජනතාවට සහන සලසන බව කියමින් මොවුන් මුදල් ගෙන්වා ගෙන ඒවා තමන් හා ත්‍රස්තවාදීන් අතර බෙදා ගත් අයුරු දැන් රහසක් නොවේ. එහෙත් අද ඒ ‘ආදායම් මාර්ග‘ සම්පූර්ණයෙන් ම වැසී ගොස් ය. උතුර හා නැඟෙනහිර මුළුමණින් ම නිදහස්ව ඇති අතර ඒ පළාත්වල සිදු කැරෙන කඩිනම් සංවර්ධනය ද ලෝකයටම පෙනෙයි. උතුරේ දුම්රිය මාර්ගය ද ඉක්මණින් ම ගොඩනැඟෙනු ඇත. ඉන්දීය විදේශ ඇමැතිවරයා උතුරේ සංචාරය කළා පමණක් නොව දුම්රිය මාර්ග සංවර්ධනයට ඩොලර් මිලියන තුන්සියයකට අධික මුදලක් ද ප්‍රදානය කෙළේ ය. උතුරේ සංවර්ධනය විනිවිද භාවයකින් හා ලෝකයේ අනිත් රටවල සහයෝගයෙන් සිදු වෙමින් පවතින විට එල්.ටී.ටී.ඊ. ගැති පුද්ගලයන්ට හා රාජ්‍ය නොවන සංවිධානවලට තවදුරටත් දෙමළ ජනතාවට සහන සැලසීමට බව කියමින් විදේශ මුදල් ලබා ගත නොහැක. ඔවුන් ගේ සරු ආදායම් මාර්ගයක් වැසී ගොස් ඇත්තේ ඒ ආකාරයෙනි.

මානව හිමිකම්, ජනමාධ්‍ය නිදහස, ජනවාර්ගික අයිතිවාසිකම්, සාමය, යුද විරෝධය, වැනි ව්‍යාජ නාම පුවරුවලට මුවා වී බෙදුම්වාදී කොටි මතවාදය පතළ කරන වැඩමුළු, සම්මන්ත්‍රණ, දේශන සංවිධානය කරමින් විදේශ රටවලින් ඩොලර් මලු ගෙන්වා ගත් එන්.ජී.ඕ. ප්‍රජාව ද අද අනාථය. ලංකාවේ ප්‍රශ්නය විසඳන හැටි උගන්වන වැඩමුළු සඳහා දැන් නොමිලයේ විදේශ සංචාර ලැබෙන්නේ ද නැත. කොටි මතවාදයෙන් යැපෙමින් සුකුමාර ජීවිත ගත කළ අයට ද දැන් පාර වැරැදී ඇත. එකල ජනමාධ්‍යවලට අරක් ගත් සාම වෙළෙන්දෝ දැන් සොයා ගැනීමටවත් නැත. කෙටියෙන් කිවහොත් ඒ සියලු දෙනාගේ ම ආදායම් මාර්ග වැසී ගොස් ය. මේ සියල්ලන්ටත් වඩා තදින් පහර වැදී තිබෙන්නේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට ය. ශ්‍රී ලංකාවේ ඊළාම්වාදය සඳහටම අවසාන බව ඔවුහු දනිති. මෙරට නැවත ත්‍රස්තවාදය ඉස්මතු කළ නො හැකි බවත් වටහා ගෙන ඇතිවාට සැක නැත.

එයින් ඊළාම් සිහිනය පමණක් නොව මෙතෙක් තමන් වෙත දිනපතා ගලා ආ දැවැන්ත ධනස්කන්ධය ද නතර වෙමින් පවතින බව ඔවුන්ට වැටහෙයි. ත්‍රස්තවාදී මානසිකත්වයෙන් යැපුණු ඔවුන්ට සාමාන්‍ය ජීවිතයක් ගෙන යෑම අසීරු ය. එංගලන්තයේ හීත්රෝ ගුවන් තොටුපළේ දී ඉකුත් දා ප්‍රදර්ශනය කෙරුණේ ඒ මාරාන්තික වියරුවයි.

අදටත් මතුවටත් ශ්‍රී ලංකාවේ කොතැනකවත් ඊළාම් කොඩිය එසවිය නොහැක. එහෙත් කොටි කොඩිය තවමත් විදේශ රටවල් කිහිපයක දැකගත හැකිය. ඒ අතරින් කොටින්ගේ ප්‍රධාන තිප්පොළ බවට පත්ව තිබෙන්නේ එංගලන්තයයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට පැමිණ දෙවැනි වරටත් ලෝකය ඇමතීම එල්.ටී.ටී.ඊ.යේ පැත්තෙන් ගත් කළ ඔවුන්ගේ හදවත සිදුරු කිරීමකි. ජාතිකව එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය තුරන් කළා සේම අන්තර්ජාතිකවත් ශේෂ වී තිබෙන කොටි අවතාර හා රූකඩ මෙයින් මහත් සේ තැතිගත් බව පෙනිණ. එංගලන්තයේ හයිඩ් පිටියට ගොස් ඕනෑම අයකුට ඕනෑම දෙයක් කීමට නිදහස ඇති බව අසා තිබිණ. ඊටත් එංගලන්තය යනු වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ පුද්ගල නිදහස වෙනුවෙන් අන් රටවලට ද ආදර්ශ දුන් රටකි. භාෂණයේ නිදහස පරිදි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමගේ දේශනය අසා සිට ඒ ක්‍රමයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව පිළිතුරු දිය නොහැකි බව වටහාගත් එල්.ටී.ටී.ඊ.ය එය නතර කිරිමට යොදා ගත්තේ හුරු පුරුදු ප්‍රචණ්ඩත්වයයි. එංගලන්තය වැනි රටක් ඒ ප්‍රචණ්ඩත්වයට ඉඩදීම කෙතෙක් යුක්ති යුක්ත දැයි දැන් ජාතික හා අන්තර්ජාතික මාධ්‍ය මඟින් ප්‍රශ්න නැඟෙයි. කෙසේ වෙතත් එය එංගලන්තයේ ප්‍රශ්නයකි.

කෙසේ වෙතත් ජනාධිපතිතුමාගේ ඔක්ස්ෆර්ඩ් දේශනය නතර කිරීමට එල්.ටී.ටී.ඊ.ය හා ඔවුන්ට ගැති රූකඩ සැලසුම් සහගතව ක්‍රියාත්මක වූ බව මොනවට පෙනෙයි. ජනතා විමුක්ති පෙරමුණ යාපනයට ගියේය. ජයලත් ජයවර්ධන වැනි පුද්ගලයන් ලන්ඩන් ගියේය. චැනල් 4 නාළිකාව ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳව තවත් වීඩියෝ පටයක් ප්‍රචාරය කෙළේය. කොටි ත්‍රස්තවාදීන් ගේ පරාජයෙන් පසුව මෙරටින් පලා ගිය එල්.ටී.ටී.ඊ. ගැත්තෝ කුප්‍රකට වෙබ් අඩවි මඟින් නැවත වරක් පෙනී සිටියහ. ඊට පෙර ඔවුන් සුජාත කරවනු පිණිස තවත් කුප්‍රකට එන්.ජී.ඕ. දෙකකින් ශ්‍රී ලංකාවට ද්‍රෝහිකම් කළ බොරු මාධ්‍ය වීරයකුට සම්මාන දුන්නේය. සම්මාන ගත් ඒ පුද්ගලයා ශ්‍රී ලංකාවේ යුද අපරාධ ගැන හොයන්නට බෑන් කී මූන්ට උනන්දුවක් නැතැයි අෙඳීනා නඟන ලිපියක් අපකීර්තිමත් වෙබ් අඩවියකට සැපයුවේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ එංගලන්ත සංචාරයට එරෙහිව එංගලන්තයේ සිංහල, දෙමළ මුස්ලිම් පිරිස් උද්ඝෝෂණය කරන බවත් ඔවුන් දස දහස් ගණනින් එක් රොක් වන බවත් එම මඩ වෙබ් අඩවිය මඟින්ම ප්‍රචාරය කෙරිණ. ශ්‍රී ලංකාවට එරෙහිව චැනල් 4 නාළිකාවෙන් යුද අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයින් පවා තහවුරු කළ වීඩියෝ පටයක් ඉදිරිපත් කර ඇති බවත් මේ වෙබ් අඩවිය උජාරුවෙන් වාර්තා කෙළේය. මේ සියල්ලකින්ම නැවත නැවත මොනවට තහවුරු කෙරුණේ ශ්‍රී ලංකාවේ සිටිය දී හා මෙරටින් පලා ගිය පසුව පවා ද්‍රෝහීන් නැවත එකට එකතු වී කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන් කඩේ යෑම පටන්ගෙන ඇති බවයි.

ඔවුන්ගේ පැත්තෙන් ගත් කළ එය හැර කිරීමට වෙන දෙයක් ඇත්තේ ද නැත. ඔවුන්ට විදේශ රටවල රැකවරණ ලැබී තිබෙන්නේ ද, රාජ්‍ය නොවන සංවිධානවලින් බොරු සම්මාන පිරිනැමෙන්නේ ද කිසිම රැකියාවක් නොකර ලැබෙන ආධාරයෙන් ජීවත්විය හැකිව තිබෙන්නේ ද ශ්‍රී ලංකාවට ද්‍රෝහීවීම නිසාය.

ශ්‍රී ලංකාව අද බොහෝ කේෂ්ත්‍රවලින් ලෝකයේ පෙරට පැමිණෙමින් සිටී. සහස්‍රක ඉලක්ක, ආර්ථික වර්ධනය, සංචාරක කර්මාන්තය, ලෝකයේ සුරක්ෂිතම රටවල් අතරට පැමිණීම, එයින් කිහිපයකි. විදේශ ආයෝජන අතින් ද ශ්‍රී ලංකාව ලෝක අවධානය දිනා ගත්තේය. අද විදේශ රටවල ශේෂ වී සිටින කොටි ත්‍රස්තවාදීන්ට වුවමනාවී තිබෙන්නේ ශ්‍රී ලංකාව යන ගමන අඩාල කිරීමටය. ජනාධිපතිතුමා ගේ ඔක්ස්ෆර්ඩ් දේශනය ඔවුන්ට යකුන් එළවන මන්තරයක් මෙන් විස සහිත වන්නට ඇත්තේ ඒ නිසාය. ශ්‍රී ලංකාවේ අනාගත දැක්ම ලෝකය ඉදිරියේ තව දුරටත් ප්‍රබලව තහවුරුවීම ශ්‍රී ලංකාවේ ප්‍රගතිය නොඉවසන විසකුරු බලවේගයන් දකින්නේ තමන්ගේ මාරාන්තික පරාජයක් වශයෙනි. ආරක්ෂක හේතූන් මත යැයි කියමින් ජනාධිපතිතුමාගේ ඔක්ස්ෆර්ඩ් දේශනය අවලංගු කළද එතුමා තම දූත මෙහෙවර එසේම පවත්වාගෙන යමින් එංගලන්තයේ ආරක්ෂක ඇමැති හා අනෙකුත් දේශපාලන නියෝජිතයින් සමඟ ද සාකච්ඡා කෙළේය. ශ්‍රී ලංකාවේ අනාගත දැක්ම පළකිරීමට එංගලන්තයේ හෝ අන් තැනෙක හෝ අවස්ථාවක් ලබා ගන්නා බවත් ජනාධිපතිතුමා අවධාරණය කෙළේය. එය කොටින් හා ඔවුන්ගේ රූකඩයන් ලැබූ පරාජයකි. ජයලත් ජයවර්ධන මහතා වැනි එ.ජා.ප. මන්ත්‍රීවරුන්ට ද නැවත වරක් අලුතින් හිතන්නට එමඟින් අවස්ථාවක් දී තිබේ.

ජයලත් ජයවර්ධන මහතා ගරු කටයුතු මහජන නියෝජිතයෙකි. එහෙත් ඔහු දැන්වත් තම හෘද සාක්ෂිය පිරික්සිය යුතුය. මෙතෙක් කාලයකට ජනතාව වෙනුවෙන් දිනා දුන්නේ මොනවාද? සටන් කළේ කා වෙනුවෙන්ද? මන්ත්‍රී ධූරයේ වරප්‍රසාද භාවිතා කෙළේ කවුරුන් ගේ සංතෘප්තිය පිණිසද? මෙතෙක් කළ කී දේවලින් රටට හා මහජනතාවට ඇල්වතුර වීදුරුවක්වත් ලැබී තිබේද? යනුවෙන් එතුමා තමාගෙන්ම ප්‍රශ්න කර ගැනීම ඉතා හොඳය. මිනීමරු කොටි නායකයන්ගේ කරවටා අත දමාගෙන හිඳිමින්, ගම්වලට සයිරන් නළා බෙදන සූත්තරවලින් මහජනතාව රැවටිය නොහැකි බව තේරුම් ගෙන නැතිනම් එය ඒ මහතාගේම ප්‍රශ්නයකි. ඕනෑම දේකට සීමාවක් තිබේ. ද්‍රෝහිකමට ද ඒ සීමාව වලංගුය.

මානුෂික මෙහෙයුම ක්‍රියාත්මක වූ කාලයේදී ඇතැම් මාධ්‍ය සංවිධාන දිනපතාම මාධ්‍ය සංදර්ශන රඟ දැක්වීය. මානව හිමිකම්, මාධ්‍ය නිදහස, ජනවර්ග අයිතීන්, සාමය ගැන පල්හෑලි දෙඩෙව්වේය. ඒ සියල්ල කෙළේ මුදලට බව ඔප්පු කළ හැකිය. ඔවුන් මෙරට මාධ්‍යවේදීන්ටවත්, අන් කවුරුන්ට වත් සත පහක දෙයක් දිනා දී නැත. සිදු කෙළේ තමන්ගේ බඩ වඩා ගැනීමය. අද ශ්‍රී ලංකාවෙන් පැනගොස් මඩ වෙබ් අඩවිවලට පණ්ඩිතමානි ලිපි ලියන ඇතැමුන් අමුදූෂිතයෝය. ඔවුන් ක්‍රියා කළ සංවිධානවල ඇතිවී තිබෙන මහ පරිමාණ මුදල් වංචා ගැන සෘජුව වගකිව යුතු පුද්ගලයෝ දූෂණ විරෝධී සම්මාන ගනිති. එවැනි විහිළුවක් ලොව කොතැනකවත් දකින්නට නැත. ජනාධිපතිතුමාගේ එංගලන්ත ගමන ගැන ඔක්ස්ෆර්ඩ් දේශනයට එරෙහිව අවි අමෝරා ගත්තේ මෙවැනි භීෂකයෝ හා දූෂිතයෝය.

එල්.ටී.ටී.ඊ.ය හා ඊට අනුග්‍රහය දැක්වූ රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් හරහා යැපෙමින් මසකට රුපියල් ලක්ෂ ගණනින් දීමනා ලබාගත් ඔවුන් අද යැපෙන්නේ විදේශ රැකවරණයෙනි. ඒ රැකවරණය තහවුරු කර ගැනීමට නම් ශ්‍රීී ලංකාවට එරෙහිව මොනවා හෝ කළ යුතුය. ඉතින් ඔවුන්ට හැමදාම පුළුවන් දේ මිස අලුත් යමක් කළ නොහැකි බව පෙන්වමින් මෙවරත් නිවටකම හා ලැජ්ජා නැතිකම විදහා පෙන්වා ඇත.

එහෙත් ඒ නිවටකමට හා වංචාවටත් සීමාවක් තිබිය යුතුය. සාධාරණ ජීවිකාවක් සලසාගත නොහැකි නම් හැදුණු වැඩුණු රටට වත් ද්‍රෝහීකම් නොකර සිටිය යුතුය. ද්‍රෝහිකම හා වීරකම අතර වෙනස පෙනෙන්නේ නැත. වීරකම් යැයි වරදවා ගෙන රටට කරන හතුරුකම් ඉතිහාසගත වන්නේ ද්‍රෝහිකම් හැටියටය. මොකද ඉතිහාසයට වරදින්නේ නැති නිසාය. කෙසේ වෙතත් මේ සිද්ධියේදී නැවත වරක් ලෝකයට එක් දෙයක් ප්‍රබලව පෙන්නුම් කෙරිණ. එනම් සමස්ත ශ්‍රී ලංකාව එකහෙළා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ සිටින බවය. නිල්, කොළ, රතු හෝ ජාති ආගම් භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයෝ එංගලන්තයේ කොටි වියරුව හෙළා දකිති. එය නැවත වරක් ශ්‍රීී ලංකාවේ එක්සත් භාවය හා අධිෂ්ඨානය පෙන්නුම් කළ අවස්ථාවකි. අතරින් පතර ද්‍රෝහීන් සිටිය හැකි මුත් ශ්‍රී ලංකාව තවදුරටත් පාවාදීම් හා ද්‍රෝහිකම් නොඉවසන බව මෙවර ඉතා ප්‍රබල ව පෙන්නුම් කෙළේය. විදේශ රටවල සිට බඩවියත රැකගැනීමට නිවටකම් පාන්නවුන්ට ද එමඟින් නිහඬ පණිවුඩයක් ලැබී තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]