කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ශ්‍රී ලංකාව නව යුගයකට රැගෙන යන අය වැයක්

ශ්‍රී ලංකාව නව යුගයකට රැගෙන යන අය වැයක්

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ

2011 අය-වැය දෙවනවර කියවීමේ විවාදය අවසන් කරමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කරන ලද කථාව ඇසුරෙන් මේ ලිපිය සැකසිණි.

රජය වෙනුවෙන් අය වැය විවාදය අවසන් කිරිමට ලැබීම සතුටට කරුණකි. අති විශිෂ්ට ජන වරමකින් පසු ජනාධිපතිතුමා දෙවන ධුර කාලයට පත්වී ඉදිරිපත් කළ මේ ප්‍රථම අය-වැයෙන් එතුමා බලාපොරොත්තු වුණේ රජය යන දිසාව පෙන්නුම් කිරීමය.

අය වැයේදී ඡන්දය පාවිච්චි නොකිරීමටත්, ඒ වාගේම රජයේ නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා සහයෝගය දැක්වීමට ඉදිරිපත්වීම ගැනත් දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු ගත් තීරණය ගැන විශේෂයෙන්ම සතුටු වෙනවා. උතුරේ නැවත පදිංචි කිරීම කියන එක එතරම් ලෙහෙසි කාර්යයක් නොවේ. ඇත්ත වශයෙන්ම මේ නැවත පදිංචි කිරීම අලුතෙන් පදිංචි කරනවාටත් වැඩිය අමාරු කාර්යයකි. එල්ටීටීඊ ත්‍රස්තවාදින් විසින් මේ භූමියේ අඟලෙන් අඟලට බිම් බෝම්බ වළලා තිබුණා.

පාරවල්, බෝක්කු පුපුරවා හැරියා. පාසල් බිමට සමතලා කළා. ඒ වාගේම සියලුම වාරි මාර්ග යෝජනා ක්‍රමවල ඇළ වේලි, වැව් අමුණු විනාශ කරලා තිබුණේ. එහි කිසිම රජයේ ගොඩනැගිල්ලක අඩු ගණනේ වහලක්වත් ඉතුරු කළේ නැහැ. මේ බිම් බෝම්බ ඉවත් කරන්න රජය රුපියල් දසලක්ෂ 700 ක් වියදම් කරලා ක්‍රොඒෂියා සහ ස්ලෝවැකියා රජයෙන් යන්ත්‍ර 15 ක් ගෙනඑමින් කටයුත්ත ආරම්භ කළා. නැවත පදිංචි කරන්න ඉස්සෙල්ලා මේ ප්‍රදේශයේ යටිතල පහසුකම් දියුණු කරන්න විශාල ආයෝජනයක් කරන්න සිද්ධ වෙනවා. ඒ අතරම මොවුන් පදිංචි කරන කොට විශාල සහනාධාර ප්‍රමාණයක් සපයන්න ඕනෑ වෙනවා.

සංවර්ධනය

රුපියල් දසලක්ෂ 244,835 ක් සම්පූර්ණයෙන් උතුරේ සංවර්ධන වැඩවලට විතරක් වෙන් කර තිබෙනවා. ප්‍රධාන වශයෙන් විදේශ ආධාර දෙන ආයතන තුනකින්, ලෝක බැංකුව, ජපානය සහ ආසියානු සංවර්ධන බැංකුවෙන්, 2009 වර්ෂයේ උතුරු - නැඟෙනහිර පළාතට රුපියල් දසලක්ෂ 8,416 ක් වෙන් කර තිබෙනවා. මුළු ලංකාවේ අනෙක් පළාත් ඔක්කොටම වෙන් කරලා තිබෙන්නේ රුපියල් දසලක්ෂ 3,581 යි.

ඒ වාගේම 2010 වර්ෂය සඳහා උතුරු - නැඟෙනහිරට රුපියල් දසලක්ෂ 8,057 යි. අනෙක් සියලුම ප්‍රදේශවලට රුපියල් දසලක්ෂ 3,261 යි. රටක ආර්ථිකයක් දියුණුවීමට මාර්ග, විදුලිය, ජලය සහ විදුලි සන්දේශ අවශ්‍යයි. මේ සියල්ලක්ම අපි දියුණු කරලා තිබෙනවා. මුලතිවු නගරයෙන් පටන් ගන්න ප්‍රධාන පාරවල් පහම කාපට් කරලා සම්පූර්ණයෙන්ම හදනවා. දැනට පාරවල් තුනක වැඩ ආරම්භ කර තිබෙනවා.

මැයි 19 වැනිදා වන කොට මුලතිව්වල විදුලිය ප්‍රතිශතය සියයට බින්දුවයි. දැන් සියයට 18 ක් වෙලා තිබෙනවා. එදා කිලිනොච්චියේ සියයට 1 යි. දැන් සියයට 18 ක් වෙලා තිබෙනවා. වව්නියාවේ සියයට 66 ඉඳලා 75 දක්වා වැඩි වෙලා තිබෙනවා. යාපනයේ සියයට 60 ඉඳලා 72 දක්වා වැඩි වෙලා තිබෙනවා. මන්නාරමේ සියයට 37 ඉඳලා 52 දක්වා වැඩි වෙලා තිබෙනවා. මේ වන කොට යෝජනා ක්‍රම 118 ක් සම්පූර්ණ කරලා රුපියල් දසලක්ෂ 826.2 ක් වියදම් කරලා තිබෙනවා. තව අවුරුදු දෙකක් ඇතුළත මුළු උතුරටම සියයට සියයම විදුලිය දෙන්න අතිගරු ජනාධිපතිතුමා ක්‍රියා කර තිබෙනවා.

ආරක්ෂක වියදම කියන්නේ රටේ සංවර්ධනයේ ප්‍රධානම මූලයක්. ආරක්ෂාව නැතිව කිසිම සංවර්ධනයක් වෙන්න බැහැ. රටක ස්ථාවරත්වයේ, ජාතික සංවර්ධනයේ පළමුවැනි දේ තමයි ආරක්ෂාව. ඒ නිසා ආරක්ෂාවට යොදන සෑම සතයක්ම ආයෝජනයක් ලෙස සැලකිය යුතුයි. ඒක අත්‍යවශ්‍ය වියදමක්. වසර 30 ක් ත්‍රස්තවාදයෙන් බැට කාපු පිරිසක්. මේ රටේ සියලු ජාතින් ඒ යුද්ධයෙන් බැට කෑවා. උතුර නැඟෙනහිර අය විතරක් නොවෙයි. දකුණේ අයත් ඊට වැඩිය බැට කෑවා.

අපේ ළමයි ඉස්කෝලෙට යන්න බයේ සිටියා. මේ ජාතිය ආරක්ෂාව කියන එක අත්‍යවශ්‍ය දෙයක්. නමුත් මේකෙදි කථා කරන්නට ඕනෑ ප්‍රාග්ධන වියදම්. ඒ අනුව 2009 දි ප්‍රාග්ධන වියදම රුපියල් දසලක්ෂ 30,533 යි. ඊළඟට ඒක 2010 දී රුපියල් දසලක්ෂ 14,451 කට අඩු වෙලා තිබෙනවා. ඊළඟට 2011 ප්‍රාග්ධන වියදම් තිබෙන්නේ රුපියල් දසලක්ෂ 11,180 යි. එහෙම නම් විශාල ප්‍රමාණයකින්, ඒ කියන්නේ සියයට 50 කින් පමණ අඩු වෙලා තිබෙනවා. රුපියල් දසලක්ෂ තිස්දහස් ගණනක ඉඳලා, දසලක්ෂ එකොළොස් දහස් ගණනක් දක්වා ප්‍රාග්ධන වියදම් අඩු වෙලා තිබෙනවා.

පුනරාවර්තන වියදම් එක වෙලා තිබෙන්නේ 2009 දි රුපියල් දසලක්ෂ 174,973 යි. 2011 අවුරුද්ද වනකොට කීයද? රුපියල් දසලක්ෂ 170,848 යි. ඉතින් මම දන්නේ නැහැ, එම මන්ත්‍රීවරු ඉදිරිපත් කරපු ගණන් කොහෙන්ද හොයා ගත්තෙ කියලා. ආරක්ෂක වියදම දළ දේශීය නිෂ්පාදනය ජීඩීපී එකත් එක්ක ප්‍රතිශතයක් හැටියට බැලුවාම ඒකත් අඩුවෙලා තිබෙනවා, මෙන්න මේ විධියට. 2009 දි සියයට 3.63 යි. 2010 දි සියයට 3.06 යි. 2011 දි සියයට 2.71 යි.

ඉතින් මේ විධියට අපි ඊළඟ අවුරුදු දෙකත් ගත්තාම, 2012 දී සියයට 2.36 යි. 2013 දී 2.07 යි. අපේ මුළු අයවැයේ ජීඩීපී එකත් එක්ක ගත්තාම ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්කර ඇති සම්පූර්ණ මුදලේ අඩුවීමක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ අතර අපි මේක සමස්ත වියදමක් හැටියට බැලුවාමත්, අනිවාර්යෙන්ම අපේ ජාතිය මේ රණවිරුවන්ට ණය ගැතියි. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම ඒ වියදම් මොන විධියකින්වත් අඩු කරන්නට පුළුවන්කමක් නැහැ.

ඒ අතර විශේෂයෙන් කියන්නට ඕනෑ ආරක්ෂක අමාත්‍යාංශය යටතට හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, නාගරික සංවර්ධන අධිකාරිය, හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය, ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සංවර්ධන සහ මහජන සේවාවන් කරන ආයතන රාශියක වැය ශීර්ෂයත් මේ ආරක්ෂක අමාත්‍යාංශය යටතට ඇතුළත් වී තිබෙන බව.

නිල්ල පිරුණු රටක්

සියයට 8 ක විදුලිය ගාස්තු වැඩි කිරීමක් කර තිබෙන්නේ පැහැදිලිවම මුල් විදුලි ඒකක 90 හැර ඊට වැඩියෙන් පාවිච්චි කරන විදුලි ඒකක ප්‍රමාණයටයි. දැනට සිටින 45,57,000 ක විදුලි පාරිභෝගික සංඛ්‍යාවෙන් සියයට 70 ක් අයිති වන්නේ ඒකක 90 කට වඩා අඩුවෙන් විදුලිය පාවිච්චි කරන පිරිසට. ඒකට 1 සිට 30 දක්වා පාවිච්චි කරන 11,00,000 ක්ද, ඒකක 31 ඉඳලා 60 දක්වා පාවිච්චි කරන 13,00,000 ක්ද ඉන්නවා. ඒකක 61 යි 90 යි අතර පාවිච්චි කරන දසලක්ෂ 80,000 ක් ඉන්නවා.

අපේ රට නිල්ල පිරුණු රටක්. පරිසරය ආරක්ෂා කරන්න විදුලි පාරිභෝජනය අඩු කරන්න මෙයින් අපි දිරි ගන්වනවා. එහෙම තමයි අපි දිරි ගන්වන්න හදන්නේ. මේ වැඩි කිරීම සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරවලට අදාළ වෙන්නේ් නැහැයි කියලා තිබෙනවා. අපි සහන දීලා තිබෙනවා. ආගමික ස්ථානවල, රජයේ රෝහල්වල, පාසල්වල, වෘත්තීය පුහුණු ආයතනවල සහ විශ්වවිද්‍යාලවල විදුලිය ගාස්තුව සියයට 25 කින් අඩු කර තිබෙනවා. ඒක විශාල සහනයක්. ඉදිරි වර්ෂ දෙක තුළ විදුලිබල ආයෝජනය බිලියන 64 ඉක්මවනවා. මොකද සැමට විදුලිය යටතේ හැම ගමකටම හැම නිවසකටම විදුලිය දෙන්නයි අපේ බලාපොරොත්තුව.

ජනාධිපතිතුමා පදවිප්‍රාප්ති උත්සවයේදී කිව්වා, ශ්‍රී ලංකාව දියුණු විය යුත්තේ ශ්‍රී ලංකාවක් ලෙසටයි කියා. මෙය පැහැදිලිව දේශීය අනන්‍යතාවයක් සහිත නිදහස් ආර්ථිකයක්. අප දැන් අනුගමනය කරන්නේ නොබැඳි ප්‍රතිපත්තියක්. විදේශ ප්‍රතිපත්තියේ දේශපාලන නොබැඳි පිළිවෙත වාගේම ආර්ථිකයේදීත් බැඳීම්වලින් තොරව අප කටයුතු කරනවා. අර ප්ලග් එක එහෙම ගලවලා තිබෙන්නේ. දැන් අප ස්වාධීනවයි ගමන් කරන්නේ. එම නිසා අප විවෘතව එදා ණය නොගත් රටවලින් එදා ආධාර නොලැබුණු රටවල් සමඟ සම්බන්ධකම් ඇතිකර ගෙන අද ආධාර ලැබෙනවා. මෙහිදී මහින්ද චින්තන මොඩලය තමයි අප අනුගමනය කරන්නේ. මේක ශ්‍රී ලංකා මොඩලය. ඒක තමයි අපේ දේශීය මොඩලය.

සාරධර්ම

රටක සංවර්ධනය කියන්නේ ආර්ථික සංවර්ධනය පමණක් නොවෙයි. මොකද ජාතික සංවර්ධනය ආර්ථික සංවර්ධනයට විතරක් සීමා වෙන්නේ නැහැ. ආර්ථික සංවර්ධනය ජාතික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වන්න පුළුවන්. නමුත් ඒක විතරක්ම නොවෙයි. ජාතික සංවර්ධනය එක්ක සමාජ සංවර්ධනය තිබෙන්න ඕන. එය ඕනෑම දේශපාලන සංවර්ධනයත්, සංස්කෘතික හා සදාචාරාත්මක සංවර්ධනයත් වෙන්න ඕනෑ.

මේ අය වැය තුළ මේ හැම අංශයක්ම ගොනුවෙලා තිබෙනවා. මහින්ද චින්තනය සහ මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළ ගැබ් වෙලා තිබෙන සාරධර්ම ආර්ථික සංවර්ධනයට පමණක් නොවෙයි, සමාජ සංවර්ධනය සහ දේශපාලන සංවර්ධනයටත් ඉවහල් වෙනවා. අපේ දේශපාලන නිදහස, මාධ්‍ය නිදහස, කථා කිරීමේ නිදහස ඒ වාගේම සර්වජන ඡන්ද බලය, ඒ වාගේ දේවලුත් සමහර ප්‍රදේශවලට සීමා වෙලා තිබුණා. ඒවා ඔක්කොම ඉෂ්ට කරලා තමයි ජාතික සංවර්ධනය වන්නේ.

”මහින්ද චින්තන” ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ එතුමා ඉදිරිපත් කරපු පළමුවැනි දේ තමයි මිනිසා ගොඩ නඟා පවුල රකින්ටත්, පවුල ගොඩනඟා ගම රකින්නත්, ගම ගොඩනඟා රට රකින්නත්, රට ගොඩනඟා ලොව දිනන්නත් කියන එක. ඒ තේමාව උඩ, රට පුරා ගමට, වතුකරයට වාගේම හැම ජන කොටසකටම අදාළ වන ලෙස මේ අය වැය ඉදිරිපත් කරලා තියෙනවා.

අපට පුළුවන් ලොකු ආයෝජන දෙක තුනක් ඇති කරලා. එහෙම නැත්නම් ඡතභඥ-ජඩඪන ජධථනචදර වාගේ ලොකු කොම්පැනි පහක්, හයකින් මුළු දළ දේශීය නිෂ්පාදන වැඩි කරලා පෙන්වන්න. නමුත් ඊට වඩා අපේ අවශ්‍යතාව වන්නේ් මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ තිබෙන මිනිසා ගොඩ නඟා පවුල ගොඩ නැඟීමත්, පවුල ගොඩ නඟලා, ගම ගොඩ නැඟීමත්, අපේ රටේ ජනතව තම ජීවනෝපාය සහ ජීවන තත්ත්වය අනුව කොටස් කීපයකට බෙදා වෙන් කරන්න පුළුවන්. ඒ එක එක කොටසකට මේ අය වැයෙන් ලබාදී තිබෙන සහන කීපයක් ඉදිරිපත් කරන්න ඕනෑ. විශේෂයෙන්ම මේ කොටස් කෘෂිකාර්මික හා වැවිලි ක්ෂේත්‍රයේ සිටින අයයි.

වී ගොවිතැන, තේ, රබර්, පොල්, කුළු බඩු, අතිරේක බෝග වැනි දේවල් කරන අයට, ධීවර කර්මාන්තයේ යෙදෙන අයට, පශු සම්පත් කිරි නිෂ්පාදකයන්ට විශාල වශයෙන් සහන ලබාදී තිබෙනවා. ඒ විතරක් නොවෙයි රජයේ සේවකයන්ට, පෞද්ගලික අංශයේ වැටුප් ලබන සේවක පිරිසට, විදේශ රැකියාවල නිරතව සිටින අයට, විශාලම විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන එන්නේ මේ අයයි. ඊළඟට ස්වයං රැකියාවල සිටින අයට, ත්‍රීවීල් සහ වෙළෙඳ ද්‍රව්‍ය වෙළෙඳාම් කරන අයට, විශ්‍රාමිකයන්ට, ඒ වාගේම ආරක්ෂක හමුදාවල රණවිරුවන් වෙනුවෙන්, සුළු හා කුඩා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්ට, වෘත්තීයවේදීන්ට, ගැබිනි මවුවරුන්ට, දරුවන්ට, වැඩිහිටියන්ට, ආබාධිතයන්ට හා කාන්තාවන් ඇතුළු සියලු පිරිස් වෙනුවෙන් මේ හැම කොටසකටම මෙවර අය වැයෙන් විධිමත් වැඩ පිළිවෙළකුත් ඒ වාගේම සහන සපයා තිබෙනවා.

සහනාධාර

කුඩා තේවතු හිමියන්ට මේ වර්ෂයේ අතිරේකව රුපියල් දශලක්ෂ හයදහස් තුන්සිය හැත්තෑපහක් ලැබී තිබෙනවා. මේක රට පුරා ඉන්න කුඩා තේ වතු හිමියන්ට ලැබෙනවා. මීට අමතරව අපි රුපියල් 1,000ක පොහොර සහනාධාරයකුත් ලබාදුන්නා. මේ හා සමානවම රබර් නිෂ්පාදනයේත් සෑහෙන වැඩි වීමක් සිදුවී තිබෙනවා. ඒ වාගේමයි මිල ගණන්. ආර්එස්එස් දුම් ගැසූ දාර සහිත රබර් අංක 1 සහ 2හි සාමාන්‍ය මිල පිළිවෙළින් කිලෝ ග්‍රෑම් එක රුපියල් 381 දක්වා ද, කිලෝ ග්‍රෑම් එක රුපියල් 375 දක්වා ද සියයට 128කින් වැඩි වෙලා තිබෙනවා. ක්‍රේප් රබර් හා ක්‍රේප් රබර් අංක 1හි මිල පිළිවෙළින් කිලෝ ග්‍රෑම් එක රුපියල් 390ක් හා කිලෝ ග්‍රෑම් එක රුපියල් 386 දක්වා සියයට 139කින් හා සියයට 141කින් වැඩි වෙලා තිබෙනවා.

විශේෂයෙන්ම දේශීය කෘෂිකර්මයේ විශාල වැඩිවීමක් වෙලා තිබෙනවා. 2009-2010 මහ කන්නය ඊට කලින් කන්නයත් එක්ක සංසන්දනය කරන කොට මෙට්‍රික් ටොන් දශලක්ෂ දෙකයි දශම හයයි තුන දක්වා, සියයට 10.3 කින් වර්ධනය වෙලා තිබෙනවා.

වගා කටයුතු

වැවිලි ක්ෂේත්‍රයේ තේ, රබර් නිෂ්පාදනය ඉහළ යන කොට පොල් නිෂ්පාදනය පහත බැස්සා. ජනවාරි මාසය එක්ක සංසන්දනය කරන කොට ජූලි මාසයේ පොල් මිල අඩු වුණා. ඒ නිසා වැවිලිකරුවන් අධෛර්යයට පත්වුණා. ඒ වාගේම වැලිගම ප්‍රදේශයේ හටගත්ත රෝගය නිසා පොල් කර්මාන්තය සංවර්ධනයට තවත් රුපියල් දශලක්ෂ 200ක් වෙන්කර තිබෙනවා. මේ සඳහා වෙනම අමාත්‍යංශයක් ඇතිකළා. ඒ ගැන වගකීම භාරදීලා පොල් කර්මාන්තය නඟා සිටුවීම අද අවශ්‍ය කරනවා.

රබර් වගාව සඳහා මොණරාගල, වවුනියා හා මුලතිව් දිස්ත්‍රික්කවල නව වගා ආරම්භ කිරීම, නැවත වගා කිරීම සඳහා පවතින සහනාධාරය වැඩි කිරීම, වැහි ආවරණ ජනප්‍රිය කිරීම සඳහා 50%ක සහනාධාරයක් ලබාදීම, රබර් පාලන දෙපාර්තමේන්තුවේ පවතින ප්‍රතිපාදනය රුපියල් දශලක්ෂ 500 සිට රුපියල් දශ ලක්ෂ 750 දක්වා වැඩි කිරීම වැනි පියවර රැගෙන තියෙනවා. ඒ වාගේම අගය එකතු කළ අපනයන දිරිමත් කිරීම සඳහා කිලෝ ග්‍රෑමයකට පැවැති රුපියල් 4ක වූ මුදල රුපියල් 8 දක්වා වැඩි කර තිබෙනවා.

මෙයට අමතරව විශේෂයෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ලොකුම ප්‍රශ්නයක් තමයි බීජ. අපේ තිබුණු බීජ ගොවි පොළවල් පසුගිය කාලයේ පෞද්ගලීකරණය කළා. සමහර ඒවා ඉතාම හොඳට කරනවා. සමහර ඒවා විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ වාගේම සමහර තැන්වල තියෙන බීජ පොළවලුත් සාර්ථකව කරන්නේ නැහැ. ඒ සඳහා විශේෂ වැඩසටහනක් ඇතිකරලා තියෙනවා. රුපියල් දශලක්ෂ 700ක් යොදවා තුන් අවුරුදු බීජ ගොවි පොළවල් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, බීජ ගොවිපොළවල් පුළුල් කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෞද්ගලික අංශය සමඟ කටයුතු කිරීම, බීජ ගොවි පොළවල් සඳහා කරනු ලබන ආයෝජන සඳහා පස් අවුරුදු බදු විරාමයක් ලබා දීම සේම පොහොර සහනාධාර ක්‍රමය ද අඛණ්ඩව පවත්වා ගෙන යනවා.

ධීවර කර්මාන්තයට විශාල ආයෝජනයක් පසුගිය කාලයේදී කෙරුණා. ඒ නිසා 2010 පළමු භාගයේ මත්ස්‍ය නිෂ්පාදනය, 2009 මත්ස්‍ය නිෂ්පාදනය හා සංසන්දනය කරන කොට මෙට්‍රික් ටොන් 170,100 දක්වා සියයට 10.5 කින් වැඩි වුණා. මේක උතුරු නැඟෙනහිර ධීවර කර්මාන්තයට අවස්ථාව සැලසීමක්. මේ අයවැයෙන් තුන් ලක්ෂයක් පමණ වූ ධීවර ජනතාවට සහන කීපයක් සලසා තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම උතුරු නැඟෙනහිර සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය සියයට 50 ක් දක්වා වැඩි කරන්න කටයුතු කරනවා. ඒ වාගේම විශේෂයෙන්ම දැනට විවිධ ලියාපදිංචි ගාස්තු සහ ධීවර යාත්‍රාවලින් අලුත් කිරීමේ ගාස්තු, ක්‍රියාත්මක කිරීමේ ගාස්තු අය කරනවා. ඒවා සියල්ලක්ම මේ අයවැයෙන් ඉවත් කර තිබෙනවා.

ජලජීවි සම්පත්

මිරිදිය මත්ස්‍ය කර්මාන්තය හා ජලජීවි සම්පත් කටයුතු දිරිමත් කිරීමට සියයට 7 ක සහනදායී පොලියකට ණය පහසුකම් සපයන්න යෝජනා කර තිබෙනවා. ඒ වාගේම ගැඹුරු මුහුදේ මත්ස්‍ය කර්මාන්තය සඳහා දිගු කාලීන සහනදායී ණය සැපයීම පහසු කිරීම, ආදායම් බදු අවුරුදු පහකට ඉවත් කිරීම, ඒ වාගේම සාම්ප්‍රදායික ධීවර ගම්මාන ආශි‍්‍රතව සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා අපි සංචාරක සංවර්ධන අධිකාරියට රුපියල් දශලක්ෂ 300 ක් වෙන් කර තිබෙනවා. ඒ, ධීවර ජනතාවට සංචාරක කර්මාන්තයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් විධියටය.

ගැමි ආර්ථිකය තුළ ස්වයංපෝෂිත ගෘහස්ථ ආර්ථිකයක් ඇති කරන්න කටයුතු කර තිබෙනවා. ගෘහස්ථ කුකුළු පාලනය, එළු පාලනය, ඒ වාගේම කිරි ගවයින් පාලනය වගේම ගෙවතු වගාව වැනි දේවල් දියුණු කිරීම තුළ මේ ගෘහස්ථ ආර්ථිකය ශක්තිමත් කළොත් නිෂ්පාදන වෙළෙඳ පොළට යවන්නේ නැතුව තමුන්ම පාවිච්චි කළොත් හොඳ නැවුම් පිරිසිදු පෝෂණ ගුණයෙන් යුත් ආහාර පාවිච්චි කළ හැකියි. පශු සම්පත් අමාත්‍යාංශය මඟින් සපයන සේවා පුළුල් කිරීම තුළින් කිරි ගොවින් ලක්ෂ 4 කට පමණ සහනයක් සැලසෙනවා.

ලක්ෂ 13 ක් පමණ වන රජයේ සේවකයන් මහින්ද චින්තනය තුළ වැදගත් කාර්ය භාරයක් ඉටු කරන පිරිසක්. ජනාධිපතිතුමා රජයේ සේවකයා ශක්තිමත් කර ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට වාගේම සේවා තත්ත්වය වර්ධනය කිරීමටත් කටයුතු කළා. අනෙක් අය රාජ්‍ය සේවය විනාශ වන විධියට කටයුතු කරලා, රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව අඩු කර තිබුණු යුගයක ජනාධිපතිතුමා රාජ්‍ය අංශය, රාජ්‍ය සේවකයා ශක්තිමත් කිරීමේ කටයුත්ත කළා.

මේ අය වැයෙනුත් හැම රාජ්‍ය සේවකයෙකුටම අවම වශයෙන් සහන දෙකක් ලැබී තිබෙනවා. සමහර අයට සහන තුන හතර ලැබී තිබෙන බව සඳහන් කරන්නට ඕනෑ. විශේෂයෙන්ම ඒ ලබා දුන් සහන කිහිපය අතරින් ලක්ෂ 13 කට සියයට 5 ක වැටුප් වර්ධනයක් ලැබෙනවා. ඒ වාගේම ජනවාරි 1 වැනිදා සිට රුපියල් 600 ක වැඩි වීමක් ලැබෙනවා. එතකොට අඩුම ගණනේ ඒක රුපියල් 1,250 ක් හෝ ඊට වැඩි වෙනවා. සමහරුන්ට රුපියල් තුන්දහස් ගණනක් ලැබෙනවා. ඒ වාගේම ජූලි මාසයේ සිට වැටුප් විෂමතාවන් ඉවත් කිරීම කරනවා. ඒ තුළින් අට ලක්ෂයක පමණ පිරිසකට සහනයක් ලැබෙනවා.

ඒ වාගේම විශ්ව විද්‍යාල ආචාර්යවරු ඇතුළු විශේෂ වෘත්තිය සේවාවල යෙදෙන අයට සියයට 25 ක විශේෂ වෘත්තියමය දීමනාවක් ලබා දෙනවා. ඒ මඟින් රජයේ සේවකයන් 30,000 කට පමණ සහන සැලසෙනවා. ඒ වාගේම වෘත්තීය හා කළමනාකරණ අංශයේ සේවා නියුක්තිකයන් සඳහා බදු සහන සහිතව මෝටර් රථයක් ගෙන්වීමේ වරප්‍රසාදය ලබා දෙනවා. ඒ තුළින් 30,000 ක පමණ පිරිසකට සහන ලැබෙනවා. මීට අමතරව රාජ්‍ය සේවය පුළුල් කිරීමත්, අනෙක් පැත්තෙන් දීප ව්‍යාප්ත සේවාවන් සඳහා උපාධිධාරීන් 10,000 ක් බඳවා ගැනීම සිදු කරන අතර, රාජ්‍ය බැංකු හා අනෙකුත් මූල්‍ය කළමනාකරණ ආයතනවලට සහ හමුදා හෙදියන් හැටියට 1,500 ක් බඳවා ගන්නවා. ඒ තුළින් උපාධිධාරීන් 13,000 කට පමණ සහන ලැබෙනවා.

ලක්ෂ 45 ක් පමණ වන සංස්ථා හා පෞද්ගලික අංශය සහන කිහිපයක් සලසා තිබෙනවා. පෞද්ගලික අංශයට ලබා දී තිබෙන මේ විශ්‍රාම වැටුප් ක්‍රමය නිසා පෞද්ගලික රැකියාවලට තිබෙන ඉල්ලුම වර්ධනය වීමට හේතු වනවා. රුපියල් 50,000 කට වඩා අඩු මාසික ආදායමක් ලබන අය ආදායම් බද්දෙන් නිදහස් කිරීම. මේ නිසා මධ්‍යම ආදායම් ලබන දෙලක්ෂයකට පමණ ප්‍රයෝජනයක් ලැබෙනවා. උපයන විට බදු ගෙවීමේ සීමාව වර්ෂයකට රුපියල් ලක්ෂ හය දක්වා පුළුල් කිරීම, රුපියල් තුන් ලක්ෂයක් වූ ආදායම් බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ පහ දක්වා වැඩි කරලා තිබෙනවා. ලක්ෂ පහක් වූ පොලී ආදායම් ලබන අය ඉන්නවා.

පොලී මත පැනවෙන බද්දෙන් නිදහස් කිරීම නිසා බැංකුවල මුදල් තැන්පත් කර සිටින විශ්‍රාමිකයන් ඇතුළු දශලක්ෂ 4 කට වැඩි විශාල පිරිසකට සහනයක් ලැබෙනවා. අර්ථසාධක අරමුදල් ලබා ගන්නා විට ඒ මුදල් බද්දෙන් නිදහස් කිරීම නිසා වර්ෂයකට විශ්‍රාම ලබන 50,000 ක පමණ පෞද්ගලික හා රාජ්‍ය සංස්ථා සේවකයින්ට සහනයක් ලැබෙනවා. ඒ අයට තුන් වරක් බදු ගහනවා කියලා කිව්වා. ඒ නිසා විශ්‍රාම යන කොට ඒ අර්ථසාධක මුදලට බදු ගෙවීම අඩු කරනවා.

විනිමය

විදේශ රැකියාවල නිරත වී සිටින පිරිස ලක්ෂ 16 ක් පමණ ඉන්නවා. ඔවුන් රටට විශාල වශයෙන් විදේශ විනිමය උපයා දෙනවා. මෙහිදී ජනාධිපතිතුමා විශේෂයෙන්ම ඔවුන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් අරමුදලක් ඇති කිරීම සඳහා මූලික ප්‍රාග්ධනය හැටියට රුපියල් දශලක්ෂ 1,000 ක් වෙන් කරලා තිබෙනවා.

ස්වයං රැකියාවල නියුක්ත වෙලා ඉන්න ත්‍රීරෝද රථ හිමියන්, ලොරි රථ, පදික වේදිකාවේ සුළු ව්‍යාපාර කරමින් හිටපු වෙළෙන්දන් වැනි විශාල පිරිසක් කෙරෙහි අවධානය යොමු කරලා මෙවර සහන රාශියක් සලසා තිබෙනවා. ඒ පිරිස රැකියා උත්පාදනයට, නිෂ්පාදනයන්ට, සේවා සැපයීමට උදවු වනවා. අඩු ආයෝජනයකින් තමයි මේ රැකියා බිහි වන්නේ. අඩු ආයෝජනයකින් රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් එකතු කරන ක්ෂේත්‍රයක් තමයි ස්වයං රැකියා අංශය. මෙවර අය වැය මඟින් ඒ සඳහා විවිධ සහන රාශියක් ඇති කරලා තිබෙනවා. ත්‍රිරෝද රථ, ලොරි රථ හා පෞද්ගලික බස් රථ සඳහා කල් බදු ක්‍රමය යටතේ අය කරනු ලබන වැට් බද්ද ඉවත් කර තිබෙනවා. මෙයින් 5,50,000 ක් පමණ වූ ප්‍රවාහන සේවාවල යෙදෙන අයට සහනයක් ලැබෙනවා. එයට අමතරව අමතර කොටස් සඳහා වන රේගු බදු ඉවත් කර තිබෙනවා.

මල් හා විසිතුරු පැළ නිෂ්පාදනය සඳහා විශේෂ යොමු වීමක් තිබෙනවා. ඒ සඳහා උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් ඔවුන් පුහුණු කරලා එවැනි නව ආර්ථික ඵලදායිතාවක් ඇති දේවල්වලට ගෘහිනියන්, කාන්තාවන් යෙදීම සඳහා කටයුතු කරනවා. ඒ සඳහා දශලක්ෂ 100 ක ප්‍රතිපාදනයක් ලබා දීලා තිබෙනවා. ඊළඟට විශ්‍රාමිකයන්ට අවම වශයෙන් සහන දෙකක්වත් ලැබෙනවා. ආරක්ෂක අංශ සේවාවල සාමාජිකයන්ගේ භාර්යාවන් හා ඔවුන්ගේ පවුල්වල ආර්ථික අපහසුතාවන් වෙනුවෙන් කටයුතු කිරීම සඳහා වසර තුනක් සඳහා දශලක්ෂ 3,000 ක් වෙන් කරලා තිබෙනවා. ඒ වාගේම ආරක්ෂක හමුදාවල නියුතු අයගේ පවුල්වල උපදින සෑම තෙවන දරුවකුටම රුපියල් ලක්ෂයක දීමනාවක් දෙන්න කටයුතු කරලා තිබෙනවා.

බදු සහන

සුළු, කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් රටක දියුණුවට වැඩියෙන්ම දායකත්වයක් දෙන අය. හර බද්ද ඉවත් කිරීම, වැට් බදු සියයට 20 ඉඳලා 12 ට අඩු කිරීම, ලාභ මත අය කරන බදු සියයට 35 සිට 28 ට අඩු කිරීම, ඒ අයට ලබා දී තිබෙනවා. ඒ වාගේම බේකරි හිමියන්ටත්, සංචාරක කර්මාන්තයේ යෙදෙන අයටත්, සහන ගණනාවක් ලබා දීලා තිබෙනවා. ඇඟලුම් කර්මාන්තයේ ඉන්න කුඩා පරිමාණයේ හා මධ්‍ය පරිමාණයේ අයටත් සහන සලසා දීලා තිබෙනවා.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට බාධාවක්ව තිබුණු බදු ඉවත් කරලා තිබෙනවා. සකස් නොකළ මැණික් ගල් ආනයනය කරන අවස්ථාවේදී පවතින සියලු බදු ඉවත් කරලා තිබෙනවා. ඒ වාගේම මැඩගස්කරය වාගේ විවිධ රටවලට ගිහිල්ලා මැණික් අරගෙන එන්න ඔවුන්ට ගෙනයන්න දෙන එක්සත් ජනපද ඩොලර් ප්‍රමාණය 10,000 ඉඳලා 50,000 දක්වා වැඩි කරලා තිබෙනවා. තොරතුරු තාක්ෂණ ව්‍යාපාරය බාහිර අංශවලට සැපයීමට බදු දිරිගැන්වීම් දීලා තිබෙනවා. මෘදුකාංග - ඵධටබඹචපඥ වැට් බද්දෙන් හා ජාතිය ගොඩ නැඟීමේ බද්දෙන් ඉවත් කරලා තිබෙනවා. ඒ වගේම මේ අය වැයෙන් ඒ අයට සහන සලසා දී තිබෙනවා.

විශේෂයෙන්ම ආයෝජනයක් ලෙස සලකා ගැබිනි මව්වරුන්ට දැනට දෙන පෝෂණ මල්ල වැඩි කිරිම සඳහාත්, ත්‍රීපෝෂ වැඩ සටහන පුළුල් කිරීම සඳහාත් රුපියල් දශලක්ෂ 1100 සිට 1500 දක්වා ප්‍රතිපාදන වැඩිකර තිබෙනවා. ග්‍රාමීය පෙර පාසල් වෙනුවෙන් රුපියල් දශලක්ෂ 200 ක් වෙන් කරලා ඒ තුළින් දෙලක්ෂයක් පමණ වන පෙර පාසල් දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය දියුණු කරන්නත් බලාපොරොත්තු වනවා. වැඩිහිටියන්, ආබාධිතයන් හා ත්‍රස්තවාදී කරදරවලින් විපතට පත් වූ අයට දෙන මාසික දීමනාව වැඩි කිරීමට තවත් රුපියල් දශලක්ෂ 1,000 ක් වෙන්කර තිබෙනවා. ලක්ෂ 6 ක් පමණ වන වැඩිහිටියන්ට සහ සමෘද්ධි පවුල්වල ආබාධිත දරුවන්ගේ උපයන්නන්ගේ මාසික දීමනාව වැඩි කිරීමෙන් තවත් ලක්ෂ 6 කට සහන සැලසෙනවා.

ආශ්චර්ය

පොහොර සහනාධාරය සඳහා රුපියල් දශලක්ෂ 30,000 ක්, පෝෂණ මල්ල සඳහා දැනට රුපියල් දශලක්ෂ 2050 ක්, පාසල් දරුවන් 42,000 ක ගේ කිරි වීදුරුව සඳහා රුපියල් දශලක්ෂ 250 ක්, පාසල් පොත් සඳහා රුපියල් දශලක්ෂ 2,400 ක්, පාසල් ආහාර වැඩ සටහන සඳහා රුපියල් දශලක්ෂ 2,800 ක්, පාසල් නිල ඇඳුම් සඳහා රුපියල් දශලක්ෂ 1,595 ක්, වාර ප්‍රවේශ පත්‍ර සඳහා රුපියල් දශලක්ෂ 1,400 ක්, සමෘද්ධි සහනාධාර පවුල් සඳහා රුපියල් දශලක්ෂ 9,300 ක්, මහජන ආධාර සඳහා රුපියල් දශලක්ෂ 2,892 ක්ද වෙන්කර තිබෙනවා. ආබාධිත රණවිරුවන් වෙනුවෙන් රුපියල් දශලක්ෂ 12,500 ක් වෙන්කර තිබෙනවා.

වසර 18 කට පස්සේ පළමුවැනි වතාවට අය-වැය හිඟය දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 6.8 හි පවත්වා ගෙන යන්න පුළුවන් වුණා. මේ අය වැය රට ඉදිරියට ගෙන යන, මේ රට, ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යවත් රට බවට පත් කරන අය වැයක්.

විශේෂයෙන්ම මේ සියලු කාර්යයන් ඉෂ්ට කර ගන්න පුළුවන් වුණේ අපේ ආරක්ෂක අංශ මේ රටට සාමය උදා කරපු නිසයි. ඒ නිසා මේ වෙලාවේ ආරක්ෂක ලේකම්තුමා ඇතුළු සියලුම ආරක්ෂක අංශවලට, ජනමාධ්‍යවලට රජය වෙනුවෙන් ස්තුතිවන්ත වනවා. ජනාධිපතිතුමාට සහ මේ රජයට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් පසුගිය ජනාධිපතිවරණයේදීත්, පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ලබාදී දක්වපු සහයෝගය ගැන, විවිධ ප්‍රචාරවලට රැවටෙන්නේ නැතිව මෙතෙක් මේ රජයත් එක්ක සිටීම ගැන මේ රටේ මුළුමහත් පොදු ජනතාවටම විශේෂයෙන් ස්තුතිවන්ත වනවා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]